ජයග‍්‍රහණයේ උභතෝකෝටිකය

පොදු විපක්ෂයේ  ජනාධිපති අපේක් ෂක මෛත‍්‍රීපාල සිරිසේන අතින් ජනාධිපතිවරණයේදී ලොකු යුද ජයග‍්‍රහණයකට හිමිකම් කී, යටිතල පහසුකම්වලදී රට කැපී පෙනෙන තරමේ නවීකරණයකට ලක් කළ ඉතාමත් දූෂිත හා දරදඬු පාලකයකු ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්විය. එය බිහිසුණු හා අසාමාන්‍ය තරගයක් විය. රාජපක්ෂ ජනාධිපතිවරයා එම මැතිවරණයේදී උපරිම මට්ටමකින් රාජ්‍ය බලය, ධන බලය හා ප‍්‍රචාරක බලය පාවිච්චි කළේය. තම ප‍්‍රතිවාදියා රටට හඳුන්වා දෙන ලද්දේ ශ‍්‍රී ලංකා විරෝධී විදේශීය බලවේගයන් හා බෙදුම්වාදී බලවේගයන් සමග කල්ලි ගැසී රට හිමි කරගෙන තිබෙන ජයග‍්‍රහණයක් ආපස්සට හැරවීමට වෙර දරන දේශද්‍රෝහියකු වශයෙනි. ඒ සියල්ල එසේ තිබියදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන සමත් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වෙතොත් බලහත්කාරයෙන් හෝ බලයේ රැුඳී සිටීමේ වැඩසටහනක් තිබුණා වුවද පරාජයත් සමග සිදුවූ පරිවර්තනයට ඉඩදී බලය අතහැර ගෙදර යෑම ගැන මහජනයාගේ ප‍්‍රණාමය ඔහුට හිමිවිය යුතු අතර තමන් ලද ජයග‍්‍රහණයෙන් පසු පරාජිතයාට හිංසා නොකරන පිළිවෙතක් අනුගමනය කිරීම ගැන ජනතාගේ ප‍්‍රණාමය ජයග‍්‍රාහකයාටද හිමිවිය යුතුය. මෙසේ දීර්ඝ කාලයක් අශීලාචාර තත්ත්වයක තිබූ ශ‍්‍රී ලංකාව ශීලාචාරත්වයක් කරා යන ගමනක දොරටුව විවෘත කරගත්තේ ලේ වැගිරීමකින් තොරවය.

උභතෝකෝටිකය

ඒ නිසා ඇතිවූ දේශපාලන පරිවර්තනය ජාතියට අතිවිශාල මානසික සහනයක් ලබාදීමට හේතුවී ඇතත්, ජාතිය තල්ලූවීයමින් තිබෙන්නේ පැහැදිලි නිරවුල් තැනකට නොව අපැහැදිලි හා සංකීර්ණ උභතෝකෝටික තත්ත්වයකටය. එම ඓතිහාසික ජයග‍්‍රහණයෙන් පසු ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය සංකීර්ණ චෙස් ප‍්‍රහේළිකාවට සමාන කළ හැකිය.

මෛත‍්‍රීපාල ශ‍්‍රීලනිපයේ කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටි විශේෂයෙන්ම දූෂණ චෝදනා එල්ල නොවූ වර්ණවත් චරිතයක් වී සිටියදීත් මේ තරගයේදී ඔහුට සහාය දුන් එම පක්ෂයේ මන්ත‍්‍රීන් සංඛ්‍යාව සේ ම ඡුන්දදායක සංඛ්‍යාවද අල්ප විය. එජාප නායකයා මෙම තරගයට තරග කරන්නට සූදානම්ව සිටියද මෛත‍්‍රීගේ ආගමනයෙන් පසුව පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීට තරග කරන්නට ඉඩ දුන්නා පමණක් නොව, එම පක්ෂයේ ඒකමතිකභාවයද ආරක්ෂා කරගනිමින් දිය හැකි උපරිම සහයෝගයද ලබා දුන්නේය. අවසානයේ මෛත‍්‍රීට මේ තරගයේදී පාවිච්චි කරන්නට සිදුවූයේද එජාප යාන්ත‍්‍රණයයි. අවසානයේ මෛත‍්‍රීපාල ජයගත්තේ ප‍්‍රධාන කොට එජාපයේ සිංහල ඡුන්දවලින් හා සුළු ජාතික ඡුන්දවලිනි. ලැබූ ජයග‍්‍රහණයෙන් පසුව ජයග‍්‍රහණයට ලැබුණු කේක් ගෙඩියෙන් ලොකුම කොටස එජාපයට දෙන විට මහජනයා විස්මයට පත්කරමින් පරාජිත මහින්ද රාජපක්ෂද ශ‍්‍රීලනිපයේ නිල නායකත්වය තමන් දේශද්‍රෝහියකු ලෙස රටට හඳුන්වා දුන් මෛත‍්‍රීපාලට දුන්නේය. එසේ කළේ සටන මුළුමනින් අතහැර විශ‍්‍රාම යෑම සඳහා නොව, තමන්ට හා ශ‍්‍රීලනිපයට වන හානිය අවම කරගනිමින් අලූත් සටනකට අවශ්‍ය කරන අවකාශය ලබාගැනීම සඳහාය.  

එය මහින්ද රාජපක්ෂගේ කදිම ඇදීමක් ලෙස සැලකිය හැකි අතර ඒ මගින් එතෙක් දේශපාලනයේ තිබූ සරල බෙදීම නැති කොට පහසුවෙන් තේරුම් ගත නොහැකි සංකීර්ණ තත්ත්වයක් ඇති කළේය. නායකත්වය දීම උපාය මාර්ගික දෙයක් වූවා සේ ම නායකත්වය ගැනීමද උපාය මාර්ගික දෙයක් විය. මෛත‍්‍රීපාල ශ‍්‍රීලනිපයේ නායකත්වය ගැනීමත් සමග ඔහුගේ ජයග‍්‍රහණයට උපරිම ලෙස දායක වූ එජාප මන්ත‍්‍රීවරුන් හා පාක්ෂිකයන් ඔහු දෙස සැකයෙන් බලන තත්ත්වයක් ඇතිවිය. අනෙක් අතට ශ‍්‍රීලනිපයේ නායකත්වයට පත්වීම නිසා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් හා පාක්ෂිකයන් මෛත‍්‍රී කෙරෙහි ඇති කරගෙන තිබූ වෛරසහගත ආකල්ප අත්හැර විශ්වාසයෙන් ක‍්‍රියාකරන තත්ත්වයක් ඇති නොවීය. ඉන් සිදුවූයේ දේශපාලනයේ තිබූ සරල බෙදීම නැති කොට පහසුවෙන් තේරුම්ගත නොහැකි සංකීර්ණ තත්ත්වයක් ඇති කිරීමය.  නැතිනම් ඉන් සිදුවූයේ එළිපිට කෙරෙන සංග‍්‍රාමය හැංගි හොරා කෙරෙන ගරිල්ලා සටනක් බවට පත්වීමය.

අල්ලස් හෝ දූෂණය

දූෂණය මැතිවරණයේදී පොදු විපක්ෂයේ ලොකුම සටන් පාඨය වී තිබුණි. ඒ නිසාම දූෂිතයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වී නැත්තේ ඇයිද කියන විමතිය මහජනයා අතර ඇත්තේය. මෙවැනි අවස්ථාවකදී කළ හැකි හොඳම දේ දූෂණයට අදාළ සමස්තය බදාගන්නා පිළිවෙතක් වෙනුවට සංකේතාත්මක වැදගත් පුද්ගලයන් කිහිපදෙනකු තෝරාගෙන එහිදීද ඔවුන්ට එරෙහිව තිබෙන සියලූ චෝදනා සොයා බලන පිළිවෙතක් වෙනුවට ඒවා අතර තිබෙන බලවත් එකක් හෝ දෙකක් ඉදිරියට ගෙන ඒවා ගැන සොයා බලා ඔවුන්ට එරෙහිව ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක කරවන පිළිවෙතක් අනුගමනය කිරීමය. පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාව හොඳින් සොයා බලා සිය නිරීක්ෂණ වාර්තා කර ඇති බරපතළ වැරදි ඇත්තේය. ඒවාට අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවිය හැකිය. අනෙක් අතට දූෂණයට අදාළ සියලූ පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කරනවා වෙනුවට විගණකාධිපති දෙපාර්තමේන්තුවද ඒ කාර්යය සඳහා ඒ ආකාරයටම නොව සුදුසු ආකාරයකට යොදාගත හැකිය.

තොරතුරුවලට ලැබෙන වැදගත්කම

මෙවැනි පරිවර්තනයකදී මහජනයා දැනගැනීමට කැමති තොරතුරු තිබෙන අතර එම තොරතුරු විධිමත් ලෙස මහජනතාව අතට පත් කරන ක‍්‍රමයක්ද ආණ්ඩුවට තිබිය යුතුය. ජනාධිපතිවරයා අලූතෙන් ජනාධිපති මන්දිර ඉදිකිරීම සඳහා හා තිබෙන මන්දිර නවීන කිරීම සඳහා අතිවිශාල වියදමක් දැරූ බවට චෝදනා ඉදිරිපත් විය. ඒ ඉදිකිරීම් සඳහා කර තිබෙන වියදම් ආණ්ඩුව රටට හෙළිදරව් කළ යුතුය. ඒ සමග අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය දන්සැලක් ගැනද චෝදනා එල්ල විය. අරලියගහ මන්දිරයේ ආහාර වියදම් රටට ඉදිරිපත් කළ හැකිය. ජනාධිපතිවරයාගේ විදේශ චාරිකා සඳහා විශාල ලෙස මුදල් වියදම් කර ඇති බවට චෝදනා එල්ල විය. ඒ ගැන වන සත්‍ය තොරතුරුද මහජනයාට ලබාදිය හැකිය. එවැනි තොරතුරු මහජනයාට වැදගත් වන්නේ පරණ ආණ්ඩුවේ නියම ස්වභාවය තේරුම් ගැනීම සඳහා පමණක් නොව නව ආණ්ඩුවටද එවැනි වැරදි කිරීමට ඉඩ නැති සමාජ මානසික වටාපිටාවක් ගොඩනගා ගැනීම සඳහාය.

තවමත් ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන තිබෙන්නේද පැහැදිලි තැනක නොව අපැහැදිලි තැනකය. මහජනයාට පොරොන්දු වී තිබුණේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවය. එහෙත් සිදුවන බව පෙනෙන්නට තිබෙන්නේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන තැනකට යනවා වෙනුවට ප‍්‍රතිසංස්කරණ කරන තැනකට යන බවය. එයද තෝරාගැනීමට තිබෙන විකල්පයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය අර්ථවත් ප‍්‍රතිසංස්කරණයක් වනු ඇත්තේ ජනාධිපති හා පාර්ලිමේන්තුවද ඇතුළත් සමස්ත ආණ්ඩු ක‍්‍රමය නිසි සංවරණ හා තුලන ක‍්‍රම ඇතුළත් වන ලෙස හා සමස්ත ආණ්ඩු ක‍්‍රමයේ ඒකාග‍්‍රතාව ආරක්ෂා වන ආකාරයට එම ප‍්‍රතිසංස්කරණය සිදුකෙරෙන්නේ නම් පමණය.

ජනාධිපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම

ජනාධිපති ධුරයේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 5ක් දක්වා කෙටි කිරීම යහපත්ය.
පාර්ලිමේන්තු ක‍්‍රමයක් සමග විධායක ජනාධිපති ක‍්‍රමයක්ද පවත්වාගෙන යෑමට අදහස් කරන්නේ නම් ජනාධිපති ක‍්‍රමයේ මතු සඳහන් වෙනස්කම් ඇති කිරීම අත්‍යවශ්‍යය.

1.    ජනාධිපතිවරයා නීතියට යටත් තත්ත්වයකට ගෙනා යුතුය. ජනාධිපතිගේ  ඕනෑම නීති විරෝධී ක‍්‍රියාවක් බලරහිත කිරීමේ බලය අධිකරණයට ලබාදිය යුතුය.

2.පාර්ලිමේන්තුව එක් වසරක් සම්පූර්ණ වීමෙන් පසු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා කැමති අවස්ථාවකදී විසුරුවා හැරීමේ බලය නැති කළ යුතුය. ඒ හැර විශ්වාසභංග යෝජනාවකදී හෝ විසර්ජන පනතකදී ආණ්ඩුව පරාජය වන අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අනිවාර්ය කොට නිල කාලය සම්පූර්ණ වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට ලබාදිය යුතුය.

3. තමන් කැමති කෙනකු අගමැති ලෙස තෝරාගැනීමට හා තමන් කැමති ඇමති මණ්ඩලයක් තෝරාගැනීමට ජනාධිපතිට තිබෙන බලයද අහෝසි විය යුතුය. අගමැති වශයෙන් තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහායක් තිබෙන පක්ෂයේ නායකයාය. සුදුසු කැබිනට් මණ්ඩලයක් තෝරාගැනීමේ බලයද අගමැතිට ලබාදිය යුතුය.

4.රාජ්‍ය ආරක්ෂක ඇමති ධුරය හා සංකේතාත්මක වැදගත්කමක් ඇති ආගමික කටයුතු පිළිබඳ ඇමතිකම හැර අන් ඇමති ධුර දැරීමට ජනාධිපතිට තිබෙන බලය අහිමි කළ යුතුය.

5.විශාල ලෙස බලතල අහිමි කළ ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා සියලූ ඡුන්දදායකයන් ඇතුළත් වන ලෙස ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නැත. එවැනි ක‍්‍රමයක් පාර්ලිමේන්තුවට තිබිය යුතු බලය හීන කරයි. පාර්ලිමේන්තුව හා ජනාධිපති අතර අනවශ්‍ය ගැටුම් ඇති කිරීමට හේතුවේ. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණයේ සිට ජනාධිපතිවරුන් තේරීම ඡුන්ද මණ්ඩලයක් මගින් සිදු කෙරෙන දෙයක් බවට පත් කෙරෙන විධිවිධාන ඇති කළ යුතුය.

සීමා නිර්ණය කොමිසම

පවතින ඡුන්ද ක‍්‍රමය අහෝසි කොට ජර්මනියේ මෙන් මිශ‍්‍ර ක‍්‍රමයක් ඇති කරන බවට සහතික වී ඇතත් දැනට පෙනෙන්නට තිබෙන්නේ තිබෙන පැරණි දූෂිත ක‍්‍රමයම පවත්වාගෙන යන්නට උත්සාහ කරන බවය. තිබෙන ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමට නම් සීමා නිර්ණය කොමිසමක් පත්කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවීම නොවැළැක්විය හැකි බැවින් මෙම මාස තුනේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන තුළ එය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැති බවත් ජනාධිපතිගේ ව්‍යවස්ථා සම්පාදන උපදේශකයා රූපවාහිනි නාලිකාවකට ප‍්‍රකාශ කර තිබුණි. ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමට කාලයක් නැතිනම් එය දින සීයේ වැඩසටහනට ඇතුළත් කළේ ඇයි? දින සීයේ වැඩසටහන සම්පාදනය කිරීමට එම උපදේශකයාද දායක වී තිබුණි. දින සීයේ වැඩසටහනට එම යෝජනාව ඇතුළත් කරන විට සීමා නිර්ණය කොමිසමක් පත්කිරීමේ අවශ්‍යතාව දැන නොසිටියේද?

සීමා නිර්ණය කොමිසමකට දීර්ඝ කාලයක් ගතවන්නේය කියන අදහසද නියම සත්‍යයක් වන්නේ නැත. නිදහසේ සිට මෙතෙක් පත්කර තිබෙන සීමා නිර්ණය කොමිෂන් සභා ගණන පහකි. ඒවාට සීමා නිර්ණය සඳහා ගතවී තිබෙන කාලවකවානු මෙසේය.

1. එල්.එම්.ඞී. ද සිල්වා කොමිසම – 1946

කොමිසම පත්කර තිබෙන්නේ 1946 මැයි මස 23 වැනිදාය. කොමිසම සිය වාර්තාව ලබාදී තිබෙන්නේ 1946 අගෝස්තු 26 වැනිදාය. ගතවී තිබෙන කාලය මාස 3කුත් දින 6කි.

2. වෝල්ටර් තලගොඩපිටිය කොමිසම -1959
කොමිසම පත්කර තිබෙන්නේ 1959 පෙබරවාරි 21 වැනි දිනදීය. වාර්තාව භාරදී තිබෙන්නේ 1959 ජුනි 21 වන දිනයේදීය. ගතවී තිබෙන කාලය මාස 4යි දින 4කි.

3. නොයෙල් තිත්තවැල්ල කොමිසම -1974
කොමිසම පත්කර තිබෙන්නේ 1974 අගෝස්තු 9 වැනිදාය. වාර්තාව භාරදී තිබෙන්නේ     1976 මැයි 25 වැනිදාය. ගතවී තිබෙන කාලය අවුරුදු 1යි මාස 5යි දින 16කි.

4. ජී.පී. සිල්වා කොමිසම – 1978
කොමිසම පත්කර තිබෙන්නේ 1978 නොවැම්බර් 29දාය. වාර්තාව භාරදී ඇත්තේ 1981     ජනවාරි 12 වැනිදාය. ගතවී තිබෙන කාලය අවුරුදු 1යි මාස 2යි දින 13කිනි.

5. එච්.වී. රොඩි‍්‍රගෝ කොමිසම – 1988
කොමිසම පත්කර තිබෙන්නේ 1988 මැයි 24 වැනිදාය. වාර්තාව භාරදී තිබෙන්නේ 1988 ජූලි 5 වැනිදාය. වාර්තාව භාරදීමට ගතවී තිබෙන්නේ මාස 1යි දින 11කි.
මැතිවරණයක් ආසන්නයේ පත් කරන ලද හැම කොමිෂන් සභාවක්මත් කෙටි කාලයක් තුළ සිය කාර්යය ඉටුකර තිබෙන බව හා මැතිවරණයක් සඳහා දීර්ඝ කාලයක් තිබියදී පත් කරන ලද කොමිෂන් සභා කිසියම් දීර්ඝ කාලයක් ඒ සඳහා ගතකර තිබෙන බවද ඉන් පෙනී යයි. ඉන් පෙනෙන්නේ අවශ්‍යම නම් මාසයකට අඩු කාලයක් තුළද එය කළ හැකි බවය. පළමු සීමා නිර්ණය කොමිසමට ගතවී ඇත්තේ මාස 3කුත් දින 6කි. අවසන් කොමිෂන් සභාවට ගතවී ඇත්තේ මාස 1කුත් දින 11කි. 1988 වනවිටත් සර්වේ ජෙනරාල් දෙපාර්තමේන්තුට ඩිජිටල් සිතියම් නොතිබුණි. වර්තමානයේ එම දෙපාර්ත මේන්තුවට 1ට 10000 අනුපාතිකයට විශාල කරන ලද ඩිජිටල් සිතියම් ඇත්තේය. ඒ නිසා එදා මාස තුනකින් කළ දේ අද සතියකින් හෝ දෙකකින් කළ හැකිය. ඉන් පෙනෙන්නේ සීමා නිර්ණය කොමිසමක් පත් කොට වාර්තාවක් ලබාගැනීමට කාලය නැතැ’යි කියන කතාව සත්‍යයක් නොවන බවය. අවශ්‍ය වන්නේ පවතින ¥ෂිත මැතිවරණ ක‍්‍රමය වෙනස් කොට මිශ‍්‍ර ක‍්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය සැබෑ වුවමනාවක් තිබීමය. එවැනි අවංක වුවමනාවක් තිබෙන්නේ නම් දින 100 කාලරාමුව තුළම එය කළ හැකිය. දිනේෂ් ගුණවර්ධන කමිටුව නිර්දේශ කර තිබෙන පරිදි තාවකාලිකව තිබෙන ඡුන්ද කොට්ඨාස ක‍්‍රමය පදනම් කරගනිමින් සීමා නිර්ණය කොමිසමක් නැතුවත් එය කළ හැකිය. තිබෙන විසමතා පසුව පත්කරන සීමා නිර්ණය කොමිසමක් මගින් තුනී කරගත හැකිය. මේ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා සර්වේ ජනරාල්වරායාගෙන් උපදෙස් ලබාගත යුතුය.

ඡන්ද ක‍්‍රමය

මැතිවරණ ක‍්‍රමය ඒ මත ඇතිවී තිබෙන පාර්ලිමේන්තු ක‍්‍රමය ජනාධිපති ක‍්‍රමය තරම්ම දූෂිතය. ජනාධිපති ක‍්‍රමය පමණක් අහෝසි කොට හෝ ප‍්‍රතිසංස්කරණය කොට මැතිවරණ ක‍්‍රමය හා පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනස් කිරීමකින් තොරව තබාගතහොත් ආණ්ඩු ක‍්‍රමයේ සැකිල්ල මහා විකෘතියක් වනු නොවැළැක්විය හැකිය. එය ඇති කරන ප‍්‍රතිඵලය දේව හිසක් සහිත යක්ෂ ඇඟකට සමාන කළ හැකිය.

මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම පමණක් ප‍්‍රමාණවත් නැත. තේරී පත්වන මන්ත‍්‍රීවරුන්ගේ චර්යාව වෙනස් කිරීමට හේතුවන විධිවිධාන ඇති කිරීමද අත්‍යවශ්‍යය. තිබුණු දූෂිත ක‍්‍රමය යටතේ තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් බොහෝ දුරට කළු සල්ලිකාරයන් මත යැපුණු මහා පරිමාණයෙන් ධනය උපයා ගැනීම අරමුණු කරගත් නීතිය හෝ ගුණධර්ම නොසලකා ක‍්‍රියාකරන පාදඩකරණයට ගොදුරු වූ මන්ත‍්‍රීවරුන් ලෙස සැලකිය හැකිය. ඒ තත්ත්වය වෙනස් කොට නියම ව්‍යවස්ථාදායකයන් ඇතිකර ගැනීමට නම් මැතිවරණ වියදම් සඳහා නැවත සීමා පැනවිය යුතුය. දේශපාලන පක්ෂවල මැතිවරණ අරමුදල් පරීක්ෂා කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදිය යුතුය. පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පරීක්ෂා කිරීමේ බලය මැතිවරණ කොමසාරිස් වරයාට දිය යුතුය. වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කළ යුතුය. තේරී පත්වන මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීම තහනම් කළ යුතුය. මත්පැන් බලපත‍්‍ර දීම, දැව ප‍්‍රවාහන බලපත‍්‍ර, මගී ප‍්‍රවාහන බලපත‍්‍ර ලබාගැනීම තහනම් කළ යුතුය. විමධ්‍යගත අයවැය යටතේ මන්ත‍්‍රීවරුන්ට මුදල් වෙන් කරන ප‍්‍රතිපත්තිය අහෝසි කළ යුතුය.

පාර්ලිමේන්තුවේ විධායකය සුළු පිරිසකට සීමා කළ යුතුය. ආණ්ඩු පක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ට තනතුරු දෙන ක‍්‍රමය තහනම් කළ යුතුය. පාර්ලිමේන්තුව විධායකයේ කටයුතු පරීක්ෂාවට ලක් කරන නියම ව්‍යවස්ථාදායකයක් බවට පත්වනු ඇත්තේ එවිටය. රටට අවශ්‍ය වී තිබෙනුයේ ජනාධිපති මෛත‍්‍රීපාලගේ හෝ අගමැති රනිල්ගේ ඔළුවලට ගැළපෙන ආණ්ඩුක‍්‍රම තොප්පියක් නොව මින්පසුද බලයට පත්වන හොඳ නරක  ඕනෑම කෙනෙකුට ගැළපෙන ආණ්ඩුක‍්‍රම තොප්පියකි. මහජන නිදහස හා අයිතිවාසිකම් පාගා දැමීමට ඉඩක් නැති, වර්ගය, ආගම හෝ කුලය වැනි හේතු මත කිසිවකුට වෙනස්කම් කිරීමට ඉඩක් නැති, භේදයකින් තොරව සියලූදෙනාට සමාන ගෞරවය ලබාදෙන, අල්ලසට දූෂණයට හා අකාර්යක්ෂමභාවයට ඉඩක් නැති යහපාලනයක් සහතික කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයකි. දැන් සකස් කරන්නේ ආණ්ඩු ක‍්‍රමයක් වෙනුවට සැකිල්ලක් පමණක් නම් එම සැකිල්ල සකස් කළ යුත්තේ ඊට ගැළපෙන ආකාරයකටය.