සත්‍යය ජය ගත්තේය

යුක්තිය වෙනුවෙන් රටේ ජනතාව විසින්  කරන ලද තවත් අරගලයක නිමාව අවුරුදු දෙකකට පසු ව සිදු විය. තත්ත්වාකාර අගවිනිසුරු වෙනුවට නීත්‍යනුකූල අගවිනිසුරුවරිය නැවත ධුරයේ පිහිටුවන්නට හැකි විය. එසේ කළ හැකි වූයේ ‘සත්‍යය කවදා හෝ ජය ගනීවියැ’යි පතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිකුත් කළ නිවේදනයක් මාධ්‍යවල පළ වී තිබුණු දිනයේ දී ම වීම උත්ප‍්‍රාසජනක ය.

තත්ත්වාකාර අගවිනිසුරුට හිමිවූයේ ගෞරවාන්විත සමුගැනීමක් නොවේ. පෙර කවර වරදක් සිදු වුව ද ඒ ගැන නොසලකා අගවිනිසුරු ධුරයෙන් ගෞරවනීය ලෙස ඉල්ලා අස්වී යෑමට තමාට ලැබුණු අවස්ථාව වරක් එකඟ වී සිටි නමුත් පසුව කුමන හේතුවක් නිසා හෝ ඔහු දැඩි ලෙස නොසලකා හැරියේ ය.
43වැනි අගවිනිසුරුවරියට එරෙහි ව රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන ආ දෝෂාභියෝග යෝජනාව නීතියේ කිසිදු ප‍්‍රමිතියකට අනුකූල නැති ආකාරයට හා නීතියේ සියලූම මූලධර්ම උල්ලංඝනය කරමින් විභාගයට ගන්නා ලදි. තමා වෙනුවෙන් අවශ්‍ය කරුණු කියාපාන්නට ඇති මූලික අයිතිය පවා එහි දී අගවිනිසුරුවරියට තිබුණේ නැත. බලයෙන් හිස උදුම්මවාගත් රාජපක්‍ෂ ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් ඒ අවස්ථාවේදී හැසිරුණේ, යගදාවක් ගෙන හිස හැරුණු අත පහර දී සුණු විසුණු කරමින් අධිකරණයත්, එහි ගෞරවයත්, ස්වාධීනත්වයත් විනාශ කරන රස්තියාදුකාර මැරයකුගේ විලාසයෙනි. මේ සතියේ නිකුත් කළ සිය නිවේදනයෙන් තමාට එරෙහිව අසත්‍ය අවලාද ප‍්‍රචාරය කරන්නේයැ’යි අන්‍යයන්ට චෝදනා කරන හිටපු ජනාධිපතිවරයාට, ඒ අවස්ථාවේදී තමා සියලූ රාජ්‍ය යාන්ත‍්‍රණ හා මාධ්‍ය පාවිච්චි කරමින් අගවිනිසුරුවරියට එරෙහිව එල්ල කළ නින්දාසහගත අවලාද ගැන මතක නැති වී තිබෙනවා වාගේ ය.

අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ වුවමනාව හා හදිසිය කෙතරම් ද යත්, ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික නීතිමය කොන්දේසි සපුරා ගන්නට වත් ඉස්පාසුවක් ඒ ආණ්ඩුවට නොතිබුණි. චෝදනා විභාග කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව සැකසුණේ රාත‍්‍රියක් එළි වන විට තරම් හදිසියකිනි. පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව ඉදිරිපත් කළායින් පසු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව අනුව චෝදනාලාභී අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කළ යුතුයැ’යි යෝජනාවක් පාර්ලිමේන්තුවෙන් සම්මත කොට ජනාධිපතිවරයා වෙත යැවිය යුතු නමුත්, බලයේ මහන්තත්වය නිසා ඇති වූ නොසැලකිල්ලෙන් සම්මත කර තිබුණේ, දෝෂාභියෝගයක මුල් අවස්ථාවේදී ම ගෙන ආ යුතු ආකාරයේ, ‘චෝදනා විභාග කරන්නට පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ යුතුයැ’යි යන යෝජනාවකි. අගවිනිසුරුවරිය පලවාහැරීමේ වුවමනාවෙන් මඬනා ලදුව නොඉවසිලිමත් ව සිටි ජනාධිපතිවරයාද ලහි ලහියේ ම සිය අත්සන යෙදුවේ ඒ වැරදි යෝජනාවටය. ආණ්ඩුවේ ආක‍්‍රමණකාරී බලය නිසා ඒ අවස්ථාවේදී ඒ කිසිවක් සම්බන්ධයෙන් විරෝධතා එල්ල නොවී ය.

ඒ අනුව, අගවිනිසුරුවරිය ධුරයෙන් නීත්‍යනුකූල ව ඉවත් කැරුණේ ම නැත. ඇයට අධිකරණයට එන්නට ඉඩ නොදී වෙනත් පුද්ගලයකු අගවිනිසුරු ධුරයට පත් කළ ද එනයින් ඔහුට නීතිමය වශයෙන් එම ධුරය දැරීම සඳහා වලංගුභාවයක් නොතිබුණි. ඔහු භෞතිකව ධුරයේ සිටින නමුත් නීතිමය අයිතියක් නැති තත්ත්වාකාර අගවිනිසුරුවරයකු වූයේ එනිසා ය.

තත්ත්වය වඩාත් බරපතළ වූයේ ජනාධිපතිවරණය පැවැති දා රාත‍්‍රියෙහි කුප‍්‍රකට අරලිය ගහ මන්දිරයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමන්ත‍්‍රණයට ඔහුගේ සහභාගිත්වය එළිදරව් වීමත් සමග ය. හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කොට, මැතිවරණ ප‍්‍රතිඵල අත්හිටුවා, හමුදාව යොදවා මිනිසුන් පාලනය කොට, තවත් වසර දෙකක් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ තබා ගැනීමට එදා ? එහි දී කැරුණු කුමන්ත‍්‍රණයට ඔහු සහභාගි වී ඇති බවට චෝදනා එල්ල වූ නමුත් අද වන තුරුත් ඔහු ඒවා ප‍්‍රතික්‍ෂෙප කළේ නැත. කුමන්ත‍්‍රණයට සහභාගි වීම-නොවීම කෙසේ වෙතත් එවැනි අවස්ථාවක ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුගේ නිවසේ සිටින්නට ඔහුට කිසිදු නෛතික හෝ සදාචාර අවකාශයක් ද නැත. බලය සුමුදු ලෙස හුවමාරු කරන්නේ කෙසේදැ’යි යන්න ගැන උපදෙස් දීමට වත් ඔහුට හැකියාවක් නැත. ඔහු අධිකරණයේ ප‍්‍රධානියා මිස, රජයට නීති උපදෙස් දෙන නීතිපතිවරයා නොවන බැවිනි. ගෝඨාභය රාජපක්‍ෂත්, උදය ගම්මන්පිලත් දැනට කියා ඇත්තේ එහි දී කැරුණේ රටේ ඇඳිරි නීතිය පැනවිය යුතු ද යන්න ගැන සාකච්ඡුාවක් බව ය. ඇඳිරි නීතිය පැනවීම කරනු ලබන්නේ අවස්ථාවෝචිත තත්ත්වයන් සලකා බලා පොලිසිය විසිනි. ඒ ගැන තීරණයට අගවිනිසුරු, නීතිපති, ජනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වැනි ඉහළ පිරිසක් එක් ව කතා කරන්නට අවශ්‍ය නැත.

මේ කවර දෙයක් වුවද, එවැනි මොහොතක ජනාධිපතිවරයාගේ නිවසේ සිටීමෙන් ම තත්ත්වාකාර අගවිනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ තමා අගවිනිසුරු ධුරය දැරීමට සුදුස්සකු නොවන බව ය. එනිසා ධුරයෙන් ඉවත්කිරීම කළ යුතු ව ම තිබිණ.

අගවිනිසුරුවරිය යළි ධුරය භාරගෙන වහාම විශ‍්‍රාම ගැනීමට තීරණය කිරීම අගය කටයුතු ය. විය යුතු ව තිබුණේ ද එයයි. ඒ කැළඹිලි සමය හමාර ය. මෙතැනින් පසු අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්‍ෂපාතීභාවය පවත්වා ගෙන එය ජනතාවගේ අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන සුපිරි ආයතනයක් හැටියට පවත්වා ගැනීම පාලකයන්ගේත්, පුරවැසියන්ගේත් වගකීම ය.