නීති පාරදෘශ්‍ය විය යුතුය

මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යය ලෙස සැලකෙන්නේ දින සියයේ වැඩසටහන ය.
සිරිසේන ආණ්ඩුව සුවිශේෂී වර්ගයේ ආණ්ඩුවකි. ජනාධිපතිවරණයේ දී එක් දේශපාලන පෙරමුණක සිටි පක්‍ෂ මෙන් ම ඊට පිටතින් සිටි පක්‍ෂ ද එක්ව ජාතික විධායක සභාවක් සේ හිඳගෙන ආණ්ඩුවට ප‍්‍රතිපත්තිමය දිශානතිය සපයයි. ආණ්ඩුවට විරුද්ධ පාර්ශ්වය ලෙස පෙනී සිටින කොටස් ද ඇතුළත් කර ගෙන තවදුරටත් සාධනීය ලෙස මෙය පුළුල් කළ හැකි වුවත්, ඒ ගැන නොසලකා වුව ද මෙය ලංකා ඉතිහාසයේ මෙතෙක් නො වූ මෙන් ම වෙර වීරියෙන් ආරක්‍ෂා කරගත යුතු ද වන ආකෘතියක් බව කිව මනා ය.

දින සියයේ වැඩසටහන තුළට විවිධ නීතිමය ප‍්‍රතිපාදන අලූතෙන් ඇති කිරීම ද, පවතින නීතිමය ප‍්‍රතිපාදන වෙනස් හෝ සංශෝධනය කිරීම ද ඇතුළත් වෙයි. රටක නීතියක් සංශෝධනය කරන්නට හෝ අලූතෙන් ගෙන එන්නට උත්සාහ දරන සෑම අවස්ථාවක දී ම එම නීතිය ඍජුව හෝ වක‍්‍ර ව බලපාන පාර්ශ්වයන්ට හෙවත් පරදු පාර්ශ්වයන්ට දැනුම් දී ඔවුන්ගේ ද අදහස් උදහස් ඇතිව එම කටයුත්ත කිරීම ශිෂ්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක මූලික ලක්‍ෂණයක් වෙයි. බලයෙන් පහ වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ මූලධර්මවලට කෙතරම් එරෙහිව සිටියේ ද යත්, 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි, රටේ පරම නීතියට කරන වෙනස්කමක් පවා නීතිගත කළේ හදිසි පනතක් ලෙස, කිසිවකුට ප‍්‍රමාණවත් තරමේ අවබෝධයක් ලබා ගැනීමට ඉඩ නොතබා, සමාජයේ ඒ ගැන කිසිදු සංවාදයක් සිදු වීමට ඉඩ නොතබා හොර රහසේ ය. තමන්ගේ බලය හොඳින් හෝ නරකින් රැුකගන්නට රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තිබුණු බලවත් කැදරකම විසින් ඒ තත්ත්වය ඇතිකර තිබිණි.
අලූත් ආණ්ඩුව දින සියය තුළ වැදගත් නීති කිහිපයක් සම්මත කරන්නට සූදානම් වෙයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත, ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය පිළිබඳ පනත් කෙටුම්පත, 19වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විගණන පනත් කෙටුම්පත ආදි වූ මේ සියල්ල රටේ යහපාලනය සඳහා ඉතාම බරපතළ ලෙස වැදගත් වන නීීති බවට විවාදයක් නැත. එහෙත් මේ කිසිදු නීති ප‍්‍රතිසංස්කරණයක් හෝ අලූත් නීතියක් ගැන තවමත් මහජනතාව තුළ නිසි අවබෝධයක් නොමැත්තේ ය.

උදාහරණයක් හැටියට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 20වැනිදා ය. එහෙත් මේ දක්වාම එම පනත් කෙටුම්පත පිළිබඳ කිසිදු සටහනක් ලියැවිල්ලක් මහජනතාවටවත්, සිවිල් සංවිධාන ආදි ඊට අදාළ පරදු පාර්ශ්වයටන්ටවත්, මාධ්‍ය සමාජයටවත් දැනගන්නට ලැබී නැත. එම කෙටුම්පත ගැන අදහස් පළ කරන්නට මෙන්ම වැඩිදියුණුකම් කරන්නටද දායක වනු පිණිස කමිටු පත් කරන්නට ද සූදානම් කොට ඇති නමුත් තවමත් ඒ ගැන කිසිදු පියවරක් නැත.

පෙබරවාරි 20වැනිදා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ නම්, ඒ සියලූ පාර්ශ්වයන්ට කෙටුම්පත ගැන සලකා බැලීමට ලැබෙන දින ගණන එන්න එන්න ම අඩු වෙමින් තිබෙන බව පැහැදිලි ය. වැඩ සිදුවන්නේ මෙහෙම නම් අවසානයේ නියමිත ව ඇත්තේ, තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කවුරුන් හෝ කෙනකුගේ සිතේ ඇති දේ කෙටුම්පතක් බවට පත්වී පාර්ලිමේන්තුවෙන් සම්මත වන නරක තත්ත්වයක් ඇති වීම ය.

මේ ආණ්ඩුව සුවිශේෂ ගණයේ ආණ්ඩුවක්යැ’යි පෙර සඳහන් ය. මෙවැන්නක් යළි ඉදිරියේ දී ඇති නොවනු ඇත. ආණ්ඩුව පත් කිරීමට ලද පුරවැසි සහාය ද සලකා බලන විට, පුරවැසියන්ගේ යහපතට උපරිම පළ නෙලාගත හැකි වන්නේ මේ ආණ්ඩුව පවතින අවස්ථාවේදී පමණක් බව තේරුම් ගත යුතු ය. මීළඟට පත්වන කවර වූ හෝ ආණ්ඩුවක් බර තබනු ඇත්තේ පුරවැසි අයිතිවාසිකම්වලට විරුද්ධව තමන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම දෙසටය.

මේ තරම් ලහි ලහියේ වුවද, ආණ්ඩුවේත් පුරවැසියන්ගේත් වගකීම වන්නේ හැකි උපරිම, හොඳම තත්ත්වයේ නීති කෙටුම්පත් සම්මත කරගැනීමය. තොරතුරු දැනගැනීමේ අයිතිය පැත්තෙන් සලකන කල ද, හැකි හොඳම වර්ගයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතක් සම්මත කරවා ගැනීම අවශ්‍ය ය. අඩු ලූහුඬුකම් ඇති එකක් මේ අවස්ථාවේදී නීීතිගත වුවහොත් යළි කවර දාකවත් එම අඩුලූහුඬුකම් මඟ හරවා ගත හැකි නොවන තත්ත්වයක් ද ඇති විය හැකිය.
එනිසා, ආණ්ඩුව කළ යුත්තේ, තමන් නීතිගත කරන්නට බලාපොරොත්තු වන පනත් කෙටුම්පත් හැකි තරම් පරදු පාර්ශ්වයන්ගේ හා මහජනතාවගේ සංවාදයට ලක්වන ආකාරයට කල් ඇතිව ජනගත කිරීමය. ආරම්භය සඳහා ආණ්ඩුවේ කෙටුම්පතක් සම්පාදනය කොට තිබීමේ වරදක් නැත. එහෙත් ඒ කෙටුම්පත් නීීතිගත වන්නට පෙර සමාජයේ සෞඛ්‍යමත් විවෘත සංවාදයක් කෙටි කාලයකට වුවද පවත්වා ගැනීමට ආණ්ඩුව උනන්දු විය යුතුය.
එසේ නොවන්නේ නම් බිහිවිය හැක්කේ තවත් මහින්ද රාජපක්‍ෂ වර්ගයේ ම කැළෑ නීති මිස අන් යමක් නොවේ.