රාවය

මන්ත්‍රීවරුනි, සිංගප්පූරු වැටුප් ගන්න පෙර රට සිංගප්පූරුවක් කරන්න

මන්ත්‍රීවරුනි, සිංගප්පූරු වැටුප් ගන්න පෙර රට සිංගප්පූරුවක් කරන්න

ලසන්ත රුහුණගේ

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ ලබාගත් ණය නිසා රට ආර්ථික අර්බුදයක පැටලී සිටින බව වත්මන් යහපාලන ආණ්ඩුව පසුගිය කාලය පුරාම කියමින් සිටියි. මෙම අධික ණයෙහි වාරික ගෙවා ගැනීම සඳහාවත් රටේ ආදායම ප්‍රමාණවත් නොවීම නිසා බදු අනුපාතයන් වැඩි කරන්නට සිදුවී ඇති බවද, රට ගොඩ ගැනීම සඳහා එවැනි වැඩි බදු අනුපාතයක් ගෙවමින් සිය පටි තද කරගන්නා ලෙස ද මහජනයාගෙන් ආණ්ඩුව ඉල්ලීම් කරමින් තිබේ.
එසේ ජනතාව පිට බදු බර පටවමින් ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ආයාචනා කරමින් සිටින ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් ආදර්ශමත් වන අයුරක් හෝ පටි තදකර ගන්නා අයුරක් දක්නට නැත. දිනෙන් දින මහජනයාට අසන්නට දකින්නට ලැබෙන්නේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පිළිබඳ කතාන්දරයන්ය. අමාත්‍යාංශ පවත්වාගෙන යෑම සඳහා අධික මිලට ගොඩනැගිලි ගෙන නිකරුණේ කුලී ගෙවමින් සිටීම, අගමැතිවරයා ඇතැම් අමාත්‍යාංශ සඳහා මිල අධික වාහන මිලදී ගැනීම ඊට උදාහරණ කිහිපයක් පමණය.
මේ අතර විශේෂයෙන් අගමැතිවරයා පාර්ලිf ම්න්තුවේදීත්, ඉන් පිටතදීත් දිගින් දිගටම අවධාරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වැටුප්, දීමනා හා පහසුකම් ප්‍රමාණවත් නොමැති බැවින් ඒවා වැඩි කළ යුතු බවය. එම වැඩි කිරීම්වලට අදාළව මේ වනවිටත් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ගෙවමින් සිටී. ඒ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 58 දෙනකු සඳහා එක් වාහනයක් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ හතක් ගෙවා වාහනයක් කුලියට ලබාගැනීමේ අරමුණ සාක්ෂාත් වන තෙක්ය. කෙසේ වෙතත් වාහන කුලියට ගැනීමේ මෙම පහසුකම පිළිබඳව නැඟුණු විරෝධතාව නිසා එය මේ වනවිට නැවතී පවතී. එම විරෝධතාවට ප්‍රධානතම හේතුව වූයේ කුලී පදනමින් එතරම් විශාල මුදලක් ගෙවා මන්ත්‍රීවරුන් සඳහා එම වාහන ලබාගත්තද වසර පහක කාලයක් අවසානයේ එම වාහන පාවිච්චි කළ මන්ත්‍රීවරුන්ටවත්, රජයටවත් එම වාහන අයිති නොවීමය. එහෙත් එම විරෝධයට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසුවේ ඒ ආකාරයට වාහන කුලියට ගැනීම හරහා රජයට පාඩුවක් සිදුනොවන බවත්, එම වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීම මගින් රජයට රුපියල් කෝටි ගණනක බදු ආදායමක් හිමිවන බවත්ය. කෙසේ වෙතත් ආණ්ඩුවේ එම මන්ත්‍රීවරුන් නම් කැමති එම වාහනය වෙනුවට දැනට ඔවුන්ට ගෙවන මසකට රුපියල් ලක්ෂ දෙකක් වන මුදලටය. ඔවුන් ඒ බව අගමැතිවරයාට පවා ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම මාසයකට රුපියල් ලක්ෂ දෙකක මුදල මෙම පාර්ලිමේන්තු වාරය පවතින තුරු ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ලැබෙනවාට කිසිදු සැකයක් නැත.
ඊටත් අමතරව එම තීරණයෙන් පසු කැබිනට් මණ්ඩලය තවත් තීරණයක් ගෙන තිබෙන අතර ඒ පාර්ලිමේන්තු රැස්වීමකට හෝ එහි කමිටු රැස්වීමකට සහභාගිවීමේදී මෙතෙක් ගෙවූ රුපියල් 500ක මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කාර්යාලයක් පවත්වාගෙන යෑමට මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමය. නිල වශයෙන් තවමත් ප්‍රකාශ වී නැතත්, ඊටත් අමතරව කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ලබාදෙන නිල නිවාස සම්බන්ධයෙන්ද තීරණයකට එළැඹ ඇති අතර ඒ මන්ත්‍රීවරයකුගේ නිල නිවසක් වෙනුවට රුපියල් ලක්ෂයක මුදලක් මාසිකව ගෙවීමටය.
අප මීට පෙරත් පෙන්වා දී ඇති පරිදි දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීව රයෙකුට ලැබෙන රුපියල් 54,285ක මූලික වැටුපට අමතරව (ඇමති, නියෝජ්‍ය ඇමති හා රාජ්‍ය ඇමති වනවිට මෙම මූලික වැටුප වැඩිවේ.) රුපියල් 50,000ක දුරකථන දීමනාවක්ද, බස්නාහිර පළාත නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 283ක් හෙවත් මසකට රුපියල් 35,000ක පමණ ඉන්ධන දීමනාවක්ද, (බස්නාහිර පළාතෙන් ඈතට යන්නට යන්නට මෙම දීමනාව වැඩිවේ.) පාර්ලිමේන්තුවේ එක් දිනක් සඳහා රුපියල් 1,000ක සංග්‍රහ දීමනාවක්ද, පාර්ලිමේන්තුවේ උදෑසන ආහාර වේලක් රුපියල් 60කටද, දහවල් ආහාර වේලක් රුපියල් 150කටද, (වෙළෙඳපොළේ එම මිලට එවැනි ආහාර වේලක් කිසිසේත් ලබාගත නොහැක.) ලැබේ. වසර පහකට වරක් තීරුබදු රහිත වාහනයක් ගෙන්වීම සඳහා ඇමරිකානු ඩොලර් 62,500ක බලපත්‍රයක් ලැබේ. මෙම වාහන බලපත්‍ර අතිබහුතරයක් මන්ත්‍රීවරුන් විකුණන අතර එම මිල මේ වනවිට රුපියල් කෝටි 3ත් 4ත් දක්වා ඉහළ නැග ඇත. වසර පහක ධුර කාලයෙන් පසු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපකට හිමිකම් කිව හැකි අතර ඔහුගෙන් පසු ඔහුගේ වැන්දඹුවට හෝ අනත් දරුවන්ටද එම විශ්‍රාම වැටුප ලබාගත හැකිය.
තවදුරටත් මන්ත්‍රීව රයකුට පෞද්ගලික කාර්ය මණ්ඩලයක් ලැබෙන අතර රියදුරු, කාර්යාල කාර්ය සහායක, යතුරු ලේඛක, මන්ත්‍රී ලේකම් හා පර්යේෂණ සහකාර වශයෙන් ඔවුන් හඳුන්වා ඇත. මේ අය නම් කරන්නේ මන්ත්‍රීවරයා වන අතර වැටුප් හා පහසුකම් රජයෙන් ගෙවයි. මේ තනතුරුවල බොහොමයක් සිටින්නෝ මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයෝය. අමතරව බස්නාහිර පළාතේ නොවන සෑම මන්ත්‍රී වරයෙකුටම පාර්ලිමේන්තු කටයුතු සඳහා නිල නිවසක් ලැබේ. නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති හෝ ඇමති හෝ වූ විට පළාත කුමක් වුවත් නිල නිවසක් ලැබේ. අප ඉහතින් සඳහන් කළ මන්ත්‍රීවරුන්ට නිල නිවාස සඳහා මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමට යන්නේ මාදිවෙල හා සමිට් ෆ්ලැට්හි ඇති නිල නිවාසවල පහසුකම් ප්‍රමාණවත් නොවන බව දක්වමින්ය. මෙම මන්ත්‍රී කාර්ය මණ්ඩලයටද ලැප්ටොප්, පරිගණක, ජංගම දුරකතන, ෆොටෝ කොපි යන්ත්‍රවලට අමතරව රුපියල් ලක්ෂ තුනකට අධික කාර්යාල උපකරණ ලැබේ.
නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති හා ඇමති වූ විට මූලික වැටුප වැඩිවන අතර වාහන රියදුරන්, ඉන්ධන ඇතුළු පහසුකම් සිය අමාත්‍යාංශයෙන් ලැබේ. අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩලයට අමතරව අමාත්‍ය පුද්ගලික කාර්ය මණ්ඩලයක්ද ලැබේ. ඒ පුද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන්ය. මේ පිරිස නම් කිරීමේ බලයද අදාළ අමාත්‍යවරයාට ලැබෙන අතර එම පුද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් හා දීමනා රජයෙන් ගෙවනු ලබයි. පුද්ගලික කාර්ය මණ්ඩලයේ සියල්ලන්ටම රියදුරකු හා ඉන්ධන සහිත වාහනයක් රජයෙන් ලැබේ. තවදුරටත් මේ පුද්ගලික කාර්ය මණ්ඩලය වසර 5ක කාලයෙන් පසු මන්ත්‍රීවරුන් මෙන්ම විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන්නේය. ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වැන්දඹුවන්ට හා අනත් දරුවන්ට එම විශ්‍රාම හිමිකම ලැබේ. මන්ත්‍රී කාර්ය මණ්ඩල මෙන්ම මෙම අමාත්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිස් අදාළ අමාත්‍යවරයාගේ පවුලේ උදවියය.
දළ වශයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භුක්ති විඳින පහසුකම් හා වරප්‍රසාද එයාකාරය. ජීවත් වෙන්නට බැරියැයි කියමින් ඔවුන්ගේ පහසුකම් වැඩි දියුණු කළ යුතු බව අගමැතිවරයා කියන්නේ එවන් පසුබිමක් යටතේය. ඒ සඳහා සිංගප්පූරු උදාහරණ අපට ගෙනහැර පාන්නේ ශ්‍රී ලංකා පොළවේ යථාර්ථය නොදන්නා සේ ය.
2016 වර්ෂය ආරම්භයේදීම අගමැති වරයා, අග්‍රවිනිශ්චය කාරවරයා, ශ්‍රේෂ්ඨාධි කරණයේ විනිසුරන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා යෝජනාවක් පාර්ලිf ම්න්තුවට ඉදිරිපත් කර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇත. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවී ඇත. දැනට ක්‍රියාත්මක 6/2006 රජයේ වැටුප් චක්‍රලේඛය අනුව වැටුප් පියවරේ ඉහළින්ම ජනාධිපතිවරයා සිටින අතර ඊට පහළින් අගමැතිවරයා හා අග්‍රවිනිශ්චයකාරවරයා එක සමාන මට්ටමේ සිටිති. කතානායකවරයා හා නීතිපතිවරයා, ඊට පහළින් එක සමාන මට්ටමේ සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, ඇමති වරු හා විපක්ෂ නායක ඊට පහළින් එක සමාන මට්ටමේ සිටිති. අභියාචනාධි කරණ විනිශ්චයකාරවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සමඟ ඊට පහළින් එක සමාන මට්ටමකින් සිටින අතර මහාධිකරණ විනිසුරුවරු, මන්ත්‍රීවරුන් සමඟින් ඊට පහළින් එක සමාන මට්ටමකින් සිටිති. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව 2016 සිට 2020 වසර වනවිට අග්‍රවිනිශ්චයකාරවරයාගේ වැටුප මසකට රුපියල් 1,81,250 දක්වාද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය කාරවරුන්ගේ වැටුප රුපියල් 1,68,750 දක්වාද (අභියාචනාධිකරණ සභාපතිව රයාද ඊට අයත්ය.) අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප රුපියල් 1,64,375 දක්වා ද වැඩිවේ. එහි සරල තේරුම වන්නේ ජනාධිපති වරයාගේ, අගමැතිවරයාගේ, කතානායකවරයාගේ, විපක්ෂනායකවරයාගේ, ඇමතිවරුන්ගේ, රාජ්‍ය ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව ඉහළ යන බවය. ඒ මන්ත්‍රීවරුන්ට ජීවත් වන්නට අමාරු බව පවසමින් දැන් ලබාදෙමින් පවතින දීමනා හා පහසුකම්වලට අමතරවය.
ලෝකයේ සමාජ ආර්ථික දර්ශන දියුණුයැයි පැවසෙන රටවල තත්ත්වයන් විමසා බලන කල එම රටවල පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන්ට ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතිනවායැ’යි කියන රටවල මෙන් වැඩි වැටුප් හෝ පහසුකම් ලබා නොදෙන බව තේරුම් ගත හැකිය. බි්‍රතාන්‍යයේ මන්ත්‍රී වැටුප ඇත්තේ එම රටේ වැටුප් සාමාන්‍යය මෙන් 2.7ක වැඩි ප්‍රමාණයකිනි. ප්‍රංශයේ හා නෙදර්ලන්තයේ එය 2.5ක වැඩි ප්‍රමාණයකින් වන අතර ස්වීඩනයේ හා බෙල්ජියමේ එය 2.0ක වැඩි ප්‍රමාණයකිනි. ඩෙන්ම ාර්කයේ 1.8ක ප්‍රමාණයකින් වන අතර ස්පාඤ්ඤයේ එය 1.2ක වැඩි ප්‍රමාණයකිනි. එමෙන්ම මෙම රටවල තීරුබදු රහිත වාහන බලපත්‍ර, නිල නිවාස, විශ්‍රාම වැටුප්, පෞද්ගලික කාර්ය මණ්ඩල ආදි බොහෝ වරප්‍රසාද ද ලබාදෙන්නේ නැති අතර ලබාදෙන වරප්‍රසාද ලබාදෙන්නේ යම් ක්‍රමවේදයක් අනුවය. (ලිපිය දීර්ඝ වන නිසා ඒවා එකින් එක විස්තර නොකරේ.)
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩි කිරීම සඳහා උදාහරණයකට ගෙනහැර දක්වන්නේ සිංගප්පූරුවය. එදා ලී ක්වාන් යූ සිංගප්පූරුවේ බලය ලබාගෙන සිංගප්පූරුව ලංකාවක් කිරීමේ කාර්යයට අතගැසූ අතර අද සිංගප්පූරුවට ගව් ගණනාවක් පසුපසින් සිටින ශ්‍රී ලංකාව වහසි බස් දොඩන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීම ගැනය.
සිංගප්පූරුවේ මන්ත්‍රී වරයකුට වාර්ෂිකව ලැබෙන වැටුප සිංගප්පූරු ඩොලර් 1,92,500ක් වන අතර එය මාසිකව සිංගප්පූරු ඩොලර් 16,041ක් පමණ වෙයි. සිංගප්පූරු ඩොලරයක් රුපියල් 100ක් ලෙස සැලකුවහොත් එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මාසිකව රුපියල් ලක්ෂ දහසයකට ආසන්නය. සිංගප්පූරුවේ වැටුප්වල මධ්‍ය අගය ශ්‍රී ලංකා රුපියල්වලින් ගණනය කළහොත් රුපියල් 3,79,800ක් වන අතර මන්ත්‍රීවරයකුගේ වැටුප එමෙන් හතර ගුණයක් පමණ වේ. සිංගප්පූරුවේ මන්ත්‍රීවරුන්ට නිල වාහන, වාහන බලපත්, ඉන්ධන දීමනා, පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමේ දීමනා නැති අතර විශ්‍රාම වැටුපක්ද දැන් නැත. 1995න් පසු ඇත්තේ මන්ත්‍රී වරුන්ගෙන් කපාගන්නා අර්ථසාධක අරමුදලක් පමණය. 1995ට පෙර විශ්‍රාම වැටුපක් තිබී ඇතත් එයට මන්ත්‍රීවරුන්ගෙන් දාය කත්වය ලබාගෙන ඇත. ඔවුන්ගෙන් යැපෙන්නන්ට එම විශ්‍රාම වැටුප ලැබී නැති අතර ලැබී ඇත්තේ වෛද්‍ය පහසුකම් පමණය. ලේකම් සහායකයකු සඳහා මසකට සිංගප්පූරු ඩොලර් 350ක්ද, නීතිකාරයකු සඳහා මසකට සිංගප්පූරු ඩොලර් 1000ක දීමනාවක්ද ලබාදී ඇත.
දැන් අපි ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙසට හැරීමේදී පෙනෙන චිත්‍රය කුමක්ද? රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 11,730කි. ජීවන වියදම් දීමනාව හා පසුගිය කාලයේ ලබාදී ඇති දීමනාවත් සමඟ එය රුපියල් 24,240කි. රටේ පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 10,000කි. ලබාදී ඇති අයවැය සහන දීමනාත් සමඟ එහි එකතුව රුපියල් 13,500කි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අවසන් සමීක්ෂණය අනුව 2012 වර්ෂයේ රටේ ඒක පුද්ගල ආදායම රුපියල් 11,932කි. පුද්ගලයන් 3.9කින් යුත් ගෘහ ඒකකයක මාසික මධ්‍ය ආදායම රුපියල් 30,400කි. ඉන් වසර හතරකට පසුව අද රටේ ආදායම් තත්ත්වයට ගැටගැසුවද ගෘහ ඒකකයක මාසික ආදායම හෝ රටේ ඒක පුද්ගල ආදායම විශාල ලෙස වැඩිවී තිබිය නොහැකිය.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් ලබන කාර්යාල නිවාස, පැමිණීමේ සංග්‍රහ ඇතුළු දීමනාත්, ඉන්ධන වාහන, කාර්ය මණ්ඩලය, දුරකථන ඇතුළු පහසුකම් අතහැර බැලුවත් මන්ත්‍රීවරුන් දැනට ලබන වැටුප (රු. 54,285) රටේ වැටුප්හි අගයන් සමඟ සසඳා බැලූ විට ඉහළ අගයකි. (ඉහතින් සඳහන් කළ ආකාරයට මෙම වැටුප් ඉදිරියේදී විනිශ්චයකාර වැටුප් සමඟ වැඩිවීමට නියමිතය.) සමාජ ආර්ථික දර්ශක දියුණු රටවල්වලට වඩා ඉහළ අගයකි. සියලු දීමනා පහසුකම් සමඟ සැසඳූ කල අපේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා රුපියල්වලින් සිංගප්පූරුව පරාද කර ඇතැයි පෙනේ. සිංගප්පූරු ඩොලර් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර වැටුප් ඕනෑ නම් රජයේ බදු හා ණය ආදායමෙන් වැටුප් ලබන මේ මන්ත්‍රීවරුන් හෙවත් මහජන නියෝජිතයන් කළයුත්තේ රට ඉක්මනින් සිංගප්පූරුවක් බවට පත්කිරීමය. එවිට, රටේ සාමාන්‍ය ජනතාවටත් රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලබමින් මීට වඩා හොඳ සිංගප්පූරු ජීවිතයක් ගත කළ හැකිය.■