රාවය

විදුහල්පතිවරුන් පව් ගෙවූ පාසල් නිලඇඳුම් ජාවාරම

විදුහල්පතිවරුන් පව් ගෙවූ පාසල් නිලඇඳුම් ජාවාරම

තරිඳු උඩුවරගෙදර

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ සියලුම විදුහල්පතිවරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් කියා තිබුණේ දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන්ට නගරයට ගොස් නිල ඇඳුම් සඳහා රෙදි මිලදීගත නොහැකි බැවින් ලංකා සළුසල හරහා රෙදි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එම ව්‍යාපෘතිය හරහා රෙදි මිලදී ගතහැකි බව මාපියන් දැනුවත් කරන ලෙසත්ය. ලංකාව තුළ මේ ගණයේ පාසැල් හාරදහසකට අධික ප්‍රමාණයක් ඇති අතර ආසන්න වශයෙන් සිසුහු ලක්ෂ දෙකක් පමණ ඒවායේ අධ්‍යාපනය ලබති.
අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ පසුගිය වසරේය. ඒ ආණ්ඩුව හරහා රෙදි ලබාදීමේදී විශාල වශයෙන් වංචා සිදුවන නිසා එය අවම කරගත යුතු බව පෙන්වාදෙමිනි.
වවුචර් සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් දැක්වූහ. ලංකා ගුරු සංගමය වවුචර් ව්‍යාපෘතියට විශාල විරෝධයක් දැක්වූවේ රෙදි ලබාදීමේදී ටෙන්ඩර් වංචා සිදුවන්නේ නම් ආණ්ඩුව කළ යුත්තේ ඒ වංචා නැවැත්වීම මිසක් රෙදි සිසුන්ටම මිලදී ගන්නා ලෙස පැවසීම නොවන බව කියමිනි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කීවේ ආණ්ඩුව රෙදි මිලදී ගන්නේ නම් රෙදි මිලදී ගන්නේ තොග මිලට නිසා එක් රෙද්දකට යන වියදම අඩුවන බවයි. වවුචර් ලබාදී වෙළෙඳපලෙන් මිලදී ගැනීමේදී වවුචරයකට රෙද්දක් සඳහා සිල්ලර මිල ලබාදිය යුතු බවත් ඒ නිසා යන වියදම අධික බවත් ඔහු පෙන්වාදුන්නේය. සැබැවින්ම ආණ්ඩුව වවුචරයකට නියම කර තිබුණු වටිනාකම වෙළෙඳපොලෙන් නිල ඇඳුම් සඳහා රෙද්දක් මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවීය.
එහෙත් බොහෝවිට නගරාශ්‍රිත සිසුන්ගේ මාපියන් නිල ඇඳුම් සඳහා ආණ්ඩුවෙන් දෙන රෙද්දෙන් නිල ඇඳුම් මැසුවේ නැත. හේතුව එම රෙද්ද ප්‍රමිතියෙන් තොර වීමත් බොහෝවිට එම රෙද්ද ප්‍රමාණවත් නොවීමත් නිසාය. ඒ නිසා වවුචර් ක්‍රමය ගැන නාගරික මාපියෝ බොහෝ සතුටු වූහ. ඔවුහු වවුචරයේ වටිනාකමට අතින් මුදලක් දමා නිල ඇඳුම මැස්සවූහ. කෙසේ වෙතත් මේ වනවිට ලංකාවේ බහුතරයක් මාපියෝ ආණ්ඩුවේ නිල ඇඳුම පමණක් නොව ඊට අමතරව නිල ඇඳුම් කිහිපයක් මස්සවති. ඒ නිසා ලංකා ගුරු සංගමය විරුද්ධ වුවත් විශාල පිරිසක් වවුචර් ක්‍රමය යහපත් බව දැක්කාහ.
දැන් වවුචර් ක්‍රමය හරහා දුෂ්කර, අතිදුෂ්කර සහ හුදෙකලා පාසල්වල ගැටලු මතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයම කියයි. මේ ගණයේ පාසල් හාරදහසකට අධික ප්‍රමාණයක් ලංකාවේ ඇත. ඒ පාසල්වලට ඇඳුම් ලබාදීම වෙනුවෙන් ලංකා සළුසල මැදිහත් කරවාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ ඒ අනුව යැයි පවසයි.
ඇත්ත වශයෙන්ම ලංකාවේ දුෂ්කර, අතිදුෂ්කර සහ හුදෙකලා පාසල් හාරදහසකට අධික ප්‍රමාණයක් තිබුණද ඒවායේ ඉගෙනුම ලබන සිසුන්ගේ මාපියන්ගෙන් යම් ප්‍රමාණයක් අවුරුද්දකට වරක්වත් නගරයට නොයන උදවිය යැයි සිතීම අපහසුය. එහෙත් දිළිඳු මාපියන් යම් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ලබාදෙන නිල ඇඳුම මත පමණක් යැපෙන, එක් නිල ඇඳුමක් පාවිච්චි කරන අය විය හැකිය. ඇතැම් විට දහස් ගණනක් හෝ දසදහස් ගණනක් විය හැකිය. ඒ සම්බන්ධයෙන් කර ඇති නිල සංගණනයක් අපට හමු නොවීය.
මේ අවුල නිරවුල් කරන්නටයැයි පවසමින් ආණ්ඩුව පටලවාගෙන තිබුණේ තවත් අවුලකි. ආණ්ඩුව ලංකා සළුසල හරහා රෙදි බෙදනවායැයි කීවත් අද වනවිට ලංකා සළුසල පවතින්නේ රෙදි බෙදන්නට තියා එදිනෙදා වැඩක්වත් කරගෙන යා හැකි මට්ටමේ නොවේ. එහි සේවකයන් විස්සකටත් අඩු ප්‍රමාණයක් සේවය කරන අතර සේවකයන් අතිබහුතරය පාඩු ලැබීම නිසා වන්දි ගෙවා අස්කර තිබුණි.
ඇත්ත වශයෙන්ම සළුසල හරහා රෙදි ලබාදෙනවායැයි කීවත් ඇඳුම් ලබාදුන්නේ සරත් පතිරණ නම් ව්‍යාපාරිකයා හරහාය. ඔහු සළුසල නාමයෙන් තමන්ගේ රෙදි විකුණන්නට වැඩපිළිවෙළක් සකසා තිබුණි. අප මේ ව්‍යාපෘතිය පිළිබඳව ලංකා සළුසල ආයතනයේ සභාපති කේ.කේ. චන්ද්‍රසේනගෙන් දුරකථනයෙන් විමසූ අවස්ථාවක ඔහු කීවේ සළුසල ආයතනයට සේවකයන් 19 දෙනෙකු පමණක් සිටින නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට සළුසලට තනිවම නොහැකි බවයි. එපමණක් නොව තම ආයතනය සතුව ප්‍රමාණවත් තරම් රෙදි නොමැති නිසා පෞද්ගලික ආයතනයක් සමඟ සාකච්ඡා කොට රෙදි ප්‍රවාහනය කිරීමටත්, රෙදි තොග සැපයීමටත්, ඒවා බෙදාහැරීමටත් පහසුකම් සපයාගත යුතු බව ඔහු අප සමඟ පැවසීය. මේ සඳහා තවමත් තීරණයක් ගෙන නැති බවත් දින කිහිපයක් තුළ තීරණයක් ගන්නා බවත් සළුසල සභාපත පැවසීය. ඔහු සමඟ මේ දුරකථන සංවාදය සිදුවුණේ නොවැම්බර් 24 වැනිදාය.
එහෙත් ඒ සංවාදයෙන් පසුව අප කළ සොයාබැලීම්වලදී, සංවාදයට පෙර සළුසල සභාපතිවරයා විසින් ජුනි 9 වැනිදා කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් ටීබී තෙන්නකෝන් වෙත යැවූ ලිපියක් ලැබුණි. එහි සඳහන්ව තිබුණේ පසුගිය වසරේ ලංකාවට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් යුතු රෙදි සළුසල ආයතනයේ ගොඩගසා ඇති බවයි. සුදු කමිස රෙදි සහ සුදු ගවුම් රෙදි මීටර් ලක්ෂ පණහක්ද, සුදු කලිසම් රෙදි මීටර් ලක්ෂ පහක්ද, නිල් කලිසම් රෙදි මීටර් ලක්ෂ තුනක්ද ගබඩා කර ඇති බව සළුසල සභාපතිවරයා ලිඛිතව දන්වා ඇත. ඔහු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ එම රෙදි පාසල්වලට බෙදාහැරීමට අවසරය ලබාදෙන ලෙසයි.
ඒ අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.බී. තෙන්නකෝන් විසින් මැයි 9 වැනිදා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉහත කී නිල ඇඳුම් රෙදි අලෙවි කිරීම සඳහා පාසල්වලට ඇතුල්වීමේ අවසරය ලිඛිතව ඉල්ලා තිබුණි.
ඉන්පසුව අප මේ ලිපියේ උඩින්ම සඳහන් කළ නියෝගය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පාසල් වෙත නිකුත් කර තිබුණි.
ලංකා සළුසල සේවකයන් දහනව දෙනෙකු සමඟ මේ රෙදි බෙදන්නේ කෙසේද? ඔවුන් සතුව කියන ප්‍රමාණයේ රෙදි ගබඩා කර ඇතිද? ලංකා සළුසල සභාපතිවරයාම කියන්නේ තම ආයතනය සතුව ප්‍රමාණවත් පහසුකම් නැති බවයි.
සරත් පතිරණ නම් ව්‍යාපාරිකයා එන්නේ ඒ අනුවයි. අප ඔහුගෙන් කළ විමසීමකදී ඔහු පිළිගත්තේ නිල ඇඳුම් ලබාදෙන්නේත්, ඒවා බෙදාහරින්නේත් තම ආයතනයෙන් බවයි. ඔහු එසේ ඇඳුම් බෙදාහැරීමට අවසරය ලබාගත්තේ ටෙන්ඩර් කැඳවීමකින් පසුවදැයි අපි විමසුවෙමු. එයට පිළිතුරු ලෙස සරත් පතිරණ පැවසුවේ, 2015දී සතොස ආයතනවල තම රෙදි අලෙවි කරන්නට අවසර ලැබුණු බවත් ඒ විශ්වාසය අනුව මෙවරත් තමන්ට ඒ අවස්ථාව හිමිවුණු බවත්ය. එනම් ටෙන්ඩර් කැඳවීමක් නැතිවම සරත් පතිරණ නම් ව්‍යාපාරිකයෙකුට සළුසල නම යොදාගනිමින් රෙදි විකුණන්නට අවස්ථාව ලබාදී ඇත.
මේ රෙදි බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙද්දී ව්‍යාපෘතිය නතර කරන්නට ආණ්ඩුව පියවර ගෙන තිබුණි. ආණ්ඩුව ව්‍යාපෘතිය නවත්වන විට ඇඳුම් බෙදාහැරීම සැලකිය යුතු දුරකට සිදුව තිබුණි.
මේ අතරේ දුෂ්කර හා අතිදුෂ්කර නොවන පාසල් තුළ සළුසලේ රෙදි අලෙවි කළ බව පවසමින් විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබුණි. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සහ මහනුවර බදුර්දීන් මොහොමඞ් විද්‍යාලයේ විදුහල්පතිවරුන්ට මෙසේ පියවර ගෙන තිබුණි. මෙම විදුහල්පතිවරුන් සළුසලේ ලේබලය සමඟ පාසලට පැමිණි ඇඳුම් වෙළෙන්දන්ට අවසර දී තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ ව්‍යාපෘතියට ලබාදී තිබුණු අනුමැතිය නිසාය. මෙම පාසල්වලට සළුසල ලිපි ශීර්ෂය යටතේ පාසල්වලට නිල ඇඳුම් බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ගැන ලිපි ලැබී තිබුණි.
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 17 වැනිදා මෙම රෙදි අලෙවි කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සරත් පතිරණ නම් ව්‍යාපාරිකයා සමඟ රැස්වීමක්ද පවත්වා තිබුණි. ඒ සම්බන්ධයෙන් සඳහන් කරන ලද ලිපි පාසල් වෙත යවා තිබුණි. බදුර්දීන් මොහොමඞ් පාසලටද එම ලිපිය ලැබුණු අතර ඇඳුම් වෙළෙන්දන්ට පාසල්වලට ඇතුල්වන්නට අවසරය ලබාදුන්නේ ඒ නිසාය.
මේ සියල්ල අවසානයේ විදුහල්පතිවරුන්ට පව් ගෙවන්නට සිදුවන අතර ටෙන්ඩර් නැතිවම ලංකා සළුසල නම් රාජ්‍ය ආයතනයේ නම පාවිච්චි කරමින් ඇඳුම් ව්‍යාපාර කළවුන්ට කිසිදු පියවරක් ගන්නා බවක් පෙනෙන්නේ නැත.
මේ සියල්ල පිළිබඳව විමසීමට සළුසල සභාපති කේ. කේ. චන්ද්‍ර සේනගෙන් යළි කරුණු විමසීමට අපි උත්සාහ කළෙමු. ඔහු පැවසුවේ තමාට මේ අවස්ථාවේ කතාකළ නොහැකි බවයි. එම ව්‍යාපෘතිය නැවැත්වූ බව පමණක් ඔහු පැවසීය. ඔහු පසුව ඇමතුමක් ගන්නා බව පැවසුවත් ලිපිය ලියන මොහොත තෙක් ඔහුගෙන් ඇමතුමක් ආවේ නැත.
පාසල්වලට නිල ඇඳුම් බෙදාදීම බොහෝ ලාභ ලැබිය හැකි ව්‍යාපාරයකි. මීට පෙර සිදුවූ පාඩුව අවම කරන්නට පටන්ගත් නව ක්‍රමවේදයෙනුත් අයුතු ලාභ ලැබූවන් සිටින බව පෙනෙයි. මේවා සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීම අධ්‍යාපන ඇමතිවරයා සතු වගකීමකි. එසේ නොවුණහොත් අපට විශ්වාස කරන්නට වෙන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද මේවාට සම්බන්ධ බවයි.■