රාවය

අඩසියවසක් පුරා අප හිනස්සන සියුම් සමාජ විචාරකයා: කැමිලස්

අඩසියවසක් පුරා අප හිනස්සන සියුම් සමාජ විචාරකයා: කැමිලස්

සිවුමංසල කොලුගැටයා

අද රටේ සිටින ජ්‍යෙෂ්ඨතම හා ජනප්‍රියතම විකට චිත්‍ර (කාටූන්) ශිල්පියකු වන කැමිලස් පෙරේරා සිත්තර දිවියේ වසර 50ක් සම්පූර්ණ කළේ 2016දී.
1966 පටන් විවිධ ප්‍රකාශනවලින් අප හිනස්සන, අපේ මනස කුල්මත් කරන ඔහු 77 හැවිරිදිව තවමත් නිර්මාණ කරණයේ යෙදෙනවා.
ඔහුගේ තෝරා ගත් කාටූන් ප්‍රදර්ශනයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. මා එහි ගියේ ඔහු මගේ වීරයකු නිසායි.
2002දී තවත් කැමිලස් ප්‍රදර්ශනයක් නිමිති කරගෙන ප්‍රවීණ මාධ්‍යවේදී අජිත් සමරනායක කීවේ මෙයයි: “කැමිලස් යනු ලාංකික පත්තර කලාවේ අතිශයින්ම ප්‍රියජනක හා ජනාදරයට ලක් වූ නාමයක්. ඔහු මෙරට ජාතික පුවත්පත් හැම එකකටම පාහේ දායක වී තිබෙනවා. දේශපාලකයන් පමණක් නොව අප සැමගේ දුර්වලතා සියුම්ව උපහාසයට ලක් කරන්නට ඔහු ගජ හපනෙක්. ඔහු අපේ මධ්‍යම පාන්තිකයන් හා පහළ මධ්‍යම පාන්තිකයන් ගැන කරන විග්‍රහයන් එක් අතකින් තියුණුයි. අනෙක් අතට සානුකම්පිතයි.”
විකට චිත්‍ර(caricatures) උපහාසය ජනිත කරවන, එහෙත් අපහාසයක් නොකරන නිර්මාණ විය යුතුයි. ඇත්තටම එසේ විකට චිත්‍රණය කරනු ලබන්නාටත් හොඳ හිනාවක් යන ආකාරයේ එකක් විය යුතුයි.
චිත්‍ර අඳින්න හැකි බොහෝ අයට මෙසේ උපහාසාත්මක හැකියාව නැහැ. උපහාසයට හපන් අයට චිත්‍ර අඳින්න බැහැ. මේ දෙකම තනි පුද්ගලයකු තුළ හමුවන්නේ කලාතුරකින්. කාටූන් චිත්‍ර ශිල්පීන් අපේ කාලයේ විශිෂ්ටතම සමාජ විචාරකයන් යැයි මා නිතර කියන්නේ එනිසායි.
කුරුකුලසූරිය එලිජියස් කැමිලස් පෙරේරා උපන්නේ 1939 දෙසැම්බර් 1 වනදා මීගමුවේදී. එය මෙරට පැහැදිළි උපසංස්කෘතියක් ඇති, බහුසංස්කෘතික නගරයක්. පසු කලෙක කැමිලස් නිර්මාණවල මෙකී බහුසංස්කෘතික ගුණය තිබීම එනිසා පුදුමයක් නොවෙයි.
කුඩා කැමිලස් චිත්‍ර අඳින්න දක්‍ෂයා. මුහුදු වැල්ලේත්, ගෙදර බිත්තිවලත්, පාසල් කළු ලෑල්ලේත් නිතර විකට රූප ඇන්දා. හොඳ වෙලාවට ඔහුගේ වැඩිහිටියෝ මේ දඟකාර වැඩවලට විරුද්ධ වුණේ නැහැ. හැකියාව දිගටම තියුණු කර ගන්න දිරි දුන්නා විතරයි.
එස්එස්සී විභාගයෙන් පසු හේවුඞ් කලායතනයට ඇතුළුවීමට සුදුසුකම් ලැබුවත් අන්තිමේදී ඔහු එහි ගියේ නැහැ. ගියා නම් කාටූන් ශිල්පියකු වනු වෙනුවට චිත්‍ර ශිල්පියකු වීමට ඉඩ තිබුණා.
ඒ වෙනුවට කැමිලස් සැලසුම් ශිල්පියකු (draftsman) ලෙස රාජ්‍ය සේවයට බැඳුණා. කච්චේරිවල වැඩ කරන අතර ඔහුට ඕනෑ වුණේ කාටූන් ශිල්පය ප්‍රගුණ කරන්න.
එකල ඔහුගේ පරමාදර්ශය වුණේ ලේක්හවුසියේ කාටූන් ඇඳි බර්ගර් ජාතික ඕබි්‍ර කොලට් (Aubrey Collette)  1940 දශකය මැද සිට 1960 දශකය මුල පමණ දක්වා මෙරට ප්‍රකටම කාටූන් ශිල්පියා වූයේ කොලට්. පසුව ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූ ඔහු එරට පුවත්පත්වලට කලක් කාටූන් නිර්මාණය කළා.
කැමිලස්ගේ නිර් මාණයක් මුල් වරට පත්‍රයක පළ වුණේ 1964දී සරසවිය පත්‍රයේ. එහෙත් ඉන් පසු යැවූ කාටූන් පළ නොවූ බවත්, ලේක්හවුසියට සමීප වන්නට නම් වෙනත් පත්තර ආයතනයකින් නමක් හදාගෙන ඒම ප්‍රයෝජනවත් ලෙස තමාට අවවාද ලැබුණු බවත් ඔහු කියනවා.
ඒ අනුව ඔහු ටික කලක් දවස නිවසේ කාටූන් ඇන්දා. ඔහු නිර්මාණය කළ මුල්ම කාටූන් චරිතය වූයේ තෙපානිස්. ආධුනිකයකු වූ ඔහුට ගෙවීමක් නොලැබුණු හෙයින් අවස්ථාවක් ලද විගස ලේක්හවුසියට ගියා.
එහිදී ඔහු මුලින්ම ජනතා පත්‍රයේ වැඩ කළේ ඩී.එෆ්. කාරියකරවන කතුවරයා යටතේයි. දොන් සේතං චරිතය ජනතා පත්‍රයට නිර්මාණය කළ කැමිලස්, ටික කලකින් සිමෝනා, මෙරායා, ලපයා, ගොඞ්වින් අයියා ආදි සෙසු චරිත ද දොන් සේතං පවුලට එක් කළා.
දොන් සේතං ටික කලකින් ඉතා ජනප්‍රිය වුණා. මුලදී ඔහුව ගණන් නොගත් පත්‍ර කතුවරුන් තමන්ටද කාටූන් නිර්මාණය කරන මෙන් ඔහුට ඇරියුම් කළා. ඒ අනුව සරසවියට 1968දී ‘දැක්කොත් පද්මාවතී’ කාටූන්ද ඔබ්සර්වර් පත්‍රයට මිස්ට ලව්රිස් කාටූන්ද ඇඳීම ඇරැඹුවා.
ඔහු සිරිබිරිස් මුලින්ම හඳුන්වා දුන්නේ 1967දී සිළුමිණ පත්‍රයෙන්.
1960 ආරම්භයේදී කිසිවකුත් අසා නොතිබුණු කැමිලස්, එම දශකය අවසන් වන විට රටේ ඉතා ජනප්‍රිය කාටූන් රැසක නිර්මාණකරුවා වුණා. මේ වකවානුව මෙරට චිත්‍රකථා කලාවේද නැගීම සිදු වූ යුගයයි.
එම ජනප්‍රියත්වය පාද කර ගනිමින් 1972 අගෝස්තු 29 දා ලේක්හවුසිය චිත්‍රකථාවලටම වෙන් වූ ‘සතුට’ පත්‍රය ආරම්භ කළා.
ගජමෑන් මුලින්ම පාඨකයන් අතරට ආවේ ‘සතුට’ හරහායි. සතුට පත්‍රවල මැද පිටුවේ කැමිලස්ගේ ගජමෑන් වසර දෙකකට වැඩි කාලයක් පළ වුණා.
එහෙත් වරක් සිංහල අවුරුදු සමයේ ඔහු නිර්මාණය කළ ගජමෑන් කාටූනයක් ලේක්හවුස් බලධාරීන්ට ප්‍රශ්නයක් වුණා. පුණ්‍ය කාලයේ ඌරකු මැරීමට මන්නයක් රැගෙන දුවන ගජමෑන් ඔහු ඇඳ තිබුණා. සතුට කතුවරයා එය අනුමත කළත් ජ්‍යෙෂ්ඨ කතුවරයකු වූ විමලසිරි පෙරේරා එයට එරෙහි වුණා. එම කාටූනය නතර කළා පමණක් නොව කැමිලස්ගේ වැඩ අත්හිටුවනු ලැබුවා. (පුණ්‍ය කාලයේදී ඇත්තටම රටේ මෙවැනි දේ සිදු වන බව පෙන්වීමටයි කැමිලස්ට ඕනෑ වුණේ.)
ලේක්හවුසියෙන් එළියට ආ කැමිලස් මෑතදී වියෝ වූ චින්තන ජයසේන කතුකම දැරූ ‘අද’ පත්‍රයට සම්බන්ධ වුණා. ටික කලකින් චින්තන ඔහුව ‘සිත්තර’ අරඹන්නට දායක කර ගත්තා.
1975 ඔක්තෝබරයේ ‘සිත්තර’ පත්‍රය ඇරැඹුණු විට ගජමෑන් සමග කැමිලස් එයට සම්බන්ධ වුණා. මල්ටිපැක්ස් ආයතනය පළ කළ සිත්තර මෙරට චිත්‍රකථා කර්මාන්තයේ වාණිජමය උච්චස්ථානය සනිටුහන් කළා.
සතියකට පිටපත් තුන් හාර ලක්‍ෂයක් විකුණුණු සිත්තර මුද්‍රණය කිරීම හරියට සල්ලි අච්චු ගසනවා වැනි යයි කථාවක් එකල පැවතුණා. සිත්තරේ ජනප්‍රියත්වයට කථා හා චිත්‍ර ශිල්පීන් රැසක් දායක වුණා. එයින් මුල් තැනක් ගජමෑන් හේතුවෙන් කැමිලස්ට ලැබිය යුතුයි.
විවිධ පත්‍ර සමාගම්වලට තමන් නිර්මාණය කළ කාටූන් චරිතවල බුද්ධිමය හිමිකම ලබා ගැනීමට කැමිලස් 1982දී සමත් වුණා. ඉන් පසු ඔහු තමාගේම ප්‍රකාශන සමාගමක් ඇරඹුවා. එහි පළමු ප්‍රකාශනය වූයේ “කැමිලස්ගේ ගජමෑන් සමඟ සත්සිරි.”
චිත්‍රකථාවලට සීමා නොවී කැමිලස් ප්‍රකාශන අධ්‍යාපනික සඟරාද පළ කළා. 1990 දශකය අවසන් වන විට චිත්‍රකථාවල ජනප්‍රියත්වය හීන වී ගියත්, කැමිලස්ගේ නිර්මාණවලට ඇති ජනාදරය හා ඉල්ලුම නම් තවමත් එලෙසම තිබෙනවා.
මෑත ඉතිහාසයේ කලබලකාරී, සංත්‍රාසමය, ඛේදජනක වකවානුවල මෙන්ම ඉඳහිට හෝ පැවති සතුටුදායක අවස්ථාවලදීත් කාලානුරූපව හා සංවේදීව කැමිලස් කාටූන් නිර්මාණය කොට තිබෙනවා.
මා සිතන හැටියට කැමිලස්ගේ වඩාත්ම ප්‍රකට චරිත දෙක නම් සිරිබිරිස් හා ගජමෑන්. මේ අතරින් වැඩිම කාලයක් තිස්සේ නිතිපතා පාඨකයන් අතරට පැමිණ තිබෙන්නේ සිරිබිරිස්. අදත් සිරිබිරිස් රිවිර පත්‍රයේ පළ වනවා. සිරිබිරිස් ලොකු සංකේතාත්මක අරුතක් ගැබ් කළ චරිතයක්. ඔහු නියෝජනය කරන්නේ දිගින් දිගටම රැවටීමට හා වංචාවට ලක් වන සාමාන්‍ය ලාංකිකයායි. මෙවන් චරිත පොදුවේ Everyman කියා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා.
මැතිවරණ කාලයට, අයවැය පොරොන්දුවලින්, ආපදා අවස්ථාවල නොයෙක් ආකාරයෙන් සිරිබිරිස් (ඇතුළු මහජනයා) දේශපාලකයන්, ව්‍යාපාරික යන් හා නිලධාරීන් විසින් මුලා කරනු ලබනවා. එසේ මුලා කිරීම් සිදු වන බව සිරිබිරිස් හොඳාකාර දන්නවා. එහෙත් ඔහුට කළ හැකි දේ සීමිතයි.
රහස් ඡන්දය පාවිච්චි කරන්න ලැබෙන්නේ ඉඳහිට පමණයි. එනිසා ඔහු හාස්‍යය හා උපහාසය සිය අවිය කර ගන්නවා. අපමණක් දුෂ්කරතා මැද පණ කෙන්ද රැක ගෙන සිටීමට තමන්ටත් අනුන්ටත් සිනහ වීම ඔහු උපක්‍රමයක් කර ගන්නවා.
පහළ මධ්‍යම පංතිකයන් බහුතරයක් මුහුණ දෙන සමාජයීය හා ආර්ථික අභියෝග ගජමෑන්ට ද තිබෙනවා. ඔහු විටෙක සටකපටයි. සම්‍යක් ප්‍රයෝගවලට දක්‍ෂයි. සැම විටම මුඛරියි. ඕනෑම දුෂ්කර අවස්ථාවක ගැලවී යන්නට යමක් කීමේ දක්‍ෂකම ඔහු සතුයි. ගජමෑන් නිර්දය ලෙස විවේචනය කරන්නේ ලක් සමාජයේ විසමතා හා විපරීතයන් සමුදායයි.
ගජමෑන්ට සිනහ වන අප ඇත්තටම සිනහ වන්නේ අපටමයි. මෙසේ විහිලුවෙන් නමුත් සමාජ විචාරය සියුම් ලෙස කිරීමේ කලාවට කැමිලස් අතිදක්ෂයෙක්.
අඩ සියවසක කාලය තුළ තර්ජන, ගර්ජන හෝ නඩු දැමීම පිළිබඳ එන්තරවාසි කිසිවක් ලැබී ඇත්දැයි මා ඇසුවා. කැමිලස් කියන්නේ එසේ නැති බවයි.
හැබැයි ඔහු සීරුවෙන් වැඩ කරන අයෙක්. උදාහරණයක් නම් ‘මගෝඩිස්තුමා’ නම් දේශපාලකයා නියෝජනය කරන, කඳබඩ මහත චරිතයයි. මුල් යුගයේ මන්ත්‍රීතුමා ලෙස ඔහුව නම් කරනු ලැබුවා. එහෙත් පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යටතේ ජේ.ආර්. ජයවර්ධන රජය වරක් (1978 දී) රජයටම අයත් ඔබ්සවර් පත්‍රයේ කතුවරයා හා නියෝජ්‍ය කතුවරයා පාර්ලිමේන්තුවට කැඳවා චෝදනා විභාගයක යෙදුණා. චෝදනාව එවකට විදෙස් ඇමති හමීඞ් සිටි ඡායාරූපයකට අත්වැරදීම කින් වැරදි කැප්ෂන් එක මුද්‍රණය වී තිබීමයි. සභාව කල් තබන තුරු කතුවරුන් දෙදෙනා රඳවා ගනු ලැබුවා.
මේ සිද්ධියෙන් පසු කැමිලස් ‘මන්ත්‍රීතුමා’ චරිතය මගෝඩිස්තුමා ලෙස යළි නම් කළා. දිවා රෑ මහජනයාට බොරු කියන, හොර තක්කඩි වැඩ කරන, ආත්මාර්ථකාමී චරිතයට එය අපූරුවට ගැළපුණා. නම ඉක්මනින් ජනප්‍රිය වුණා.
අද වන විට ‘මගෝඩිස්තුමා’ යන්න එයාකාරයේ සියලු දේශපාලකයන්ට යෙදෙන පොදු නමක් වී තිබෙනවා. මගෝඩිස්තුමන්ලාට රැවටෙන්නේත්, එහෙත් එසේ රැවටෙමින් යළි යළිත් ඔවුන්ට ඡන්දය දී පාර්ලි මේන්තුවට යවන්නේත් සිරිබිරිස්ගෙන් සංකේතවත් වන ඔබ අපම තමයි. ඉනික්බිති අපට හැක්කේ නිර්දය ලෙස මගෝඩිස්ලා උපහාසයට ලක් කිරීම පමණයි. ඒ හරහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලතා කැමිලස් විචාරයට ලක් කරනවා.
කැමිලස් ස්ත්‍රී විරෝධීද? කාන්තා අයිතීන් ගැන ක්‍රියා කරන සමහරුන් ඔහු කාන්තා චරිත නිරූපණය කරන ආකාරයට කැමති නැහැ. ඇත්තටම පුරුෂවාදී දෘෂ්ටිකෝණයක් කැමිලස් නිර්මාණවල තිබෙනවා. මා සිතන්නේ පවතින සමාජ යථාර්ථය ඔහු අමු අමුවේම හසු කර ගන්නා බවයි. කැඩපතක් වගේ.
කැමිලස්ගේ චරිත අතරින් මා මුලින්ම හඳුනා ගත්තේ ටික්කා සහ පැටෝ යි. ටික්කා අවුරුදු අටක හෝ නවයක කොලු ගැටයෙක්. දඟකාරයි. ඔහුගේ සුරතල් ගිරවා පැටෝ කටකාරයි. තැනට සුදුසු ආප්තෝපදේශ කීමට දක්‍ෂයි. 1970 දශකය මුලදී මිහිර පත්‍රයේ ටික්කා පළ වුණා.
‘ඉවසීමෙන් සැනසීම ලැබේ’ ‘අනුන්ට කළ දේ තමන්ට පල දේ’ වැනි ඔවදන් මා මුලින්ම උගත්තේ පාසලෙන් නොව මිහිරේ ටික්කාගෙන්. එනයින් බලන විට විනෝදය හරහා හරවත් යමක් පාඨකයන්ට දීමේ කලාව කැමිලස් හොඳින් ප්‍රගුණ කර තිබෙනවා.
කැමිලස් නිර්මාණය කළ චරිත අතරින් වඩාත්ම කැමති එක් චරිතයක් වේදැයි මා ඇසුවා. ඔහුගේ උත්තරය : “ඒක හරියට තමන්ගේ දරුවන් අතරින් වඩාත් කැමති කාටද කියා මවුපියකුගෙන් අසනවා වගේ ප්‍රශ්නයක්!”
කැමිලස්ගේ සිත්තර දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මෙසේ කීවා. “කැමිලස්ගේ පින්සල් පාරවල් සරලය. ඔහුගේ ප්‍රතිභාව දුර්ලභ එකකි. දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම්වලින් පිරුණු නිසාද, ප්‍රගුණ කළ ශිල්පක්‍රම නිසාද, ඔහු පිරිපුන් නිර්මාණ ශිල්පියකු බවට පත් වේ. අදහස් තෝරා ගැනීමේදී හා ප්‍රකාශනයේදී ඔහු දක්වන සංවේදීතාව හා සංයමය නිසා ඔහු අනෙක් සිත්තරුන් අතර පවා කැපී පෙනෙයි. ඔහුගේ දේශපාලන උපහාසයන් අප නැවතත් සිනා ගස්වමින් මේ සංකීර්ණ දේශපාලන රටාවේ සියුම් තැන්ද, ජඩ තැන්ද අපට පෙන්වා දෙයි.”
තමන්ගේ විකට චිත්‍ර කලාව ගැන කැමිලස් කියන්නේ මෙයයි : “විකට කාටූන් කලාව මා එදා සිටම උපයෝගී කර ගත්තේ කිසිවකුට පුද්ගලිකව පහරදීමේ චේතනාවෙන් නොවේ. සමාජයේ පවත්නා දුර්වලකම් දුටු තැන ඒ සඳහා අවධානය යොමු කරමින් බාල මහලු කොයි කවුරුත් හිනැස්සීම අරමුණු කර ගෙනය.”
කැමිලස්ට මේ දඟකාර අදහස් නොකඩවා ගලා එන්නේ කොහොමද? කැමිලස්ගේ පුළුල් සමාජ සබඳතා, රාජ්‍ය සේවයේ අත්දැකීම්, පාපන්දු ක්‍රීඩාවෙන් ලද අදහස් මෙන්ම බොහෝ පොතපත කියවීම, චිත්‍රපට හා නාට්‍ය නැරඹීම හරහා ඔහුට ප්‍රබෝධක ආවේගය (inspiration) ලැබෙනවා ඇති. උපහාසයේ සීමා තුළ නිර්මාණ පවත්වා ගැනීම ඔහුගේ සහජ හැකියාවයි.
කැමිලස් එදා මෙදා තුර කිසි විටෙකත් රාජ්‍ය මට්ටමේ අගැයීමකට ලක් වී නැහැ. චීනය වරක් ඔහුට ඇරැයුම් කර එහි ගෙන්වා ගත්තා. ඔහුගේ නිර්මාණ ගැන බටහිර විද්වතුන් විචාරාත්මකව ලියා තිබෙනවා.
එහෙත් අපේ රටේ ලැබී ඇත්තේ ජනතා ප්‍රණාමය පමණයි. ඇත්තටම ජනතාවාදී කාටූන් ශිල්පීන්ට ලද හැකි ලොකුම සම්මානයත් එයයි.■