රාවය

අනාගැනීම

අනාගැනීම

වික්ටර් අයිවන්

ආණ්ඩුව නිසි සංයමයකින් යුතුව රටේ තිබෙන අවුල් විධිමත් ලෙස හා ක්‍රමානුකූලව විසඳන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට තිබෙන අවුල් වර්ධනය කරගැනීමට හේතුවන පිළිවෙතක පිහිටා ක්‍රියාකරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ලොකු හා සංකීර්ණ අවුලක් විසඳා ගැනීමට දරන උත්සාහයකදී ප්‍රශ්න අතර තිබෙන ප්‍රධාන ප්‍රශ්නය හඳුනා ගනිමින් එම ප්‍රධාන ප්‍රශ්නය විසඳා ගැනීම තුළ ඇති කරන වාසිදායක වටාපිටාව තුළ අනෙක් අප්‍රධාන ප්‍රශ්න පිළිවෙළකට අනුව හා ක්‍රමානුකූලව විසඳා ගැනීම අවුල් විසඳා ගැනීමේදී යොදාගැනෙන පිළිගත් ප්‍රවේශය ලෙස සැලකිය හැකිය. එහෙත් යහපාලන ආණ්ඩුව ඊට වෙනස්ව ප්‍රධාන ප්‍රශ්න විසඳීම පසෙකට ලා අප්‍රධාන ප්‍රශ්න එක පොදියකට ගෙන විසඳන්නට දරන උත්සාහය තුළ තිබෙන අවුල විසඳා ගැනීමට පහසු නැති සංකීර්ණ අවුලක් බවට පත්කර ගනිමින් සිටින්නේය.

මාඕ සේතුං
මාඕ සේතුංගේ සියලු දේශපාලන රචනා අතුරින් ‘ප්‍රතිවිරෝධතා’ පිළිබඳව ලියා තිබෙන රචනය විශිෂ්ටතම රචනය ලෙස සැලකිය හැකිය. ඔහු එහිදී ප්‍රතිවිරෝධතා අතර තිබෙන ප්‍රධාන ප්‍රතිවිරෝධය හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබෙන්නේ මෙසේය.
“සංකීර්ණ දෙයක වර්ධනය පිළිබඳ ක්‍රියාවලියෙහි බොහෝ ප්‍රතිවිරෝධතා ඇත්තේය. ඒවායින් එකක් අවශ්‍යයෙන්ම ස්වකීය පැවැත්ම හා වර්ධනය මගින් සෙසු ප්‍රතිවිරෝධයන්ගේ පැවැත්ම සහ වර්ධනය කෙරෙහි බලපාන්නා වූ ප්‍රධාන ප්‍රතිවිරෝධය වේ.”
ඒ ගැන මාඕ සේතුං වැඩිදුරටත් මෙසේ කියයි.
“ඒ නිසා කිසියම් ක්‍රියාවලියක් තුළ ප්‍රතිවිරෝධයන් ගණනක් වේ නම් ඉන් එකක් නායක හා තීරණාත්මක කොටස රඟපාන ප්‍රධාන ප්‍රතිවිරෝධය විය යුතු වන අතර සෙස්ස දෙවැනි හා යටත් තත්ත්වයක් ගන්නේය. ඒ හෙයින් ප්‍රතිවිරෝධතා දෙකක් හෝ වැඩි ගණනක් ඇති කවර සංකීර්ණ ක්‍රියාවලියක් හෝ අධ්‍යයනය කිරීමේදී අපි එහි ප්‍රධාන ප්‍රතිවිරෝධය සෙවීමට හැම පරිශ්‍රමයක්ම දැරිය යුත්තෙමු. මේ ප්‍රධාන ප්‍රතිවිරෝධය හොඳින් තේරුම් ගත් කල සියලු ගැටලු පහසුවෙන් විසඳිය හැකිය.”
මාඕගේ එම ප්‍රවේශය මාක්ස්වාදය උරුම කරගෙන තිබුණේ හේගල්ගෙනි. එය මාක්ස්, එංගල්ස් හා ලෙනින් සලකන ලද්දේ ද්විඝටනවාදයේ සාරය ලෙසිනි. එම න්‍යායවාදයේ ඇති ප්‍රායෝගික වැදගත්කම ප්‍රශස්ත ලෙස පැහැදිලි කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ මාඕ සේතුංය.
මෙය නූතන කළමනාකරණ විෂය කෙරෙහිද බලපා තිබෙන සිද්ධාන්තයකි. එහෙත් අවාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුවේ කළමනාකරණ විෂය කෙරෙහි එම ප්‍රවේශය බලපා තිබෙන බවක් පෙනෙන්නට නැත.
වර්ගය, කුලය හා ආගම මුල් කරගෙන ලංකාවේ ඇතිවී තිබෙන අර්බුදය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය හෝ අන් සියල්ල අධිනිශ්චය කරන ප්‍රධාන සාධකය ලෙස සැලකිය හැකිය. ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳවැටීම, නීතියේ පාලනයක් නැතිකම හා ඉහවහා ගිය දූෂණය එම අර්බුදයේ අතුරු ඵල ලෙස සැලකිය හැකිය. එවැනි අර්බුදයක් ඇතිවූයේ ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසාය. ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වූයේ ධනේශ්වර පරිවර්තනය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කරන තරමේ දැනුමකින් යුතු සමාජයක් ඇතිකර ගැනීමට අසමත්වීම නිසාය.

පරණ වැරදි සෙවීම
රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ දූෂණ හා භීෂණ ගැන සොයාබලා එම වැරදිවලට වගකිවයුතු අයට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවට දෙන ලද පොරොන්දුව යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නට පෙර මහජනයාට දෙන ලද ලොකුම පොරොන්දුව ලෙස සැලකිය හැකිය. එය රටේ ජාතික අර්බුදය කෙරෙහි බලපා තිබුණු ප්‍රධාන හේතුව නොවෙතත් එය මහජනයාට ලබාදී තිබුණු ප්‍රධාන පොරොන්දුව වීම හේතු කොටගෙන එය මුළුමනින් නොසලකා ඉදිරියට යෑමේ හැකියාවක් යහපාලන ආණ්ඩුවට නොතිබුණි. ආණ්ඩුවට අවශ්‍ය නම් අතීතයේ සිදුවූ වැරදි සොයාබැලීම මහින්ද රාජපක්ෂ පාලන කාලයට පමණක් සීමා නොකොට ඉනුත් එහාට යන වැඩසටහනක් බවට පත්කර ගනිමින් අතීතයේ සිදුවූ වැරදි සොයාබැලීමේ ක්‍රියාවලිය ජාතික අර්බුදය විසඳන වැඩසටහනට ආලෝකය හා ශක්තිය ලබාදෙන වැඩසටහනක් බවට පත්කර ගැනීමේ හැකියාව තිබුණි. ඒ මගින් දූෂණයට තිබෙන අතිවිශාල නැඹුරුව දුර්වල කොට විශාල ප්‍රමාණයකට රට නීතියේ ආධිපත්‍යය රජ කරන තැනකට ගැනීමේ පුළුවන්කම තිබුණි. එම ක්‍රියාමාර්ගය තුළ කිසියම් විශාල ප්‍රමාණයකට පාර්ලිමේන්තුව හා අධිකරණයද පිරිසිදු කර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.
එවැනි විමර්ශන වැඩසටහනක් සාර්ථක කරගැනීම සඳහා සියලුදෙනාට පිළිගත හැකි සාධාරණ හා තර්කානුකූල ප්‍රවේශයක් තිබීම අත්‍යවශ්‍යය. විමර්ශන වැඩසටහන දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම හෝ ඔවුන් පීඩාවට පත්කිරීම ඉලක්ක කරගත්තක් නොවිය යුතුය. නීතිය උල්ලංඝනය කළ පුද්ගලයා කවරකු වුවද ඔහුට හෝ ඇයට හෝ එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් පවත්වාගෙන යා යුතුය.

විශ්වාසයට හා ගෞරවයට හේතු නොවීම
එහෙත් ආණ්ඩුවට ඒ සඳහාද පැහැදිලි දර්ශනයක් නොතිබුණි. එවැනි වැඩසටහනකට යන ආණ්ඩුවකට විරුද්ධවාදීන්ගේ පවා විශ්වාසයට හා ගෞරවයට හේතුවන පැවැත්මක් තිබිය යුතු අතර තමන්ට එවැනි පැවැත්මක් ඇති බව පෙන්නුම් කිරීමට ආණ්ඩුව ආරම්භයේ සිටම අසමත් විය. එම විෂයේදී ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා කල්පනා කරන ලද ආකාරයේද පොදු බවක් නොතිබුණි. ඒ බව මහජනයාටද පෙනෙන්නට තිබුණි. වැනෙනසුලු ආකාරයකට හෝ නීතිය ක්‍රියාත්මක වූවේද වැරදි කරන ලද අය අතර ක්‍රියාකාරී තත්ත්වයක සිටින මහින්ද හිතවාදීන්ට එරෙහිව පමණය. නිහඬව සිටිමින් ආණ්ඩුව සමඟ පස්සා දොරින් ගනුදෙනු කරන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවූයේම නැති තරම්ය. වැරදි කොට ආණ්ඩුවට එකතු වී සිටි අය සම්බන්ධයෙන් සේ ම ආණ්ඩුවේ වැරදි කරන අය සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවූයේ නැත.
දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ පාලන කාලයේදී ඊට පෙර වර්ණ භේදවාදී ආණ්ඩුව පවත්වාගෙන ගිය අපරාධ පිළිබඳව සොයාබලන ප්‍රතිපත්තියකට යන්නට තීරණය කෙරුණු අවස්ථාවේදී තමන් සම්බන්ධයෙන් පමණක් නොව අප්‍රිකානු කොංග්‍රසයේ සාමාජිකයන් කරන ලද අපරාධ සම්බන්ධයෙන්ද සොයා බලන තැනට යායුතු බවට සුදු ජාතිකයෝ මහ හඬින් ඉල්ලා සිටියෝය. ඔවුන්ගේ එම ඉල්ලීම අප්‍රිකානු කොංග්‍රසයේ බලවත් විරෝධයට හේතුවී තිබුණි. නෙල්සන් මැන්ඩෙලා එහිදී කොංග්‍රස් පක්ෂයේ සිරකරුවකු බවට පත්නොවී සුද්දන් අතින් පමණක් නොව කල්ලන් අතින්ද සිදුවූ අපරාධ ගැන සොයාබලන තැනකට ගියේය. මැන්ඩෙලාට සිය බිරිඳ අත්හරින තැනකට යන්නට සිදුවූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් යහපාලන ආණ්ඩුවේ නායකයන්ට එවැනි පැවැත්මක් පෙන්නුම් කිරීමට හැකිවූයේ නැත.

පොදු දේපළ කොල්ලකෑම
පොදු දේපළ යටතේ සිදුවන වැරදි ගැන සොයා බලන විමර්ශන වැඩසටහනක් රාජපක්ෂ පාලන කාලයට පමණක් සීමා කළ නොහැකි බව ආණ්ඩුව මුල සිටම තේරුම් ගත යුතුව තිබුණි. හේතුව එවැනි වැරදි සඳහා කාලාවරෝධයක් නැති නිසා හා ඊට පෙර පාලන කාලවලදීද එවැනි වැරදි සිදුවී තිබෙන නිසාය. කවුරුන් හෝ නිසි සාක්ෂි ඇතිව රාජපක්ෂ පාලන කාලයට පෙර පැවති පාලන කාලයක් තුළ සිදුවී තිබෙන පොදු දේපළ නීතිය යටතට වැටෙන වරදක් පිළිබඳව පැමිණිලි කරන අවස්ථාවකදී ඒ පැමිණිල්ල ඉවත දැමීමේ හැකියාවක් එවැනි පැමිණිලි විමර්ශනය කරන ආයතනවලට නැත. අනෙක් අතට අතීතයේ සිදුවී තිබෙන වැරදි සොයාබලන වැඩසටහනක් පවත්වාගෙන යන ආණ්ඩුවකට එරෙහිවද එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන අතර එසේ ඉදිරිපත් වන පැමිණිලි සනාථ වන අවස්ථාවකදී ආණ්ඩුව කෙරෙහි අවඥාසහගත හැඟීමක් ඇතිවීමද වැළැක්විය නොහැකිය.
පොදු දේපළ කොල්ලකන තත්ත්වයක් පැවතියේ රාජපක්ෂ පාලන කාලයේදී පමණක් නොවේ. ඊට පෙර පැවති ආණ්ඩු පාලන තුළද ඒ දේ සිදුවිය. විශේෂයෙන්ම එය 1977න් පසු ඇතිවී හැම ආණ්ඩු පාලන කාලයක් තුළම අඩුවැඩි වශයෙන් සිදුවූ ක්‍රියාදාමයක් විය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඒ විෂයෙහි සිදුවූ වැරදිවලට දඬුවම් කරන ප්‍රතිපත්තියක් යුක්තිසහගත විය හැක්කේ පොදු දේපළ විෂයෙහිලා සැලකෙන වැරදිවලට කාලාවරෝධයක් තිබී ඒවා ගැන සොයාබැලීමේ හැකියාව මහින්ද රාජපක්ෂ පාලන කාලයට පමණක් සීමාවූ තත්ත්වයක් තිබෙන්නේ නම් පමණය. එහෙත් ඒ ගණයට වැටෙන වැරදිවලට කාලාවරෝධයක් නිසා සිදුවන විමර්ශන කටයුතු ඒ කාලයට පමණක් සීමාකිරීමේ හැකියාවක් නැත.
පොදු දේපළ සම්බන්ධයෙන් සිදුවී තිබෙන වැරදි ගැන මහින්ද රාජපක්ෂ පාලන කාලයට සීමා නොකොට 1977 කාලයේ සිටම සිදුවී තිබෙන වැරදි ගැන සොයාබලන තැනකට ගියේ නම් විවිධ ආණ්ඩු පාලන කාලයන් තුළ විවිධ දේශපාලනඥයන් අයථා ලෙස උපයාගත් ලොකු ධනස්කන්ධයක් රජයට හිමිකර ගන්නට පුළුවන්කම ඉඩ තිබුණා සේම හිටපු හා සිටින දේශපාලනඥයන් විශාල පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක තත්ත්වයක් ඇතිවීම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසියම් විශාල පිරිසකට ඔවුන්ගේ මන්ත්‍රීකම් අහිමිවන තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවද කිසියම් විශාල ප්‍රමාණයකට පිරිසිදු වන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි.

මන්ත්‍රී වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් හා දීමනා ප්‍රමාණවත් නොවන බව අගමැතිවරයාගේ මතය වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉටුවිය යුතු විශේෂ සමාජ දේශපාලන කාර්යභාරයක් පවතී. මන්ත්‍රීවරුන්ට දෙනු ලබන වැටුප් හා දීමනා ප්‍රමාණවත්ද නැද්ද යන්න සලකා බලන්නට පෙර ඔවුන් අතින් ඔවුන් වෙත පැවරී තිබෙන සමාජ දේශපාලන වගකීම ඉටුකෙරෙන්නේද නැද්ද යන්න ගැන සොයාබැලිය යුතුය. ඔවුන්ට ගෙවන වැටුප් දීමනා වැඩි කරනවා නම් වැඩිකළ යුතුව තිබුණේ ඔවුන්ට අයථා ලෙස වස්තුව උපයාගැනීමට ලැබී තිබෙන හැකියාව නැති කොට ඔවුන්ට සිය වගකීම් ඉටුකිරීමට බලකෙරෙන නව ප්‍රතිසංස්කරණ ඇති කිරීමත් සමඟය. එහෙත් ඔවුන්ට ලැබෙන දේවල් වැඩි කර ඇත්තේ එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමකින් තොරවය.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන ඕනෑම රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පිළිගත් ප්‍රතිපත්ති හා සම්ප්‍රදායක් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීම මුළුමනින් තහනම්ය. එවැනි වරදක් සිදුවූ අවස්ථාවකදී එම මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීකම අහිමි කරන සම්ප්‍රදායක් ඒ හැම රටකම ක්‍රියාත්මක වේ. ඒ ගුණධර්ම 1977 වන තෙක් ලංකාවේද ක්‍රියාත්මක විය. ගාල්ලේ ඇල්බට් සිල්වාට සිය මන්ත්‍රීකම අහිමිවූයේ ඉන්ධන පිරවුම්හලක් සඳහා වන බලපත්‍රයක් පවත්වාගෙන යෑම නිසාය. එහෙත් 1977දී එතෙක් ක්‍රියාත්මක වූ එම යහපත් ක්‍රමය යටපත් කොට මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අයිතිය ඔවුන්ට අනියම් ලෙස ලබාදෙන ලදි. එවැනි වැරදිවලදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද වළකන ලදි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පැවති ඉඩම් නොවටිනා මිලකට හිමිකර ගැනීමේ අයිතිය ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලදි. ඒ මගින් ඔවුහු ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්වූහ. සමහර මන්ත්‍රීවරු තමන්ගේම නමටද තවත් සමහර මන්ත්‍රීවරු බිරිඳ හෝ දරුවන්ගේ නම්වලටද ඉඩම් ලබාගත්හ. ජනාධිපති ජේආර් ජයවර්ධන වස්තු තණ්හාවෙන් යුතු නායකයකු ලෙස සැලකිය නොහැකි වුවද ඔහු පවා තමන්ගේ කනාටු පොල්වත්තක් ආණ්ඩුවට දී ඒ වෙනුවට ආණ්ඩුවට තිබුණු සරුසාර පොල් වත්තක් හිමිකර ගත්තේය. ආණ්ඩු පක්ෂයේ තවත් සමහර මන්ත්‍රීවරුන්ට ආදායම් උපයාගත හැකි විවිධ බලපත්‍ර ලබා දුන් අතර ඊට අතිරේකව තවත් සමහර මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකරන්නට ඉඩ දුන්නේය.

මන්ත්‍රීවරුන්ගේ වැටුප් ප්‍රශ්නය
මේ පෙරහැර එජාප පාලන කාලයට පමණක් සීමාවූ දෙයක් නොවීය. ඉන්පසු බලයට පත්වන ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණු කාලයේදීද ඒ සියලු දේවල් ඒ ආකාරයටම සිදුවූ අතර මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීම පොදු පෙරමුණු ආණ්ඩු කාලයේ එම පෙරහැරට අලුතෙන් එකතු කරන ලද වැදගත් අංගයක් වීයැ’යි කිව හැකිය. මන්ත්‍රීවරුන් හරහා මත්පැන් බලපත්‍ර 116ක් බෙදාදී තිබෙන අතර ඒ නිසා සමහර මන්ත්‍රීවරු පවුලේ සාමාජිකයන් නමින් තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම්කරුවන් බවට පත්වූහ. තවත් සමහර මන්ත්‍රීවරුන් එම බලපත්‍ර පිටස්තර පුද්ගලයන්ට ලබාදී හවුලේ තැබෑරුම් පවත්වාගෙන යන්නන් බවට පත්වූ අතර තවත් සමහර මන්ත්‍රීවරු එම බලපත්‍ර විකුණා මුදල් උපයා ගත්තෝය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ ඉඩම් ලබාදී ඔවුන් ඉඩම් හිමි වැවිලිකරුවන්, බලපත්‍රලාභීන් හා කොන්ත්‍රාත්කරුවන් බවට පත්කරන මෙම සමස්ත ක්‍රියාවලිය නීතියට පටහැනි දෙයක් වූවා සේ ම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ටද පටහැනි දෙයක් විය.
පොදු දේපළ කොල්ලකෑම රාජපක්ෂ පාලන කාලයට සීමාවූ දෙයක් නොවන අතර 1977න් පසුව විවිධ ආණ්ඩු පාලන කාලයන් තුළ විවිධ ආකාරවලින් සිදුවූ දෙයක් විය. අනෙක් අතට මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් ප්‍රමාණවත්ද නැද්ද යන්න ගැන කෙරෙන කරුණු සලකා බැලීමකදී ඔවුන්ට අයථා ලෙස ආදායම් උපයා ගැනීමට ලබාදී තිබෙන විවිධ මාර්ග ඔස්සේ ආදායම්ද සැලකිල්ලට ගත යුතුය. ඔවුන්ට බලපාන ආකාරයට සිදුකරන වැටුප් සංශෝධනයකට යන්නට පෙර නීතියට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූල නොවන එම අයථා ආදායම් මාර්ග වසා දැමීමද අත්‍යවශ්‍යය. ඇත්ත වශයෙන්ම නීතියට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්ට පටහැනිව මන්ත්‍රීවරුන් ආදායම් උපයා ගැනීම සඳහා පවත්වාගෙන යන ආදායම් මාර්ග ගැන සොයා බලන තැනකට ගියහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකට මන්ත්‍රීකම් අහිමි වන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.
විවිධ චෝදනා යටතේ උසාවිවල වගඋත්තරකරුවන් බවට පත්ව සිටින මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවද විශාලය. සමහර මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බරපතළය. දේශපාලන බලපෑම් මත පරීක්ෂණ යටපත් කරගෙන සිටීම නිසා චෝදනා එල්ල වී නැති අයද කිසියම් පිරිසක් සිටිති. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සැලකෙන්නේ රජයේ නිලධාරීන් ලෙසය. ආයතන සංග්‍රහය අනුව රජයේ නිලධාරියෙකුට අධිචෝදනා ඉදිරිපත් වූ අවස්ථාවකදී ඔහුගේ වැඩ තහනම් කළ යුතුය. එවැනි ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

වාහන ප්‍රතිපත්තිය
රේගු නීතිය අනුව තීරුබදු රහිත පදනමකින් ලබාදෙන වාහන විකිණීම හෝ අන්සතු කිරීම දඬුවම් ලබාදිය හැකි නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් 1977 සිට බලයට පත් හැම ආණ්ඩුවක්ම මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන විකුණා ගැනීමට ඉඩ දුන්නේය. ඒ මාර්ගයෙන්ද මන්ත්‍රීවරු ලොකු ආදායමක් උපයා ගත්තෝය. ඒ මගින් ඒ හැම ආණ්ඩුවක්ම භාණ්ඩාගාරයට ලැබිය යුතු ලොකු බදු මුදල් ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ සාක්කුවලට දා ගැනීමට ඉඩ දුන්නේය. ඒ මගින් එම ආණ්ඩු සේ ම මන්ත්‍රීවරුන්ද කර තිබෙන්නේ ලොකු වංචාවක් නොවේද? ඒ වරද නිවැරදි නොකොට තවදුරටත් කරගෙන යන්නට ඉඩදීම මගින් මේ ආණ්ඩුව කර තිබෙන්නේද ලොකු වරදකි. රජයට ලැබිය යුතු බදු වංචා කිරීම බරපතළ වරදක් නම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පමණක් එය වරදක් නොවන්නේ කෙසේද? මන්ත්‍රීවරුන්ට ලැබෙන ආදායම් සැලකිල්ලට ගැනීමේදී හැම වසර 5කට වරක්ම ලැබුණු මෝටර් රථය විකිණීමෙන් උපයා තිබෙන ආදායමද සැලකිල්ලට ගත යුතු නැද්ද?
ඇමතිවරුන්ගේ පරිහරණය සඳහා ආණ්ඩුව මෝටර් රථ මිලදී ගෙන ඇමතිවරුන්ගේ පරිහරණය සඳහා දෙන ප්‍රතිපත්තියට වඩා කල්බදු ක්‍රමයකට මෝටර් රථ ලබාදෙන ප්‍රතිපත්තියක් යහපත්ය. එහෙත් යහපාලන ආණ්ඩුව ඒ හොඳ දේ කරමින් තිබෙන්නේද නරකම ආකාරයකටය. ආණ්ඩුව වාහන මිලදී ගෙන ඇමතිවරුන්ට ලබාදෙන ක්‍රමය තුළ ආණ්ඩුවට ලැබිය යුතු රේගු බදු ආදායම ආණ්ඩුවට අහිමි කිරීමට හේතුවේ. ආනයන කෙරෙන මෝටර් රථ සඳහා අය කෙරෙන රේගු බද්ද වාහනයේ නියම මිල මෙන් දෙගුණයක් තරම් විශාලය. ඊට අතිරේකව වාහනය නඩත්තු කිරීම, රෙපයාර් කිරීම, රක්ෂණය හා ආදායම් බලපත්‍ර සඳහාද විශාල වියදමක් ආණ්ඩුවට දරන්නට සිදුවේ.
කල්බදු ක්‍රමයකදී මෝටර් රථයේ අයිතිය ආණ්ඩුවට හිමිවන්නේ නැතත් වාහනය නඩත්තු කිරීමට අවශ්‍ය සියලු වියදම් දරන්නේ බදුකරුවාය. එහෙත් ආණ්ඩුව කල්බදු ක්‍රමයට වාහන ලබාගැනීමේදී ගෙවන්නට අපේක්ෂා කරන මිල විශ්වාස කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පවතී. කල්බදු ක්‍රමයට වාහනයක් සඳහා අය කෙරෙන්නේ කිලෝමීටරයක් සඳහා රුපියල් 35ත් 40ත් අතර මිලකි. එක දිගට වසර ගණනක පාවිච්චිය සඳහා ගන්නේ නම් ඒ මිල තවත් අඩු කරගත හැකිය. කිලෝමීටරයක් සඳහා රුපියල් 30ක් වැනි මුදලකට වාහනයක් ලබාගත හැකිය. එහෙත් ආණ්ඩුව ඇමතිවරුන්ට කල් බදු ක්‍රමයට වාහන ලබාදීමේදී බදුකරුවාට කිලෝමීටරයක් සඳහා රුපියල් 250ක් හෝ මාසික බදු කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 7කට නොවැඩි මුදලක් ගෙවන්නට අපේක්ෂා කරයි. කිලෝමීටරයකට රුපියල් 100ක් වැනි මුදලකට සුඛෝපභෝගී මෝටර් රථයක් කල් බදු ක්‍රමයට ලබාගත හැකිය. ඉන් පෙනෙන්නේ බදුකරුවාට ලොකු අයථා ලාභයක් ලබාගත හැකි ආකාරයට වැඬේ සැලසුම් කර තිබෙන බවය. මාපියන් නැති රජයේ ළමා නිවාසවල ජීවත් වන අසරණ ළමුන් නඩත්තු කිරීම සඳහා දිනකට රුපියල් 20ක් වැය කරන ආණ්ඩුවක් ඇමතිවරුන්ගේ පරිහරණය පිණිස කල්බදු ක්‍රමයට මෝටර් රථයක් ලබාදීමට වසරකට රුපියල් ලක්ෂ 84ක් වැය කිරීම සාධාරණ විය හැක්කේ කෙසේද?
රටේ ක්‍රියාත්මක වන සම්ප්‍රදාය අනුව ඇමතිවරයෙක් එක වාහනයක් නොව වාහන 10ක් පමණ පරිහරණය කරයි. නියෝජ්‍ය ඇමතිවරයෙක්ද වාහන 5ක් පමණ පරිහරණය කරයි. නිල වාහනයට අතිරේක අනෙක් වාහන ලබාගන්නේ ඇමතිවරයා යටතේ තිබෙන වෙනත් ආයතනවලිනි. එම කෑදර වාහන පරිභෝජන රටාව වෙනුවෙන් පමණක් වැය කරන්නට සිදුවී තිබෙන වියදම අතිවිශාලය. ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයෙකුට පරිහරණය කළ හැකි වාහන ගණන විස්තර කරන චක්‍රලේඛයක් නිකුත් කිරීමට ආණ්ඩුවට බැරි ඇයි?
ලංකාව විශාල රටක් නොව පුංචි රටකි. රටේ මහා මාර්ග හොඳ තත්ත්වයක පවතී. රට තිබෙන්නේ විශාල ආර්ථික අර්බුදයකය. රටේ මැති ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට හොඳ වාහනයක් මිස ඉතා මිල අධික අධිසුඛෝපභෝගී මෝටර් රථ ලබාදෙන ක්‍රමයක් යුක්තිසහගත විය හැක්කේ කෙසේද? රුපියල් ලක්ෂ 400ක් හෝ 500ක් වටිනා මෝටර් රථ ලබාදෙන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ කෙසේද? එම විසම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බැරිද? ඊට අදාළව දැන් පවතින අශෝභන තත්ත්වය ගැන එම නායකයන් දෙදෙනා ලැජ්ජා විය යුතු නැද්ද?

පාර්ලිමේන්තුවේ විශාලත්වය
පළාත් සභා ක්‍රමයක් ඇති කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රමාණය කුඩා කළ යුතුව තිබුණි. එහෙත් එවැනි දෙයක් සිදුවූයේ නැත. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රමාණය කුඩා කරන්නට බලාපොරොත්තුවන්නේ නැත. ජනගහනය මිලියන 1329ක් වන ඉන්දියාවේ පාර්ලිමේන්තුව සමන්විත වන්නේ මන්ත්‍රීන් 245 දෙනකුගෙනි. මිලියන 203ක ජනගහනයක් සිටින පාකිස්තානයට තිබෙන්නේ මන්ත්‍රීවරුන් 342කින් සමන්විත පාර්ලිමේන්තුවකි. මිලියන 161ක ජනගහනයක් සහිත බංගලිදේශයට තිබෙන්නේ මන්ත්‍රීවරුන් 350කගෙන් සමන්විත පාර්ලිමේන්තුවකි. අපට මිලියන 21ක ජනගහනයක් සඳහා සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225කි. ඉන්දියාවේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වැටෙන ජනගහනය ලක්ෂ 54කි. පාකිස්තානයේ ලක්ෂ 6කට (593563) ආසන්න වන අතර බංගලිදේශයේ ලක්ෂ 5කට (461517) ආසන්නය. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වැටෙන ජනගහනය ලක්ෂයකටත් (94235) වඩා අඩුය. නිලතල දරන්නන්ගේ සංඛ්‍යාව කුඩා වී නිල රහිත අයගේ සංඛ්‍යාව විශාල වීම පාර්ලිමේන්තුවක තිබිය යුතු වැදගත්ම ලක්ෂණයකි. එහෙත් 1977න් පසුව ලංකාවේ පාර්ලිමේන්තුවේ නිලතල දරන්නන්ගේ සංඛ්‍යාව විශාලවී නිලතල නොදරන්නන්ගේ සංඛ්‍යාව කුඩා විය. එය පාර්ලිමේන්තුවක නොතිබිය යුතු නරකම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. විමධ්‍යගත අයවැය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් වෙන්කරන ක්‍රමයද පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිය. එය මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා හා ඔවුන්ට අනියම් ලෙස අතිරේක ආදායමක් උපයා ගැනීම සඳහා ඇති කර තිබෙන නාස්තිකාර අවලස්සන හා දූෂිත ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මන්ත්‍රීවරයෙකු ව්‍යවස්ථාදායකයකු මිස විධායකයකු ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකතු වී තිබෙන එබඳු අවලස්සන දේ වෙනස් කිරීමේ වුවමනාවක් යහපාලන ආණ්ඩුවටද තිබෙන බවක් පෙනෙන්නට නැත.

අයාලේ යන ගමන
ආණ්ඩුව පළමුකොට විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න අමතක කොට තිබෙන අප්‍රධාන ප්‍රශ්න එක පොදියකට ගෙන නිසි දර්ශනයකින් හෝ උපාය මාර්ගයකින් තොරව විසඳා ගන්නට දරන උත්සාහය තුළ තිබෙන අවුල් තීව්‍ර කරගනිමින් තිබෙන බව පෙනේ. ඒ ක්‍රමය අනුව ආණ්ඩුව දැන් සටන් කරන්නේ සටන් කළ යුතු අය සමඟ නොව වෘත්තීයවේදීන්, සිල්ලර කඩකාරයන්, බස් රියැදුරන්, ත්‍රීවීලර් රියදුරන් වැනි අය සමඟය. ඒ මගින් ප්‍රධාන ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය කරන ජන සහාය අහිමිකර ගන්නා තැනකට ආණ්ඩුව තල්ලු වී තිබේ.
ඇතිවී තිබෙන බව අවුල්සහගත තත්ත්වය පුදුමයට හේතුවන කරුණක් ලෙස සැලකිය නොහැක්කේ කොහොමටත් ආණ්ඩු බලය ලබාගෙන සිටින අය ලංකාව මුහුණදී තිබෙන විස්තීරණ අර්බුදය හා එය විසඳාගත යුතුව තිබෙන ආකාරය පිළිබඳව පෙර සූදානමක් ඇතිව බලයට පත්වූ අය නොවන නිසාය. බලයට පත්වීමෙන් පසුවද ඒ ගැන ගැඹුරු හැදෑරීමකට ගිය බවක් හෝ විශේෂඥ උපදෙස් ගත් බවක් පෙනෙන්නට නොතිබුණි. පුපුරනසුලු විස්තීරණ අර්බුදයකට අතගැසුවේ පෙර සූදානමක් නැතිව, එම අර්බුදය පිළිබඳව ඇතිකර ගන්නා ලද ගැඹුරු වැටහීමක් නැතිව, නිසි දැක්මක් හා මාර්ග සැලැස්මක් නැතිවය. ඒ නිසා සියලු දේවල් අවුල්සහගත තත්ත්වයකට යෑමද නොවැළැක්විය හැකි දෙයක් වී තිබුණි. ඒ නිසා ආණ්ඩුවට දිය හැකිවනු ඇත්තේද මහදැනමුත්තාගේ විසඳුම් පමණය.■