රාවය

පරාජය වන යහපාලනය

පරාජය වන යහපාලනය

ජයදේව උයන්ගොඩ

යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී සටන අතරමඟ ඇනහිටීම, එම ආණ්ඩුව පත් කිරීමට දායක වූ කොටස්වල මහත් දේශපාලන කළකිරීමකට දායක වී තිබේ. මෙම ඇනහිටීම විමතිය දනවන්නක්ද වෙයි. මන්ද යත්, ඒ මඟින් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ චර්යාධාර්මික සුජාතභාවයද බරපතළ අර්බුදයකට තල්ලුවී තිබේ. මට පෙනෙන හැටියට නම් බලයට පත් කිරීමට අප වෙර දැරූ මේ ආණ්ඩුව දැන් එහි යහපාලන සුජාතභාවයේ ලක්ෂ්මණ රේඛාව උල්ලංඝනය කර, අකාමකා දමා ඇති බවයි.
ඒ සඳහා උදාහරණ, ආණ්ඩුවේ සිරිසේන සහ වික්‍රමසිංහ යන බල මධ්‍යස්ථාන දෙකෙන්ම සෑහෙන පමණ පසුගිය කාලයේ සපයා තිබේ. එහි අලුත්ම නිදසුන, මේ දිනවල සමාජ මාධ්‍යවල විශේෂයෙන් සාකච්ඡා කෙරෙන, පොලිස්පති සහ සාගල රත්නායක ඇමතිවරයා අතර ‘නිලමේ’ කෙනෙකු අත්අඩංගුවට නොගැනීම ගැන සිදු වූ දුරකථන සංවාදයයි.
මේ සිදුවීමෙන්, මහජන සාකච්ඡාවට භාජනය විය යුතු තවත් කාරණා තුනක් ගැන අදහස් කිහිපයක් දැක්වීම මේ ලිපියේ අරමුණයි.
පළමුවැන්න පොලිස්පතිතුමා, දේශපාලනඥයකු සමඟ දුරකථනයෙන් කථා කරද්දී පවා දක්වන යටහත් පහත් දීනභාවයයි. ‘දීන’ යන වචනය ඔහුගේ චර්යාව හැඳින්වීමට වඩා සුදුසුවෙයි. මන්ද යත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ජාතික පොලිස් කොමිසම පිහිටුවීමෙනුත් අදහස් කළ, පොලිස් දෙපාර්තමේන්තුව සහ පොලිස්පතිවරයා ‘ස්වාධීන’ ආයතන බවට පත් කිරීමේ යහපාලන අරමුණු ගැන කිසිදු අවබෝධයක් හෝ සංවේදීභාවයක් ඔහුගෙන් ප්‍රකාශ නොවන නිසාය.
ඒ තරමටම කනගාටුදායක කරුණ නම්, ඇමතිවරයකු ඉදිරියේ දුරකථනයෙන් ‘දීන’ වන පොලිස්පතිවරයාට ‘ස්වාධීනතාවේ’ පාඩම දැන්වත් කියා දියයුතු නේදැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවවත්, ජාතික පොලිස් කොමිසමවත් තවමත් කල්පනා නොකිරීමයි.
දෙවැන්න නම්, මෙම කාරණය පිළිබඳව අගමැතිතුමා ආණ්ඩුවේ ඇමතිවරුනුත් දක්වන හාස්‍යජනක ප්‍රතිචාරයයි. වඩාත්ම කනගාටුදායක ප්‍රතිචාරය ලැබී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතිනි. සුපුරුදු පරිදි ඔහු කළේ ඉතා වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණක් හෑල්ලුවට ලක් කිරීමයි. එනම් එරසඩස්කස‘ැ කිරීමයි. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ සිට පොලිස්පති සාගල සිදුවීම දක්වා මෙම ආණ්ඩුවේ යහපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ හදවතටම පහර වදින වැඩ ආණ්ඩුව පැත්තෙන් කෙරෙන විට උගත් අගමැතිතුමා කර තිබෙන්නේ ඒ ගැන ස්වයංවිවේචනයක යෙදී ප්‍රතිපත්ති නිවැරදි කර ගැනීමක් නොවේ. ඒ කරුණු මතු කරන අය ගැන හාස්‍යය සහ උපහාසය ජනිත කර, මහජන සාකච්ඡාවට බඳුන්වන නිමිත්ත හෑල්ලුවට නඟා අවලංගුවට ලක් කිරීමයි. මෙය එක් අතකින් එතුමාගේ උද්ධච්ඡභාවයත්, අනෙක් අතට තමන්ම ජනතාවට ඉදිරිපත් කළ චර්යාධාර්මික ආණ්ඩුකරණය :ැඑයසජ්ක ටදඩැරබ්බජැ* යන මූලධර්මය ගැන දැන් බලයේ සිටිද්දී එතුමා වර්ධනය කරගෙන ඇති පිළිකුලත් ප්‍රකාශයට පත් කරන්නකි. පසුගිය අවරුදු එකහමාර තුළ අගමැතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ ඔප්පු කර ඇති දේ අතර වැදගත් එකක් වන්නේ ඔහු නම් දේශපාලන ප්‍රතිසංස්කාරකයෙකු නොව ප්‍රතිසංස්කරණ පොරොන්දු මත බලයට ඒමේ අරමුණෙන් ඈතට සිතන්නේ නැති සුපුරුදු දේශපාලනඥයකු පමණක්ය යන්නයි.
තුන්වැන්න කෙළින්ම සම්බන්ධ වන්නේ පොලිස්පති සමඟ කළ දුරකථන සාකච්ඡාවෙන් තරමක් ඉඟි කෙරුණ සාගල රත්නායක -නිලමේ තේමාවයි. අගමැතිතුමාද පිළිගෙන ඇති පරිදි, සාගල ඇමතිතුමාගෙන් පොලිස්පතිට කරන ලද ඉල්ලීම වූයේ නිලමේ අත්අඩංගුවට නොගත යුතු බවයි. අගමැතිතුමාගේ ප්‍රකාශය වෙතින් බැලූබැල්මට පවා පෙනෙන දෙය නම්, එතුමා කර ඇත්තේ සුපුරුදු ‘කොළේ වැසීමක්’ :ක්‍දඩැර-මච* බවයි. විශේෂයෙන් නීතිඥ වෘත්තීය පසුබිම්වලින් යුක්ත යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් තමන් කොළේ වැසීමේ දේශපාලනයට ඉතා දක්‍ෂයන් බව මේ වන විට ඕනෑවටත් වඩා ප්‍රදර්ශනය කර ඇත.
මෙම කොළේ වැසීමේ දේශපාලනය තුළ, ආණ්ඩුවේ දූෂණ විරෝධී පරීක්‍ෂණවලදී, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල, රාජපක්‍ෂ පවුලට සම්බන්ධව සිටි තම ‘නැදෑයන්’ රැක ගැනීමේ ක්‍රියාවලියක්ද සිදුවන බව පෙනේ. දෙවුන්දර දේවාලයේ ‘නිලමේ’ මෙන්ම, හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මහා පරිමාණ වංචා පරීක්‍ෂණ දැන් යටගැසී තිබෙන්නේ, යහපාලන මූලධර්මවලට වඩා ‘ඥාති සම්බන්ධකම්’වලට ප්‍රමුඛත්වය දීම නිසාද යන කරුණ ගැන මහජනයාත්, සමාජ මාධ්‍යත් විමසිල්ලෙන් සිටිය යුතු කාලය පැමිණ ඇත යන්න පොලිස්පති සාගල සිද්ධියෙන් ගම්‍ය වේ.
යහපාලනයේ ලක්ෂ්මණ රේඛාව උල්ලංඝනය කිරීමේ තවත් පැත්තක් ගැන රාවය පාඨකයන්ගේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. එය නම් පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව බලපෑම් කිරීමේ ප්‍රධාන බලයක් ලෙස යුද හමුදා නායකත්වය යළිත් ඉදිරියට පැමිණීමයි. මේ ආණ්ඩුව ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලයට, යුක්තිය, මානව අයිතිවාසිකම්, යුද අපරාධ යන ක්‍ෂේත්‍ර සම්බන්ධව ගිය වසරේ දුන් පොරොන්දු දැන් ‘බොරු පොරොන්දු’ බවට පත්වී හමාර වී තිබේ. මේ පසුබිම තුළ තිබෙන්නේ, ගිය වසරේ ආණ්ඩු වෙනසත් සමඟ ලංකාවේ රාජ්‍ය පාලනය සම්බන්ධව සිදුවූ ඉතා වැදගත්, ප්‍රජාතන්ත්‍රීයමය වෙනසක් ආපසු හැරවීමකි. එය නම් රාජ්‍ය බලය සම්බන්ධව සිවිල්-හමුදා සම්බන්ධතාව, රාජපක්‍ෂ යුගයේ තිබුණු තත්ත්වයට ළංවන පරිදි වෙනස් කිරීමයි. ජනාධිපති කාර්යාලය මුල් කරගෙන සිදුවී තිබෙන මෙම ප්‍රජාතන්ත්‍රීයමය පසුබැස්මේ ප්‍රධාන ලක්‍ෂණය නම්, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ පියවර පිළිබඳ ‘නිශේධ බලයක්” ආරක්‍ෂක අමාත්‍යාංශයේත් යුද හමුදාවේත් ඉහළ නිලධාරි තන්ත්‍රයට පවරාදීමයි. මෙය වනාහි යහපාලන තන්ත්‍රය, මේ වසර ලැබූ බරපතළම පරාජය වීමටද හොඳටම ඉඩ තිබේ.■