රාවය

කිම්මන්තුඩාවේ බටපැළලි සන්නාහය විනිවිදීම

කිම්මන්තුඩාවේ බටපැළලි සන්නාහය විනිවිදීම

ඡායා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

කොයි වෙලාවක බැලූවත් ජය සේන අතේ තියුණු පිහියක් තිබුණි. විටෙක ඔහු එය පිටුපසින් ඉනේ ගසා ගනී. යළිත් මඳවේලාවකින් පිහිය දකුණතින් ගෙන වමතෙහි මහපට ඇඟිල්ලෙන් එහි තියුණු බව ස්පර්ශ කර බලයි. ඇතැම් අවස්ථාවක පිහිය එක්විටම කිසිල්ල සහ අත්ගොබය අතර සිරවී තිබෙන අයුරු දක්නට ලැබෙයි. මේ එකක්වත් හිතාමතා කරන දේවල් නොවන බව පෙනුණි. පිිහියේ ගමන පුරුද්දකි. ඒ පුරුද්ද ගෙදර දොරේ සාමාන්‍ය වැඩ කටයුතුවලදීය; තවකෙකු හා කතාබහේදීය. මේ තියුණු පිහියෙන් ගන්නා විශේෂ වැඩක් තිබේ.

තනි ඇහෙන් බලා

ඉන, කිසිල්ල සහ දෑත් අතර යන තියුණු පිහිය භාවිත කරන්නේ බටලීයක් එක සමාන සිහින් තීරුවලට ඉරාගැනීමටය. බටලීය පැලීමට පෙර ඒ දෙස තනි ඇහෙන් බලන්නේ එය ඍජුව පලාගැනීමටය. සිහින්ව පලාගත් බට පතුරු අවශ්‍යවන්නේ බටපැළලි නිෂ්පාදනය සඳහාය. පැළලි සඳහා අවශ්‍ය බට සිහින්ව ඉරා ගැනීම, ශුද්ධ කර ගැනීම පමණක් නොව බටපැළැල්ල වියන විටත් තියුණු ලෙස කැපෙන පිහිය වුවමනාය. ඒ නිසා බට පැළැල්ල වියන විට පිහිය වම් කිහිල්ලේ රඳවා ගනී. ඒ කොච්චරවත් පිහිය අවශ්‍ය වන බැවිනි. මේ පිහියෙන් බට මිස වෙන කිසිවක්ම කපන්නේ නැත. ඒ මුවාත යන නිසාය.

කිම්මන්තුඩාව

බණ්ඩාරගම සිට කළුතර පාරේ මඳ දුරක් ගොස් වමට සහ දකුණට දෙතුන් වරක් හැරී ගිය විට කිම්මන්තුඩාව හමුවෙයි. ඒ ගම නගරාශ‍්‍රිත කලබලය අඩු හරිත පැහැයෙන් දුලන බිම් පෙතකි. කිම්මන්තුඩාවේ පවුල් සියයක් පමණ බටපැළලි කර්මාන්තයේ නිරත වන අතර සෑම ගෙදරකම නිවැසියෝ කවුරුත් පාහේ පැළලි විවීම කරති. ස්ත‍්‍රී පුරුෂ කාටත් පැළලි විවීම කළ හැකිය. එහෙත් තනි ඇහෙන් බලා බටලීය සිහින් පටි පහකට හෝ හයකට පලා ඒවායේ බඩවත පෙදෙස මටසිලූටු කරගැනීම පුරුදුකාරයකුට මිස හැමෝටම කළ නොහැකිය. පිහිය සමබරව අල්ලාගත නොහැකි වුවහොත් බට පතුර වැඩිපුර හෝ මුළුමනින් කැපී යා හැකිය. සාමාන්‍යයෙන් කිම්මන් තුඩාවේ දින චර්යාව හරි නිදහස්ය. ඔවුහු දහවල පුරා බට කපා ඒවා පැළලි විවීම සඳහා උචිත අන්දමට සකස් කර ගනිති. රැුයේ සහ පාන්දර පැළලි වියති.

කළු ගෙඟන් එන බට

බට තිබෙන්නේ බුලත්සිංහල හා අඟුරුවාතොට ගඟ සහ දොළවල් ආශ‍්‍රිත ප‍්‍රදේශවලය. දිනපතාම පාහේ බට පඳුරු කැපෙන අතර ඒවා කපා දැමූ තැන් තැන්වලම සතියක් දෙකක් වෙලා මිටි බැඳ පාරුවට පටවනු ලබයි. අඟුරුවාතොට, ගල්පාත, පැල්පොල, දියගම හා දැල්කඩ යන තොටුපොළවල් පසු කරගෙන එන පාරුව පනාපෙ ඇළ ආසන්න තොටින් කිම්මන්තුඩාවට ගෙන ආ බට මිටි තොගය බායි. ඒ වනවිටත් තොටුපළෙහි ගොං කරත්ත ගාල්කර තිබෙන්නේ කිම්මන්තුඩාව දක්වා පාරුවෙන් ගෙනා බට මිටි රැුගෙන යෑම පිණිසය. ඇතැම්හු බට මිටි කර තබාගෙන තොටෙහි සිට ගම්මානය දක්වා යන අඩිපාරෙහි හිස නමාගෙන ගමන් කරනු පෙනේ. අඟුරුවාතොට සිට මෙසේ බට මිටි පාරුවෙන් ආවේ අද ඊයේ නොවේ. ඒ මීට වසර 50-60කට පමණ පෙරදීය. ජයසේනලාගේ තාත්තලා සහ ආතලා මුත්තලාගේ කාලයේදීය. කිම්මන්තුඩාවේ බට පැළලි නිෂ්පාදනය පරම්පරා කිහිපයක් ඈතට දිවෙන නියම පාරම්පරික කර්මාන්තයක් බව පෙනීයයි. බටවලින් සිංහල ජනයා බොහෝ කාලයක් මුළුල්ලේ නොයෙක් බඩු සාදා ඇත්තේ එය පහසුවෙන් වැඩ කළ හැකි ද්‍රව්‍යයක් මෙන්ම සුලභද වන බැවිනි.’ (ලංකා ජනතාව – ආචාර්ය නන්දදේව විජේසේකර)

මිල ගණන්

බුලත්සිංහල හෝ අඟුරුවාතොට සිට වර්තමානයේදී බට ප‍්‍රවාහනය කරන්නේ ලොරි රථ මගිනි. අඩි 8-10ක් දිග බටකූරු පනහකින් යුත් මිටියක වර්තමාන මිල රු. 400/-කි. බට කපන විට සමස්ත බට පඳුරම කපා යළි එය සීරුවට වැවෙන්නට දීම බට කපන ක‍්‍රමයයි. එහිදී පැළගස් පවා කැපේ. ළඟින් ළඟ වැවුණු විශාල බට පඳුරක පැළ ගස් බේරා මේරූ ගස් පමණක් කපා ගැනීම ඉතාම අපහසු කටයුත්තකි. බට පඳුරු අතරින් දිගු මන්නා පිහිය දමා ගැනීමත් අසීරුවීම ඊට හේතුවයි. බුලත්සිංහලදී හවසට බට කපන්නෝ උදේට කිරි කපති. බට, පාරුවෙන් එන කාලයේත්, ලොරිවලින් ප‍්‍රවාහනය කරන වර්තමානයේදීත් රුපියල් විසි තිස් දහසක බට කිම්මන්තුඩාවට ගෙන ඒම සඳහා මසක පමණ කාලයක් ගතවෙයි. ඒ බට ඇණවුම් කර කපා, මඳක් වේලා මිටි බැඳ පටවා එවීමට ගතවන කාලයයි.

පට්ටලය

බටලීයක මතුපිට ගැට කපා, පලා, ඇතුළත පොතුහැර සුමට කරගත් සෙන්ටිමීටරයක් පමණ පළල බට පතුරු එකින් එක එක්වී ක‍්‍රමයෙන් බටපැළැල්ලක් බවට පත්වන්නේ පට්ටලය මතදීය. පට්ටලය සාදා ගන්නේ පුවක් කඳන් දෙකට පැලීමෙනි. පලාගත් පුවත් කඳෙහි එක් පලූවක් තම ඉන ප‍්‍රදේශයේ උසින් තිරස් අතට බැඳ ගනී. තිරස් අතට බැඳගන්නේ බිත්තියකට හේත්තු කරන ලද කපාගත් පුවක් කඳේ ඉතිරි කොටස භාවිත කරමිනි. තිරස් කඳ දෙපැත්තකින් ගැට ගසා ගත යුතු නිසා පුවක් කඳේ ඉතිරි පළුව දෙකට කපා යම් දුර ප‍්‍රමාණයකින් බිත්තියට ආනතව හේත්තු කරගත යුතුය. මෙම ඇටවුම පට්ටලය නමින් හඳුන්වන අතර පැළැල්ල වියන්නේ තිරස් පුවක් කඳ එකම ආධාරකය කරගෙනය.

බැම්ම

බට පැළැල්ල ආරම්භක කෙළවර සවිවන්නේ පැළැල්ලේ ප‍්‍රමාණයට දිග රීප්ප පටියකිනි. රීප්පය පුවක් ගසේ පහළම කොටසින් කපාගන්නේ වක නොගැසෙන ශක්තිමත් ආධාරකයක් පැළැල්ලට අවශ්‍ය නිසාය. එම රීප්පයෙන් පටන් ගෙන සිහින්ව කපාගත් බට පතුරු එකින් එක යාකර ගන්නේ බැම්මෙහි ආධාරයෙනි. වියන්නට නියමිත පැළැල්ලේ ප‍්‍රමාණයට වඩා අඩි දෙක තුනක් පමණ දිගට ගත් නයිලෝන් නූලක දෙපැත්තේ ගැට ගසන ලද ගල් දෙකක් පට්ටලය උඩින් දිවෙන කැපුමක් හරහා දමා ගනී. බට පතුරක් පට්ටලය මතවූ නූල උඩින් තබා වියන්නාට පිටින් ඇති ගල තමන් දෙසට පුවක් කඳ මතින් දැමීමත්, වියන්නාගේ පැත්තේ ඇති නූල සහිත ගල කඳෙන් පිටතට දැමීමත් හරහා පැළැල්ලේ බැම්ම වැටෙයි. ගල් දෙකෙහි බරට බට පතුරු එකිනෙක හා තදවන අතර පැළැල්ලේ අවශ්‍ය ප‍්‍රමාණය දක්වාම මෙම ක‍්‍රියාවලිය සිදුකරයි. පැළලි කිහිපයක් වියන විට ගල් හැමවිටම එකිනෙක ගැටෙන නිසා සතරැුස් ගල් රවුම්වන අයුරු දැකගත හැකිය.

වක හරණය

පැළැල්ල වියා ගැනීමට භාවිත කරන පළමු බට පතුර කොළ පැහැ පිටමත උඩට සිටින සේ බැම්මට හසුකර ගන්නවා නම් දෙවැනි බට පතුර බැම්මට හසුකර ගන්නේ සුදු පැහැ බඩවත පෙදෙස උඩට සිටින පරිදිය. මෙසේ මාරුවෙන් මාරුවට බට පතුරුවල උඩ යට මාරු කිරීමෙන් පැළැල්ල වක ගැසීම වළකා ගත හැකිය. එසේම බට පතුරෙහි ඇදවීමක් තිබුණොත් කිසිල්ලේ රුවාගෙන සිටින තියුණු පිහිය ගෙන බට පතුර එක් තැනකින් මඳක් හැඩ කපා නැම්ම සකසාගෙන බැම්ම දමයි. බට පතුරකට තව බට පතුරක් පිරිද්දිය යුතු අවස්ථාවකදී පතුරු දෙක සමාන උසකට පත්කිරීම සඳහා බටපතුරු දෙකෙහිම පුරුද්දන පැත්තෙහි ඝනකම හෝල්ලූ කර පිරිද්දීම කරගනී. මෙම පිරිද්දීම කළයුත්තේ බැම්මක් ඇති තැනකදී පමණි. මැද හරියකින් මිස පැළැල්ලේ කෙළවරෙන් පිරිද්දීම එහි ශක්තිය බාලකිරීමට හේතුවිය හැකිය.

පැළලි මිල

මම අවුරුදු 15 ඉඳන් මේ කර්මාන්තෙ කරනවා. හදිසි බට පැළලි ඕඩරයක් ආවා. තාත්තා මටත් වැඩ කරන්න කතා කරනවා. ඔය විදියට තමයි බට කර්මාන්තය ඉගෙන ගත්තෙ. අපි වියන පැළැල්ලක වර්ග අඩියක් කොළඹදී නම් රු. 90-110 අතර මිලකට විකුණනවා. ගමේදී රු. 40-60 අතර වෙනවා.
එසේ කීවේ ජයසේනය. ඒ වනවිට පිහිය තිබුණේ ඔහුගේ කොන්දේය. රුවන් චාමර ජයසේනගේ දියණියගේ සැමියාය. ඔහු හැටන්හි පදිංචිකරුවෙකි. එහෙත් විවාහයෙන් පසුව ඔහුත් බට කර්මාන්තයෙහි නිපුණයකු වී එහිම නැවතුණේය.

‘මම සාම්පල් එකකුත් අරගෙන ලංකාව පුරාම ඇවිදිනවා. ඒ ක‍්‍රමයට තමයි අපිට බිස්නස් එන්නෙ. අද ඇවිදලා බිස්නස් එකක් කරගන්න බැරිවෙච්ච පාරක ආයෙත් මාසෙකින් ඇවිදින්න යනවා. එතකොට මුල් දවසෙ පැළලි පැළලි කියලා මම කෑගහන හඬ ඇහුණේ නැති කෙනෙක් ඇවිත් පැළලි ඉල්ලන්න පුළුවන්. මේ බිස්නස් එකට ලොකු ඉවසීමක් තියෙන්න ඕනෙ.’
එසේ කී රුවන් චාමර මහන්සි වන තරමට මෙයින් ආදායමක් උපයාගත හැකි බවද කීවේය.

ලූසිහාමි

රුවන් සමග අපි තවත් ගැමි ගෙදරකට ගොඩ වැදුණෙමු. කාලවර්ණ වියපත් මාතාවක් වේගයෙන් බට පැළැල්ලක් වියන්නීය. 86 හැවිරිදි ඇය බොහෝ සෙයින්ම ශ‍්‍රවණාබාධිත තත්ත්වයට පත්ව සිටි බැවින්, කිසියම් කරුණක් විමසා දැනගැනීම පහසු නොවීය. බාහිර දේවල් හොඳින් ශ‍්‍රවණය නොවන නිසාම ලූසිහාමි මාතාවගේ බට පැළලි අවධානය නොබිඳෙයි. මැදිවියේ සිටි ජයසේන පැළැල්ලක් වියූ තරම්ම වූ කඩිසරකමකින් ලූසිහාමි මාතාවද බටපැළලි වියමනෙහි නිරත වනු දක්නට ලැබුණි. මෙම ක‍්‍රියාවලියට ඒ කඩිසරකම අවශ්‍යය.

කලාව

පැළැල්ල සම්පූර්ණ කරගැනීමෙන් ඉක්බිතිව දෙපැත්ත සමානව කපාගත යුතුය. දෙපැත්තට රෙක්සීන් පටියක් නවා තබා මසා ගැනීමෙන් පැළැල්ලෙහි නිමාව හොඳින් සකසා ගත හැකිය.

සැබැවින්ම බටපැළලි කර්මාන්තය කලාවකි. කලාව උත්පාදනයවන්නේ තියුණු සැතකින් බටලීය පැලීමෙහි සිටය. සැබැවින්ම ජයසේන සිරුරෙහි ගට ගටා සිටි සැත මේ බට පැළලි කලාව අනුයන එක්තරා සංකේතයක් නොවන්නේද?

පැළලී… පැළලී….

ඔබේ ගේ ඉදිරිපිටිනුත් ඇසෙන එම කටහඬ දිගේ පාව එන්නේ පාරම්පරික කලාවක වර්තමාන භාවිතාවටම මිස අනෙකක් නොවේ.