පුතින් නම් ආක‍්‍රමණිකයා

රුසියානු ජනාධි පති ව්ලදිමීර් පුතින් පසුගිය නොවැම්බර් 20දා ක්‍රෙම්ලින් අසල අලෙක්සන්ද්‍රොව්ස්කි උද්‍යානයේ  I අලෙක්සන්දර් අධිරාජයාගේ් පිළිරුවකට මුල්ගල් තබන උත්සවයකට සහභාගි විය. මේ උද්‍යානය නැපෝලියන් සමග කළ සටන ජයග‍්‍රහණයෙන් පසු 1819-1823 වකවානුවේදී I අලෙක්සන්දර්ගේ නියෝග යෙන් නිර්මාණය කරවන ලද අතර ඔහුගේ පිළිරුවක් එහි තනවා තිබිණි. 1917 රුසියානු විප්ලවයෙන් පසු බෝල්ෂෙයික් පාලකයෝ ඒ පිළිමය තිබූ තැනින් ඉවත් කොට එය උණු කොට ලෝහය වෙනත් කාරියකට ප‍්‍රයෝජනයට ගත්හ. දැන් එය ඒ පැරණි ආකාරයෙන් ම පිහිටුවන්නට ජනාධිපති පුතින්ට වුවමනා වූ අතර එම උත්සවය පැවැත්වුණේ ඒ සඳහා ය. රුසියාව නැපෝලියන් සමග කළ යුද්ධයේ 200වන සංවත්සරය ද මේ සමග මහ ඉහළින් සැමරිණි.

1 වැනි අලෙක්සන්දර් යුරෝපීය ආරක්‍ෂාවේ පුරෝගාමියා බව ඒ උත්සවයේ දී පුතින් සඳහන් කළේ ය. ‘ඔය කියන යුරෝපාරක්‍ෂාවේ තුලිත බව පිළිබඳ මුල් සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ ඒ දවස්වල ය. එහිදී රටරටවල වුවමනා අන්‍යොන්‍යව සැලකිල්ලට බඳුන් කැරුණා මතු නොව අන්‍යොන්‍ය සාරධර්ම ගැන ද එහි දී සැලකිල්ලට ගනු ලැබිණි.’ මේ ප‍්‍රකාශයට මාධ්‍ය මගින් එතරම් ප‍්‍රචාරයක් නොලැබුණ ද පුතින් ඒ කීවේ මුඵ යුරෝපයට බව විචාරක මතය වේ.
පළමුවන ඇලෙක් සැන්ඩර් සමයේ පෝලන්තය රුසියාවේ යටත් විජිතයක් විය. යුකේ‍්‍රනය රුසියාවට ඈඳුණේ එසමයේ ය.

මේ අතීත වැඩවසම් පාලන යුගයකට යාමට පුතින්ගේ කැමැත්ත සංකේතවත් කරන එක් අවස්ථාවකැ’යි රුසියාවේ පළවන මොස්කව් ටයිමස් පුවත්පත වාර්තා කළේ ය.
ඇත්තටම පුතින් එබඳු ව්‍යාධියකින් නොපෙ ළෙනේනේයැ’යි කිව නොහැකි බව වර්තමානයේ ඔහුගේ හැසිරීම් රටාවෙන් පෙන්නුම් කරයි. නොයෙකුත් හේතු පෙන්වා ඔහු යුකේ‍්‍රනයට අයත්ව තිබූ කි‍්‍රමියාව සිය රටට ඈඳා ගත්තේ ය. ඊට පෙර ඔහු යුකේ‍්‍රනය අස්ථාවර කරන්නට උපක‍්‍රමික පියවර ගත්තේ ය.

යුකේ‍්‍රනයේ ජනාධිපති ව සිටි වික්ටර් යෙනුකොවිච්, යුරෝපා සංගමය සමග වාණිජ ගිවිසුමක් අත්සන් කරන්නට පියවර ගත් අවස්ථාව කතන්දරයේ ආරම්භය වෙයි. ඊට මැදිහත් වූ පුතින් ඔහුගේ හෙංචයියකු ව සිටි යෙනුකොවිච් ඒ ගිවිසුම අත්සන් නොකොට මගහරින්නට පොළඹවා ගත්තේ ය. ඒ 2013 නොවැම්බරයේ දී ය. එවිට යුකේ‍්‍රන ජනතාව යුරෝපය සමග ගිවිසුම අත්සන් කරනුයි බලකරමින් වීදි බැස්සෝය. යෙනුකොවිච්ට ජනාධිපතිධුරය හැර යන්නට සිදුවිය. පසුව පැවැත් වූ මැතිවරණයක දී වත්මන් ජනාධිපති පෙට්රෝ පොරෙෂෙන්කෝගේ අණ්ඩුව බලයට පත් විය.

දැන් මේ වනවිට යුකේ‍්‍රන රජය රුසියාව වෙනුවට යුරෝපයට සහ ඔවුන්ගේ නඬේ ගුරා වන අමෙරිකා එක්සත් ජනපදයට නැමියාවක් ඇති බව පෙන්වයි. අතීතයේ රුසියාවට අයත්ව තිබ එහෙත් ඒ වනවිට යුකේ‍්‍රනයේ ස්වයංපාලිත ප‍්‍රදේශයක් පැවැති කි‍්‍රමියාව පසුගිය වසරේ මාර්තු 21දා ඔහු රුසියාවට ඈඳා ගත්තේ කිසියම් ප‍්‍රයෝගකාරී පිළිවෙතකට ය. එය නීතියට පටහැනි බව එක්සත් ජාතීන් විසින් සම්මත කරනු ලැබිණි.

ඒ අතර නැගෙනහිර සහ දකුණු යුකේ‍්‍රනයේ යාබද ව පිහිටි ස්වයං පාලිත පෙදෙස් දෙකක් වන ඩොනෙට්ස්ක් සහ ලූගාන්ස්ක් යුකේ‍්‍රනයෙන් වෙන් වන්නට තීරණය කළෝ ය. පසුගිය වසරේ අපේ‍්‍රල් 07දා ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව පිහිටුවන ලද අතර එම 27දා ලූගාන්ස්ක් මහජන සමුහාණ්ඩුව පිහිටුවන ලදි. ඒ ‘රාජ්‍ය’ තමන් අතර සහ-සන්ධානයක් පිහිටුවා ගන්නා බවට ඒ දවස්වල ම ගිවිසුමකට එළැඹිණි. මේවා තවමත් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ස්වාධීන රාජ්‍ය නොවේ.

ඒ පෙදෙස්වල සිටින රුසියානු හිතකාමී සටන්කරුවන් සහ යුකේ‍්‍රන හමුදා අතර සටන් ඇවිලෙයි. මේවායින් මේ වනවිට 5,338 මරණයට පත් ව 12,000කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබූ බව වාර්තාගත ය. මැලේසියානු ගුවන් සමාගමේ එම්එච්17 ගුවන් යානයක් යුකේ‍්‍රනයට ඉහළින් අහසේ පියාසර කරමින් තිබියදී පසුගිය ජුලි 17දා බිම හෙළන ලද්දේ රුසියාවේ පිටුබලය සහිතව කි‍්‍රයාත්මක බෙදුම්වාදී කැරලිකාර කණ්ඩායම් විසිනි. එයින් එහි ගමන් කළ 298 දෙනෙක් එසැණ ජීවිතක්‍ෂයට පත් වූහ. සිද්ධීය වූ වහාම අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එය රුසියාවේ වැඩකැයි චෝදනා කළේ ය.

කි‍්‍රමියානු සිද්ධියත් සමග ම රුසියාවට සම්බාධක පැනවීම ආරම්භ කැරිණි. අමෙරිකානු බැංකුවල තිබූ රුසියන් ව්‍යාපාරිකයන්ගේ බැංකු ගිණුම් අකි‍්‍රය තත්ත්වයට පත් කරන ලද අතර පසුව යුරෝපා සංගමයේ රටවල් ද සම්බාධකවලට අවතීර්ණ විය. නැටෝ හමුදා යුකේ‍්‍රනයට එවිය යුතු බවට යෝජනාවක් වුවත් යුකේ‍්‍රනය නැටෝ සාමාජිකයකු නොවන හෙයින් ඒ යෝජනාවට තමා තරයේ විරුද්ධ බවත් එසේ කළහොත් එහි ප‍්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදුවනු ඇති බවත් එවිට පුතින් තර්ජනය කළෙන් එය කි‍්‍රයාත්මක වූයේ නැත. කෙසේ වෙතත් 30,000ක් සන්නද්ධ භටයන් සහිත නැටෝ බි‍්‍රගේඩ රුසියානු දේශ සීමා ආසන්නව සීරුවෙන් හිටවනු ලැබ සිටිති.
අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ සම්බාධක නිසා රුසියාව සිටින්නේ බලවත් අපහසුතා විඳිමිනි. එහෙත් පළමුවන අලෙක්සන්දර්ගේ අනුගාමිකයා යටත් වන්නට නොකැමැති ය. යුද්ධය පවතින්නේ රුසියාවේ නොවේ. එහෙත් ඉන් පීඩා විඳින්නේ රුසියානුවන් ය. ඒ ගැන රුසියානුවන් අතර විවේචන තිබේ. එහෙත් නොයෙක් ක‍්‍රමවලින් මාධ්‍ය සහ විපක්ෂය අබිබවා සිටින පුතින්ට ඒවා එතරම් ප‍්‍රශ්න නොවන බව පැහැදිලි ය. සම්බාධක නිසා රුසියානු ආර්ථිකය බොහෝ පල්ලම් බැස ඇති අතර ඒ හේතුවෙන් රූබලය බෙහෙවින් පහළ මට්ටමක පවතී. යුකේ‍්‍රනය හරහා වැටී ඇති රුසියානු ගෑස් සැපයුම් මාර්ගය වෙනස් කරන්නට සිදුව ඇත. යුද්ධය නිසා යුකේ‍්‍රන ආර්ථිකය ද 8% පහළ වැටී පවතියි. යුකේ‍්‍රනයේ පිහිටි ලෝකයේ පස්වන ස්ථානයට ගැනෙන සෆෙරිෂියා න්‍යෂ්ටික බලාගාරය මේ වනවිට වසා දමා ඇත.
පසුගිය 6දා ජර්මන් චාන්සලර් මර්කෙල්, ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්දේ කැටිව ක්‍රෙම්ලිනයට ගොස් පුතින් හමුවිය. ඒ සාමය සඳහා ඔහු පොළඔවා ගන්නට ය. කෙසේවෙතත් මෙහිදී හොලන්දේ විශේෂ යමක් නොකළ බව පැවසේ. සෙනසුරාදා ඇය ජනාධිපති ඔබාමා හමු වූවා ය.

මේ අතර කීව් ආණ්ඩුවට මාරාන්තික යුද අවි සැපයිය යුතු බවට ජනාධිපති ඔබාමාගේ උපදේශකයෝ කියති. රාජ්‍ය ලේක්ම් කෙරී සහ උප ජනාධිපති ජෝ බයිඩන් සිටින්නේ ද ඒ මතයේ ම ය. එහෙත් ජනාධිපතිවරයා ඒ ගැන තීරණයක් ගෙන නොමැත. ජර්මන් චාන්සලර්වරියගේ අදහස ඊට ඉඳුරාම එරෙහි ය. මේ නිසා අමෙරිකාවට සහ යුරෝපයේ අනෙකුත් බලවතුන්ට ඒ ගැන තවදුරටත් සිතන්නට සිදුව තිබේ. නැටෝ ප‍්‍රධාන අණදෙන නිලධාරී පිලිප් බී‍්‍රඞ්ලව් සහ එහි මහ ලේකම් ජෙන්ස් ස්ටොලන්බර්ග් යන දෙදෙනාම පෙන්වා දෙන්නේ එලෙස අවි සැපයීමෙන් සිවිල් මරණ සංඛ්‍යාව භයානක ලෙස ඉහළ යා හැකි බවයි.

ඕනෑම කොන්දේසියක් යටතේ සටන් විරාමයකට තමන් කැමති බව යුකේ‍්‍රන ජනාධිපතිවරයා පවසයි. එහෙත් රුසියාව ඊට එක`ග නැත. එයට හේතුව ලෙස සිතිය හැක්කේ නැගෙනහිර යුකේ‍්‍රනයේ සටන් වැද සිටින්නේ රුසියාවේ පිටුබලය ලබන බෙදුම්වාදීන් මිස රුසියානු හමුදාව නොවීමයි.

මේ අවුල සම්බන්ධයෙන් පුතින් චෝදනා කරන්නේ යුරෝපයට සහ අමෙරිකා එක්සත් ජනපදයටයි. එය සත්‍යයකි. එහෙත් මෙතැන ඉස්මතු ව පවතින්නේ පුතින්ගේ බලකාමයයි. පළමුව ඔහු යුකේ‍්‍රණයෙන් කොටසක් අනීිතික ලෙස අල්ලා ගත්තේ ය. තවත් වැදගත් කොටස් දෙකකට එරටින් වෙන් වන්නට පිටුබලය සපයයි. පෙර සාමයෙන් පැවැති යුකේ‍්‍රනය දැන් සටන් බිමකි. එය ආරම්භ කිරීමේ වගකිවයුත්තා අන් කවුරුන් හෝ නොව රුසියාවේ මහා පුතින් ය.