වම් ඉවුරේ වාස්තු විද්‍යාඥයා වැලන්ටයින් ගුණසේකර

සුමුදු අතුකෝරළ

ෙද්ශීය සංස්කෘතිය සහ ඓතිහාසික ගෘහ නිර්මාණ ලක්ෂණවලින් ආභාසය ලැබූ ‘ශ‍්‍රී ලාංකිකයැ’යි හැඳින්විය හැකි වාස්තු විද්‍යා ප‍්‍රවාහයක් 70 දශකය තුළදී කොළඹ නගරය ආශ‍්‍රිතව ව්‍යාප්ත විය. නුවර යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, ලන්දේසි ගෘහ නිර්මාණ හුරුව හා මුසුව නවීන තාක්ෂණය සහ අමුද්‍රව්‍ය භාවිතයෙන් ගොඩනැගුණු එම වාස්තු විද්‍යා ප‍්‍රවාහයෙහි පුරෝගාමියා වූයේ, වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවාය. ශ‍්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය දේශගුණික ලක්ෂණවලින් හෙබි පරිසරයක් තුළට ඉතා සංවේදීව ආරෝපණය වූ එම වාස්තු විද්‍යාත්මක ලක්ෂණ නව්‍ය සොයාගැනීමක් ලෙස හඳුන්වනවාට වඩා, සාර්ථක ප‍්‍රතිෂ්ඨාපන ක‍්‍රියාවලියක් ලෙස හඳුන්වාදීම උචිතය. එසේ ආරම්භ වූ එම වාස්තු විද්‍යා සංස්කෘතිය වර්තමානයේදී පවා ඉතා සාර්ථක ලෙස වැජඹෙන්නේ, ඒ තුළ අන්තර්ගතවූ සාධනීය ලක්ෂණ නිසාවෙන් නොවේද? යෝග්‍ය ආලෝක තත්ත්වයන් සහ වාතාශ‍්‍රය ලබාගැනීම ලාංකිකයන්ට හුරුපුරුදු නිස්කලංකත්වය, සොබාදහමේ වර්ණ සංයෝග යනාදියට අමතරව පළ දෙකේ හෝ පළ හතරේ උළු වහලය, අවට පරිසරය සමග සංවේදී ගනුදෙනුවක නියැලෙන විශාල ජනෙල් දොරවල්, මැද මිදුල් වැනි දෑවලින් හෙබි සරල මෙන්ම පොළෝ තලයට හොඳින් ස්පර්ශ වූ ස්ථාවර බවක් පළ කෙරෙන ආකෘති, මෙම වාස්තු විද්‍යාත්මක සංස්කෘතිය තුළ වූ ප‍්‍රබල ලක්ෂණ ලෙස හඳුනාගත හැක. වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවාගෙන් පසු ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ බොහෝ වාස්තු විද්‍යාඥයන්, ඔහු පුරෝගාමී වී හඳුන්වා දුන් වාස්තු විද්‍යාත්මක ආභාසය අනුගමනය කරන්නට පෙළඹුණේ, එම ආභාසය තුළ වූ ගුණාත්මක ලක්ෂණ, නිරවද්‍යතාව සහ පිටස්තර සමාජය තුළ ඒ ගැන අවබෝධයක් සහ ඉල්ලූමක් තිබූ නිසා විය යුතුය.

මෙවැනි තත්ත්වයක් තුළ, වැලන්ටයින් ගුණසේකර නමැති නිර්මාණකරුවාට, වාස්තු විද්‍යාඥයාට හිමිවන්නේ කුමන ස්ථානයක්ද? වාස්තු විද්‍යා ලේඛිකාවක් වන වාස්තු විද්‍යාඥ අනෝමා පීරිස් තම .IMAGINING MODERNITY’ – ‘THE ARCHITECTURE OF V A L E N T I N E GUNASEKARA’. නමැති කෘතියෙහි ඔහුව හඳුන්වා දී ඇත්තේ, ‘SRI LANKA’s ANTI HERO’ලෙසය. එම හඳුන්වාදීම තුළ වරදක් නොදකින අතර එම වචනය තුළ කැටිවුණු අදහස තුළ ‘ප්‍රෞඪත්වයක්, අභිමානයක් සැඟව ඇතැ’යි සිතමි. සමස්ත ක්ෂේත‍්‍රය තුළම ප‍්‍රධාන ධාරාව (MAINS TEREAM) ලෙස බොහෝ දෙනා අගය කරන, බහුතරයක් පිළිගන්නා ලද වාස්තු විද්‍යාත්මක හුරුවක් පවතිද්දී, වැලන්ටයින් ගුණසේකර විසින් නිර්මාණය කෙරුණු බොහෝ ගොඩනැගිලි ඒ ප‍්‍රධාන ධාරාව අතික‍්‍රමණය කළේය.

ශ‍්‍රී ලාංකික සමාජ තත්ත්වයන්, දේශගුණික සාධක හෝ ලාංකිකයා තුළ පවතින සංස්කෘතික ගුණාංගවලට පටහැනි නොවෙමින්, ඔහු අතින් නිර්මාණය වූ ගොඩනැගිලි විනයක් සහිත කාර්යයන් (DECENT WORKS) ලෙස ඇගයීමකට ලක්නොවූයේ ඇයිදැ’යි වටහා ගැනීම අපහසුය. ඔහුගේ නිර්මාණ තුළ සුලභව දැකිය හැකි, නවීන ආකෘති, හැඩතල හැමවිටම හතරැුස් නොවූ අවකාශ, ඉහළට එසවුණු කුලූනු, විශාල කවුළු සහ සුවිශේෂී ගෘහ නිර්මාණ විස්තරයන්,(ARCHTECTURAL DETAILS) යුරෝපීය ගෘහ නිර්මාණ ලක්ෂණ තුළින් දැඩිව ආභාෂය ලද බව පෙනී යතත් ඒවා ලාංකික ගොඩනැගිලි සංස්කෘතිය තුළ දක්නට නොලැබෙන සාධක ලෙස තර්ක කළහැක්කේ කවරක්ද? ඉපැරණි ගොඩනැගිලි ආකෘති, වාස්තු විද්‍යාත්මක විස්තරයන් සූක්ෂ්මව හදාරන්නකු මේ දෙපක්ෂයෙහි ඇති සමානතාවන් හඳුනා ගන්නවා ඇත.
මෙවැනි පසුබිමක් තුළ ‘වම් ඉවුරේ වාස්තු විද්‍යාඥයා’ ලෙස වැලන්ටයින්ව හැඳින්වීම යෝග්‍යයැ’යි සිතමි.

වාස්තු විද්‍යාඥ වැලන්ටයින් ගුණසේකර විසින් නිර්මාණය කෙරුණු බොහෝ ගොඩනැගිලි අතරින් ඔහු වාස්තු විද්‍යාඥ ක‍්‍රිස් ද සේරම් සමග එක්ව නිර්මාණය කළ ‘තංගල්ල බේ හෝ්ටලය’ ප‍්‍රධාන තැනක් ගන්නා අතර ඔහුගේ නිර්මාණ අතරින් ඇගයීමකට හෝ විචාරාත්මක කතාබහකට ලක්වූ එකම ගොඩනැගිල්ල ලෙස එය හැඳින්විය හැකිය.

මුහුදු වෙරළ අසල උස් කඳුගැටයක සිට ක‍්‍රමයෙන් පහතට බෑවුම් වන ඉඩමක නිර්මාණය කෙරුණු මෙම ගොඩනැගිල්ල, ඉඩමෙහි පිහිටීමත් ඉහළ තුඩුව මත සිට දිස්වන මුහුදු තලයෙහි විස්මය මුසු සුන්දරත්වයත් මනාව අනුගත කරමින් නිර්මාණය කර ඇත.
ඉඩමෙහි ඇති බෑවුම සහ ගල්වැටිය සමග යමින් පියගැට පෙළක් මෙන් ස්ථර කිහිපයකට නිර්මාණය කර ඇති මෙම ගොඩ නැගිල්ලෙහි ආකෘතිය ගොඩබිම තුළින් පැන නැගී මුහුද දෙසට යොමුවූ පවුරක් ලෙස දැකගත හැකිය.

හෝටලය තුළට ඇතුළු වී ගමන් කළයුතු ප‍්‍රධාන මග කවාකාර ආකාරයෙන් පිහිටුවා, ඒ අවට ඇති ආකෘතීන් සහ කවුළු කවාකාරව නිර්මාණය කරමින් තමා, ලාංකික පරිසරයට කාවැදී ඇති සෞම්‍යත්වය සහ නිස්කලංකත්වය තම නිර්මාණය තුළට අනුගත කිරීමට උත්සාහ ගත් බව වැලන්ටයින් ගුණසේකරයන් විසින් පවසා තිබේ. වාස්තු විද්‍යාත්මක විස්තරයන් වශයෙන් ගත් කල ඇතැමෙක් විවේචනාත්මක දෘෂ්ටි කෝණයකින් තංගල්ල හෝටලය දෙස බැලූවද, මාතර තංගල්ල මාර්ගයෙහි ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ, සාමාන්‍ය ජනතාවගේ නෙත් පැහැරගන්නා නූතනවාදී නිර්මාණයක් ලෙස එය හැඳින්වීම නිවැරදිය.
මීට අමතරව පොදු ගොඩනැගිලි වශයෙන්, වැලන්ටයින් විසින් නිර්මාණය කෙරුණු ගොඩනැගිලි අතරින්, කතෝලික පල්ලි කිහිපයක්ම විශිෂ්ට නිර්මාණ ලෙස හඳුනාගත හැකිය. රාගම තේවත්ත පල්ලිය, හොරණ පල්ලිය, ලේවැල්ල ජේසුයිට් පල්ලිය, බම්බලපිටිය ජේසුයිට් පල්ලිය යනාදිය එම නිර්මාණවලින් විශිෂ්ට නිර්මාණ අතරට ගොනුකළ හැකිය.

සම්ප‍්‍රදායානුකූල කතෝලික ආගමික ගොඩනැගිලි නිර්මාණ ක‍්‍රමයට පටහැනිව ඔහු විසින් නිර්මාණය කරන ලද සෑම කතෝලික ගොඩනැගිල්ලකම ‘දෙවියන් වහන්සේ ජීවමානයි’ යන තේමාව මත පදනම්වෙමින් නිර්මාණය කළ බව ඔහු විසින් පසුකලකදී සඳහන් කරන ලදි. විවිධාකාර මෝස්තරාංග හෝ අඳුරු විශාල අවකාශ නිර්මාණය කරමින්, දෙවියන් වහන්සේ සාමාන්‍ය මිනිසාගෙන් දුරස් කිරීම වෙනුවට නිර්මාණාත්මක ලෙස ආලෝකය ගොඩනැගිලි තුළට ලබා ගනිමින් එම ගොඩනැගිලි ඇතුළත අවකාශ ජීවයෙන් පිරවීමට ඔහු ගත් උත්සාහයන් අපූර්වජනකය.

බම්බලපිටිය ජේසුයිට් පල්ලිය සරල ආකෘතියකින් හෙබි වුවත් ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යාත්මක සම්ප‍්‍රදායන් අතික‍්‍රමණය කරන ලද, වැලන්ටයින් ගුණසේකරගේ මුල් කාලීන නිර්මාණයකි. මොරොක්කෝ වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් ආභාසය ලැබූ මෙහි කවාකාර වහළ පෙළ, සුදු පැහැයෙන් ඈත අහස්තලය සමග සමානුපාතව දර්ශනය වේ. එම පියසි පෙළින් ආවරණය වූ සරල හැඩයකින් යුත් අවකාශය කෙළවර ඇත්තේ ඉහළට එසවුණු කුලූනක් සහිත වූ අල්තාරයයි. දෙවියන් වහන්සේගේ යළි ඉපදීම සනිටුහන් වන මූර්තිය කරා කුලූන ඉහළින් ගෙනෙන ආලෝක කදම්බය සෞම්‍ය විලාසයකින් සැදැහැවතුන් රැුඳී සිටින ආසන සහිත අවකාශය පුරා විසිරයන්නේ සිත් සනහන මෘදු බවකින් යුතුවය.

අසාමාන්‍ය සැලැස් මකින් යුතුවූ හොරණ පල්ලිය, අසබඩ කඳුවැටිය පසුබිම් කරගෙන විශාල විවෘත අවකාශයකින් යුතුවූ හොරණ පල්ලිය, විවෘත අවකාශයකින් යුතුව නිමවූවකි. දෙපසට විහිදුණු දැවැන්ත පියාපත් යුවළක් වැනි වහලය පාවෙන ස්වරූපයක් මතු කරන්නේ අවම කරුණු කිහිපයකින්, විශාල අවකාශය ආවරණය වන විලාසයෙනි. එය ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යාත්මක මෙන්ම සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයද අභියෝගයට ලක් කළ නිර්මාණයකි. කඳුවැටිය සහ පහළ විවෘත පරිසරයට ඇරුණු විශාල උසකින්ද යුතු අවකාශය, ගොඩනැගිල්ල තුළට පැමිණෙන බැතිමතුන්ට ගෙන දෙන්නේ අපූරු සැහැල්ලූ අත්දැකීමකි.

කවාකාර සැලැස්මකින් සහ ඒ මත පැති හතරකට විහිදුණු වහලයකින් යුත් තේවත්ත පල්ලිය, සාමාන්‍ය ජනතාව අතරද පිළිගැනීමකට ලක්වූ ගොඩනැගිල්ලකි. කවාකාර අවකාශය තුළින් ඉහළට එසවුණු කුලූනු හතරක් මගින් රඳවාගෙන සිටින්නේ ඇතුළට ආලෝක කදම්භයක් මුසු කරන කපොල්ලකි. එම ආලෝක ධාරාව තුළ සාමාන්‍ය මිනිසා සහ දෙවියන් වහන්සේ එකිනෙකා හමුවීමක් වැනි වාතාවරණයක් ගොඩ නැගීමට තමා මෙම ස්වාභාවික ආලෝකය සූක්ෂම ලෙස භාවිතයට ගත් බව ගුණසේකරයන් පවසයි.

ඔහු විසින් නිර්මාණය කෙරුණු බොහෝ කතෝලික ගොඩනැගිලිවල අසාමාන්‍ය ආකෘතීන් හෙවත් පවතින සම්ප‍්‍රදාය තුළ නොවූ විරූ විලාසයන්ගෙන් යුතු ගොඩනැගිලි, ඔහු අවධානයෙන් සහ අවබෝධයෙන් යුතුව නිර්මාණය කළේ, හතරැුස් හෝ හුරුපුරුදු හැඩතල ඇති ගොඩනැගිලි හෝ අවකාශ තුළින් දේවත්වය මුසු ආදරය හෝ කරුණාව ගුණයක් ලෙසට මිනිසා වෙතට ළඟාකරදීමට අපහසු බැවින් බව ඔහු විසින්ම පවසා සිටී.

බොහෝ දෙනා විසින් අගය කරන සහ පිළිපදින මහා සම්ප‍්‍රදායක් තුළ ජීවත්වෙමින්, තමන්ට ලැබුණු නිර්මාණාත්මක අවස්ථාවන් තුළින් තර්කානුකූල සහ අර්ථාන්විත නව මානයන් සොයා යෑමට නිරතුරුවම යත්න දැරූ වැලන්ටයින් ගුණසේකර නම් වූ වාස්තු විද්‍යාඥයා, ලාංකීය කලා සංස්කෘතිය තුළ විවිධ මාධ්‍යයන් ඔස්සේ නව මංපෙත් සොයා ගමන් කරන, ගමන් කළ, ගවේෂකයන් වන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, අශෝක හඳගම, චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර, සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගම, සංගීතවේදී පේ‍්‍රමසිරි කේමදාස යන ප‍්‍රතිරූප අතර සටහන් කළ හැකි පුද්ගල නාමයක් ලෙස හැඳින්වීම නිවැරදියැ’යි සිතමි.

කලාව, සංස්කෘතිය හෝ මිනිස් ජීවන ශෛලිය පවා මේයැ’යි ඉරිගසා වර්ග කිරීම කළහැකි දෙයක් නොවේ. පවතින ක‍්‍රමයන්, සම්ප‍්‍රදායන්ට අමතරව තවත් නිවැරදි ක‍්‍රම බොහෝ තිබිය හැකිය. ඒවා සොයා මතුකර ගැනීමට නම් නව අත්හදා බැලීම් කළ යුතුමය. කලාව තුළ නව ආකෘතීන්, නව සංකල්ප බිහිවිය යුතුය. සංස්කෘතිය සහ මිනිසා දිනෙන් දින විවිධාකාර ලෙස පරිණාමය වේ. ගෘහ නිර්මාණ ශිල්පයද මෙම සමාජ, සංස්කෘතික කලා ධාරාව තුළ එක් අංගයකි.
පවතින තත්ත්වයන්, සම්ප‍්‍රදායන් තුළින් ආභාසය ලබා නව මානයන් සොයා යන්නෝ විප්ලවකරුවන් හෝ දුෂ්ඨයන් ලෙස නොව සාමාන්‍ය සමාජයට නිවැරදි මගපෙන්වන ගවේෂකයන් ලෙස හැඳින්වීම උචිතය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;