පළමු ජම්බෝ ජෙට් එකෙන් පැමිණි ඇලෙක්සැන්ඩර්ගේ කතාව

සටහන හා ඡායාරූප – රුක්මාල් සිල්වා

ශ්‍රී ලංකාවට පළමු වෙනිම ජම්බෝ ජෙට් එක ආවේ ජර්මනියෙන්. ඒ 1971 නොවැම්බර් 4වැනිදා. මාධ්‍යවේදීන් අරන් ආපු මේ ජම්බෝ ජෙට්එකේ නැගිලා ලංකාවට එන්න මට වාසනාව ලැබුණා. එදා ලංකාවට ආපු පළමුවෙනිම දවස අද වගේ හොඳටම මතකයි. මා ඇතුළු කණ්ඩායම ලංකාවට ඇවිත් එදා නවාතැන් ගත්තේ මීගමුව ප‍්‍රදේශයේ රමණීය පරිසරයක තියෙන හෝටලයක. ඒ කාලේ වෙනකොට මේ රටේ තිබුණු පරිසරයේ ස්වභාව දහමේ සුන්දරත්වය මගේ වචනවලින්නම් කියලා නිම කරන්ඩ බැහැ. ඒ විතරක් නෙමේ ශ‍්‍රී ලංකාවේ මිනිස්සු අපව පිළිගත්තේ තමන්ගේම පවුලේ කෙනෙක්ව පිළිගන්නවා වගේ ළෙන්ගතු සිතින්. ඒ කාලය වනවිටත් මම ලෝකයේ බොහෝ රටවලට ගහිං තිබුණා. ඒ කිසිම රටකින් මේ වගේ ආගන්තුක සත්කාරයක් නම් දැකලා තිබුණේ නැහැ.’’

හිතගිය තැන

මාත් එක්ක මේ කතාවට එක්වෙන්නේ ජර්මන් ජාතික ඇලක්සැනඩර් සෝලෙස්. ඔහු මුල් වතාවට 1971දී ලංකාවට ඇවිත් ගියාට පස්සේ ලංකාව ගැනත් ලංකාවේ මින්ස්සු ගැනත් ඔහුගේ හදවතේ රැුඳුණු අනුස්මරණීය දසුන් මකා ඉවත් කර දැමීමට ලෝකේ වෙන කිසිම දසුනකට හෝ මනුෂ්‍යයෙකුට නොහැකි වූ බවයි ඇලෙක්සැන්ඩර් සෝලේස් කියන්නේ. ලංකාව ගැනත් ලංකාවේ මිනිස්සු ගැනත් ඔහු තුළ ඇඳුනු දසුන් හරියටම ගලේ කෙටුව වගේ ඔහුගේ මනසේ පැල්පදියම් වෙලා. මේ නිසාම ඔහුට ඔහුගේ මව්බිමවන ජර්මනියේ තවදුරටත් රැුඳී සිටින්නට හිත දීලාම නැහැ. 1971න් පසුවත් විටින් විට ශ‍්‍රී ලංකාවට ආගිය ඇලෙක්සැන්ඩර් මේ රටට වඩාත්ම ඇලූම් කරන්ඩ පටන් අරන්. කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ලංකාවට ගොඩබහින ඔහු නවාතැන් අරන් තියෙන්නේ මීගමුව ප‍්‍රදේශයේ.
මීගමුව එවක් පටන්ම විදේශිකයින්ගෙන් ගහන ප‍්‍රදේශයක් ලෙසට සැලකෙනවා. විශේෂිත රාජ්‍යතාන්ත‍්‍රික වුවමනාවක් හැරුණාම සංචාරයක් ලෙසට අපේ රටේ සිරිනරඹන්න එන බොාහෝ විදේශිකයින් නවාතැන් ගන්නේ මීගමුවේ. මෙලෙස ශ‍්‍රී ලංකාවට ආගිය ඇලෙක්සැන්ඩර් මීගමුවේ පළඟතුරේ තමන් නැවතී සිටි ලැගුම්හලක් ආසන්නයේම තිබූ ඉඩම් කෑල්ලක් මිලදීගෙන තමන්ටම කියලා නිවහනක් හදාගෙන ශ‍්‍රී ලංකාවේ ස්ථීර පදිංචියට ඇවිත් තිබෙන්නේ 1993දී. දැන් ඔහු ජීවත්වෙන්නේ ඔහු විසින්ම හදාගත් ඔහුගේම නිවහනෙයි. පසුගිය දිනෙක මීගමුව බස් නැවතුම්පොළේදී අහම්බෙන් වගේ මට හමුවූ ඇලක්සැන්ඩර් ලංකාවට ආගිය තොරතුරු විස්තර කෙරුවේ මෙහෙමයි.

ශ‍්‍රී ලංකාවෙ විතරයි

මම ජර්මනියේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ දුම්රිය අධිකාරිවරයෙක් ලෙසට ක‍්‍රියා කළ රජයේ සේවකයෙක්. දැන් මට වයස අවුරුදු 78ක් වෙනවා. මම 1993 අවුරුද්දේ ශ‍්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට එනකොටත් දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් හිටියා. මම මගේ නිවාඩු කාලය සම්පූර්ණයෙන්ම ගත කෙරුවේ ශ‍්‍රී ලංකාවේ තිබෙන මගේ ගෙදර. මම මෙහෙ පදිංචියට ආවේ හුඟාක්ම ආසාවෙන්. මොකද ශ‍්‍රී ලංකාව බොහොම හොඳ සුන්දර රටක්. ලෝකයේ ජෛව විවිධත්වය තියෙන රටවල් අතරින් එකක් හැටියටත් මේ රට සැලකෙනවා. ඕනෑම කෙනෙකුගේ මුහුණක් දිහා බලලා හිනාවක් පාන අය ඉන්නෙත් ශ‍්‍රී ලංකාවේ විතරමයි.

ජම්බෝ ජෙට් එක ලංකාවට ආවේ මාධ්‍යවේදීන් අරන්. මම මාධ්‍යවේදියෙක් නෙමේ. නමුත් මට හිතවත් මගේ මිත‍්‍ර පුවත්පත් කලාවේදියෙක් ඉන්නවා. ඔහු මේ ජෙට් යානයේ එන්ඩ හිටියේ තමන්ගෙ බිරිඳ එක්ක. හිටි හැටියේම බලාපොරොත්තු නොවුණු විදිහට මගේ මිත‍්‍රයාගේ බිරිඳට අසනීප වුණා. ඒ වෙනුවට මේ ගමනට සහභාගිවෙන්න මට මගේ මිත‍්‍ර පුවත්පත් කලාවේදියා ආරාධනා කළා. රටවල් ගණනාවකම පුවත්පත් කලාවේදීන් මේ ගමනට සහභාගි වුණා. ශ‍්‍රී ලංකාවේ දින තුනක් සංචාරය කළ අපි නැවත ගියේ හොංකොංවලට. මේ යානයෙන් ආපු 1800 දෙනාම නැවතත් සංචාරය අවසන් වූ පසු ඔක්කොම අය තමන්ගේ රටවලට ගියා. නමුත් මට නම් මගේ රටට ගිහින් ඉන්ඩ පුළුවන්කමක් තිබුණේ නැහැ. ශ‍්‍රී ලංකාවට එන්ඩමයි හිත තිබුණේ. ඒ නිසා තමයි අද මම මෙහේ පදිංචි වෙලා ඉන්නේ.
ජර්මන් සමුහ ආණ්ඩු ජනරජයේ කොන්ඩො ගුවන් සමාගමේ ‘ප‍්‍රිටස්’ නමැති ජම්බෝ ජෙට් යානය 1971 නොවැම්බර් 4 වැනි දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත සේන්දු වූණේ ශ‍්‍රී ලංකා ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්. මේ ජම්බෝ ජෙට් යානය කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සේන්දු වනවිට එවකට සංචාරක, නාවික හා ගුවන් සේවා ඇමතිි ලෙස කටයුතු කළේ පී.බී.ජී කළුගල්ල මැතිතුමා. එම අමාත්‍යංශයේ උප ඇමති තනතුර දැරුවේ රත්න දේශප‍්‍රිය සේනානායක මහතා.

කළුගල්ල මැතිතුමායි සේනානායක මැතිතුමායි තවත් දහක විතර රාජ්‍ය නියෝජිත පිරිසක් සමග ඇවිත් මහා ලොකු උජාරුවෙන් ජෙට් එකෙන් ආපු මාධ්‍යවේදීන් පිළිගත් බව ඇලෙක්සැන්ඩර් කියනවා. බෙරකරුවන්ගේ වැයුම් හා නැට්ටුවන්ගේ නැටුම් මැදින් බණ්ඩාරනායක ගුවන්තොටු පොළෙන් එළියට අවේ අපූර්වතම අත්දැකීමක් විඳගනිමින් බව මට පැහැදිලි කර දෙන්ඩ ඇලෙක්සැන්ඩර් ලොකු උත්සහයක් ගත්තා.

ජම්බෝ වතගොත

ප‍්‍රිට්ස් ජම්බෝ ජෙට් යානය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි බෝයිං සමාගමේ අහස්යානා නිෂ්පාදන අංශය මගින් නිපදවන ලද එකක්. මේ ගුවන්යානය බෝයිං 747 ලෙස හඳුන්වනවා. දිග මීටර් 70ක් වන මේ ගුවන් යානය පියාපත් සමග පළල මීටර් 60යි. යානයේ සමාන්‍ය බර කිලෝ ග‍්‍රෑම් 1,84,000ක්. මගීන් සමග 3,51,450ක් බර දැරිය හැකි වෙයි. 1970 අවුරුද්ද වනවිට මේ යානයේ වටිනාකම ඇමරිකානු ඩොලර් තුන් කෝටියක් වුණා. එය ශ‍්‍රී ලංකාවේ රුපියල්වලින් කෝටි 18ක්.
ජම්බෝ ජෙට් එකේ ලංකාවට ආපු පළමුවෙනිම ගමනට ඇමරිකවේ වොෂින්ටන්හි කොන්ඩෝ සමාගමේ විධායක අධ්‍යක්ෂ හියුබට් ඩොන්ඩර්ලින්ක්ද සහභාගි වී තිබෙනවා. මේ ජම්බෝ ජෙට්යානය මගින් පැයකට ඩොලර් මිලියන 32,000ක සාමාන්‍ය ආදායමක් ලැබිය හැකියි. එම ආදායම ලැබීමට යානය වෙනුවෙන් පැයකට ඩොලර් මිලියන 17,000ක සමාන්‍ය වියදමක් දැරිය යතු බව හියුබට් ඩොන්ඩර්ලින්ක් පවසා තිබෙනවා. මේ යානය ශ‍්‍රී ලංකාවට පියාසර කරනවිටත් 2,90,000ක මගීන් සංඛ්‍යවක් එහා මෙහා ගිහිං තියෙනවා. එක වරකදී මගීන් 1,500කට අධික සංඛ්‍යාවක් මෙහි යා හැකි හැකිවෙනවා.

ලොව නිපදවූ ප‍්‍රථම ජෙට් යානය වාර්තාවෙන්නේ බි‍්‍රතාන්‍යයෙන්. එහි මංගල ගමන සිදු වී තිබෙන්නේ 1949දී. ඇමරිකාවේ වොෂින්ටන්හි කොන්ඩො සමාගම ඉතා වශ්වාසදායී සහ වේගවත් යානා කිහිපක්ම ගමනා ගමනයට එක් කළේ 1960 දශකයෙදී. ලොව තුළ ඉතාම ජනප‍්‍රිය යානා දෙකක් වූයේ බෝයිං සමාගම නිපදවූ 707 සහ ඩග්ලස් යානයයි. 1971 අවුරුද්දේදී සේවයට එක්වූ බෝයිං 747 ජම්බෝ ජෙට් යානය ගුවන් යානා අතර යෝධයෙකු වෙනවා. ඇලක්සැනඩර් සෝලෙස් මේ ගුවන් යානයේ මංගල ගමනට එක්වූ පුද්ගලයෙක්.

හේතුව

මේ වගේ සුපිරි රාජ්‍යයක ගුවන් යානයක් ශ‍්‍රී ලංකාව වැනි දිළිඳු රාජ්‍යයකට මංගල ගමන් එන්නට හේතු වූ කාරණය ගැනත් එදා අපේ රටේ මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කරලා. ඕනෑම ආකාරයක දැවැන්ත වැඩකට අතගහන්න පෙර ඒ ක‍්‍රියාවලියේ නියැලෙන ප‍්‍රධානීන්ට හෝ ක‍්‍රියාකාරීන්ට මානසික ශක්තිය අවශ්‍යයි. ඒ මානසික ශක්තිය, ධෛර්්‍යය හා ආශිර්වාදය ලබාගත හැකි එකම රට ශ‍්‍රී ලංකාව බව වොෂින්ටන්හි බෝයිං සමාගම දැනගෙන තිබෙනවා. ඒ නිසාම ප‍්‍රිට්සි ජම්බෝ ජෙට් යානයේ ගුවන් නියමුවන්ට හා එහි කාර්ය මණ්ඩලයට මානවීය වටිනාකමක් ලබාගැනීමටත් හොඳ පිළිගැනීමක් ලැබීමටත් වඩාත් හොඳම රාජ්‍ය ශ‍්‍රී ලංකාව බව හියුබට් ඩොන්ඩර්ලින්ක් එවකට ගුවන් සේවා ඇමතිතුමා වෙත පවසා තිබෙනවා.

අද තත්ත්වය

එදා ඔබ දුටු රමණීිය සුන්දර සමාජ පසුබිම අද ශ‍්‍රී ලංකාවේ තියෙනවාද කියලා අහන්ඩත් මම අමතක කෙරුවේ නැහැ. ඒ ප‍්‍රශ්නයට ඇලෙක්සැන්ඩර් උත්තර දුන්නේ හිත කලකිරුණු කම්පාවෙන් යුතුවයි. අද ඔහුට අත්වී තිබෙන ඉරණම කඳුළු පුරවාගත් දෙනෙතින් හිත වාවාගත නොහැකිව මාත් එක්ක කතා කෙරුවෙ මෙහෙමයි.
මම දැන් පදිංචිව ඉන්නෙ මීගමුව පළඟතුරේ. ඉඩම ගත්තේ බද්දට. ඒ ඉඩමේ පර්චස් හතලියක් තියෙනවා. ප‍්‍රදේශයේ මනී නැමැත්තෙක්ගෙන් මිලට ගත්තා. ඔහුගේ අම්මාගෙනුයි මම ඉඩම මිලදි ගත්තේ. ගත්තදාට පහුවදා ඉඳලාම මේ අය මට හරියට කරදර කරනවා. මම ඉඩමේ හදන්න ගිය නිවස එයාලාට ඕන සැලසුමකට හදන්න මට බලකෙරුවා. ඉන් පස්සේ මගෙන් සල්ලි ඉල්ලූවා එයාලා ගේ හදන්නම් කියලා. මම ගේ හදලා පදිංචියට ආවාට පස්සේ එදා ඉඳලා අද වෙනකම්ම මට නිදහසේ සැනසිල්ලේ ජීවත්වෙන්ඩ ඉඩ දෙන්නේ නැහැ.

ඇලෙක්සැන්ඩර් දැන් මාත් එක්ක කතා කරන්නේ හිත්වේදනාවෙන්. ඔහු කියන විදිහට මනීගේ අම්මා නිතර දෙවේලේ ඇලේකසැන්ඩර්ගේ ගෙදරට බලෙන් කඩා පනිනවා. ඒ අයගේ අබලි ද්‍රව්‍ය හා අනිකුත් පරණ කුඩ-බුඩ හා සෙරප්පු-බෙරප්පු ඔක්කොම දාන්නේ මේ වත්තට. මනීලාගේ මාලූ පිළි දාන්නෙත් ඇලෙක්සැන්ඩර්ගේ ප‍්‍රිජ් එකේ. මම මෙහි ගිය දිනට සති දෙකකට උඩදී මනීගේ අම්මා ඇවිත් හුළඟට බිමට පාත්වූ දෙල්ගහකට රුපියල් 90,000 ක වන්දියක් ඉල්ලලා තර්ජනය කරලා.

සහායකයා

ඇලෙක්සැන්ඩර්ගේ සහායකයා එස්.පී. ඇන්ටනි. ඔහු කඳානේ පදිංචිකරුවෙක්. තමන්ගේ හාම්පුතා ගැන ඇන්ටනි කියන්නේ අමුතුම විදිහේ කතාවක්. ඒකත් හරිම පුදුමයි. ඒත් ඇත්තයි. මේ ඔහුගේ කතාවයි. ආසියාවේ ආශ්චර්ය කියලා පම්පෝරි ගහලා කෙලහලන අපි, සුද්දෙකුට බයක් සැකක් නැතිව පාරේ යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා නැහැ. මේ අපි ජිවත්වෙන මීගමුව නගරයේ දවසකට කොහේ හරි තැනක සුද්දෙක්ව සුද්ද කරනවා. එක්කො කැමරාවක් උදුරා ගන්නවා නැත්නම් අයථා විදිහට මුදල් ගරා ගන්නවා. එහෙමත් නැත්නන් නොමග යවනවා හෝ රවටනවා. මේ විදිහේ විලි ලැජ්ජානැති වැඩ කරලා ආසියාවේ ආශ්චර්යය කියලා කෙබර ගහනවා.

මම වැඩකරන ඇලෙක්සැන්ඩර් සෝලෙස් මේ දවස්වල අසනීප තත්ත්වයෙන් ඉන්නේ. පහුගිය කාලේ එක දිගටම මාසයක් විතර නේවාසිකව ප‍්‍රතිකාර ගත්තේ රාගම රෝහලේ. රජයේ රෝහලට ගියේ ඇත්තටම ඔහුට සල්ලි නැති නිසා නෙමේ. රජයේ රෝහල් ගැන තියෙන විශ්වාසය නිසයි. කොහොම හරි මේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන්න ඔහු කැමැති වුණේ නැහැ. වෛද්‍යවරු බොහොම උනන්දුවෙන් ලෙඩාව බැලූවත් ඒ සැලකිල්ල නර්ස්ලාගෙන් තිබුණේ නැහැ. හරියට නියමිත වේලාවට බෙහෙත් ටික දුන්නේ නැහැ. අසනීප තත්ත්වය එන්න එන්නම උත්සන්න වුණා.

කලට වේලාවට බෙහෙත් ටික දෙනවා වෙනුවට නර්ස්ලා මේ ලෙඩාගෙන් ගරාගන්ඩ බැලූවා. නර්ස්ලාගේ පුද්ගලික ඩිස්පෙන්සරිවලට භාවිතා කරන සමහර වෛද්‍ය උපකරණ ගෙනවිත් දෙන ලෙස මට බල කෙරුවා. ඒ නිසා ඔහු මේ රෝහලෙන් ප‍්‍රතිකාර ගන්ඩ කැමති වුණේ නැහැ. මෙතනින් ටිකට් කපාගෙන පුද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තා. රජයේ රෝහල් ගැන තිබුණ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳිලා ගියා.

ඇලෙක්සැන්ඩර්ට සහය දෙන එහෙමත් නැත්නම් ඔහුගේ ආවතේවකම් කරන ඇන්ටනිව ඔබට විශ්වාසවන්තද කියලාත් මම ඇලෙක්සැන්ඩර්ගෙන් ඇහැව්වා. ඇලෙක්සැන්ඩර් අසනීප තත්ත්වයන් නේවාසිකව රෝහලේ ප‍්‍රතිකාර ලබන කාලයේ ඔහුගේ බංකු ගිණුමේ විශාල මුදලක් පරිහරණය කරලා තියෙන්නේ ඇන්ටනි. එක ශතයකවත් නෑර සියලූම මුදල් වියදම් වූ හැටි බිල්පත් සමග පැහැදිලිව තේරුම් බේරුම් කළ බව ඇලෙක්සැන්ඩර් මාත් එක්ක කිව්වා.

ඇලෙක්සැන්ඩර් ළඟ වැඩ කරන ඇන්ටනි ඔහුගේ දෙවෙනි සේවකයා. මීට කලින් වැඩ කර තියෙන්නේ මීගමුව ප‍්‍රදේශයේම අනුර පෙරේරා නැමැත්තෙක්. අනුරත් බොහොම හිත හොඳ අවංක පුද්ගලයෙක් බවයි. ඇලෙක්සැන්ඩර් කියන්නේ. අනුරට ජීවිතයේ තිබුණු පුද්ගලික ප‍්‍රශ්න නිසා ඔහු බෙල්ලේ වැල දාගෙන ජීවිතේ විනාශ කරගත් බව ඇලෙක්සැන්ඩර් කිව්වා.

වගකීම

මේ විදේශිකයා තවමත් අපේ රටේ ජිවත් වෙනවා. අපේ රටට පළමුවෙනිම ජම්බෝ ජෙට් එකේ ආපු මිනිහෙක් මේ රට ගැන ආසාවක් හිතිලා මෙහේ පදිංචි වෙච්ච එකනම් අපිට ලොකු ආඩම්බරයක් මොකද අපේ රටේ අභිමානය ඔහු අනිත් අයටත් කියාවි. නමුත් ඔහු අපේ රට ගැන දැන් දරන මතයනම් අපිට එච්චර ආඩම්බර වෙන්න තරම් දෙයක් නැහැ. ඇලෙක්සැන්ඩර් අපේ රටෙන් බද්දට ගත් ඉඩමේ ඔහු ජිවත්ව ඉන්න කාලයේදීවත් ඔහුට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරදීම බලධාරීන්ගේ වගකීමක්. මනීගේ පවුලේ උදවියගේ කූට නපුරුකම් වලින් ඇලෙක්සැන්ඩර්ව වහ වහාම බේරා ගැනීමත් කළ යුතුයි.