නිමිත්ත සැඟවුණු ඉතිහාසයක ප‍්‍රභාව

නිමල් අබේසිංහ

මැණික් පතලක සිව් දිගට දෝනා කපමින් එහි ඉල්ලම් මතුකරගන්නා සේ ඉතිහාසයේ සැඟව වැළලී ගිය තැන් පීරා අවුස්සන අපූරු තොරතුරු රැුසක් ඉස්මතු කරගැන්මට සාමාර්ථයකු නූතන යුගයේ බිහිවූයේ නම් සුජිත් අක්කරවත්ත ඉදිරියෙන්ම සිටී. ඉතිහාසය නම් ඉල්ලීම සීරුමාරුවට කඩා බිඳගෙන නානා වර්ණයේ නානා වර්ගයේ මාහැඟි මිණිකැට ගෙනවුත් ඔහු අප වෙතට පායි. සමහරක් මිණිකැට තුමුම ඔප මට්ටම් කොට හැඩවැඩ දමා අප ඉදිරියේ තබන ඔහු ඇතැම් මිණිකැට ඔපමට්ටම් කිරීමට ඒ කාර්යයේ ගුණ නැණ ඇති මැණික් සැට්ටරයනට ඇරයුම් කරයි.

නූතන ඉතිහාස ගවේෂකයින් අතරින් වෙනස් මගක් ගත් සුජිත් අක්කරවත්ත සිය ගවේෂණයේ අස්වනු නෙළා කාටු බොල් රොඩු ඉවත් කර අප ඉදිරියේ පාන්නේද මනෝ රම්‍ය විලාසයෙනි. ඒ සඳහා ඔහු පිරියම් කරගත් බසෙහි ඇති භාවාත්මක ළගන්නාසුලූ බව ඔහු සතු ප‍්‍රතිභාවද අපට පසක් කරවයි.
‘නිමිත්ත’ නමින් වූ සුජිත් අක්කරවත්තගේ අතීතකාමී විඳීම් අන්තර්ගත ගතෙහි බැඳුණු මසිත එහිවූ ඓතිහාසික සංසිද්ධීන් හා සමාගමයෙන් අනතුරුව එසේ ලියන්නට පොළඹවාලනු ලීය. නිමිත්තෙහි ඇතැම් කතා නවජීවනයක චර්යාවන්ද, අප සිත් තුළින් කිසිදා අමතක කළ නොහැකි වූ සංසිද්ධීන්ගෙන්ද නූතන දේශපාලන සමාජ සංස්කෘතික සංදර්භය හා සමපාත වන අපූරුවද නිමිත්තට අප සිත ලෝල බන්ධනීය කරවයි.

‘රණ ශූර වන්දනාවේ මුනිවත’ මැයෙන් යුතු සිරිලක අසේල රජ පුවත ඉතිහාසය විසින් අපෙන් වසංගා ඇති රණවිරුවකු ගැන නිමිති ගැනහැර පායි. ඉතිහාසය තුළ බිහිවූ බොහෝ යුද විරුවන්ට ඉතිහාසකරුවන් යුදවිරු කිරුළ පළඳවන්නේ ඔහුට පෙර මෙන්ම පසුවත් සිටි රජුන්ගේ කාර්යභාරය නොසලකා හරිමිනි. දුටුගැමුණු චරිතය හුවා දක්වන්නට සිදුකළ එබඳු හිතාමතා කළ අතපසු කිරීම් දකිත හැක. එළාර දුටුගැමුණු යුද්ධය සඳහා අවැසි පසුබිම සකසා තැබුවේ කාවන්තිස්ස මිසක දුටුගැමුණු නොවේ. නොඑසේ නම් දුටුගැමුණු රජවූ සැණින් සේනා සංවිධානය කොට යුද්ධයක් කළේ නම් එය ප‍්‍රාතිහාර්යයකි. එබැවින් නියත වශයෙන්ම කල්වේලා ඇතිව ආහාර බෝග වගා කර ගබඩා කර තබා දසමහ යෝධයන් පෝෂණය කරමින් යුද්ධයට අවශ්‍ය පෙර සූදානම් කළේ කාවන්තිස්ස මිසෙක දුටුගැමුණු නොවේ. දුටුගැමුණුගේ යුද්ධයෙන් ප‍්‍රමෝදයට පත් ඉතිහාසකරුවා කාවන් තිස්සගේ කාර්යභාරය හිතාමතාම සඟවා තැබුවා පමණක් නොව ඔහු බියගුලූ රජකු සේ ඉතිහාසයේ ලියා තබන්න තරම් අකෘතඥ වී ඇත.

සුජිත් අක්කරවත්තද එබඳු යුද වීරයකු ඉතිහාසකරුවා සඟවාගෙන සිටිනයුරු හෙළිදරව් කරන්නේ සැබෑ ඉතිහාසකරුවකුගේ ප‍්‍රභාව දක්වමිනි. ඔහුට අනුව අසේල රජුගේ යුද ජයග‍්‍රහණයේ ඉතිහාස කරුවාට ඇවැසි වූයේ දුටුගැමුණුගේ යුද ජයග‍්‍රහණය අනභිබවනීය බව ඉහළ නැංවීමටය.
‘අසේල රජු සිංහල සිරිත නැංවීම සඳහා මහා ප‍්‍රාණඝාතයක නිරත නොවූයේය. ඔහු සේන ගුත්තික දෙපළ වනසා දැමුවේය. එබැවින් එය ජනප‍්‍රිය හෝ හුදීජනකරණය නොවුණේය. එසේම ද්‍රවිඩයන් පලවා හැරීමේ යුද්ධයට භික්ෂූන්වහන්සේලා සහභාගි කර නොගත්හ. දුටුගැමුණුගේ යුද්ධයට භික්ෂූන් වහන්සේලාගේ සහයෝගය ලැබුණාහ. හුදීජන කරණය කරවීමත් භික්ෂූන්ගේ සහයෝගය ලබාගැනීමත් දුටුගැමුණුගේ යුද්ධය අසේලගේ යුද්ධය පරයා ඉතිහාසය ඉස්මතු කරයි. අසේලගේ යුද්ධයට ඉතිහාසයේ ලැබෙන්නේ අල්ප වටිනාකමකි. (පිටුව 35) සැබෑවටම සේන ගුත්තික නම් වෙළෙඳ දෙබෑයන්ගේ පරසතුරු ආක‍්‍රමණය අවසන් කළේ අසේල රජු නමුදු ඔහුගේ මේ ක‍්‍රියාවට ඉතිහාසය හිමිකර දී ඇත්තේ මදිපුංචිකමකි.

නූතන යුද වීරයා රාජපක්ෂ බවට හුවා දක්වන්නෝද ඒ වෙනුවෙන් රනිල් වික‍්‍රමසිංහගෙන් ලද සහාය අමතක කරති. යුද වකවානුවේදී රනිල් වික‍්‍රමසිංහ විසින් ගිවිසගත් සාම ගිවිසුම හේතුවෙන් යුදවැද සිටි ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ දැවැන්ත කඩා බිඳ වැටීමක් සිදුවූයේය. එහි ප‍්‍රධාන සෙන්පතියා වන කරුණා අම්මාන් මිතුරු පිලට එකතු කරගත හැකිවූයේ එම ගිවිසුමෙන් ලද ආධාරයෙනි. එහි ගෞරවය රනිල් වික‍්‍රමසිංහට හිමිවිය යුතු මුත් නූතන කතාකාරයාද එය වසංගනුයේ අසේල රජුට ඉතිහාසකරුවන් සලකා ඇති ආකාරයටමය.

එහෙත් ඉතිහාසය සැමදා වසන් කරගෙන සිටීමේ බලයක් කිසිවකුටත් ලැබෙන්නේ නැත. ගවේෂණාත්මක ඉවෙන් සහ ගුණයෙන් යුතුවූවෝ කොයි කවදාත් පහළ වෙති. සුජිත් අක්කරවත්ත එබන්දෙකි. ඔහුගේ පහස ලද ඉතිහාසය නැවත කියවීමකට මග පාදමින් ඒ සඳහා අවැසි නිමිති ලකුණු හෝ දූත ලකුණු පහළ කර දෙන්නේ එබැවිනි. වත්මනෙහි ජැක්-සන්ලා වසංගා තබන්නට උත්සාහ කරන ඉතිහාසයද අද මෙන්ම අනාගතයේදීත් සුජිත්වත් අය විසින් නැවත කියවා හුදී ජනයාට සත්‍ය හෙළිදරව් කරගැනීමට මග හෙළි පෙහෙළි කර දෙනු නියතය. නූතනවාදීන් බිහිවීම අද්‍යයතනයට පමණක් නොව අතීතයටද එකසේ සාධාරණය. ලක් ඉතිහාසයේ බිහිවූ නූතනවාදීන් දෙදෙනකු ගැන සුජිත්ගේ නිමිත්තෙහි අන්තර්ගතය. ඒ නිමිති ලක්ෂණ පහසුවෙන් බැහැර කරලිය හැක්කක්ද නොවේ. ‘කම්මැලි රජ්ජුරුවන්ගේ ගහකොළ කුමරු, කොණ්ඩ කුරුලූ ආලය’ ඉතිහාසයේ හුන් රාජකීය නූතනවාදීන් දෙදෙනකුගේ පිළිබිඹුවකි.
‘සිංහල රජ සිරිත ජාන විද්‍යාවෙන් සිරිමත් කළ රජතුමා ලෙස සත්වන අග්ගබෝධි හඳුනාගත හැකිය. (ක‍්‍රි.ව. 772-777 පිටුව 50)

එදවස ජනයාද සත්වන අග්ගබෝධිගේ තුරුලතා ගවේෂණාත්මක දිවිය දුටුවෝ කමකට නැති අරුත්සුන් කි‍්‍රයාවක් ලෙසිනි. ඉතිහාස රචකයාද සිතා ඇත්තේ එයට නොදෙවෙනිවය. එනිසාම ඔහු ජනවහරේත් ඉතිහාසයේත් නාමකරණය වන්නේ කම්මැලි රජ්ජුරුවන්ගේ ගස්කොළ කුමරු ලෙසිනි.
‘තුරුලතා ආලයෙන් දිවිගෙවමින් ජාන විද්‍යාවට කැපවූ අග්බෝ කුමරු රට පුරා විහාරයෙන් විහාරයට සංචාරය කළේය. වෙදැදුරන් සොයා ගියේය. ඒ සොබා රහස් තවත් සෙවීම අරමුණු කොටය. ඔහු සිංහලයේ රජවූ බුද්ධදාස රජුගේ වෛද්‍ය සිද්ධාන්තවලට නව අරුත් එකතු කළේය. මේ අතර අග්බෝ කුමරු ජාන මුසුකරමින් නව පැළෑටි විශේෂද බිහිකළෝය. එමෙන්ම විවිධ ගුණ අඩු වැඩි ශාක නිපදවූයේය. ශාකයක් සතු රෝග නිවාරණ ශක්තිය හෙළි කළේය. එය මිනිස් රෝගාබාධ සමනයට දිව්‍යමය ඔසු බවට පත්කර ගත්තේය. (පිටුව 51)

ජාන තාක්ෂණය ගැන අප දැනගත්තේ මෑත ඉතිහාසයේදීය. එහෙත් සිරිලක අතීත රජදරුවෝ එබඳු උතුම් පර්යේෂණයන්හි නියැලූණෝය. නමුදු ඉතිහාසයේ මේ උත්තම පුරුෂයාට ලැබෙන්නේ කම්මැලි කුසීත නාමයක්ය. සත්වන අග්බෝ වැන්නවුන්ගේ රුව ගුණ විඳගනුයේ ඔහුගේ කාලයෙන් වසර දහස් ගණනකින් ඉක්බිතිවය. එහෙත් ඔහු ඉතිහාසය තුළ ස්ථාන ගතකර ඇත්තේ අවශේෂ තැනකය. සුජිත්ගේ නිමිත්ත සත්වන අග්බෝට ඉතිහාසයේ හිමිවිය යුතු ගෞරවය හිමිකර දෙන්නට නිමිති සපයයි. නවමු දෑ සොයා ගන්නවුන්ට සමාජය තුළ මෙන්ම ඉතිහාසය තුළද නිසි පිළිගැනීමක් ඇති නොකරන බව මේ කතාවත අපට පසක් කරවන සත්‍යයයි.
ජාන විද්‍යාවට පරිබාහිරව සත්වන අග්ගබෝධි රජු සිදුකළ අග‍්‍රගණ්‍ය සේවාවක්ද අපෙන් සඟවා ඇත. නිමිත්ත කෘතියේ එය සටහන් වනුයේ මෙලෙසිනි.
සිංහල රාජාවලියේ ජාන විද්‍යාඥයා අපූරු කාර්යයක් කළේය. එනම් එකල්හි ජනයා පෙළුෑ අසාධාරණ විනිසුරුවන් සියලූදෙනා ඉවත් කරමින් මෙරට නීති ක්ෂේත‍්‍රය පූර්ණ වෙනසකට භාජනය කිරීමය. එයට සමානුරූපීව සත්වන අග්ගබෝධි රජතුමා සඟ සසුනද නිමල කළේය. රජතෙමේ විනිසුරුවන්ගේ අශුද්ධ බවටද ඇතැම් මහ සඟුන්ගේ දුෂ්ශීලත්වයට එරෙහිවීමද ඔහුගේ මහා ශක්තිය පිළිබිඹු කරන්නකි. (පිටුව 52)

කම්මැලි උදාසීන රජෙකුයැ’යි ඉතිහාසයේ නම් පටබැඳි තිබුණද සත්වෙනි අග්ගබෝධි විසින් සිදුකර ඇත්තේ උත්කෘෂ්ඨ කාර්යයන්ය. රජෙකු ලෙස ජනතාවාදීව ඔහු විසින් ගත් නිර්භීත පියවර අප සිත් අමන්දානන්දයට පත් කරවයි. ජනතාව තලා පෙළන ප‍්‍රතිපත්ති ක‍්‍රියාකිරීමට ඇවැසි නීති සම්පාදනය කරමින් ඒවා සුජාත කරවාගැනීමට හැකි ආකාරයේ තීන්දු ලබාගත හැකි අගවිනිසුරුවන් පත්කර ගනිමින්ද ජනතා දේපළ ඇස්පනාපිට කොල්ලකෑමෙන්ද නොනැ වතී දුශ්ශීල සඟුන්ට රට තුළ දෙවොල් නටන්නට වේදිකා තනාදෙමින් ගෙනගිය රාජපක්ෂ රජතුමාගේ ක‍්‍රියාකලාපය අපට නැවත නැවත මේ තුළින් සිහිපත් කරවයි. ඔවුන්ගෙන් ජරාජීර්ණ වී විනාශ මුඛයට ගිය අධිකරණ පද්ධතියත් වල්වැදී ගිය නීතියත් මෙන්ම සමාජ ක‍්‍රමයත් ශෝධනය කරමින් ඒ නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට නූතන අග්ගබෝධිලාට පැවරෙන වගකීමක නිමිතිද ‘නිමිත්තෙන්’ අවධාරණය කරයි.

‘කොණ්ඩ කුරුලූ ආලය’ සම්මත සමාජ රටාවෙන් බැහැරව නව මංපෙත් සොයා ගිය අරුමැසි යෞවනයකුගේ වතයි. කොණ්ඩ කුරුල්ලන් කෙරෙහි පෙම්බැඳි කුමාරයකු සියලූ සැප සම්පත් යස ඉසුරු පසෙකලා නූතනවාදී ඥාන ගවේෂකයකුගේ කතාවත හෙළි කරයි. එය රට පුරා යොවුනන් අතරේ රැුල්ලක් බවට පත්වන්නේ වැඩිහිටියන් සේ ම සම්මත සමාජ රටාවෙන් නොපිටට ගිය චර්යා පද්ධතියක් හේතුවෙනි. මෙය වනාහි චිරාගත සාම්ප‍්‍රදායානුකූල සමාජ රටාව අනුදක්නා ඉතිහාසයකරුවන්ගේ ඇසෙහි කටු අනින්නාක් බැවින් අස්ථාන කුමාරුට සිරිලක ඉතිහාසයේදී වැදගත් තැනක් හිමි නොවේ. ඒ නිසා ඒසා මහත් වූ නව්‍ය සිතිවිලි රැුල්ලෙන් මතුවන්නට ක‍්‍රියාකාරකම් සියල්ල අපෙන් එලවා තැබුවද ඉතිහාසයේ සැඟව ගිය තතු යළි පාදා ගන්නකුගෙන් සඟවාලිය නොහැකි බව සුජිත් අක්කරවත්ත තීන්දු කරයි. අස්ථාන කුමරුගේ කොණ්ඩ කුරුලූ ආලය හා බැඳී ක‍්‍රියාකාරකම්වලින් දන්වන සංඥයාර්ථයන් අද නූතන කියවීමකට දැනුදු පෙරමග සපයන්නන්ය.

‘මල්ලිලා තුන්දෙනෙක්’ නියත වශයෙන්ම හිමිවූ සිය උරුමය අලූයම ලූ කෙළපිඬක් සේ පිළිකෙව් කොට යස ඉසුරින් පිරි රජකම අතැර ගිය කුමාරවරුන් තිදෙනකු පිළිබඳ කතාවතයි. විජය රජ පුත් ජීවහත්ත, දුටුගැමුණු පුත් සාලිය, පළමුවන විමලධර්මසූරිය රජපුත් අස්ථාන මේ කුමාරවරුන් තිදෙනායි. ජීවහත්ත තම උරුමය පසෙකලා සබරගමුවට පැමිණ හුදෙකලා වන අතර සාලියද සිය ප‍්‍රියම්බිකාව සමග පොදු ජන ඇසුරේ දිවි ගෙවයි. අස්ථාන කුමාරුද ජනගත වන අතර මේ රැුඩිකල් කුමාරවරුන්ගේ ජීවිත සංසිද්ධීන් ඉතිහාසයෙන් වසන් කිරීමට ඉතිහාසකරුවන් විසින් සිදුකළ මහා මුග්ධකමකි. ඉදින් සුජිත් අක්කරවත්ත නිමිති හදා දෙන ඉතිහාසය ඔවුන්ට ලබා නොදුන් තැන හිමිකරදීමේ අරමුණින්ම පමණක් නොව සැබෑ ඉතිහාසය දැනගැනීමේ අප සතු අයිතියද දනවමිනි.

එමතුද නොව නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලොව තුළ පවා ඓතිහාසික රජකම සිත්හි දරාගෙන තම පුත්ත දාරකයනට රජකම ලබාදීමට කැස කැවූ රජුන්ද පිය උරුමයෙන් තමනට උරුමයැ’යි සිතා රජකම ලබාගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙමින් ඒ වෙනුවෙන් කෙළ හලමින් සිටි පුතුන්ද සිටින යුගයක ‘නිමිත්ත’ රචකයා රජකම ගැන අංශුමාත‍්‍රයක්වත් ආශාවක් නොතිබූ කුමාරවරුන් තිදෙනකු ගැන තොරතුරු සිරිලක වැසියා ඉදිරියට ගෙනඑමින් සිය කාලීන සමාජීය යුතුකමක්ද ඉටුකර ඇත්තේය.
නූතන සංඝ සමාජයේ ඇතැම් භික්ෂූන්ගේ නොනිසි චර්යාවන් අප සිත් ඉමහත් කම්පනයට පත්කරවයි. සිල්වත්, නැණවත්, ගුණවත්, විනයවත් සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් භික්ෂුව කවරකුදැ’යි තෝරා බේරා නොගැනීමේ අවුලක අප පැටලී සිටින බැවිනි. බුදුබණින්, ගුඩු බණද කන්ට බණද තෝරාබේරා ගත නොහැකිය. අවිහිංසාවාදය, සාමය, සහජීවනය, කරුණාව, මෛත‍්‍රිය පෙරදැරි කරගත් නිර්මල බුදුදහම කෙළෙසාලමින් තුමු තුමූට ඇවැසි ලෙස අර්ථ ගන්වමින් සමාජය නොමග යවන යුගයක නිමිත්තෙහි අන්තර්ගත අදින්නා දානා පාරාජිකාව නමින් යුතු පුරාවත කියවීමෙන් සිතට දැනෙනුයේ සිසිලකි. අභිධම්මික ශෝධත්න ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් බෞද්ධ සසුන් කෙත ශෝධනයෙහි ඉටුකළාවූ මහා කාර්යභාරය මෙහිලා වඩාත් වැදගත් වනුයේ නූතන සංඝ සමාජයේ ඇතැම් භික්ෂූන්ගේ ක‍්‍රියාකලාපය සංඝ ශෝභන නොවන බැවිනි.

නිමිත්ත ගතෙන් අපේ විමසුමට ලක්වනුයේ, එහි ඇති පුරාවත් පනහකින් පමණ වූ ප‍්‍රමාණයකින් බිඳක් පමණකි. එනයින් ඉතිරි කතා සියල්ල නොවැදගත්යැ’යි කිසිදු විටෙක බැහැරලිය හැක්කක් නොවන බව අවධාරණය කරන්නෙමු. ඒ සියල්ලෙන්ම අපේ ඉතිහාසකරුවන්ට නොපෙනුණු ඇස නොගැටුණු තැන් සුජිත් අක්කරවත්ත නම් ඉතිහාස ගවේෂකයාටම අනන්‍ය වූ ඉවෙන් හඹාගොස් අපූරුතම වූද ඓතිහාසික අගයෙන් අනූනවූද කතා රැුසක් සිංහල පාඨකයා අබිමුව ගෙනැවිත් තවදුරටත් ගවේෂණය කළයුතු දෑද පෙන්වා දෙන්නේ ඉතිහාසකරුවන්ද උත් තේජනයට ලක්කරවමින්ය. සුජිත්ගේ බසින්ම ලියන්නේ නම් නිමිත්තේ පරිශීලන කතාලතාව ඔහු විසින් කුළුගන්වන ඓතිහාසික සංසිද්ධීන් පාඨක හදවත ප‍්‍රකම්පනය කරවනසුලූය. එබැවින් කතාවතත් බස විලාසිතාවත් පාඨක සිත සංවේදී කරවන ආත්මීය අත්විඳීමකින් යුත් පුනරුදයක් බවට පත්කිරීම අවලංගු කළ නොහේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;