මං මුළාවැල් නිසා රස්සාවත් නැතිවුණා – එම්.ඞී. මහින්දපාල ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂ

එන්. ලංකා මාගම්මන

එම්.ඞී. මහින්දපාල ලාංකීය සිනමාවේ රූප මැවුම්කරුවෙක්. රජයේ චිත‍්‍රපට අංශයෙන් ඇරඹි ඔහුගේ වෘත්තීය ජීවිතය ජාතික රූපවාහිනිය, ජාතික රූපවාහිනි අභ්‍යාස ආයතනය දක්වා ව්‍යාප්ත විය. මේ වනවිට සිනමා විෂය පිළිබඳව ලොව විශිෂ්ටතම කෘති ගණනාවක් පරිවර්තනය කර ඇති ඔහු විශ්වවිද්‍යාල කීපයකම බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරයි.

රූපයකින් කෙසේද මිනිස් හැඟීම් පැහැදිලි කරගන්නේ?

රූපය කියන්නේ වචන හා භාෂාව භාවිත නොකර කරන සන්නිවේදන ක‍්‍රමයක්. රූපයක් පෙන්වා ඒ තුළින් අපට විවිධ අදහස් සමාජ ගතකරන්න හැකියාව තියෙනවා. රූපයක විවිධාකාර සංඝටක තියෙන්න පුළුවන්. කහපාට කොඩි දැමීම තුළ හැඟවෙන අර්ථය දැනෙන්නේ බෞද්ධයකුට පමණයි. විජාතිකයකුට මෙය නොතේරෙන්න පුළුවන්. ඒ නිසා රූපයක් විවිධ සංස්කෘතීන් අනුව විවිධ අරුත් සමාජ ගතකරන්න පුළුවන්. භාෂාව ගැන කතා කරන අය කියන්නේ භාෂාව සංඥා පද්ධතියක් කියලනේ. හැබැයි රූපය ගැන කතා කරන අය රූපය ඒ ආකාරයට සංඥා පද්ධතියක් ලෙස පිළිගන්නේ නැහැ. අන්ද්‍රේ බැසෑන් නම් ප‍්‍රංශයේ හිටපු සිනමා මුලාචාරවරයා කියනවා ‘කැමරාව නිකම් මිනිහෙකුගේ මුහුණට අල්ලාගෙන සිටියාම ඇති. ඒ මිනිහාගේ සිතුවිලි, සිතේ ඇතුල් පැත්ත, හැඟීම්, චරිතය, එළිවෙන්න පටන් ගන්නවා, හරියට රහස් පරීක්ෂකවරයෙක් සැක කරුවකුගෙන් ප‍්‍රශ්න කරන ආකාරයට වගේ.’ ඒ චරිතය කැමරාව ඉදිරියේ නිරාවරණය වෙනවා.

ඔබ කැමරාවට මෙතරම් ළෙන්ගතු වුණේ කොහොමද?

මං පොඩි කාලේ ඉඳලම කැමරාව කියන උපකරණයට විශාල කැමැත්තක් තිබුණා. මොකද මේ කැමරාව තුළ ඉන්ද්‍රජාලික ගුණයක් නැත්නම් මැජික් එකක් තියෙනවා කියන හැඟීම තමයි මට පොඩි කාලේ තිබුණේ. ඒ කාලේ නිශ්චල ඡුායාරූපයක් ගන්නවා කියන්නේ ලොකු වැඩක්. පෙට්ටි කැමරාවෙන් හෝ ස්ටුඩියෝ එකට ගොස් අර කළු රෙද්දකින් වසා තිබෙන කැමරාවෙන් පින්තූර ගන්නවා. සුමානෙකින්, දෙකකින් පින්තූරයක් දෙනවා. ඒ පින්තූරය ලැබෙන කාලය අනුව අපේ සිත්වල කුතුහලයක් හට ගැනෙනවා. එහි තියෙනවා ගුප්ත බවක්. කැමරාවකට මේ වගේ දෙයක් කරන්න පුළුවන්වෙන්නේ කොහො මද කියලා පුංචි කාලේ අප කල්පනා කරනවා. ඒ කාලේ සිනමාශාලාවට යන්නේ විශාල කුතුහලයකින්. ලස්සන කර්ටන් එකකින් වහලා තිරයක් තියෙනවා. තිරය ඇරෙන කොට ඊට පිටුපසින් තියෙන තිරය වීදුරුවක් වගේ වෙනවා. රූප ජීවිතයේ සැබෑ ස්වරූපයට වඩා විශාලව මේ තිරයෙන් පේනවා. කුඩා ළමයි හැටියට එය අපට හරි පුදුම දෙයක්. මෙන්න මේ ආකර්ෂණීය වැඬේට පොඩි කාලේ ඉඳලා මගේ හිත කෙමෙන් ඇදීගියා. ඔය අතර මං පොඩි කාලේ දකිනවා චිත‍්‍රපටයක් රූපගත කරන අවස්ථාවක්. පොඩි කාලේ මං හිතුවේ අර කැමරාව පිටුපස ඉන්න පුද්ගලයා තමයි මෙහි සියලූ දේ කරන කෙනා කියලා. නළු නිළියන් ඉන්නවා, කැමරාවේ පිටුපස මිනිහෙක් ඉන්නවා. මිනිහා තමයි වැඩකරු කියන හැඟීම මට පොඩි කාලේ ඉඳන් තිබුණා. ඊට ටිකක් ලොකු වෙන කොට කාත් එක්ක හරි චිත‍්‍රපටයක් බලන්න ගියාම මං යන්න හදන්නේම ප්‍රොජෙක්ටර් රූම් එකට තමයි. ඒ කාලේ පෙන්වනවා ජංගම චිත‍්‍රපට. මං ඒ වගේ අවස්ථාවලදී ගිහින් හිටගන්නේ අර ප්‍රොජෙක්ටර් එක ළඟ. ඒකේ ක‍්‍රියාකාරීත්වය මට මාර මැජික් එකක්. ඔය කාරණය තමයි කැමරාව මට ආකර් ෂණයවීමට හේතුවුණේ.

අපි ඔබේ පාසල් කාලයට යමුද?

මුලින්ම මං පාසල් ගියේ තිඹිරිගස්යාය මිශ‍්‍ර පාසලක් වූ ලංකා සභා විද්‍යාලයට. ඒ පාසලට මං ගියේ දෙකේ පන්තියට විතරයි. ඉන් අනතුරුව ග‍්‍රීන්ලන්ඞ් කොලේජ් එකට ගියා. ඒ කාලේ අපේ විදුහල තිබුණේ කොළඹ රෝයල් කොලේජ් එකේ ප‍්‍රාථමික අංශය වෙනුවෙන්. 1956 රටේ ඇතිවූ ජාතික, ආගමික වෙනසත් සමගයි කොලීජිය ඉසිපතන විදුහල වුණේ. අපේ විදුහලට ආසන්නයේම තියෙන ඉසිපතනාරාමයේ නම අපේ විදුහලට ලැබුණා. පොඩි කාලේ ඉසිපතන විදුහලේ සිටිය සංගීත ගුරුවරයා නිසා මගේ හිත ඒ කාලේ සංගීතයටත් ඇදී ගියා. සුමනදාස කෙන්දසිංහ කියලා මකුලොලූව මහතාගේ ගෝලයෙක් තමයි අපේ සංගීත මාස්ටර්. පොඩි කාලේ සංගීත පන්තියේ ඉදිරිපෙළ සිටි සිසුන් අතර මාත් සිිටියා. මාත් සමග උපාලි කන්නන්ගරත් සිිටියා. පාසලේ ඡුායාරූප සංගමයට බැඳෙන්න මට වුවමනා වුණා. හැබැයි මට කැමරාවක් නැති නිසා ඒකට බැඳෙන්න බැරිවුණා. ඒ කාලේ කැමරාවක් කියන්නේ ප‍්‍රමුඛ පෙළේ අය අතර පමණක් තියෙන උපකරණයක්. ඒ කාලේ විල්සන් හෑගොඩගේ ලංකා ජාතික ඡුායාරූප සංගමය තිබුණා. ඒකට ගිහින් වැඩක් නෑ කැමරාවක් නැතිව. හැබැයි ඒ සංගමයෙන් කැමරා ගැන ලියන පත‍්‍රිකා, කැමරා සඟරාව මං එකතු කරලා කියවන්න පටන් ගත්තා. පාසලේ ඉන්න කාලේ සමහර ධනවත් යාළුවෝ ගාව තියන පෙට්ටි කැමරාවලින් ඡුායාරූප ගැනීමටත් පොඩි පොඩි අවස්ථා මට ලැබුණා. මං උසස් පෙළට කළේ විද්‍යා විෂයයන්. විද්‍යා විෂයයන් ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න තමයි උනන්දුව තිබුණේ. ඒත් උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය ලකුණු තිබුණේ නැහැ. ඉසිපතන විදුහලේදී මං පාසලේ හොකි පිලටත් සෙල්ලම් කළා. ඒ කාලේ විදුහලේ එක එක උත්සවවලට රජයේ චිත‍්‍රපට අංශයේ කැමරමන්ලා ඇවිල්ලා ෆොක්ස්වැගන් රථවල උඩ නැගලා ඒ උත්සව පින්තූර ගන්නවා. ඒ ගොල්ලන් රූපගත කරන ලද ප‍්‍රවෘත්තිය චිත‍්‍රපට ශාලාවල පෙන්වනවා. 1959 එවකට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාර නායක මහතාගේ ඝාතනයත් සමග රජයේ චිත‍්‍රපට අංශයෙන් ගමනක අවසානය නමින් වාර්තා චිත‍්‍රපටයක් චිත‍්‍රපට ශාලාවල පෙන්නුවා. මං මේ වාර්තා චිත‍්‍රපටය නැරඹුවේ සැවෝයි සිනමාශාලාවේ. ඒ කාලේ රුපියලක් ගත්තා එය නරඹන්න.

පළමු රැකියාව මොකක්ද?

රජයේ චිත‍්‍රපට අංශයේ ආධුනිකයන් බඳවා ගන්න දැන්වීමක් ගැසට් පත‍්‍රයේ පළවුණා. ඒකට මං දැම්මා. ඒත් පළමු අවස්ථාවේ මගේ ඉල්ලූම් පත‍්‍රයට පිළිතුරක් ආවේ නැහැ. ඒ කාලේ අපේ ගෙදර, ආසන්නයේ සිටියා චිත‍්‍රපටවලට සම්බන්ධ විශාල පිරිසක්. එයින් කෙනෙක් තමයි චිත‍්‍රපට කැමරා ශිල්පී කේ.ඞී. දයානන්ද. මං එයාට කිව්වා මං සිනමාවට කැමතියි. බැරිද මාව ස්ටුඩියෝ එක ටිකක් බලන්න එක්කන් යන්න කියලා. ඔහු මාව ඒ කාලේ තිබුණු චිත‍්‍රපට ස්ටුඩියෝ එක බලන්න එක්කන් ගියා. ඒවා දැකලා මට යම් කලකිරීමකුත් ඇතිවුණා. මේ අතරතුරේ 1973 වර්ෂයේ නැවතත් රජයේ චිත‍්‍රපට අංශයේ ආධුනිකයන් බඳවාගැනීමේ දැන්වීමක් තිබුණා. මං ආයේ එයට ඉල්ලූම් කළා. ඒ කාලේ රජයේ රැුකියාවකට යන්න මොන සුදුසුකම තිබුණත් දේශපාලන සුදුසුකමකුත් තියෙන්න ඕනෑ. අන්තිමට ඒ සුදුසුකමත් ඇතිව මං රජයේ චිත‍්‍රපට අංශයට සම්බන්ධ වුණා. 1973 ජුනි මාසයේ මං රජයේ චිත‍්‍රපට අංශයට සම්බන්ධ වෙනකොට මගේ වැටුප දීමනාවක් වශයෙන් රු. 100යි ලැබුණේ. මාත් එක්ක 15ක් රජයේ චිත‍්‍රපට අංශයට එකතු වුණා. ඒ අතරින් තමයි මගේ බිරිඳ ශාන්තා මට මුණ ගැසුණේ. මාත් එක්ක වසන්ත කොටුවැල්ල, ලාල් වික‍්‍රමාරච්චි, සනත් ධර්මරත්න වගේ අය සිටියා. රජයේ චිත‍්‍රපට අංශයේ අපේ ගුරුවරු වුණේ පී. හෙට්ටිආරච්චි, විල්සන් පෙරේරා, තිස්ස අබේසේකර, තිස්සලියන සූරිය වගේ අය. ජර්මන් ජාතික පෝල් ෂිල්ස් තමයි අපේ කණ්ඩායම එවකට භාරව සිටියේ. සිනමාව ගැන ගැඹුරෙන් හදාරන්න මගේ තිබුණු සිහිනය රජයේ චිත‍්‍රපට අංශයට එකතුවීමෙන් මල්ඵල ගැන්වුණා. වසර 3ක පරිවාස කාලයෙන් අනතුරුව 1976දී අපේ කණ්ඩායම ස්ථිර සේවකයන් බවට පත්වුණා. වසන්ත කොටුවැල්ලයි මායි එක කාමරයේ බෝඩිං වෙලා හිටියේ ගංගොඩවිල. අප දෙන්නා ඒ කාලේ නුගේගොඩ ලැවීනියා චිත‍්‍රපට ශාලාවට හරි තානාපති කාර්යාලවල චිත‍්‍රපට පෙන්වන දින හරි අත්හරින්නේ නැහැ. රජයේ චිත‍්‍රපට අංශයට පසු කාලයේ රංජිත් ලාල්, සුගතපාල සෙනරත් යාපා පැමිණියා. මගේ ඒ කාලේ තනතුර වුණේ වාර්තා හා ප‍්‍රවෘත්ති කැමරා ශිල්පි. ශාන්තා පසුකාලීනව ජාතික චිත‍්‍රපට සංස්ථාවට ස්ථාන මාරුවක් ගත්තා. මං වැඩිපුරම රාජකාරි කළේ රංජිත් ලාල් සමගයි. 1981 දක්වා රජයේ චිත‍්‍රපට අංශයේ මං රැකියාව කළා.

එතකොට ජාතික රූපවාහිනියට බැඳුණේ?

1981දී මට ලැබුණා ශිෂ්‍යත්වයක්. ජපානයේ එන්එච්කේ පුහුණු ආයතනයේ. ජාතික රූපවාහිනියට පුරුදු කරන්න 14 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් තමයි ජපානයට ගියේ. ජපානයට ගිය 14 දෙනාගෙන් 7 දෙනෙක් රජයේ චිත‍්‍රපට අංශයේ. අනිත් 7 දෙනා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. ගුවන්විදුලියෙන් අපත් සමග ජපන් ගිය අය අතර රොස්මන්ඞ් සේනාරත්නත් හිිටියා. ජපානයේ අප මාස 3ක පාඨමාලාවකට සහභාගි වුණා. 1982 ජාතික රූපවාහිනිය ආරම්භ කරන විට අපව රජයේ චිත‍්‍රපට අංශයෙන් අයින් කරවාගෙන ජාතික රූපවාහිනියට අනුයුක්ත කරගත්තා. මං හැබැයි ජාතික රූපවාහිනියට ගියේ එතරම් කැමැත්තකින් නෙමෙයි.
රූපවාහිනියේදී බර්ට‍්‍රම් එක්ක ගම්පෙරළිය ටෙලිනාට්‍යය, පරාක‍්‍රම නිරිඇල්ල එක්ක කඩඉම වගේ නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා. 1983දී ඉන්දියාවටත් කලර් ටීවී නැති කාලේ අප ඉන්දියාව/ශ‍්‍රී ලංකාව ටෙස්ට් මැච් එක කවර් කළා ඉන්දියාවට ගිහින්. අපි මැච් එක කවර් කරලා දෙන ටේප් එක ගුවනින් ලංකාවට ගෙනාවා. ඉන්දියාවේ 1983 වන කොට රූපවාහිනී තාක්ෂණය අඩු නිසා අපෙන් තමයි යම් යම් දේවල් දැනගත්තේ. හැබැයි ඊට වසර 20කට පස්සේ අප කොතනද ඉන්දියාව කොතනද සිටියේ. සාෆ් ගේම්ස්වලට ඉන්දියාවෙන් බඩු ගන්න අපට පසුකාලීනව සිදුවුණා.

රාජ්‍යතාන්ත‍්‍රිකයන් සමග ජාතික රූපවාහිනී කවර් පේජ්වලට මං විශාල වශයෙන් සහභාගි වෙලා තියෙනවා. එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග සාෆ් රටවල්වලට, මෙක්සිකෝව, ප‍්‍රංශයේ හා ලෝකයේ සෑම රටකටම යන්න මට අවස්ථාව ලැබුණා. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේ එවකට ආරක්ෂක ඇමති රංජින් විජේරත්න සමග ජාතික රූපවාහිනියෙන් යොදවා තිබුණු නිලධාරියා වුණේ මමයි.

රූපවාහිනී අභ්‍යාස ආයතනයේ රාජකාරි ජීවිතය කොහොමද?

රජයේ චිත‍්‍රපට අංශයේ වසර 10කට වඩා පළපුරුද්ද ඇති. ජාතික රූපවාහිනියේ ආරම්භක කැමරා ශිල්පියකු හැටියට සේවය කළ නිසාම රූපවාහිනී අභ්‍යාස ආයතනයට යෑමට මට පහසු වුණා. ජාතික රූපවාහිනියේ වැඩ කරන ගමන් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ඉගැන්වීම් කටයුතු කරන්න මට 1984දී හැකිවුණා. ඩොක්ටර් පියසෝම මේඩිස් තමයි එවකට රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ හැටියට කටයුතු කළේ. රූපවාහිනී අභ්‍යාස ආයතනය පාලනය කරන්නේ ජාතික රූපවාහිනිය, ශ‍්‍රී ලංකා පදනම් ආයතනය හා ජර්මනියේ ෆෙඞ්රික් ඊබට් පදනමයි. 1999දී ද්විතියීක පදනම මත ජාතික රූපවාහිනියෙන් රූපවාහිනී අභ්‍යාස ආයතනයට පූර්ණකාලීනව සේවය කිරීමට යෑමට මට හැකිවුණා. මගේ ජීවිතයේ ද්විතීය භාගය ඇරඹෙන්නේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේදීයි. පාඨමාලා සංවිධානය කිරීමට ඉගැන්වීම, මේ හැම දෙයක්ම කිරීමට හැකිවුණා. මුලදිම මං රූපවාහිනී අභ්‍යාස ආයතනයේ නිෂ්පාදන සම්බන්ධීකරණ හැටියට පසුව පුහුණු කළමනාකරු, හැටියටත් වැඩ කළා. එතන වැඩ කරන එක ගැන මගේ හිතේ සතුටක් තිබුණා. මොකද මට අවශ්‍ය විටකදි නිවාඩු අරගෙන චිත‍්‍රපටයකට දායක වෙන්න එතන අවසරයක් තිබුණා. රූපවාහිනී අභ්‍යාස ආයතනයේ තිබුණු පුස්තකාලය මගේ කාලයේදී වැඩි දියුණු කිරීමට මට හැකිවුණා. මෙහිදී විවිධ පාඨමාලා සඳහා මට විදේශ රටවල යෑමටද අවස්ථාව සැලසුණා.
මං රජයේ සේවයෙන් විශ‍්‍රාම ගත්තේ 2006දී. ඒ රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී. රූප වාහිනියෙන් මගේ විශ‍්‍රාම ගැන්වීම ඉතා උසස් ආකාරයට සිදුකළා. මං බොහොම කැමැත්තෙන් තමයි විශ‍්‍රාම ගියේ. මොකද ඊට පස්සේ නිදහසේ චිත‍්‍රපටවලට මගේ පූර්ණ කාලයම කැප කරන්න පුළුවන් වෙන නිසා.

ඔබේ. ගම කොහේද?

මගේ තාත්තා ගම්පල. අම්මා රත්නපුරේ. ඒ වුණාට අප කුඩා කාලයේ ඉඳන්ම හිටියේ කිරුළපණේ. අපේ පවුලේ සාමාජිකයන් ගණන 7යි. මං පවුලේ 6 වැනියා. සහෝදරයන් 3 දෙනයි සහෝදරියෝ 4 දෙනයි. අප පොඩි කාලේ ජීවත් වුණේ කිරුළපණේ ස්ටැෆඞ් රෝඞ් එකේ.

ජීවිතයේ අමතක නොවන සිදුවීමක් තියනවද?

තිස්ස අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළා මංමුල්වැල් කියලා චිත‍්‍රපටයක්. මටත් හරි ආසයි ඒකට දායකවෙන්න. මේ චිත‍්‍රපටයේ කැමරාකරණය කරන්නෙත් මාත් එක්ක රජයේ චිත‍්‍රපට අංශයේ එකට වැඩ කරන ලාල් වික‍්‍රමාරච්චියි. ඔහු මට කිව්වා උඹත් වරෙන් චිත‍්‍රපටයේ වැඩ කරන්න කියලා. මට කිව්වා චිත‍්‍රපටයේ නිශ්චල ඡුායාරූප ටික ගන්න කියලා. රජයේ චිත‍්‍රපට අංශයේ වැඩ නිසා ලෙඩ නිවාඩු දාලා තමයි චිත‍්‍රපටයට ගියේ. ඒ දවස්වලම තමයි රැුජින ලංකාවට ආවේ. රැුජින එනකොට රජයේ චිත‍්‍රපට අංශයට බරටම වැඩනේ. අප තිස්ස අබේසේකරගේ චිත‍්‍රපටයේ වැඩ හින්දා දිගටම වැඩට ගියේ නැහැ. මං ලෙඩ නිවාඩු දැම්මා පාචනය කියලා. ලාල් දැම්මා මැලේරියාව කියලා. මේ චිත‍්‍රපටයේ රඟපාන දයා අල්විස්, යූ. ආරියවිමල් වගේ අයත් ඒ අයගේ රාජකාරි කරන තැන්වලට ලෙඩ නිවාඩු දැම්මා. මෙන්න දවසක් දෙක තුනක් යනකොට ගෙදරින් ලියුමක් එනවා ඔබ සේවය හැර ගියා සේ සඳහන් කරලා ලිපියක් ඇවිල්ලා කියලා. ඒත් අප චිත‍්‍රපටයේ වැඩ දාලා ආවේ නැහැ. චිත‍්‍රපටයේ වැඩ ඉවර කරලා අප ගෙදර ආවා. රස්සාව නැතිවුණා. ඔච්චර මහන්සි වෙලා රැුකියාවත් නැති කරගෙන කරපු චිත‍්‍රපටය. මංමුලාවැල් කවදාවත් ප‍්‍රදර්ශනය වුණේ නැහැ. විජය, ධම්ම ජාගොඩ, යූ. ආරියවිමල්, ශේෂා පලිහක්කාර, ලාල්, තිස්ස අබේසේකර මේ කවුරුත් අද ජීවතුන් අතර නැහැ. අද ඉන්නේ ඒ චිත‍්‍රපටයේ හිටපු දයා අල්විස්, ස්වර්ණා හා මං විතරයි. ඒ කාලේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සරත් අමුණුගම මහතායි. මං ගිහින් එතුමාට කිව්වා මගේ රැුකියාවේ ප‍්‍රශ්නය. හරි හරි මං බලාගන්නම් කියලා එතුමා දින කීපයකින් මගේ රැුකියාව නැවත ලබාදීමට කටයුතු කළා. ලාල් වික‍්‍රමආරච්චි නැවත රැුකියාවට ආවේ නැහැ.

දේශපාලනය ගැන ඔබට තිබුණු උනන්දුව කොහොම එකක්ද?

මං දේශපාලනයට විශාල වශයෙන් සක‍්‍රිය වුණේ පසුගිය කාලේ. මට දැනුණා මේ වෙලාවේ අප සැඟවී සිටීම අනාගත පරපුරට කරන අයහපතක් කියලා. රටට වෙන්න යන හානිය කලාකරුවෝ ලෙස අප සිවිල් ජනතාවට දැනුවත් කරයුතු බව මට හැඟී ගියා. මගේ දේශපාලනයට විශාල වශයෙන් රාවය පුවත්පතත් බලපෑවා. ඒ වගේම වික්ටර් අයිවන් මහතා පළකරන පත පොතත් එයට හේතුවක් වුණා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;