නාට්‍යකරුවෝ සංස්කෘතිකද ?

ධනංජය කරුණාරත්න

අඩසියවසකට වඩා දිගු සිංහල නාට්‍ය කලා ඉතිහාසය තුළ එහි පොදු යහපත හා සංවර්ධනය පිණිස නාට්‍යකරුවන්ට කිසිවක් කරගන්න බැරිවී ඇත්තේ ඇයි? මුල් වකවානුව තුළ බිහිවූ ගොඩනැගිල්ලක් ඇරුණු කොට නාට්‍ය කලාවට වෙන්වූ කිසිදු අලූත් ගොඩනැගිල්ලක්වත් බිහිකරගැනීමට අපට නොහැකි වුණේ මන්ද? නාට්‍ය හදා පෙන්වා නරඹා ගෙවල්වලට යෑමට එහා ගිය නාට්‍ය සංස්කෘතික පරිසරයක්වත් බිහි කරගැනීමට නොහැකි වුණේ මන්ද? කොටින්ම කිසිවක් සිදු නොවුණේ මන්ද?
මෙය අතිබරපතළ ප‍්‍රශ්නයකි. එහි බැරෑරුම්කම වැටහෙන්නේ නම් අසන්නට පවා බිය විය යුතු හා ලජ්ජාවිය යුතු ප‍්‍රශ්නයකි. සමහරවිට මේ ප‍්‍රශ්නයට තමන්ව රවටා නොගෙන ගැඹුරින් උත්තර සොයන කෙනෙකුට එම කාලය තුළ මුළු ශ‍්‍රී ලංකාවටම දියුණු වෙන්නට බැරි වුණේ ඇයි කියන ප‍්‍රශ්නයට ද පිළිතුරු ලැබීමට ඉඩ ඇත. බිය විය යුතු හා ලජ්ජා විය යුතු වන්නේ එය කිසිසේත් මුදල් මත තීරණය වුණු ප‍්‍රශ්නයක් නොවන බැවින. වඩ වඩාත් කරුණු සොයාගෙන යනවිට පෙනෙන්නට පටන් ගනු ඇත්තේ එය ඉතා දරුණු ආකල්පමය ගැටලූ හා කාලකන්නිභාවයකට සම්බන්ධව පවතින බවයි.

දශක දෙකක පමණ මගේ නාට්‍ය කලා ජීවිතය තුළ නාට්‍ය කලාව සංවර්ධන කිරීම පිණිස පැවැත්වූ රැස්වීම් විශාල සංඛ්‍යාවකට මම ගොස් ඇත්තෙමි. නාට්‍ය අනුමණ්ඩලය, ටවර් හෝල් රඟහල පදනම හා තරුණ සේවා සභාව ආදී රජයේ පාර්ශ්ව ඒවා සංවිධානය කළ අතර ඊට අමතරව පුද්ගලිකව සංවිධානය වූ අවස්ථා රැුසක් ද ඒ අතර පැවතිණි. ඒ සියල්ල අපට ආරාධනා කර තිබුණේ ‘නාට්‍ය කලාව සංවර්ධනය කරන්නට ඔබේ අදහස් අවශ්‍යයි‘ කියාය. ඒ කාලේ, අනූව දශකයේ අවසාන භාගයේ පමණ, මේ ආරාධනා ‘සීරියස්’ ලෙස භාරගත් මම ඇමරිකන් සෙන්ටර් හා බි‍්‍රතාන්‍ය කවුන්සිල් ආදියට ගොස් තොරතුරු හොයාගෙන, රඟහල්වලට ගොස් ඒවායේ අර්බුද පවා ලියාගෙන, සමහර විශේෂ පුද්ගලයන්ද හමුවී අදහස් අරගෙන ඒ රැුස්වීම්වලට සහභාගි වුණෙමි. මේවා බොහෝ විට සංවිධානය වුණේ අලූතින් ආණ්ඩුවක් හෝ ඇමතිවරයෙකු හෝ ඉහල නිලධාරියෙකු හෝ නාට්‍ය කලාවට අදාළ අංශයට පැමිණි විට පමණි. (මම සම්බන්ධ වූ මේ රැුස්වීම් බොහොමයකට ජැක්සන් ඇන්තනි, බුද්ධික දමයන්ත, පරාක‍්‍රම නිරිඇල්ල, කේ. බී හේරත් ආදී නාට්‍යකරුවන් ද සහභාගි වූ හෙයින් ඔවුන් සාක්ෂි දරනු ඇත.) කෙසේ වෙතත් මේවායින් ලාංකීය නාට්‍ය කලාවට අදාළ දැවැන්ත සාමාජීය දේශපාලන අර්බුද සාකච්ඡුා වුණයි කිව නොහැක. ඒවා රාජ්‍ය නාට්‍ය උළෙල ඉහළින් පැවැත්වීම, නාට්‍ය වැඩමුළු පැවැත්වීම, නිෂ්පාදනය සඳහා යම් යම් උපකාර හා අනුග‍්‍රහයන්, විවිධ නාට්‍ය පෙන්වීමේ ව්‍යාපෘති, රඟහල් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ආදි මට්ටමේ යෝජනාවලට බොහෝවිට සීමා විය. මතක ඇති පරිදි, තරමක් විශාල අදහසකට පැමිණියේ ජාතික නාට්‍ය පාසලක් ගැන අදහස පමණකි.

කෙසේ වුණත්, මේ බොහෝ සාකච්ඡුාවලට එවකට නාට්‍ය කලාවේ උන් කැපී පෙනෙන හැම චරිතයක්ම පාහේ පැමිණි සිටි අතර සමස්තයක් ලෙසට සාකච්ඡුාවල ආකල්පමය රටාව සමස්ත සිංහල නාට්‍ය සමාජයේම එක්තරා දිළිඳු පැතිකඩක් විදහා දැක්වීමට සමත්වූ බව මට පෙනී ගියේය. එනම්, යම් අදහසක් අනුමත වුණේ එම අදහස ගෙනා කෙනාට පුද්ගලිකව ඇති සම්බන්ධතාවල ප‍්‍රමාණය පදනම් කරගෙන ය. (අපේ සමාජයේ එකිනෙකා ජීවත් වන්නේ හා පවතින්නේ විවිධ පුද්ගලයන්ට පක්ෂග‍්‍රාහි වී බැවින් සහයෝගය දක්වන්නේ අදහසට නොව පුද්ගලයාටය.) ඊට අමතරව අදහස කෙතරම් හොඳ වුවත් ඊට පැහැදිලි අයිතිකාරයෙකු සිටිනා විට බහුතරය එය ලිස්සා යවන බවක් පෙනෙන්නට තිබුණි. හැමෝම වාගේ නිතරම කැමති වුණේ කාටවත් අයිති නැති කිසියම් අහසින් වැටුණු අදහසකට ය. නැතහොත් විදේශ ජාතිකයකු වැනි පිටස්තර යකුගේ අදහසකටය. නැතහොත් එතන නැති වයෝවෘද්ධ නාට්‍යකරුවෙකු කියපු අදහසකට වැන්නකටය. බොහෝ දෙනෙකු කරුණු තොරතුරු අධ්‍යයනය කර නොතිබුණු අතර එසේ අධ්‍යයනය කරන ලද කරුණු හා තොරතුරු ඉදිරිපත් කරන විට සමහරු අපහසුතාවන්ට පත් වන බව පෙනෙන්නට තිබිණි. වයසේ අත්දැකීම්වලින් හා තැන්තැන්වල ඇවිදිනකොට දුටු දේවල්වලින් කතාකිරීමට ඒ පිරිස් ඊට වඩා කැමති විය. ‘අප‍්‍රසිද්ධ‘ පුද්ගලයන්ගේ අදහස්වලට සවන් දී ‘ප‍්‍රසිද්ධ‘ අයගේ අදහස් පමණක් නිතරම සාකච්ඡුාවට ගැනිණි. ඊට අමතරව අඩුවෙන් කතාකරන, ගැඹුරු හඬක් තියන අයගේ අදහස් ද ‘සීරියස්ව’ ගැනිණි. හොඳ අදහසකට සියලූ දෙනා එකතුකර ගැනීම මොනම විදියකටවත් කළ නොහැකි වූ නමුදු මතුපිටින් වැඩි බලයක් ඇති පැත්තට විරුද්ධද නොවීය. එහෙත් ඇතුළතින් සහයෝගය දුන්නේ තමන්ට හෝ තම ‘ගුරුකුලය’ට තැනක් ලැබෙන අදහස්වලටය. සාකච්ඡුාවලින් පසු සමහරු පිටතට ගොස් දූෂමාන කතා කියමින් තමාගේ අදහසට තර්ජනයක් වන අදහස් අවමානයට ලක් කර අතර එය දැනගත් සමහරු හිත්බිඳී ඉවත් වූහ. සමගිය නැතිවිය. බොහෝ විට පිරිස් අදහස්වලට ගොනුවූයේ පොදු යහපතට ඒවා කොයිතරම් වැදගත්ද යන්න මත නොව ඒවා ක‍්‍රියාත්මක වුණොත් තම තමනට ඇතිවන වාසි මතය. මේ ආකාරයට හොඳ අදහස් එතරම් වැදගත් නොවීය. කොතනකින් හෝ පැමිණි හොඳ අදහස හඳුනාගෙන එය සියලූදෙනා එකතුවී කපා කොටා වර්ධනය කරගෙන අන්‍යොන්‍ය අවබෝධය ගොඩනගා ගනිමින් පියවරින් පියවර ප‍්‍රායෝගික අන්තයක් කරා යෑමක් කිසිවිටක සිදුවූයේ නැත. අසම්මත නාට්‍ය කලාවේ සිට මාක්ස්වාදය හරහා සරච්චන්ද්‍රගේ ආභාසය දක්වා සියලූ දැනුම කැන්දවා තිබුණද බොහෝ රැුස්වීම් පෙන්වූ ආකල්පමය රටාව එසේ විය. මේ බොහෝ රැුස්වීම් සංවිධානය කළ පාර්ශ්වද විශාල ප‍්‍රමාණයෙන් අප රැුවටූ බව ඇත්ත ය. එහෙත් ඉන් නාට්‍යකරුවන්ට ඉහත පෙන්වූ ලෙස ගොනුවීමට නොහැකිවීම සාධාරණය කළ නොහැක. මේ රැුස්වීම් වට රැුසක් ගොස් දියාරුවී, මුකුත් සිදුනොවී අවසන් විය. ඉන් කීපයක් මහන්සි වුණු අයට ‘පුටු අරන්දීමෙන්’ අවසන් විය. පොදු යහපත පැත්තෙන් බලන කල ඒවා සියල්ලම අසාර්ථක විය.

අලූතින් රජයක් පැමිණි පසු කොළඹ මෙන්ම ඈත ප‍්‍රදේශවල නාට්‍යකරුවන්ද විවිධ කණ්ඩායම් ලෙස සංවිධානය වී, රාජ්‍ය නායකයන් සමග නාට්‍ය කලාවේ යහපත පිණිස යෝජනා ඉදිරිපත්කර, තමන්ගේ ව්‍යාපෘතියට මුදල් අනුග‍්‍රහයක් හොයාගැනීමට යෑම බොහෝ කාලයක සිට සම්ප‍්‍රදායක් ලෙසට පවතී. සමහරෙක් ඒ ව්‍යාපෘතිවලට අපේ අදහස් ද සමහරෙක් අපේ නම් පමණක්ද අරගෙන ගියහ. ඇතැමෙක් ඉන් ඔබ්බට ගොස් අපේ අදහස් සහ සහයෝගය කූට ලෙස කොල්ලකාගෙන වැඬේ කර ගත්හ. ඔවුන් නන්නාඳුනන්නන් නොව මේ අපේ එකට හිටි මාර යාළුවන්ය.

කෙසේ හෝ පුද්ගලික නාට්‍ය ව්‍යාපෘති සඳහා ආධාර ලැබුණි. ඊට අමතරව රජයට පක්ෂග‍්‍රාහිත්වය පෙන්වන නාට්‍යකරුවන්ට සිනමා ආදි නිර්මාණ සඳහාත් තවත් රජයට අවශ්‍ය මහා රංග ප‍්‍රසංග සඳහාත් අතිදැවැන්ත මුදල් ප‍්‍රදාන ලැබුණු බව අපි දනිමු. මෙසේ කලාකරුවන් කීපදෙනෙකුට ඔවුන්ගේ පුද්ගලික ව්‍යාපෘති සඳහා ජනතාවගේ මුදල් ලබා දෙනවා වෙනුවට, ඒ සියල්ල එකතුකර, එමගින් අප සියලූම දෙනාට දියුණු නාට්‍ය කලාවක ප‍්‍රතිලාභය ලබාගැනීමට හැකිවන, හැමදාටම පවතින පුළුල් ව්‍යාපෘතියකට පදනම දමන ලෙස අපි බොහෝ කලක සිට විවිධ රජයන්ගෙන් ඉල්ලා ඇත්තෙමු. එහෙත් අපට වැටහී ගියේ එවැන්නකට මුදල් දමනවාට වඩා සෑම රජයක්ම පාහේ තමන්ට පක්ෂාග‍්‍රාහී කලාකරුවන්ට කලාවේ නාමයෙන් උදවුකිරීමට කැමති බවයි. මේ තත්ත්වයට අඩුවැඩි වශයෙන් සෑම රජයකටම චෝදනා කළ හැකි අතර රාජපක්ෂ රජයට නම් ‘උල තැබිය හැකිය’! අවසානයේ විශාල මුදල් කන්දරාවක් සමග අපට අර කලාකරුවන්ද නැති විය. පොදුවේ නාට්‍ය කලාවට කියා කිසිම දෙයක් අදත් නැත.

රජයේ වාසි ලබාගත් නාට්‍ය කරුවන් මොහොතකට පැත්තකින් තියමු. අනිත් සියලූම නාට්‍යකරුවන්ට ශක්තිමත්ව සංවිධානය වීමට හැකිවුණා නම් රජයට බලකර අවශ්‍ය දෙයක් කරගැනීමට හැකිව තිබූ බව මම තරයේ විශ්වාස කරමි. එහෙත් එසේ කරගැනීමට නොහැකි විය. සමහරවිට ඉතිහාසය පුරාම නොහැකි වන්නට ඇත්තේ එසේ පුද්ගලික ලාභ නොතකා පොදු දෙයක් දිනාගැනීමට ගොනුවීමට නොහැකි වීම නිසා වන්නට පුළුවන. අර ඉහතින් මා සඳහන් කළ රැුස්වීම්වලදීත් නොහැකි වූයේ එයයි.
මගේ අත්දැකීම්වලට අනුව නම් මේ ගොනුවීමට නොහැකිවීම මතවාදී ප‍්‍රශ්නයක් යැයි සමහරු කියන්නේ පට්ටපල් බොරුවකි. මතවාදී ප‍්‍රශ්නයක් යනු තමන් තදබල ලෙස සත්‍යයැයි විශ්වාස කරන මතයක සිටිමින්, ඊට පදනම්ව, අනිකාගේ මතයට එකඟවීමට නොහැකිවීමයි. ඒ හැර වෙනත් ප‍්‍රශ්නයක් නැතිවීමයි. එහෙත් මෙම එකිනෙකා ‘අල්ලන් නැති බව’, බෙදාගන්න අකමැති බව, අනිකාට කෙළවෙනවාට ඇති ආශාව, නෑදෑයන් අතර සිට රටපුරාම විහිදුණු ජාතික අර්බුදයකි. ඈත ගමක ගැමියෙකු ‘මතවාදී’ යන වචනය ගැන දන්නේ නම්, තමන් හූනියන් කරන්නේත්, කැලෑපත්තර ගහන්නේත් මතවාදී ප‍්‍රශ්නයක් නිසායැයි කියනු ඇත. ඒත් ඒ හූනියන් කරන්නාගේ දරුවෝ කලාව කරන්නට ආ පසු අනිකා සමග ඇති එම ගැටුමම ‘මතවාදී ගැටුමක්’ ලෙස හඳුන්වති. අවසානයේ හූනියන් කරන්නකු රජකමට තෝරාගත්තේත් ඔවුන්මයි!
මෙසේ කිසිවකට එකතු වීමට බැරි ලෙස නාට්‍යකරුවන් අතර විශ්වාසය එකදිගට බිඳවැටුණි. සියලූ මානව සම්බන්ධතා වංචාවක් විය. අර ඉහත සඳහන් කළ බොහෝ රැුස්වීම්වලදීද වූයේ ‘පොදු බව’ පෙන්වීමට විශාල පිරිසක් ගාවාගෙන, තවත් පිරිසක් පාවිච්චි කරමින්, කුඩා පිරිසක් තමන්ට වැඩක් කරගන්නා අවස්ථාවන්ය. එකිනෙකා පාවිච්චි කිරීම, රැුවටීම, හෙළා දැකීම, පාවාදීම, දූෂමාන කතා පැතිරවීම, මිනිසුන් කෙටවීම ආදිය පිරී කුණුවී ගිය සමාජයක් තුළ පොදු යහපතට එකතුවීම් විහිලූවකි. ‘පුතේ කොළඹ ගියොත් මාමාලාගේ ගෙවල් පැත්තේ පොඞ්ඩක් හොටදාලා වරෙන්… දන්නැද්ද…?’ යනුවෙන් අම්මා කියන්නේ ‘මාමාගෙන් තව වැඩ තියනවා, ෂේප් එකේ තියාගනින්!’ කියන එක බව අපි දනිමු. වංචාව අම්මාම උගන්වන සමාජයක කෙසේ නම් අප, නාට්‍යකරුවන් විප්ලවයකට එකතුවන්නද? සිදුවූයේ එයයි. දැන් අපට ජීවිතයම අහිමි විප්ලවයකි!

කෙසේ හෝ දැන් අපි සීසීකඩ ය. ඒ අතර අලූත් රජයක් යළි පැමිණ ඇත. එකත් එකටම මේ වන විට රටපුරා නාට්‍යකරුවන් හා රාජ්‍ය නායකයන් අතර ‘නාට්‍ය කලාව දියුණු කිරීමට’ කතාබහ පැවැත්වෙනු ඇත. සමහරු ‘අපි යනවා කතාකරන්න… ඔයාගේ අදහසුත් අපට දෙන්න’යැයි අර පරණ ක‍්‍රමයට මටද දන්වා ඇත. මගේ අදහස වන්නේ ඉතිහාසය පුරා අපේම මිතුරන් හා ‘මාර කලාකරුවන්’ විසින් අප කොල්ලකා අතිදරුණු ලෙස අපගේ විශ්වාසය බිඳවැටී ඇති බැවින්, යමකට ගොනු වීමටත්, එකිනෙකාගේ දායකත්වය ගැනීමටත්, ‘යාළුමිත‍්‍රකම්’ ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන දේ තවදුරටත් වලංගු නැති බවයි. යාළුමිත‍්‍රකම්, නෑදෑ හිතවත්කම්, සහෝදරකම් සියල්ල පිච්චියටම කොල්ල කා සූරා කා සෝදාපාලූවට ලක්කර අවසන්ය. දැන් එවා ගත හැක්කේ එදිනෙදා සිල්ලර වැඩ ටිකකට ශාරීරික ශ‍්‍රමය හුවමාරු කරගනීමටත් මඟුල් තුලාදියේදී ප‍්‍රදර්ශනය සඳහාත් අවසානයේ ඩි‍්‍රන්ක් එකකදී වෙරි බෙදාගැනීම සඳහාත් පමණි. තවදුරටත් ‘සුපිරි කොල්ලෝ’, ‘මාර සෙට් එක’, ‘මරු පොරවල්’ හැදිය හැක්කේ ඡුායාරූපවලට පමණි! එහෙත් සමාජය ඉතාම ළාමකව කියවා ඒවා විප්ලව කරන්න යොදාගනිමින් අනිකා සදාචාරමය ප‍්‍රශ්න කිරීම්වලට ලක්කරන්නෝ තාමත් සිටිති. එබැවින් පුද්ගලයන්ගේ ගතිගුණ මත රඳා නොපවතින, පොදු පරමාර්ථය ඉතා පැහැදිලිව පෙන්වන, ඉතා විශ්වාසවන්ත ආකෘතියක් සියලූ එකතුවීම සඳහා නිර්මාණය කරගත යුතුව ඇත. එතෙක් මම නොදන්නා ව්‍යාපෘතිවලට අර පරණ ක‍්‍රමයට ප‍්‍රතිරූප විශ්වාස කර අදහස් දෙනවාට වඩා, කැමති කෙනෙකුට ලබාගැනීම පිණිස මගේ අදහස් මෙසේ මාධ්‍යවලින් ඉදිරිපත්කිරීමට මම වඩා කැමැත්තෙමි.

ඉහත සඳහන් කළ පරිදි මම නාට්‍ය සංවර්ධනය සඳහා කතිකාවන් හා ව්‍යාපෘති රැුසකට ගිය බැවින් ඒ ඇති කළ උද්යෝගය හරහා ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කරන්නට කළයුත්තේ කුමක්ද යන්න ගැන පසුකාලීනව තරමක් ගැඹුරින් සොයා බැලූවෙමි. මගේ අදහස වන්නේ දැවැන්තම අර්බුදය අපට නාට්‍ය සංස්කෘතියක් නැතිවීම බවයි. නාට්‍ය සංස්කෘතියක් යනු නාට්‍ය රඟදැක්වීම හා පෙන්වීම මුල්කරගෙන ඇතිවී ඇති තවත් විවිධාකාර ක‍්‍රියාකාරකම් හා පුරුදු පුහුණු රටාවක් ඇති සමාජශීලී සංස්කෘතික පරිසරයකි. උදාහරණයකට, මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය තුළ රෙස්ටොරන්ට්වල සිට විවිධ කඩ සාප්පු හා සිනමාශාලා දක්වා සෑම දෙයක්ම වාගේ ඇත. එබැවින් දැන් එතන සංස්කෘතියක් ගොඩනැගී ඇත. එහි ඇති සාප්පු කොයිතරම් සමාන පහසුකම් යටතේ රට පුරා ඇති කළත් එවැනි සංස්කෘතියක් ඇති වන්නේ නැත. දැන් මිනිසුන් එහි යන්නේ බඩු ගන්නම නොවේ. සමාජශීලී ද වීමටය. වැදගත්ම දේ සංස්කෘතියක් හරහා මිනිසුන්ට සමාජශීලී වීමට ඇති උවමනාව ඇතිකිරීමයි.
නාට්‍ය සංස්කෘතියද ඇතිවන්නේ නොයෙක් තැන්වල රංග ශාලා, පුහුණුවීම් ශාලා නාට්‍ය පාසල් ආදිය තිබූ පමණින් නොවේ. එය ඇතිවන්නේ නාට්‍ය කලා රංග සංකීර්ණයක් (ඔයැ්එරු ක්‍දපචකැං* හෙවත් නාට්‍ය කලාවේ සියලූම ක‍්‍රියාකාරකම් මෙන් එක තැනක සිදුවන රසවත් පරිසරයක් ඇතිවීමෙන්ය. එය තමයි මුළු ලෝක නාට්‍ය ඉතිහාසයම අපට පෙන්වා ඇත්තේ. අවම වශයෙන් කුඩා සහ විශාල රංගශාලා දෙකක්, ස්ටුඩියෝ ඉඩක්, පුහුණුවීම් ශාලා, බාර් එකක් සහ කැෆෙ එකක් සමග එන රෙස්ටොරන්ට් එකක්, කුඩා පුස්තකාලයක්, නාට්‍ය හා ප‍්‍රාසංගික කලාවට අදාළ කුඩා කෞතුකාගාරයක්, චිත‍්‍ර ආදී ප‍්‍රදර්ශනය සඳහා කලාගාරයක් (්රඑ ඨ්කකැරහ*, පොත් එළිදැක්වීම් දේශන ආදි ක‍්‍රියාකාරකම් සඳහා ශාලාවක් ආදිය ඊට තිබිය යුතු අනිවාර්ය අංගයන්ය. රඟහල යනු මිනිසුන් තම සංස්කෘතික ජීවිතය විවේකීව ගතකරන්නට එන සමාජශීලී තැනක් බැවින් ඊට සහයෝගය දෙන සෞන්දර්යාත්මක පරිසරයක එය ඉදිකළ යුතු ය. එය කාර්යාල සංකීර්ණයක් නොවන බැවින් ගෘහ නිර්මාණා- ත්මකව කලාත්මක ගොඩනැගිලි සංකීර්ණයක් විය යුතුය. ශාලා කුලියට දීම ඇතුළු මේ සංකීර්ණයේ ක‍්‍රියාකාරකම්වලට මුදල් ඉපයිය හැකි බැවින් රජයේ අනුග‍්‍රහය ප‍්‍රමාණවත් නොවන විටද විධිමත් කළමනාකරණයකින් ඊට ස්වාධීනව පැවතිය හැකිය. එය එදා වේල හොයාගෙන අවසන් වන ව්‍යාපෘතියක් නොව දීර්ඝකාලීනව පවතින්නක් විය යුතුය. සිංහල, දෙමළ ඉංග‍්‍රීසි සියලූම ජාතීන්ට එක හා සමාන වැදගත් විය යුතුය. විශාල වශයෙන් ආදායම් ඉපැයිය යුතුය, නැතහොත් මගදී අඩපණ වනු ඇත. නාට්‍ය කලාවේ එක් අංශයක් නොව සෑම අංශයකටම ඉඩ සලසන්නක් විය යුතු ය. (මේ සංකල්පය ගැන වැඩි විස්තර සඳහා බලන්න, 05/02/2015 දිවයින).
මේ කියන රඟහල් සංකීර්ණයක් මුල්කරගත් නාට්‍ය සංස්කෘතිය පැහැදිලිවම රාත‍්‍රී ජීවිතය අගයන නාගරික සංස්කෘතියක අංගයකි. එහෙත් අපගේ සිංහල නාට්‍ය සමාජය සකස්වී ඇත්තේ නාගරික සංස්කෘතියක පසුබිම නොලැබූ බහුතරයකිනි. ‘නාගරික සංස්කෘතිය’ කියන විට අවශ්‍යයෙන්ම නගරයේ ජීවත්වීමක් නොකියැවේ. එය කලාව ඇතුළු ලෞකික ජීවිතය ආස්වාදය කරගත්, ‘අසාම්ප‍්‍රදායික ජීවිතය’ට ද විවෘත, වඩා විමුක්තිකාමී බහුවිධ සංස්කෘතික සමාජ පරිසරයක්යැයි කෙටියෙන් හැඳින්විය හැකිය. එසේම ලෝකයේ සියලූම නාට්‍ය කලා සංස්කෘතීන් නාගරික සංස්කෘතීන්ය. එබැවින් මෙය බිහිවන තෙක් සිංහල නාට්‍ය සමාජයේ බහුතරයකට එහි ආස්වාදය හා අගය නොතේරීමට සාධාරණ ඉඩක් ඇත. ඊළඟට දැනට නාට්‍ය සංස්කෘතියක් නැත්නම් නාට්‍යකරුවෝ සංස්කෘතිකද යන බරපතළ ප‍්‍රශ්නයක් මතුවන අතර ඊට පිළිතුරු සෙවීම මම නාට්‍යකරුවන් ටම භාරකරමි. එසේ සොයායන්නෙකුට ඉඟියක් ලෙසට මම ඉහතින් පෙන්වූ නාට්‍යකරුවන්ට කිසිවක් කර ගැනීමට නොහැකි වුණු පටු අගතිගාමී ආකල්පමය අර්බුදය අසංස්කෘතික මිනිසාගේ චරිත ලක්ෂණයක් බව පෙන්වා දෙමි.

කවුරු හෝ විසින්, රජයට, නාට්‍ය කලාව සංවර්ධනය කරන්න ව්‍යාපෘති ඉදිරිපත් කරනු ලබන්නේ නම් එය ඇගැයිය යුත්තකි, එසේම එහි පුද්ගලික පටු පරමාර්ථ නැත්නම් මේ වාගේ එය ප‍්‍රසිද්ධියට දමා සාකච්ඡුාවට ලක්කිරීම අතිශය වැදගත්ය. මා ඉදිරිපත්කළ සංකල්පයට වඩා හොඳ ව්‍යාපෘති ද තිබිය හැකිය. අපට අවශ්‍ය වන්නේ හොඳම අදහසයි. තව අදහස් උදහස් මතුවී සංවාදයක් ඇතිවිය යුතුයි. ඒවා අතර සත්භාවයෙන් විවේචන ඇති විය යුතුයි. කෙසේ හෝ අසාමාන්‍ය ලෙස නාට්‍ය කලාවේ සංවර්ධනය ගැන කිසිම කතිකාවක් නැත. අවසානයේ මෙවරද හොඳම අදහස ක‍්‍රියාත්මක නොවුනොත් ඊට බාධාව වූයේ කුමක්ද යන්න විමසීමට අපි බලා සිටින්නෙමු. මෙතෙක් ඊට බාධාව වුයේ නාට්‍යකරුවන්මය.

මා ඉහතින් පෙන්වූ පරිදි අප ඉතා දැවැන්ත ආකල්පමය අර්බුදයක ගිලී ඇත. මුදල්ද ඇත. අදහස්ද ඇත. අලූත් රජයක්ද ඇත. මෙවරත් එය කරගත නොහැකි නම් ඊට කිව යුතු හොඳම වචනය ඔබේ භාෂාවෙන්ම හොයාගන්න.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;