වීරවංශ බිරිඳ අත්අඩංගුවට

 

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කූට ලේඛන සැකසීම සහ භාවිත කිරීම යන චෝදනා යටතේ ඉදිරි දින දෙක තුළදී පොලිස් අත්අඩංගුවට ගන්නට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිසියේ ඉහළ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

පසුගිය කාලයේ ශෂී වීරවංශ මහත්මිය විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් භාවිත කර තිබූ තර එම බලපත‍්‍ර ද්විත්වය සඳහා දී තිබූ තොරතුරු එකිනෙකට පරස්පර බව රාවය විසින් හෙළිදරව් කරනු ලැබීය. මෙම ප‍්‍රවෘත්තිය රාවයේ පළවීමත් සමග රහස් පොලිසියට පැමිණිල්ලක්ද ලැබුණු අතර ඒ ඔස්සේ රහස් පොලිසිය කළ විමර්ශනවල ප‍්‍රතිඵලයක් ලෙස ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්නට නියමිතය.

මෙම විමර්ශන කටයුතු පිළිබඳව රාවයට අදහස් දක්වන පොලිසියේ ඉහළ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේ මෙම විමර්ශනය තුළ තවත් කරුණු දෙකක් විමර්ශනයට ලක්වීමට නියමිත බවය. එම කරුණු දෙක ඉදිරි දින දෙක තුළදී විමර්ශනය කර අවසන් වූ පසු ඇය අත්අඩංගුවට ගන්නට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය 18 වැනි දින නුගේගොඩ පැවති ප‍්‍රසිද්ධ රැුලියක් ඇමතූ විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේතම බිරිඳගෙන් ප‍්‍රකාශයක් හෝ සටහන් කර ගැනුමට පොලිස් නිලධාරීන් නොපැමිණි බවය. තමන් ඔවුන් නිවසට එනකම් මග බලා සිටින බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.