රාවය

ආණ්ඩුව රඟදක්වන ඇමති කෝලම්; පොලිස් කෝලම සහ යහ පාලනය

ආණ්ඩුව රඟදක්වන ඇමති කෝලම්; පොලිස් කෝලම සහ යහ පාලනය

මහාචාර්ය සරත් විජේසූරිය

මහින්ද රාජපක්ෂගේ පාලන සමය කෙළවර කිරීම සඳහා මහින්ද බාලසූරිය නමැති පොලිස්පතිවරයා නොසෑහෙන සේවාවක් කළ බව කෘතවේදීව සිහිපත් කළ යුතුය. පොලිස්පති පදවියට පත්වීමට පෙරුම් පිරූ අනුර සේනානායක නමැති නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කළ සේවයද සුළුපටු නොවේ. ඒ සේවා ත්‍රාසජනකය. ඒවා සමඟ සසඳන විට වත්මන් පොලිස්පතිවරයාගේ භූමිකාව හාස්‍යජනකය.
රාජපක්ෂවරුන්ගෙන් නිදහස් කර ගත් රටේ ශීලාචාර පාලනයක් පුරවැසියෝ අපේක්ෂා කළහ. එහෙත් බලයට පත්වූ දා සිට වැඩිපුර පුරවැසියන්ට දකින්නට කෝලම්ය. බොහෝ කෝලම් රඟදක්වන්නෝ ඇමතිවරුය. ඒ කෝලම් අතරට එක්වන අලුත්ම කෝලම, පොලිස් කෝලමයි.

ව්‍යවස්ථාදායක සභාව
යහ පාලන ආණ්ඩුවේ පොලිස්පති පදවියට රාජපක්ෂවාදියෙකු පත් වේදෝයි සාධාරණ බියක් නීති ගරුක පුරවැසියන්ට තිබුණි. ඒ බිය පහ කර දැමීමට ව්‍යවස්ථාදායක සභාව සමත් වේද නැද්ද යන්න ගැන පවා සැකසංකා පළ විය. ආණ්ඩුව ඒ සඳහා කල් මරන පසුබිම තුළ සිවිල් සමාජය හඬක් නැඟුවේ නීතිය කාටත් එක සේ, සාධාරණ ලෙස ඉටු කිරීමට පියවර ගන්නා පුද්ගලයෙකු පොලිස්පති පදවියට පත්වනු දැකීමටය. පූජිත ජයසුන්දර පොලිස්පති පදවියට පත්වන්නේ ද, රාජපක්ෂවාදියෙකු පත්නොවන්නේ ද, සිවිල් සමාජය අවදියෙන් කටයුතු කළ බැවිනි. එබැවින් මහජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට බඳුන් වන අන්දමට රාජකාරි කිරීමේ වගකීම හා වගවීම අභිනව පොලිස්පතිවරයා ඉතා ගැඹුරින් අවබෝධ කරගත යුතුව තිබුණි.
පූජිත ජයසුන්දර පොලිස්පති පදවියට පත්වන්නේ ගෞරවනීය අන්දමින් රාජකාරි කිරීමට අවශ්‍ය වටාපිටාවක් සැකසුණ සංදර්භයකය. අවංකව හා ඍජුව රාජකාරි කිරීම සඳහා අවශ්‍ය නිසි රැකවරණය පිණිස ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ස්ථාපිත කර තිබීම මෙහිදී සැලකිය යුතු කාරණාවකි. රටේ සිදුවුණ දේශපාලන වෙනස සමඟින් වඩා යහපත් සමාජයක් වෙනුවෙන් නීති ගරුක පුරවැසියන් සිදු කරන අරගලය ද පොලිස්පතිවරයාගේ අවධානයට ලක් විය යුතුව තිබුණි. එනමුත් අභිනව පොලිස්පතිවරයා සිය පදවියට නොතරම් අන්දමින් කතා කිරීම හා හැසිරීම, පදවියට පත්වී කෙටි කාලයක් තුළ දිගින් දිගටම විදහා දක්වයි.

විෂයභාර ඇමති
දින සියයේ ආණ්ඩුවේ නීතිය හා සාමය භාරවුණ අමාත්‍යවරයා පටන් ගත්තේම රාජපක්ෂ පාලනයට අදාළ පොතක පිටුවක් පෙරළා ගෙනය. යහ පාලන ආණ්ඩුවේ පොලිසිය ‘ජෝන්ගේ පොලිසිය’ ලෙස හැඳින්වීමට කරුණු යෙදීම කනගාටුදායකය. දින සියයේ ආණ්ඩුව අවසන අලුත් ඇමතිවරයෙකු පත් කෙරිණි. ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලැයිස්තුවෙන්ය. ඔහු සැබවින්ම මහජනතාව ගැන කිසි හැඟීමක් නැති පුද්ගලයෙකු පමණක් නොව, මහජනතාවට කිසිම වගවීමක් ද නැති පුද්ගලයෙකි. ඔහු ඇවන්ගාර්ඞ් ගනුදෙනුවට සිය සම්බන්ධතාව පළ කරමින් මුලින්ම කතා කළ අන්දමින් අන්‍යාලාපයෙන් පවසා සිටියේ ඒ අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. එහිදී ඔහු වෙත එල්ල වුණ චෝදනා හේතුවෙන් අවසන ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය.

ඇමති සාගල
සාගල රත්නායක මහජන වරමක් ලබා පාර්ලිමේන්තුවට පත් වුණ ද, ඔහුට ප්‍රබල අමාත්‍ය පදවියක් ලැබෙන්නට ප්‍රධාන සුදුසුකම, දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට කළ පරිණත බව හෝ අමාත්‍ය පදවියක් දැරීමට ඔහු සතු වෙසෙස් පෞරුෂයක් හෝ නොවේ. අග්‍රාමාත්‍යවරයාගේ හිතෛෂීභාවයයි. එබැවින් ඔහු කටයුතු කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ආශීර්වාදය ලබමින්ය යන්න උපකල්පනය කිරීමේ කිසිදු වරදක් නැත.
සාගල රත්නායක අමාත්‍ය පදවියේ වැඩ භාරගෙන වැඩි දවසක් ගතවීමට මත්තෙන් ආරංචි වූයේ රාජපක්ෂවරුන්ගේ රැකවරණය වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා තත්වයක පසු වෙන බවයි. ඒ සම්බන්ධ කරුණු අග්‍රාමාත්‍යවරයාට නීති ගරුක පුරවැසියන් අවස්ථා කිහිපයක දී දන්වා සිටිය ද, අග්‍රමාත්‍යවරයා ඒ කිසිවක් මායිම් නොකළේය. ඒ මන් ද, ඇමතිවරයා යම් කටයුත්තක් කළේ නම් එහි වගකීම තමන් භාර ගන්නා බැවින්ද?
පොලිස්පතිවරයාට අනපේක්ෂිත මොහොතක ලැබුණ ඇමතුම හා ඊට ලබා දුන් ප්‍රතිචාරය මඟින් ආණ්ඩුව මහජනතාවට පවසන දේ සහ කටයුතු කරන අන්දම සම්බන්ධයෙන් නිරුවත නිසි ලෙස අනාවරණය වී තිබේ. ඇමති සාගල තකහනියේ පොලිස්පතිට ඇමතුමක් දී තිබෙන්නේ සිය ඥාතිවරයෙකු වෙනුවෙනි. ඔහු ඇමති සාගලගේ පමණක් නොව මහින්ද රාජපක්ෂගේ ද ඥාතිවරයෙකි. මේ නිලමේගේ නිවසක සාගල ඇමතිගේ දේශපාලන වැඩ සඳහා කාර්යාලයක් පිහ‘ටුවා තිබූ බව ඒ නිවස අසල පුද්ගලයකු තහවුරු කර තිබේ. එපමණක් නොව, දෙවුන්දර දේවාලයේ ඇතුළත සවි කර තිබෙන දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ පින්තූර අතර ඇමති සාගලගේ පින්තූරයක් ද තිබෙන බව සැල වී ඇත. අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද අවධාරණයෙන් පවසා තිබෙන්නේ ඥාති සංග්‍රහයේ නොයෙදෙන බවයි. සිදුවන කරුණු සලකා බලා මේ කතාව තව දුරටත් ජනතාවට කිව හැකි ද?

පොලිස්පතිවරයා
සභාවක් අමතන විට කවරෙකු වුව දුරකථන ඇමතුම් ලබා ගැනීම අවලස්සණය. පොලිස්පතිවරයාට එය කිසිසේත්ම සුදුසු නැත. රාජකාරි තීන්දු තීරණ ලෝකයට ප්‍රකාශ කිරීම නීතිය ක්‍රියාවට නැංවීමේ දී බරපතළ තත්වයන් ඇති කරන්නේය. පොලිස්පතිවරයා තමා ඉදිරිපිට සිටින සභාවත්, ජන මාධ්‍යත් තුට්ටුවකට මායිම් නොකර මහ හඬින් ප්‍රතිචාර දක්වන විලාසයෙන් හෑල්ලුවට පත් වීම නොමනාය. පොලිස්පතිවරයාට දුරකථනය ගෙනැවිත් දෙන නිලධාරියා දැන දැනම සිදු කර තිබෙන්නේ පොලිස්පතිවරයා අවමානයට ලක් කිරීමකි. ඔහු ඒ අන්දමට හැසිරෙන්නේ මන්ද? නිසැකවම පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඔහු කටයුතු කරනවා විය යුතුය.
“මට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ අමාත්‍යවරයෙකු කතා කළහොත් වහාම දුරකථනය ගෙනැත් දෙන්නැයි” යම් නිලධාරියෙකුට පොලිස්පතිවරයා අණ කර තිබේ නම් ඔහු කරන්නේ එයයි. “මා සභාවක් අමතන විට කවුරුන් කතා කළත් දුරකථනය ගේන්න එපා යයි” අණ කළේ නම් කිසි විටක නිලධාරියෙකු එය කරන්නේ නැත.
උසස් නිලධාරීන්ගේ අණ පිළිපැදීම සම්බන්ධව ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය කටයුතු කරන්නේ දැඩි විනයකිනි. එබැවින් දෝෂය පොලිස්පතිවරයාගේ දුර්වල චරිත ලක්ෂණයක් ලෙස පිළිගැනීමට සිදු වේ.

අස්වනු නෙළීම
ඬේව්ඞ් මිලර්ගේ අගනා කෘතියක්, ‘යහපාලනයේ දේශපාලන දර්ශනය’ මැයෙන් කේඒඑන් පෙරේරා මහතා සිංහල භාෂාවට පරිවර්තතනය කර තිබේ. මේ කෘතියේ වියමනට පාදක වී තිබෙන්නේ දැවැන්ත චිත්‍රයකි. ඒ වූකලි, ‘ලොරෙන්සිටි’ නමැති ඉතාලි ජාතික චිත්‍ර ශ‘ල්පියා විසින් ඉතාලියේ ‘සීනා’ නුවර නගර සභාවේ මන්ත්‍රණ සභා ශාලාවේ අඳින ලද දැවැන්ත බිතුසිතුවමකි. ඉන් හඳුන්වා තිබෙන්නේ ‘යහ පාලන’ හා ‘අයහ පාලන’ ආණ්ඩුවක ස්වභාවය, පාලකයන් තුළ තිබිය යුතු හා නොතිබිය යුතු ගුණාංගයි. මේ දැවැන්ත බිතු සිතුවමේ අදහස වචනයෙන් ද විස්තර කර තිබේ. යහ පාලනය ගැන චිත්‍රණය කර තිබෙන දෑ වචනයෙන් විස්තර කර තිබෙන්නේ මෙසේය.
“යුක්තියේ රැජින විසින් මෙම නගරයේ සියලු දුෂ්ට බලවේග ඉවත් කර ඇත. ඇගේ ස්වෛරීත්වය පවත්නා තාක් මෙම ප්‍රදේශයේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම බියෙන් හා සැකෙන් තොරව නිදහසේ ගමන් කිරීමට හා ඔවුනට රිසි පරිදි ගොවිතැන් බත් කිරීමේ කටයුතුවල නියැලිය හැකිය”
අයහ පාලනය ගැන චිත්‍රණය කර තිබෙන දෑ වචනයෙන් විස්තර කර තිබෙන්නේ මෙසේය.
“මෙම නගරයේ ජීවත්වන හැම කෙනෙක්ම තමන්ගේ පෞද්ගලික යහපත කෙරෙහි පමණක් සැලකිලිමත් වීම නිසා නීතිය වල්වැදී ප්‍රජා පීඩනය හිස ඔසවා ඇත. එනිසා නගරය ඇතුළත හා ඉන් පිටත මංකොල්ලකෑම සිදුවන නිසා කිසිවෙකුට මෙම මාවත ඔස්සේ ජීවිතයට අනතුරක් සිදු නොවේ යයි සිතා ගමන් කළ නොහැකිය”
කේඒඑන් පෙරේරා මහතා මේ පොත පාඨකයා අතට පත් කර තිබෙන්නේ කදිම අවධියකැයි සිතමි. එසේ පැවස’ීමට හේතුව, මහ‘න්ද රාජපක්ෂ පරාජය කළේ කුමකට ද යන පැනයට පරිපූර්ණ අන්දමෙන් පිළිතුරු මේ පොතෙන් ලැබෙන නිසාය. දැන් දැන් කටයුතු සිදු වන අන්දමට, යහ පාලන ආණ්ඩුව ‘අයිසින්වලින් අලංකාර කළ කේක් ගෙඩියක්’ ලෙසින් තේරුම් ගැනීමට අදට වඩා හෙට මේ පොත අතිශයින් ප්‍රයෝජනවත්ය.
තිරු නඬේසන් සහ බැසිල් රාජපක්ෂ අතර වූ සම්බන්ධය ද දැන් අනාවරණය වී ඇත. කරුණු කාරණ සලකා බලන විට අගමැතිවරයාට මොන අන්දමකට හෝ තිරු නඬේසන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකිය. ඉන් විපුල ඵල ලැබෙන්නේ බැසිල් රාජපක්ෂට බව කිව යුතු නැත. චීන ආධාර මත ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට වෙර දරයි. චීනය සමඟ රාජපක්ෂ යුගයේ කටයුතු කළ බලගතු පුද්ගලයෝ ඒ නිසා සමඟ ආණ්ඩුව සමඟ සමීපව සිටිති. ඔවුන් අතහැර චීනය, මේ ආණ්ඩුව සමඟ කිසිම දෙයක් සිදු කිරීමට සූදානම් නැත. මේ යථාර්ථය තුළ දූෂණ වංචා සම්භාරයක් වළලා දැමීමට ආණ්ඩුවට පියවර ගැනීමට සිදු වේ. චීනය වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂවරුන්ට දක්වන ළැදියාව වැඩිය. ගත වූ දෙවසර තුළ ආණ්ඩුව සමත්කම් නොව පෙන්වා තිබෙන්නේ අපමණ අසමත්කම්ය.
වැලිකඩ බන්ධනාගාරයේ තිරශ්චීන අන්දමට සිරකරුවන් ඝාතනය කළ බව ප්‍රසිද්ධ රහසකි. මේ සම්බන්ධව ආණ්ඩුව කොමිසමක් පත් කළේය. කොමිසම සිය වාර්තාව අගමැතිවරයාට භාර දුන්න ද, එයට ද අත් වී තිබෙන්නේ රාජපක්ෂ යුගයේ කොමිෂන් සභාවලට අත්වුණ සන්තෑසියම බවය අනාවරණය වී තිබෙන්නේ! එම වාර්තාව සඟවා තැබීමෙන් ආරක්ෂා කරන්නේ කවුරුන් ද? පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මහතාවය. ඇවන්ගාර්ඞ් ගනුදෙනුව සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් ආරක්ෂා කරන්නේ ද ගෝඨාභය රාජපක්ෂයි. තාජුඩීන් ඝාතනය, එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් ආරක්ෂා කරන්නේ ද ගෝඨාභය රාජපක්ෂයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට අවශ්‍ය අන්දමට නීතිය අවභාවිත කරන බවට හොඳම නිදසුනක් වන්නේ ‘පිය ස්මාරකය’ සැදීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නඩුව ඉවත දැමීමට ගන්නා ප්‍රයත්නයයි. ගෝඨාභය රාජපක්ෂගේ අත්සන පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් ඒ පරීක්ෂණය තව දුරටත් සිදු කිරීමට ඉල්ලා තිබෙන්නේ මොනවා ද? 1.“නන්දසේන ගෝඨාභය රාජපක්ෂ” මහතා විසින් සිය සාමාන්‍ය කටයුතුවල දී 2013 සිට 2015 වර්ෂ තුළ ලියන ලද ඉංග්‍රීසි අත් අකුරු ද, ිැැබ ලෙස ලියන ලද අත් අකුරු ද, තබන ලද කෙටි අත්සන් ද, අඩංගු නීතිමය ලෙස පිළිගත හැකි ලේඛන කිහිපය බැගින්,
02. “නන්දසේන ගෝඨාභය රාජපක්ෂ” මහතා ලවා සියලුම ප්‍රශ්නගත සටහන් කිහිපවරක් විවිධ වේගවලින් කියවන විට ලියවා ලබා ගත් ආදර්ශ.
රස පරීක්ෂක වාර්තාවෙන් සනාථ කර ගැනීමට අවශ්‍ය තිබෙන්නේ පිය ස්මාරකය සෑදීමට නිල නියෝග ලබා දී තිබෙන අත්සන සැබවින්ම ගෝඨාභය රාජපක්ෂගේ ද නැතහොත් වෙනත් කෙනෙකුගේ ද යන්නයි.
මේ තරම් විහිළු ජනතාවට සපයන්නේ මන් ද?
ගෝඨාභය රාජපක්ෂගේ අත්සන හොරට තබමින් ඩීඒ රාජපක්ෂ ස්මාරකය හදන්නට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කිසිවෙකුට හෝ අවශ්‍යතාවක් තිබේ යයි සිතිය හැකි ද? රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ අත්සන ඔහු යටතේ සිටි කාට හෝ හොරට තැබීමට තරම් අසනීපයක් තිබුණ බවක් පිළිගන්නේ කෙසේ ද?
ඇවන්ගාර්ඞ් නෞකාවේ තිබුණ ආයුධවල අංක වෙනස් වීම සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් සෑහෙන කාලයක් මිඩංගු කර ලබා ගෙන ඇත. එයින් දන්වා තිබෙන්නේ ආයුධ එකට ඇතිල්ලීමෙන් අංක වෙනස් වී ඇති බවයි.
දැන් පුරවැසියන්ට තිබෙන ප්‍රශ්නය වන්නේ, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අදටත් ගෝඨාභය රාජපක්ෂගේ අණසකට යටත්ව පාලනය වෙන රාජ්‍ය ආයතනයක් ද යන්නයි. මේ ආයතනය නිල වශයෙන් තිබෙන්නේ නම් අධිකරණ අමාත්‍යවරයා යටතේය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මෙන්ම, ඇවන්ගාර්ඞ් වෙනුවෙන් ද හිතෛශී අධිකරණ අමාත්‍යවරයා මේ කිසිම ආයතනයකට කිසිම උපදේශයක් දුන්නේ ද නැද්ද දැනගත හැක්කේ නාථ දෙවියන් අදහන කෙනෙකුට පමණි.■