රාවය

යහපත් ප්‍රතිසංස්කරණ සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපි සහාය දෙනවා | අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක

යහපත් ප්‍රතිසංස්කරණ සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපි සහාය දෙනවා | අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක

තව මාසයකින් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ගෙවුණු අවුරුදු දෙක තුළ හිමිවූ දේවල් සහ හිමි නොවුණු දේවල් මොනවාද?
ජනවාරි 8 යම් හෙයකින් රාජපක්ෂ කඳවුර ජයග්‍රහණය කළා නම් ඇතිවිය හැකිව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළුණු ඒකාධිපති වියරුවකින් පෙළුණු පවුල් පාලනයක්. 2014 අගභාගය වන විට එම තත්ත්වය පෙන්නුම් කරමින් තිබුණා. එම කඳවුර යළි ජයග්‍රහණය කළා නම් එහි තවත් තීව්‍රතම දිගුවක් වන බව නොඅනුමානයි. ජනවාරි 8න් පසුව ගොඩනැගුණු පාලනය නිසා එවැන්නක් වැළකුණා. නමුත් මේ පාලනයෙන් අපේක්ෂිත අරමුණුවල සීමාමායිම් පිළිබඳව මනා අවබෝධයක් අපිට තිබුණා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපට එවැනි සීමාමායිම් තිබුණත් පොදු ජනතාව මේ පාලනයෙන් ඊට වඩා වැඩි ජයග්‍රහණ අපේක්ෂා කළා.
එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වීම විහිළුවක්. මහා ණය කන්දක රට හිරකරමින් කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගීමේ, රාජ්‍ය ආර්ථික ක්‍රියාවලිය අත්හැරීමේ හා රටේ නිෂ්පාදනය වන ධනය කුඩා ප්‍රමාණයක් අත සංකේන්ද්‍රණය වීමේ ආර්ථික උපායමාර්ගය හැරුණු කොට ජනතාවගේ ජීවිතය හා ගැටගැසුණු ආර්ථික උපායමාර්ගයක් ගොඩනැගීමට මේ ආණ්ඩුවත් අසමත් වී තිබෙනවා. අකාර්යක්ෂමතාව, වංචා දූෂණ, නාස්තිය පිරුණු පරපෝෂිත පාලනය වෙනුවට ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට මේ පාලනයත් අසමත්වී තිබෙනවා. හැබැයි, ජනවාරි 8 ගොඩනැගුණු බලවේගයන්ට මුළුමනින්ම පිටුපාමින් මේ ආණ්ඩුව කටයුතු කරන අතර යම් සීමාකාරී නිදහස් වටපිටාවක් ගොඩනැගී තිබෙන බවත් අවිවාදිතයි. එම වටපිටාව හැකිළීමට ඉඩ නොදී වර්ධනය කරගැනීමේ දිශාවට ජනතා බලවේග පෙළගැසිය යුතුව තිබෙනවා.

හිමි නොවුණු දේවල් හිමිකරදීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට තියෙන සැලසුම් මොනවාද?
තව අවුරුදු සීයක් මීමැස්සා මීවදය බැන්දත් මීවදයේ වෙනසක් දකින්න බැරුවා වගේම මේ පාලකයන් තව අවුරුදු සියයක් රට පාලනය කළත් වර්තමානයේ අත්කරදී තියෙන ප්‍රතිඵලය හැරුණු කොට වෙනත් කිසිවක් බලාපොරොත්තු වෙන්න බැහැ. නව ධනාත්මක කිසිවක් මෙම පාලනයන්ගෙන් ලබාගැනීමට හැකියාවක් තවදුරටත් නැහැ. ඉතිහාසයේ ඔවුන්ට පැවරී තිබුණු කාර්යභාරය දැන් අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් අපිට සැලසුම් දෙකක් තිබෙනවා. එකක් මෙම තත්ත්වය තවදුරටත් නරක දිසාවට තල්ලුවීම, උදාහරණයක් ලෙස කිව්වොත් සේවාවන් මුළුමනින්ම පෞද්ගලිකකරණය කරන, වරායවල්, තෙල් ගබඩා, ඛනිජ නිධි, ඉඩම් ආදි වටිනා සම්පත් බහුජාතික සමාගම්වලට ලබාදෙන උත්සාහයන් සහිත වංචාව දූෂණය, නාස්තිය පිරුණු පාලන ක්‍රමයට එරෙහිව අරගලයක් දියත් කළ යුතුව තිබෙනවා. අනෙක, මෙම පක්ෂ දෙකේ පාලනයන් තුළ තවදුරටත් අපේ රටට ගමනක් නොමැති හෙයින් නව පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ජනතාව මතවාදීව ශක්තිමත් කොට බල හුවමාරුව වෙනුවෙන් කරන අරගලයයි.

දූෂණ සහ අපරාධවලට එරෙහිව නීතිය නිවැරදිව ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන තියුණුම සටන් පාඨයයි. පහුගිය සතියක පොලිස්පතිවරයාගේ හැසිරීමෙන් පෙනුණේ මේ පරීක්ෂණවලට බාධා එල්ලවන ආකාරයයි. එතැනින් තවත් කාරණයක් පෙනෙන්න තියෙනවා. ඒ දූෂිතයන් සහ වත්මන් ආණ්ඩුවේ නායකයන් අතර ඇති සම්බන්ධය. ඔබේ අදහස මොකක්ද?
දූෂිතයන්ට දඩුවම් දීම පිළිබඳව ජනතාවගේ අපේක්ෂාවන් වෙත එල්ලවූ පළමු ප්‍රහාරය වුණේ රාජපක්ෂ පාලනයේ දූෂණයන්ට හවුල්වූවන් සමග එක්ව රනිල් මෛත්‍රී ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ දේශපාලකයන් විතරක් නෙවෙයි, ඩීල්කාරයෝ, දූෂිත රාජ්‍ය නිලධාරීන් මේ පාලනයේත් හවුල්කාරයන් වුණා. ඒ වාගේම රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල ජනාධිපතිවරයා අතර මතුපිටට නොපෙනෙන එහෙත් තීව්‍ර යටින් දිවෙන බල අරගලයක් නිර්මාණය වී තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම අරමුණුකොටගෙන එම පක්ෂයේ එක බලකේන්ද්‍රයක් වන රාජපක්ෂ පවුල හා සමීපතමයන් ආරක්ෂා කිරීමයි. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අරමුණ රාජපක්ෂ පවුල් හැර අනෙක් සියල්ලන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමයි. මේ අරමුණු නිසා නිරායාසයෙන්ම දූෂිතයන්ට ආරක්ෂාව සැලසී තිබෙනවා.
දූෂිතයන්ට දඬුවම් ලබාදිය හැක්කේ අදූෂිත පාලනයකට පමණයි. මේ ආණ්ඩුව බලය අත්පත් කරගෙන කෙටි කාලයක් තුළ මහා පරිමාණ දූෂණයන් සිදුකිරීමට පටන්ගත්තා විතරක් නෙවෙයි, ආණ්ඩුවේ ඉහළින්ම දූෂිතයන් ආරක්ෂා කරනවායැයි සංඥාව ලැබුණු විට දෙවන පෙළ සෘජුවම දූෂිතයන් ආරක්ෂා කිරීමටත් දූෂිතයන්ගෙන් යැපෙන්නටත් පටන්ගත්තා. ඒ වාගේම වංචා දූෂණ විමර්ශනය සඳහා පිහිටුවූ ප්‍රධානතම ආයතනවූ එෆ්සීඅයිඩීය හා අල්ලස් කොමිසම මගින් සිදුකරන ධනවත් හා බලවත් පුද්ගලයන්ගේ පරීක්ෂණ අකර්මන්‍ය කරන්න, දුර්වල කරන්න ජනාධිපතිවරයා විසින්ම එම ආයතනවලට ප්‍රහාරයක් එල්ල කළා. අද එම ආයතනයන් මුළුමනින්ම දුර්මුඛවෙලා, දූෂිතයන්ගේ ප්‍රහාරයට පමණක් නොව පාලකයන්ගේ ප්‍රහාරයන්ටද නතුවෙලා අසරණභාවයට පත්ව තිබෙනවා. ඔබ කියන පොලිස්පතිවරයා හා සම්බන්ධ සිදුවීම මෙම සමස්ත තත්වයේ එක් ප්‍රකාශනයක් විතරයි.

රාවය සංවත්සරයේදී ඔබ කී දූෂිත වළල්ල ගැන තවත් විස්තර කරන්න පුළුවන්ද?
මේ ධනපති ක්‍රමය ඇතුළේ ජනතාව ආණ්ඩු පත්කළත් ආණ්ඩුව පාලනය කරන්නේ වෙනත් කණ්ඩායමක් විසින්. ඇමරිකන් එක්සත් ජනපදය ගත්තොත් එහි පාලකයන් තෙල් සමාගම්, මූල්‍ය සමාගම්, අවි සමාගම් ආදි සමාගම් වළල්ලක් විසින් මෙහෙයවනවා. ඒත් අපේ වගේ රටවල සමාගම් වළල්ලක් වෙනුවට දූෂිත වළල්ලක් විසින් තමයි පාලනය හසුරුවන්නේ.
එම දූෂිත වළල්ල විසින් රටේ මහාපරිමාණ වංචා දූෂණ හොරකම් සිදුකරමින් ඉන්නවා. මේ හොරකම් යනු එක් පුද්ගලයෙක් තව පුද්ගලයෙක් දෙයක් හොරකම් කිරීමක්, ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම හා දඬුවම් ලබාදීම වැනි සරල ක්‍රියාවක් නෙවෙයි. ඊට එහා ගිය මහා පරිමාණ ක්‍රියාවලියක්. මහජනයාගේ ධනය සොරකම් කිරීම ගැන විමර්ශනයන් සිදුනොවීම, අධිකරණයට ඉදිරිපත් නොවීම, අධිකරණයෙන් දඬුවම් ලබානොදීම මේ සියල්ල එකිනෙකට ගැටගැසුණු ජාලයක්. ඒවා පාලනය කරන්නේ දූෂිත වළල්ල විසින්. එම දූෂිත වළල්ල ඉහළම දේශපාලකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන් ඉතා අතළොස්සකගෙන්, හමුදාවේ පොලිසියේ කුඩා පිරිසකගෙන්, කළු සල්ලි උපයාගත් ඩීල් ව්‍යාපාරිකයන් කණ්ඩායමකගෙන් වගේම සැබැවින්ම අධිකරණයේ කොටසකගෙන් සමන්විතවෙලා තියෙනවා. ඔවුන් ධනවතුන් සහ බලවතුන්. ඇතැම් අය මාධ්‍ය හිමිකරුවන්. ඇතැමුන්ට නීතිවිරෝධී ගිනි අවි තිබෙනවා. නීතිඥයන් නඩු විසිවෙන විදියට පැමිණිලි ගොනුකරනවා. ඒ වගේම දඬුවම් නොලැබෙන ලෙස නඩු අහන්න පුළුවන්. ඝාතනයන් සිදුකරන්න පුළුවන්. මන්ත්‍රීවරු මිලට ගන්න පුළුවන්. ආණ්ඩුවක් මාරුවීමේදී මෙම වළල්ලෙන් කොටසක් එළියට වැටෙන අතර ඉතිරි වෙන කොටසක් නව කණ්ඩායමකුත් එකතුවී නව දූෂිත වළල්ලක් හැදෙනවා. මේ පාලනය ගත්තොත්, එළියට විසිවූ අයත්, නව දූෂිත වළල්ලට ඇතුළත් වූ අයත්, අලුතෙන් එකතු වූ අයත් නම්ගම් සහිතව කියන්න පුළුවන්.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දැන් කතාබහක් නැති බවයි පෙනෙන්නේ. සිද්ධවෙන්නේ මොකක්ද?
බොහෝ හොරකම්වලදී හොරාකෑ දේපොළ තියෙන අතර හොරකම් කළ අය හොයාගන්න බැහැ. සීඑස්එන් නාලිකාව, මල්වානේ නිවස සහ ඉඩම, මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම ඒකට හොඳම උදාහරණයි. ඒ වගේම හොරකම තියෙනවා, දේපොළ හොයාගන්න බැරි අවස්ථාත් තිබෙනවා. උදාහරණ ලෙස කියනවා නම් මිග් ප්‍රහාරක ගනුදෙනුව, ගල් අඟුරු ගනුදෙනුව, අධිවේගී හොරකම්, බැංකු ගිණුම් වගේ දේවල්. නමුත් බැඳුම්කර ගණුදෙනුවේ විශේෂත්වය හොරාත් හොරාකාපු දේපළත් හෙළිදරව් වී තිබීමයි. කෝප් කමිටුව හරහා මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ දූෂිතයා අර්ජුන් මහේන්ද්‍ර බව හෙළිකරගත්තා. එම හොරකමෙන් උපයා ගන්නා ලද ධනය ඔහුගේ බෑනාගේ සමාගමේ වත්කම් ප්‍රකාශන මගිනුත් හෙළිදරව් වුණා. ඒ නිසා මෙය තවදුරටත් විශාල විමර්ශනවලට යායුතු ගනුදෙනුවක් නොවේ. කෝප් කමිටුවටත් පක්ෂයක් ලෙස අපටත් පැවරී තිබෙන්නේ මෙම ගනුදෙනු හෙළිදරව් කිරීමත් එම දූෂණයන්ට දඬුවම් දීමට බලකිරීමත්. එය විමර්ශනය කොට දඬුවම්දීමේ බලය තිබෙන්නේ ආණ්ඩුව අතේ. නමුත් එය හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. අවම හෝ යමක් කරගත හැකි වන්නේ දූෂණයට එරෙහිව මහජන බලයක් ගොඩනැගීමෙන් පමණයි.

ඔබ යෝජනා කරනවා මේ මාවතේ ගමන් කළ හැකි දුර අවසානයි කියලා. අලුත් මාවත මොකක්ද? එයින් යා හැකි දුර කොපමණද?
අපගේ ප්‍රධාන අරමුණ වන්නේ මේ මාවතේ ගමන්කළ හැකි දුර අවසන් බව ජනතාවට ඒත්තු ගැන්වීමයි. ආර්ථිකය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ, නීතියේ හා විධානයේ ආධිපත්‍යයේ, අධිකරණයේ සාධාරණත්වයේ, දූෂිතයන්ට දඬුවම් දීමේ කිසිදු යහපත් ප්‍රතිසංස්කරණයක් මෙම මාවතේ තවදුරටත් ඉතිරිවී නැහැ. ඒ වගේම වංචා දූෂණ, නාස්තිය, අකාර්යක්ෂමතාව වැනි අයහපත් කිසිවක් මේ මාවතේදී අවම කිරීමට හෝ නැති කිරීමට හැකියාවක් නැහැ. ඒ හෙයින් මේ මාවතේ යා හැකි දුර අවසන්වී තිබෙනවා. සැලසුම් සහගත, ජනතාවගේ ජීවිත හා ගැටගැසුණු නව ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් සහිත, අධිපරිභෝජනවාදයෙන් මිදුණු, මිථ්‍යාවෙන් අවිද්‍යාවෙන් මිදුණු සමාජයක් සහිත, දූෂණය නාස්තිය පරපෝෂිතභාවයෙන් මිදුණු ජනතාවාදී දේශපාලනයක් සහිත නව මාවතක් ගොඩනැගිය යුතුය යන්නයි අපේ ස්ථාවරය.

2020දී ජවිපෙ ආණ්ඩුවක් නිර්මාණය කිරීම ගැන කතාබහ කරනවා. එහෙත් ජනතාව නැවත හිටපු රාජපක්ෂලා බලයට පත්කිරීමක් ගැනත් කතාකරනවා. ජනතාව සිටින තැන එක්ක ඔබේ ඉලක්කයට යා හැකිද?
පරාජිත රාජපක්ෂ කල්ලිය මුගුරෙන් බැට කෑ සර්පයෙකු සේ ආවේගයෙන් කෝපයෙන් වෛරයෙන් දඟලමින් සිටිනවා. යමක් අහිමි වූ අතදරුවෙකු අතට හසුවූ සියල්ල පොඩිපට්ටම් කරන ආකාරයක් ඔවුන්ගේ හැසිරීමෙන් දක්නට ලැබෙනවා. ඔවුන්ට අලුතෙන් මේ සමාජයට ලබාදීමට හැකි කිසිවක් නැහැ. ඔවුන්ට යොදාගත හැකි අවසන් දේශපාලන තුරුම්පුව වන්නේ ජාතිවාදයයි. එම මතය රාජපක්ෂ කඳවුර වගේම විනාශකාරී එකක්. එහෙයින් ඔවුන්ට යළි බලය අත්පත් කරගැනීමට ඉඩ නොදිය යුතුයි. ඔවුන් බලය ලබාගැනීම රඳාපවතින්නේ රාජපක්ෂ සාධකයත්, ඉක්මන් බලය කියන සාධකයත් මතයි. මේ කණ්ඩායමට ඉක්මන් බලයක් ලබාගැනීමට හැකියාවක් නැතිවා සේම රාජපක්ෂ කියන සාධකයත් වැහැරුණු නායකයෙක් බවටත් පත්වෙමින් යනවා. ඒ නිසා රාජපක්ෂ කල්ලිය හැකිළෙන බලයක් මිස වර්ධනය වන බලයක් නොවේ. ඒ වාගේම ශ්‍රීලනිප එජාප හවුල් පාලනය අසාර්ථක බව දැන් තහවුරු වී අවසන්. ඒ නිසා රනිල් මෛත්‍රී කඳවුර වෙත තවත් බලයක් රටේ ජනතාව කුමක් අපේක්ෂාවෙන් ලබාදිය යුතුද? එහෙයින් රටේ ඉතා හොඳ අවස්ථාවක් තිබෙනවා නව ජනතා මධ්‍යස්ථානයකට. අපගේ අරමුණ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ විවිධ බලවේග එක්රැස් කරගත් ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීමයි. 2020දී බලය ලබාගැනීමට සමත් ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ජනතාව තීරණයක් ගත යුතුයි මේ සාම්ප්‍රදායික මජර දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙනියනවාද නැතිනම් ගොඩනගන නව ව්‍යාපාරය වෙත බලය ලබාදෙනවාද යන්න.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී වැඩිපුර සාකච්ඡාවට ලක්වෙන්නේ බලතල බෙදීම පිළිබඳව. විශේෂයෙන් පහුගිය ජනාධිපතිවරණයේදී බලතල බෙදීම ගැන නිහඬව ඉඳිමින් විධායක ජනාධිපති ක්‍රමය ගැන සාකච්ඡා කළත් හැමෝගේම ඇස් තිබුණේ බලතල බෙදීම ගැනයි. නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට ඇති නිශ්චිත අදහස මොකක්ද?
ව්‍යවස්ථාව යනු පවතින සමාජ ක්‍රමයක නීතිමය ආරක්ෂකයා. අපට මේ සමාජ ක්‍රමය වගේම ව්‍යවස්ථාව පිළිබඳවත් විවේචනයක් තිබෙනවා. කෙසේ වුවත් යහපත් ප්‍රතිසංස්කරණ සහිත ව්‍යවස්ථාවක් සම්මත කර ගත හැකි නම් ඒ සඳහා සහාය දෙන්න අපි සූදානම්. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ව්‍යවස්ථාව තුළින් පමණක් විසඳුමක් තිබෙන බව අපි පිළිගන්නේ නැහැ. එහෙත් එම ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන නීතිමය රැකවරණයක් තිබීමත් වැදගත්. නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ ගැටලුව වන්නේ ශක්තිමත් ආණ්ඩුවක් නොමැති වීමයි. 1972 ව්‍යවස්ථාව ගෙනාවේ 2/3ක් සහිත ආණ්ඩුවක්. 1978 ව්‍යවස්ථාව ගෙනාවේ 5/6ක ආණ්ඩුවක්. යහපත් නීතිමය ප්‍රතිසංස්කරණයක්වත් කරගන්න බැරි තරමට දුර්වල වී තිබෙන පාලනයකට ව්‍යවස්ථාවක් ගෙන ආ හැකිදැයි සැකයක් මතුවෙනවා. කෙසේ වුවත් අපේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිසංස්කරණ සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් සහාය දෙන්න සූදානම්.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බව ඔබේ පක්ෂය කියනවා. නමුත් පෙනෙන්නට තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමේ උත්සාහයකුත් තිබෙන බවයි. පක්ෂයේ ප්‍රතිචාරය මොකක්ද?
රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහුගේ හැසිරීම අනුව තනි ඒකාධිකාරී බලයකට කැමැතියි. ඔහු විධායක ජනාධිපති ධුරට අහෝසි කිරීමට එකඟවන්නේ ඔහුට එම පුටුවේ වාඩිවීමට නොහැකි නිසායි. නමුත් මෙම නව ව්‍යවස්ථාවේදී ඔහු උත්සහයක් දරනවා විධායක අගැමැති ධුරයක් නිර්මාණය කරගන්න. ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය පිළිබඳව කවර අදහසක් එළියේ ප්‍රකාශ කළත් ශ්‍රීලනිපය ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාවන්හිදී හැසිරෙන්නේ විධායක ජනාධිපති ධුරය ආරක්ෂා කරගැනීමේ දිශාවටයි.