Sunday, 20/8/2017 | 4:11 UTC+0
රාවය

‘යහපාලන’ මානව හිමිකම් පල්ලම් බැස්ම

මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘කෙනෙකුගේ අයිතිය උදෙසා නැගීසිටිමු යනුය. මේ තේමාව වෙසෙසින්ම එල්ලකර ඇත්තේ පීඩාවට පත් අනෙක් ජනප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය.
‘යහපාලන ආණ්ඩුව’ යැයි කියැවෙන මෛත්‍රී-රනිල් ආණ්ඩුව නම් මේ දිනවල නැගීසිටින්නේ අනෙකාගේ අයිතීන් වෙනුවෙන් නොව තමන්ගේ එකාගේ අයිතීන්, ඊටත් වඩා වරප්‍රසාද මල්ල පුරවනු පිණිසය. මෙකී තමන්ගේ එකා යනු ශ්‍රී ලංකා සමාජ ආර්ථික දේහයේ ඇති මහම පිළිලය වන දේශපාලන පංතියයි. ඊට පක්ෂ හෝ පාට වෙනසක් නැත. ඒ ගැන පසුවට කතාකරමු.
මානව හිමිකම් දිනයට දින තුනක් තබා නිකුත්වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියාසිටින්නේ කතා සහ පොරොන්දු අබිබවා යන කැපීපෙනෙන ප්‍රයත්නයක් මානව හිමිකම් ක්ෂේත්‍රයේ දක්නට නැති බවයි. මෙම වාර්තාව පැය 24ක් යෑමට ප්‍රථම ලෝකයේ ප්‍රධාන පෙළේ පුවත්පත්හි වාර්තා විය.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට වධහිංසා පැමිණවීම පිළිබඳ මෙම ආණ්ඩුවේ මානව හිමිකම් වාර්තාව රාජපක්ෂ යුගයට වඩා එතරම් වෙනසක් නැති බව පසුගිය 7දා නිකුත්කරන ලද එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පැහැදිලිව පෙන්නුම් කරයි.
නීති ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයෙහි යළි යළි හත්පොළේ ගාගනිමින් සිටින මෛත්‍රී-රනිල් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුව හමුවට තමන් නියෝජනය කරන්නට වධහිංසා පැමිණවීමට නම්දරා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජපක්ෂ සමයේ ප්‍රධානියාවූ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් එවීම මගින් ඇදගෙන නාගත්තේය. වධහිංසා විරෝධී කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ සිය නිරීක්ෂණ මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා ලෙස ඔහු යටතෙහි වධහිංසා පැමිණවීමේ චෝදනාවන් පිළිබඳව සිසිර මෙන්ඩිස්ට එල්ලවූ චෝදනා පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කියාසිටී.
ශ්‍රී ලංකාවේ දිනපතාම කෙළෙසෙන එක් මානව හිමිකමක් නම් වධහිංසා අත්නොවිඳ සිටීමට පුරවැසියනට ඇති අයිතියයි. වධහිංසා පැමිණවීම මෙරට පොලිස් දෙපාර්තමේන්තුවෙහි නිදන්ගත රෝගයකි. දැන් එම පොලීසියේ ‘යහපාලන’ පොලිස්පතිවරයා බවට පත්ව සිටින්නේ නීතිය කැඩීමට බැරි බැවින් එය නැමීමට ඉගෙනගත යුතු බවට සිය දෙපාර්තමේන්තුවට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන නීති චෞරයෙකි.
මෙම පූජිත ජයසුන්දර යනු පොලිස්පතිධුරය තමාට ලබා දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරනු පිණිස බෝධිපූජා පැවැත්වූ එක්තරා විදිහක දේශපාලනඥයකු බවද අප මතක තබාගත යුතුය. දැන් ඔහුගේ දෙවියන් වෙන කව්රුවත් නොව එජාප නායකයකු වන නීතිය හා සාමය භාර ඇමැති සාගල රත්නායක බව පසුගියදා ඔහු ලැජ්ජා බයක් නැතිව රූපවාහිනී කැමරා ඉදිරියේම පෙන්වා සිටියේය. එකී සාගල රත්නායකගේ මහබඹා අගමැති වික්‍රමසිංහ බව ඊළඟ ජවනිකාවෙන් රඟදැක්වුණි. වික්‍රමසිංහ, සාගල- පූජිත විගඩමට සංගීතය සැපයූවා පමණක් නොව අනියමින් අනෙක් මැතිඇමැතින්ටද කියාසිටියේ තමන්ගේ කව්රුන් හෝ අත්අඩංගුවට පත්වන්නට යන්නේ නම් පොලිස්පතිට දුරකථන ඇමැතුමක් දීමේ වරදක් නැති බවයි!
නීතියේ පාලනය ගැන කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවායැයි කියන්නේ ගරු අගමැතිතුමනි, ඔන්න ඔය වාගේ රෙදි ගලවා ගැනීම්වලටය.
පොලීසිය ළඟට මානව හිමිකම්වලට අදාළ වන්නේ විජේදාස රාජපක්ෂ යටතේ ඇති අධිකරණ අමාත්‍යාංශයයි. මේ රාජපක්ෂ යටතේ කිසිදු යහපත් නීති ප්‍රතිසංස්කරණයක් සිදුවී නැත. අහෝසි කරන බවට පොරොන්දුවී බලයට පැමිණි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි පාවිච්චි කරන බවට කටමැත දෙඩීමට ඔහු කැමැතිය. ඔහු විසින් ගෙනඑන ලද නීති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත් තුනම දරුණු මානව හිමිකම් කෙළෙසීම්වලට මඟපෑදීමට ඉඩතිබුණි.
මෙරට නීතිය සහ යුක්තිය පිළිබඳ අපූරු සත්‍යයක් පසුදා රට හමුවේ ගෙනහැරපෑවේ යහපාලනය මැරපාලනයක් බවට පත්කිරීමට වලිකන මෙම රාජපක්ෂය. ඔහු කීවේ මන්ත්‍රී ධුරය ලබාගැනීම නිසා තමන්ට රුපියල් මිලියනයක් පාඩු බවය. එම මිලියනය ඔහු උපයාගත්තේ යුක්තිය හෝ අයුක්තිය ලබා දීම පිණිස නඩු කීමෙනි. ශ්‍රී ලංකාවේ යුක්තිය කොතරම් මිලද දැනගැනීමට ඊට වඩා උදාහරණයක් අවශ්‍ය නැත.
සාගල රත්නායක පොලිස්පති පාලනය කරන පරිද්දෙන්ම විජේදාස රාජපක්ෂ අධිකරණ ක්‍රියාවලිය පාලනය කරන බවට සැක සිතෙන සිදුවීමක් රට හමුවේ දිගහැරුණි. එනම් ලංකා ඊනිව්ස් කර්තෘ අධිරණයට අපහාස කිරීමේ වරදට මෙරටට ගෙන්වා දඬුවම් කරන බවට මෙම රාජපක්ෂ කළ කතාව සම්බන්ධයෙනි. එකී කතාවෙන් දින කිහිපයකට පසු කව්දෝ එවැනි බොරු නඩුවක් දමා ඊට තවත් යහපාලන ජාවාරම්කාර කළුකෝට්කාරයකු මැදිහත්වී දඩිබිඩියේ රතු වරෙන්තු ඉල්ලීමක් ලබාගත්තේය. (මේ ඉල්ලීම පාපන්දු තරගයක රතු ලේබලයක් තරම්වත් වටින්නේ නැතිවීම වෙනම කරුණකි).
‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්වූයේ මෙරට දෙමළ ජනයා සමස්තයක් ලෙස සිය ජන්දය රාජපක්ෂ පරාජය කිරීමට පාවිච්චි කළ නිසාය. එම ජනයාගේ අපේක්ෂාව වූයේ සැබෑ සංහිඳියාවක් ඇතිකර ගැනීමට ඉඩ සලසන දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාවක් ලෙස තමන් මුහුණදුන් දරුණූ මානව හිමිකම් කෙළෙසීම් සදහා යුක්තිය ලබාගැනීමය.
වධහිංසා විරෝධී කමිටුවේ නිරික්ෂණයන් කියන්නේ පොරොන්දුවූ යුක්තිය ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය තවම ආරම්භවී නැති බවයි. දෙමළ ජනයාගේ එක් ප්‍රශ්නයක් වන යළි පදිංචිකිරීම සම්බන්ධයෙන්ද ඇමැතිවරයෙක් සිටී. ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ යළි පදිංචිකිරීම පිළිබඳ ඇමැති ස්වාමිනාදන්ය. ඔහු රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු ධනවාදී කල්ලියේ ලොක්කෙකි.
මේ ඇමැතිවරයා යටතේ බන්ධනාගාර පාලනය වන්නේ පාතාල මාෆියා කල්ලි ලෙසිනි. ඒ ගැන මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපූරු හෙළිදරව්වක් කර තිබේ. එහෙත් බයවෙන්නට දෙයක් නැත. ස්වාමිනාදන් හොරට නිදන නිසා ඔහු ඇහැරෙන්නේ නැත.
මේ ඇමැතිවරයා තමන්ගේ මල්ල පිරෙනු තුරු දැන් වසරකටත් වඩා කාලයක් යුද්ධයෙන් විපතට පත් ජනයාට ලබාදීමට නියමිත නිවෙස් 60,00ක් සෑදීම පමාකරමින් සිටී, ඔහුගේ ජාවාරම සාදා නිමකරන ලද යකඩ නිවෙස් (කූඩු) ගෙනැවිත් සවිකිරීමය. ඉන් එක් නිවෙසක වැය මිලියන දෙක ඉක්මවයි. උතුරු නැගෙනහිර දෙමළ සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් මෙම ජාවාරම්කාර නිවෙස් ව්‍යාපෘතියට විරුද්ධය. ඔවුන් රුපියල් මිලියනයක වියදමින් නිවෙසක් සෑදීමට සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.
මෛත්‍රී-රනිල් නායකත්වය ස්වාමිනාදන්ට අත තියන්නේ නැත. එබැවින් යුද්ධයෙන් පීඩාවට පත් ජනයාට එම නිවෙස් සෑදෙන්නේද නැත. යළි පදිංචිකිරීමද පමාවෙයි. එපමණක් නොවේ. සිය ජාවාරමට දෙමළ සන්ධානය නවාගත නොහැකිවූ බැවින් දැන් මේ ඇමැතියා බලය බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධවෙමින් 13 වන සංශෝධනය ප්‍රමාණවත් යැයි කියන්නට පටන්ගෙන තිබේ.
මේ සියල්ලටම වඩා ලැජ්ජා නැති මානව හිමිකම් පාවාදීම වන්නේ සුදු ජාතික අන්තවාදී ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කර උඩ නැගී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහිදී ශ්‍රී ලංකාව සමදායකත්වය සැපයූ මානව හිමිකම් යෝජනාව කුණු බක්කියට දැමීමට ජනාධිපති සිරිසේනගේ ආසාවයි.
එම දෙවන සයනයිඞ් කතාවට දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදීම පිළිතුරක් දුන්නේය. මන්ත්‍රී සුමන්දිරන් කාට කාට හරි ලියුම් යවා එම යෝජනාව අහෝසි කළ නොහැකි වන්නේ එය ශ්‍රී ලංකාව වන අපගේද යෝජනාව වන නිසා බව පැහැදිලිවම කියාසිටියේය.
මෙම මානව හිමිකම් දිනය ගෙවීයන්නේ ජනවාරි 8දා ශ්‍රී ලංකාව මත පෑයූ මානව හිමිකම් ආලෝකය අඳුරු වළාවන්ගෙන් වැසීයෑමේ තර්ජනය අබියස බව කියාපානා තවත් උදාහරණ බොහෝය. ඒ ගැන පසුව කතා කරමු.■