Wednesday, 23/8/2017 | 8:00 UTC+0
රාවය

ජාතිවාදී නිලමැස්සන්ට ජාතික ප්‍රශ්නය කියන අසූචි ගොඩ නැතිව බෑ | ඩිව් ගුණසේකර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය

තරිඳු උඩුවරගෙදර

මේ වෙලාවේ නව ව්‍යස්ථාවක් නිර්මාණය වීමේ අවශ්‍යතාවක් ඔබ දකිනවාද?
නිදහසෙන් පස්සේ ලංකාව ව්‍යවස්ථා තුනක් අත්හදා බැලුවා. හතලිස්අටේදී ආ මුල් ව්‍යවස්ථාව අපි හදපු එකක් නෙවෙයි. බි්‍රතාන්‍යයන් විසින් හදලා අපි මත පැටවූ එකක්. හැත්තෑදෙකේ තමයි අලුත් ව්‍යවස්ථාව ගෙනාවේ. ඒකෙන් තමයි මුල් වරට ස්වෛරීභාවය ලැබුණේ. ඒක ඉදිරි පියවරක්. හැත්තෑදෙකේ ව්‍යවස්ථාව ක්‍රමවත් වැඩපිළිවෙළකට හැදුණා. හැබැයි ඒකට දෙමළ ජනතාව සහභාගි කරගන්න බැරිවුණා. ඔවුන් විරෝධතාවක හිටියා. ආණ්ඩුවත් ලෑස්තිවුණේ නැහැ එකතු කරගන්න. හැත්තෑ අටේ ආවේ සම්පූර්ණයෙන්ම මැතිවරණ යට පෙරම එක්සත් ජාතික පක්ෂයෙන් සැලසුම් කළ ව්‍යවස්ථාවක්. ඔවුන්ට හයෙන් පහක බලයක් ලැබුණා. එක පාරම කිසි සංවාදයක් නැතිව මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනත් දැම්මා. ඊට පස්සේ දෙදාහේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ගෙනා ව්‍යවස්ථාව. ඒකේ බොහෝදුර ගියා. පළවෙනි වතාවට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර සාකච්ඡා තිබුණා. ඒක ඉදිරි පියවරක්. පොදු පෙරමුණයි එජාපයයි මාස හයක් විතර සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කමිටුවල මමත් හිටියා. හැබැයි වැරැද්දක් තිබුණා. ව්‍යවස්ථාව ගෙනාවේ ආණ්ඩු බලය ලැබුණු හැටියේම නෙවෙයි. මේක කරන්න තිබුණේ අනූහතරේ. හැබැයි දෙදාහ වෙනකම් කළේ නැහැ. මැතිවරණයක් ළඟ තියෙන වෙලාවක ව්‍යවස්ථා හදන්න බැහැ. එකඟ වෙච්ච ව්‍යවස්ථාව ගිනි තියලා රනිල් ගියා ආණ්ඩුව හදන්න.

එහෙම පසුබිමක අද ක්‍රියාත්මක වන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන අදහස මොකක්ද?
ඇත්තටම මේ වෙනකම් සියල්ල සිදුවුණු ආකාරය හොඳයි. ඒ ගැන වාද කරන්න දෙයක් නැහැ. හොඳ සංවාදයක් යනවා. කොමිටි පත්කරලා තියෙනවා. ඒවායින් වාර්තා දීලා තියෙනවා. දේශපාලන වශයෙන් ගත්තාම මේක හොඳම අවස්ථාවක්. අපි පක්ෂ භේදයක් නැතිව මේ වෙලාවේ උත්සාහ ගන්න ඕනෑ කොහොම හරි මේක කරගන්න. මේ වෙලාවේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට තමයි වැඩි වගකීමක් තියෙන්නේ. තනි පක්ෂයක කැමැත්තෙන් ව්‍යවස්ථාවක් ගෙනත් වැඩක් නැහැ. ජාතික සමගිය පිළිබඳ කාරණයේදී දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට එකඟත්වය ලැබෙන්න ඕනෑ. අපි අවුරුදු තිහක් යුද්ධයකට ගියේ දෙමළ ජනතාවගේ එකඟතාව නැති ව්‍යවස්ථා නිසා. දැන් අපි ආපහු යුද්ධයකට යන්නද ව්‍යවස්ථාව හදන්නේ. මේ ව්‍යවස්ථාවෙන් යුද්ධයක් ඇතිවෙන්න තියෙන කොන්දේසි නැතිකරන්න ඕනෑ. අපි හැමෝම එකතුවෙලා හැකි තාක් මැද තැනකට එන්න ඕනෑ. කවුරු කවුරුත් ටිකක් නමන්‍යශීලී වෙන්න ඕනෑ. ටීඑන්ඒ එකත් මේ වෙලාවේ මස් රාත්තලම ඉල්ලන්නේ නැතිව මැද තැනකට එන්න ඕනෑ. ආයේ පෙනෙන මානයක නැහැ මේ වගේ එකඟතාවක් ඇතිවිය හැකි අවස්ථාවක්. එහෙම නම් එහෙම අවස්ථාවක් ආපහු එන්නේ තවත් යුද්ධයක් ඇතිවුණාට පස්සේ.

ව්‍යවස්ථාවෙන් අවධානය යොමුවිය යුතු වැදගත්ම කාරණා මොනවාද?
මම අඳුනාගන්නා ප්‍රධාන කාරණා තුනක් තියෙනවා, මේ ව්‍යවස්ථාවෙන් අනිවාර්ය යෙන්ම කළ යුතු නමුත් කරද්දී ප්‍රශ්න ඇතිවේයැ’යි හිතන. පළවැනි දෙය ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමේ කාර්යය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අධිකරණ ස්වාධීනත්වය, ව්‍යස්ථා දායකය බලගැන්වීම වගේ දේවල් ගැන එක් මතයකට පැමිණීම. විශේෂයෙන් මේ ආයතන එකිනෙකින් ස්වාධීනව තියෙන්න ඕනෑ. අපි ඉන්න මතය, දැන් විධායක ජනාධිපති ක්‍රමය අත්හදා බැලුවා ඇති. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් තියෙන තර්ක ඔක්කොම පට්ටපල් බොරු. මනාප ක්‍රමය නැති කරන්න ඕනෑ කියන අදහසේත් අපි තදින් ඉන්නවා. දැන් තියෙන්නේ ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවට ප්‍රතිලාභී දේශපාලනයක්. දේශපාලන නියෝජිතයා වගකියන කෙනෙක් බවට පත්කරන්න ඕනෑ. අන්තිම මැතිවරණ දෙක විතරක් ගන්න. ඒවායේදී සියලුම පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දුවක් දීලා තියෙනවා. දැන් ආපස්සට යන්න දෙයක් නැහැ. රාජ්‍ය නායක තනතුර විදියට ජනාධිපතිවරයා ඉන්න ඕනෑ. එයාට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාර වෙන්නේ. එයා තමයි රාජ්‍යයේ නායකයා.
රාජ්‍යයේ නායකයායි ආණ්ඩුවේ නායකයායි වෙන් වෙන්න ඕනෑ. දැන් රාජ්‍යයේ නායකයාත් එක්කෙනායි, ආණ්ඩුවේ නායකයාත් එක්කෙනායි, සේනාධිනායකයාත් එයාමයි, අධිකරණයේ පත්වීම් කිරීමේ බලයත් ගන්නවා, මුදල් ඇමතිකම ලබාගෙන පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයත් අතට ගන්නවා, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක නායකයාත් එයාමයි. ඔය හැමෝම හදන්නේ මොකක් හරි කොන්දේසියක් දාලා විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න. හැබැයි අපි ඒ පහත් උත්සාහයට විරුද්ධ වෙන්න ඕනෑ.

දෙවැනි කාරණය?
දෙවැනි වැදගත් කාරණය ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබීම. ප්‍රමාණයෙන් සුළුතරය වූ ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ව්‍යවස්ථාවක් ඇතිවෙන්න ඕනෑ. දහතුන්වැනි සංශෝධනය හරියට ක්‍රියාත්මක වුණේ නැහැනේ. දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ඇතිකරන්නයි ඕනෑ. ඒකට තියෙන බාධක ඉවත්කළොත් හුඟක් ප්‍රශ්න විසඳෙනවා. ඇත්තටම භාෂා ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක වුණා නම්, දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක වුණා නම් ප්‍රශ්න බොහොමයක් අවසාන වෙනවා. ඒ කියන්නේ අපි අවශ්‍ය ප්‍රතිපත්ති ඇතිකරලා නීති හදලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්න ප්‍රායෝගික බාධා ඇතිවීමයි සිදුවෙලා තියෙන්නේ. ඒ බාධා ඉවත්කරන්න ඕනෑ. උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි මුළු ලංකාවටම දහතුන්වැනි සංශෝධනය වැදගත්.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව සැලකිය යුතුයි නේද?
මේක අනන්‍යතාව පිළිබඳව ප්‍රශ්නයක්නේ. දෙමළ ජනතාවට සැකයක් හා බියක් තියෙනවා. ඒක නැතිවෙන්න ඕනෑ. ඔවුන්ට තියෙන බිය අපට නොතේරෙන්නේ අපි මහජාතිය හින්දා. අපි මේ වෙලාවේ සුළුතර ජනවර්ගවල මානසිකත්වය ගැන ඔවුන්ගේ පැත්තෙන් හිතන්න ඕනෑ. ඊළඟට ඔතන තියෙන්නේ බලය හුවමාරු කරගැනීම, එහෙම නැත්නම් පවර් ෂෙයාරින් කියන එක. ඇත්තම දේශපාලන පක්ෂ නොතකා ලංකාවේ හැම පළාතක්ම, පළාත් පාලන ආයතනයක්ම බලය ඉල්ලනවා. කට්ටියක් උතුරු නැගෙනහිරට විතරක් දෙන්න හදනවා කියලා මතුකරන්න හැදුවත් දෙන්න හදන්නේ පළාත් නවයටම. අපේ අවාසනාව තමයි ජාතික ප්‍රශ්නයක් ආවාම ආණ්ඩුව එක්ක තියෙන තරහා බලලා තමයි වැඩකරන්නේ. දහතුන්වැනි සංශෝධනය ආ වෙලාවේ අපි එජාපයට විරුද්ධව විපක්ෂයේ හිටියේ. හැබැයි මම පක්ෂව ඡන්දය දුන්නා. ඒක නිසා අපේ පණස්ගාණක් ජේවීපියෙන් මැරුවා. මේ වෙලාවේ ව්‍යවස්ථාව ජාතික කාරණයක් විදියට සලකන්න ඕනෑ. ඒක පක්ෂ සම්බන්ධ දෙයක් නෙවෙයි.

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය, ස්වාධීන පළාත් කොමිෂන් වගේ දේවල් ගැනත් ව්‍යවස්ථා ක්‍රියාවලියේදී අවධානය යොමුවෙලා තිබුණා. ඒ ගැන අදහස මොකක්ද?
ආණ්ඩුකාර කියන්නේ නාමික බලයක් සහිත තනතුරක් වෙන්න එපායැ. ඡන්දයෙන් පත්කළ පළාත් සභාවේ මහජන නියෝජිතයෝ ඉන්නකොට එයාලාට ඉහළින් ආණ්ඩුකාරයා බලය ක්‍රියාත්මක කරනවා. තනිකරම ජනාධිපති වරයාගේ වුවමනාවට ඡන්දයෙන් පරාද වුණ කෙනෙක් හරි දේශපාලන හිතවත්කම් තියෙන කෙනෙක්ව හරි දානවා. ඉන්පස්සේ එයා ජනාධිපතිට ඕනෑ විදියට වැඩකරනවා. මධ්‍යම ආණ්ඩුවේදී ජනාධිපතිගේ බලය සීමා කරන විදියටම පළාත් ආණ්ඩුවේ ආණ්ඩුකාරයාගේ බලතල අයින් කරන්න ඕනෑ. උතුරට නම් පොලිස් බලතලවලටත් වඩා ඉඩම් බලතල තමයි ඉල්ලන්නේ. ඉඩම් ප්‍රශ්නය උතුරට විතරක් නෙවෙයි දකුණටත් බලපානවා. මම හිතන්නේ ඉඩම් ප්‍රතිපත්තියක් ජාතික වශයෙන් ඇතිකරන්න ඕනෑ. ඒක අනුව ක්‍රියාත්මක වෙන්න ස්වාධීන ඉඩම් කොමිෂන් පත්කරන්න ඕනෑ. මේ කාරණා පිළිබඳව අනුකමිටු වාර්තාවේ තියෙන යෝජනා ඉතා හොඳයි. සමගාමී ලැයිස්තුව අයින් කරන්න ඕනෑ. ඒක හොඳ තීරණයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පිළිබඳ යෝජනාවත් ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. වෙනම ව්‍යවස්ථා අධිකරණයක් ආවොත් ඒ ගැන විශේෂඥ දැනුමක්, අවබෝධයක් තියෙන අයව පත්කරන්න පුළුවන්.

තුන්වැනි වැදගත් කාරණය මොකක්ද?
තුන්වැනි එක මූල්‍ය බලය. පාර්ලිමේන්තුවෙන් සම්මත වන මුදල් හරියට බෙදිලා යන්න ඕනෑ පළාත්සභා සහ ප්‍රාදේශීය සභාවලට. මේ වෙද්දී තියෙන පරතරය බලන්න. සීයට පණස් ගණනක් බස්නාහිර පළාතට. උතුරු පළාතට සීයට තුනයි. ඉතා අසමාන ලෙසයි මේවා වර්ධනය වෙලා තියෙන්නේ.
සම්පත් හරියට බෙදී ගිහින් නැහැ. ඉතින් ව්‍යවස්ථාවෙන් මූල්‍ය බලය නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕනෑ. පාර්ලිමේන්තුවෙන් මුදල් සම්මත කළාම එක එක පළාත් සහ පළාත් පාලන ආයතනවලට, ජනාධිපතිට ඒ සල්ලි ආපහු ගන්න බලයක් නැතිවෙන්න ඕනෑ. බොහෝවිට පාර්ලිමේන්තු වෙන් සල්ලි වෙන්කළාම ජනාධිපති තමන්ගේ විධායක බලතල පාවිච්චි කරලා ඒ සල්ලි වෙනත් කෙනෙකුට අරගෙන දෙනවා. පළාතක ජනතාවට සල්ලි වෙන්කළාම දේශපාලනඥයෙක් ඒ සල්ලි අරගන්නේ කොහොමද? නීති වෙනස් කරන්න ඕනෑ වෙන්කළ සල්ලි ආපහු ගන්න බැරි විදියට. වියදම් නොකළොත් අවුරුද්ද අන්තිමේදී භාණ්ඩාගාරයට එයි.

ව්‍යවස්ථාව අන්තරාදායක වැඩක් කියලා සටන් පාඨයක් විමල් වීරවංශලා, මහින්ද රාජපක්ෂලා ගෙනෙනවා නේද?
මේ දිහා පටු දේශපාලන කෝණයකින් බලලා ප්‍රශ්නය විසඳන්න වුවමනාවක් නැතිව කටයුතු නොකරන අය කොතැනත් ඉන්නවා. ජාතිවාදී නිලමැස්සන්ට ජාතික ප්‍රශ්නය කියන අසූචි ගොඩ නැතිව බැහැ. කවුරුත් තේරුම් ගන්නේ නෑ, මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණයක්. ඇත්තම බලතල බෙදීමට ඔය කට්ටිය මුලින් විරුද්ධ වුණේ අසූ හතේදී. ඒ නිසාම දහතුන්වැනි සංශෝධනය දුර්වල වෙලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවෙන තැනකට ආවා. ඉන්පස්සේ අවුරුදු හරියටම තිහක් ගෙවුණානේ. බලතල නොබෙදා විධායක ජනාධිපති ක්‍රමයක් සහිත මේ පාලනය අවුරුදු තිහක් තිබුණානේ. දැන් කොහොමද විධායක ජනාධිපති ක්‍රමයෙන් ජාතික ආරක්ෂාවක් ඇතිවෙනවා කියලා කියන්නේ. ලංකාවේ හැත්තෑඅට වෙනකම් වෙස්ට්මිනිස්ටර් පාලනයක් තිබුණාට යුද්ධයක් ඇතිවුණේ නැහැනේ. දහතුන ක්‍රියාත්මක නොකර හිටියත් ජාතික ආරක්ෂාවක් ඇතිවුණේ නැහැනේ. යුද්ධයෙන් පස්සේ බයට උතුරු පළාත් සභාවේ ඡන්දය නොතියා හිටියා. වීරවංශයි චම්පිකයි එකතුවෙලා ඡන්දයට කලින් දහතුන්වැනි සංශෝධනය වෙනස් කරන්න උත්සාහ කළා. කැබිනට් එකටත් මේක ආවාම මම කෑගැහුවා ඒකට විරුද්ධව. මට සහාය දුන්නේ වාසු, රාජිත, ඩිලාන් ඇතුළු පිරිසක්. එදා මම විමල්ට හොඳටම කෑගහලා මිනිහාගේ බෙල්ල මිරිකන්න හදලා තමයි ඡන්දය පැවැත්වුවේ. දැන් මේ ව්‍යවස්ථාව බාහිර බලවේගවල බලපෑම් අනුව කරනවා කියලා කියනවානේ. ඕක පට්ටපල් බොරු. ව්‍යවස්ථාවෙන් කරන්නේ බාහිර බලවේගවලට ඇතුළුවෙන්න තියෙන ඉඩ නැතිකරන එකයි. මෙහේ ජාතික ප්‍රශ්නය තියෙනකම් බාහිර බලවේගවලට රටට ඇතුළුවෙන්න පුළුවන්. කියුබාවේ ජනවාර්ගික ප්‍රශ්න තියෙද්දී තමයි කස්ත්‍රෝ බලයට ආවේ. මුලින්ම එයා කළේ මේ ජනවාර්ගික ගැටලු විසඳූ එක. ඉන්පස්සේ රටට අතදාන්න බැරිවුණා. හැමෝම එකට හිටියා. ජනවාර්ගික ප්‍රශ්නය තියෙනකම් බාහිර බලවේගවල අවදානමක් තියෙනවා. අපි ප්‍රශ්න විසඳාගෙන ඔක්කෝම එකට බාහිර බලවේගවලට මුහුණදෙන්න ඕනෑ.■