Untitled-1

Untitled-1

රනිල් හැංගූ වැලිකඩ ඝාතන වාර්තාව 3 | ලිස්ට් එකෙන් නම අඬගසා ඝාතනය කරති


ramil

අරුණ ජයවර්ධන

එස්ටීඑෆ් නිල ධාරීන් බන්ධනා ගාරය තුළට මෙසේ පරීක්‍ෂා කිරීමට පැමිණෙන බව අපි දැනගෙන හිටියේ නැහැ. එය පාලනය කිරීමට අපි සූදානම් වෙලා හිටියේත් නැහැ. චැපල් ශාලාවේ ඒ සහ බී වාට්ටුවල ඉබියතුරු දමා වසා තිබියදී ඒ තුළට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර නිසා තමයි මේ මුළු සිද්ධියම පටන්ගත්තේ. සාමාන්‍යයෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නේ එම ප්‍රහාරයට ලක්වන අයට ඉන් බේරී පලායෑමට හැකිවන අන්දමටයි. මට වුණත් හුස්ම ගැනීම අපහසු වුණා. මමත් හිතුවේ නැහැ බේරිලා යන්න පුළුවන් වෙයි කියලා. අනිත් කාරණය අපි මේ රඳවුවන්ව සාමාන්‍යයෙන් පාලනය කරගන්නේ, මෙල්ල කරගන්නේ බැටන් පොලුවලින්. මගේ රාජකාරි ජීවිතයේ ස්වයංක්‍රීය ගිනි අවි ගත් මෙතරම් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා මා දුටු පළමු අවස්ථාව මෙයයි. සාමාන්‍යයෙන් මෙවැනි සෝදිසියක් කිරීමට මෙතරම් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. බන්ධනාගාරය තුළට නීති විරෝධී මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන, සිම්කාඞ් වැනි දේ පැමිණීම, රඳවුවන් ඒවා පාවිච්චි කිරීම කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් සමහර අවස්ථාවලදී දවසට දෙවරක් වුණත් පරීක්‍ෂා කළ අවස්ථා තිබෙනවා. මීට පෙර අපට අත්දැකීම් තිබුණා, බන්ධනාගාරය තුළ නිත්‍ය ලෙස රාජකාරි නොකරන ආසන්න බන්ධනාගාරවලින් නිලධාරීන් ගෙන්වා මෙවැනි සෝදිසි කිරීම් පවත්වන්න. එම නිලධාරීනුත් කිසිම ආයුධයක් පාවිච්චි කරන්නේ නැහැ. බන්ධනාගාර නියෝග අනුවත් කිසිම ආයුධයක් පාවිච්චි කරන්න බැහැ.’
මේ 2012 නොවැම්බර් 9වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ රඳවුවන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීම ආරම්භ වූ හැටි ගැන බන්ධනාගාර ජේලර් වරයකුගේ නිරීක්‍ෂණයයි. ඔහුට අනුව මේ විනාශය ඇරඹෙන්නේ එස්ටීඑෆ් නිලධාරීන් බන්ධනාගාරයට ආයුධ සන්නද්ධව ඇතුළුව අගුළු ලා තිබුණු ශාලාවල සිටි සිරකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. එස්ටීඑෆ් නිලධාරීහු සාමාන්‍ය රඳවුවන් සිටි ශාලාවලට පමණක් නොව වයෝවෘද්ධ හා ආබාධිත රඳවුවන් සිටි ශාලාවලටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළෝය. මේ ප්‍රහාරය නොකරන ලෙසත්, වහාම නවත්වන ලෙසත්, තත්ත්වය තමන්ට පාලනය කළ හැකි බවත් බන්ධනාගාර නිලධාරීන් මහහඬින් කියා සිටියද ඒ අත්තනෝමතික ප්‍රහාරයේ අඩුවක් වුණේ නැත. මේ ප්‍රහාරයෙන් ප්‍රකෝපවූ රඳවුවන් එස්ටීඑෆ් නිලධාරීන්ට පෙරලා ප්‍රහාර එල්ල කිරීමත්, කඳුළු ගෑස් නැවත එස්ටීඑෆ් නිලධාරීන් වෙතම එල්ල කිරීමත් සමඟ පසු බැස ගිය එස්ටීඑෆ් නිලධාරීහු බන්ධනා ගාරයෙන් පිටත සිටිමින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර බන්ධනාගාරය තුළට එල්ල කළෝය. රාත්‍රී 9 පමණ වන විට බන්ධනාගාරය වෙත යුද හමුදාව පැමිණියේය.
ඒ වන විටත් බන්ධනාගාරය තුළින් හා ඊට පිටතින් එකිනෙකාට එරෙහිව වෙඩි හුවමාරු වෙමින් පැවතිණ. පීඩනය ඉවසාගත නොහැකි වුණු රඳවුවෝ බන්ධනාගාරයේ කුඩා අවි ගබඩාවේ බිත්තිය සිදුරු කොට එහි තිබුණු අවි පිටතට ගෙන ඒවායින් වෙඩි තබමින් සිටියහ.
තත්ත්වය පාලනය කිරීමට උනන්දුවක් දැක්වූ බන්ධනාගාර නිලධාරීහු ගිනි අවි රැගෙන එහෙමෙහෙ ගිය රඳවුවන් පාලනය කරගෙන ඔවුන් අත තිබුණු ගිනි අවි සමහරක් තමන් භාරයට ගැනීමට සමත්වූහ. එලෙස ගන්නා ලද ගිනි අවි 12ක්, පරිගණක අංශයේ බිම අතුරා තිබූ කාපට් ඉරා ඒ තුළ සඟවා තබන්නට මේ නිලධාරීන් කිහිප දෙනකු පියවර ගත්තේ, ඒවා නැවතත් රඳවුවන් අතට ලැබීම වළක්වන්නටය. මේ පරිගණක කාමරය හොඳින් ආවරණය කර තිබුණු එකක් නිසා, කඳුළු ගෑස්වලින් හා වෙඩි ප්‍රහාරවලින් බේරී සිටීමට එය හොඳ තැනක් විය. බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකු මෙන්ම රඳවුවෝ 12 දෙනෙක් පමණද ආරක්‍ෂාව පතා ඒ තුළට වී සිටියහ. එහෙත් එක් වරම මාලන් නමැති සිරකරු ගිනි අවියක් අමෝරාගෙන පරිගණක අංශයට කඩා පැන්නේය. නිලධාරීන් භාරයට ගත් ගිනි අවි ඉල්ලමින් ඔහු තර්ජනය කළේය. ඔහු සමඟ මොහොමඞ් සෆ්රාස් නොහොත් සින්නාද සිටියේය.
මේ තර්ජනයෙන් බන්ධනාගාර නිලධාරීන් බේරාගන්නට, ඔවුන් එහි තිබුණු මේසයක් යටට තල්ලු කළේ රඳවුවකු විසිනි. ඉතිරි රඳවුවෝ සිය නිලධාරීන් ආවරණය වන සේ ඔවුන් වටා සිටගත්හ. තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය සලකා, සඟවා තබන ලද ගිනි අවි නැවතත් මාලන් හා සෆ්රාස් වෙත ලබාදෙන්නට නිලධාරීන්ට සිදුවිය. ඊට පෙර, ඒ කාමරයේ ජනේලයක් තුළින් මාලන් තමන්ට වෙඩි තබන්නට උත්සාහ කරන අවස්ථාවේ බස් මංජු නමැති සිරකරුවකු මාලන් සමඟ පොර බදා එම උත්සාහය වැළැක්වූ බවද මේ නිලධාරීන්ට දැනගන්නට ලැබිණි. ප්‍රකෝපවූ තමන්ගේම සගයන් අතින් බන්ධනාගාර නිලධාරීන්ට උපද්‍රවයක් වීම වලක්වා ගන්නට රඳවුවන්ම උත්සාහ දරා තිබුණේ එලෙසය. මේ සිරකරු- නිලධාරී කණ්ඩායම ඒ වන විට නිලධාරීන් 20කගෙන් පමණද, සිරකරුවන් 50කගෙන් පමණද සමන්විත විය. ඔවුන් තීරණය කළේ, බන්ධනාගාරයේ කාර්යාල යීය ගොඩනැගිල්ල, ගිණුම් අංශයේ ලිපිගොනු, මාණ්ඩලික නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු, සිරකරුවන්ගේ ලිපිගොනු හා පරිගණක අංශය යන දේවල් හැකි තරම් විනාශයෙන් ආරක්‍ෂා කරගන්නටය.
මේ පිරිස විනය අංශයට ගිය අවස්ථාවේදී එක් රඳවුවකු ඔසොවාගෙන පැමිණි තවත් රඳවුවන් කිහිප දෙනෙක් ඔහු මේසය මත තැබූහ. ඒ වන විටත් ඔහු මියගොස් සිටියේය. සිදුවුණේ කුමක්දැයි විමසූ නිලධාරීන්ට රඳවුවන් කීවේ, ‘ගබඩාවේ ඉබියතුරු කඩන්නට ගිනි අවියේ පසුපස කොටසින් එක් අයකු පහර දෙන විට ගිනි අවිය අහම්බෙන් පත්තුවී ඔහුට පිටුපසින් සිටි මේ පුද්ගලයාගේ බෙල්ලට වෙඩි වැදුණු බව’ය. පසුව තවත් එවැනි තුවාල ලද සිරකරුවෝ කිහිප දෙනෙක් මේ ස්ථානයට ගෙන එන ලද්දෝය. ඒ වන විටත් සිරකරුවෝ ගිනි අවිත් රැගෙන නිදැල්ලේ ඔබමොබ යමින් සිටියෝය. මේ තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා පිටතට යැවීමට ක්‍රමයක් නැත්තේ රඳවුවන් ගිනිඅවිවලින් ප්‍රහාර එල්ලකරන නිසා බව බන්ධනාගාර නිලධාරීහු රඳවුවන්ට පෙන්වා දුන්නෝය. ඒ අනුව රඳවුවෝ තමන් අත තිබුණු ගිනි අවි නිලධාරීන්ට බාරදෙන්නට පටන්ගත්හ. ඒ ගිනි අවිවල පතොරම් ඉවත්කර පරිගණක අංශයේ තිබුණු පෙට්ටියක් තුළට දැමීමට නිලධාරීහු කටයුතු කළෝය. ඇතුළේ තත්ත්වය පාලනය කර ඇති බවත්, වෙඩි වැදී සිටි සිරකරුවන් පිටතට එවීමට අවශ්‍ය බවත්, පිටතින් ඇතුළට වෙඩි තැබීම නැවැත්විය යුතු බවත්, ඇතුළේ සිටි නිලධාරීහු බන්ධනාගාර කොමසාරිස් අසෝක හපුආරච්චිට දුරකථන මගින් දැනුම් දුන්හ. ගැටුම් තත්ත්වය මඳක් සමනය විය. එහෙත් විටින් විට වෙඩි ශබ්ද ඇසුණි. බන්ධනාගාර නියාමකවරුන් සමඟ, තුවාල ලබාසිටි සිරකරුවන් 4 දෙනකු පිටතට යැවීමට හැකිවිය. පසුව තවත් තුවාල ලත් සිරකරුවන් 6 දෙනකුද එලෙස පිටතට යැවීමට හැකිවිය. එහෙත්, ඔවුන්ට වෙඩි වැදුණේ කොහොමදැයි දැනගන්නට ක්‍රමයක් නොවීය.
රාත්‍රී 12 පමණ වනවිට යළිත් තත්ත්වය දරුණු විය. එක් සිරකරුවකු පපුව අල්ලාගෙන ඇවිත් බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ ඇද වැටුණේය. ඒ වහාම ඔහු මියගියේය. ඔහුගේ පපුවෙන් විශාල ලෙස රුධිරය ගලායමින් තිබුණි. ඒ ලෙස්ටර් ද සිල්වා නමැති සිරකරුය. ගෙවල් බිඳීම් හා මිනීමරුම් සම්බන්ධයෙන් ඔහුට නඩු කිහිපයක් තිබුණි.
තත්ත්වය බරපතළ වන බව තේරුම් ගත් බන්ධනාගාර නිලධාරීහු ජීවිත ආරක්‍ෂාව පතා තමන් සහ රඳවුවන් සැලකිය යුතු පිරිසක් ප්‍රධාන ගොඩනැගිල්ල තුළ සැඟවී සිටින බව පිටතට දැන්වීමට ක්‍රියාකළහ. පිළිතුරු ලෙස පිටතින් කියැවුණේ, ආරක්‍ෂාව සඳහා හමුදා කණ්ඩායමක් එවන බවයි. පැයක පමණ කාලයකින් පසු එක්වරම 10කගෙන් පමණ සමන්විත හමුදා නිලධාරී පිරිසක් එහි පැමිණියෝය. ඔවුන් මේ බන්ධනාගාර නිලධාරීන් හා රඳවුවන් දෙසට ගිනි අවි එල්ලකොට අත් ඔසොවන ලෙස නියම කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණාහ. එක් හමුදා නිලධාරියෙක් බන්ධනාගාර නිලධාරීන් හැඳිනගෙන, අත් පහතට දමන ලෙස කීවේය. පසුව එහි පැමිණි ලුතිනන්වරයකු සමඟ කතාකිරීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිවිය. බන්ධනාගාර නිලධාරීහු ගොඩ නැගිල්ලෙන් පිටතට ගන්නා ලදහ. එහි සිටි සිරකරුවන් තමන්ගෙන් ආරක්‍ෂාව පතාගෙන එහි පැමිණ සිටි අය බව බන්ධනාගාර නිලධාරීහු ලුතිනන්වරයාට කීහ. තමන් භාරයේ ගිනිඅවි 28ක් තිබෙන බවද ලුතිනන්වරයාට දැනුම් දෙන ලදි. ඒ ගිනි අවිත්, ජීව උණ්ඩ සියල්ලමත් ඒ අවස්ථාවේදී හමුදාවට බාරදෙන ලදි. ටී56, මිමී 9, සීඉසෙඞ් වැනි වර්ගවලට අයත් ඒ ගිනි අවි බන්ධනාගාරයට අයත්, ඒ වන විට රඳවුවන් අතේ තිබියදී භාරගත් ඒවා විය.
රාත්‍රී 2 පමණ වන විටත් ප්‍රධාන දොරටුව ඉදිරිපිට යුද්ධ ටැංකි දෙකක් නවතා තිබුණි. පාරේ වාහන ගමනාගමනයක් සිදු නොවුණි. වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුව හා ඒ අවට විශාල විනාශයක් සිදුවී අවුල්වී තිබුණි.
පාන්දර 4 පමණ වන විට සිවිල් ඇඳුමෙන් සැරසුණු තිදෙනෙක් බන්ධනාගාරයට ඇතුළුවූහ. ටීෂර්ට් හා කොට කලිසම් ඔවුහු ඇඳසිටියහ. ඉන් එක් අයකු, නාකොටික්ස් ලෙස කෙටියෙන් හැඳින්වෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකි. නියම නම හෙළිකළ නොහැකි නිසා අපි ඔහුට ‘සුරංග’ යැයි කියමු. තිදෙනාගෙන් එක් අයකු ළඟ කහපාට ආවරණයක් සහිත විදුලි පන්දමක්ද තිබුණේය. චැපල් අංශය දෙසට ඔවුහු ගමන් කළහ. ඒ වන විට චැපල් අංශය තුළත් පිටතත් රඳවුවෝ රැඳීසිටියහ. ඒ අසළ බන්ධනාගාර නිලධාරීහු කිහිපදෙනෙක්ද, බුද්ධි අංශයේ ජේලර් ඉන්දික ඇතුළු යුද හමුදා නිලධාරීහු කිහිප දෙනෙක්ද සිටියෝය. යුද හමුදා නිලධාරීන් අත ස්වයංක්‍රීය ගිනි අවි තිබිණි. සුරංග සහ අනෙක් දෙදෙනා එහි යන විට හමුදා නිලධාරියෝ රඳවුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියහ. ඒ සමඟම සුරංග ඇතුළු තිදෙනා, සිරකරුවන් දෙසට විදුලි පන්දම එල්ල කරමින් නම් වශයෙන් කතාකරමින් සිරකරුවන් තමන් ළඟට ගෙන්වා ගත්හ. නම් කියා එසේ ළඟට ගෙන්වාගැනුණේ, චැපල් අංශයේ සිටි ජෝතිපාල හෙවත් පොන්න කපිල, මාලන් සහ මංජුශ්‍රී හෙවත් නිලමේය. නිලමේ කියන්නේ කෝට්ටේ රජමහා විහාරයේදී භික්‍ෂූන් දෙදෙනකු ඝාතනය කර රත්තරන් කඩුවක් සොරකම් කළ බවට චෝදනා ලත් රඳවුවාය. සුරංග ඇතුළු පිරිස විසින් මේ රඳවුවෝ තිදෙනා චැපල් අංශයෙන් පිටතට රැගෙන, ‘එල්’ වාට්ටුව දෙසට ගෙන යන ලද්දෝය. ඒ වන විට වෙලාව පාන්දර 5.30 පමණ වන්නට ඇත.
‘වයි ඕ’ ශාලාව හා උපකරණ ගබඩාව දෙසින් තවමත් වෙඩි හඬ ඇසිණි. ඒ වන විටත් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඇති විශේෂ සිරකරුවන් රඳවා සිටින ‘එච්’ ශාලාව තුළ හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් දියත්කරනු ලැබ තිබිණි. මේ විශේෂ සිරකරුවන් කියන්නේ, මිනීමරුම්වලට වරදකරු වන්, බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් හා මත්ද්‍රව්‍ය චෝදනා තිබූ අයයි. එහි සිටි එක් සිරකරුවකුගෙන් හමුදා නිලධාරියකු, ‘උක්කුවා’ සහ ‘සියාම්’ ඉන්නේ කොහේදැ’යි ඇසුවේය. ඒ වන විට උක්කුවා සිටියේ බන්ධනාගාර රෝහලේය. සියාම් සිටියේ මහර බන්ධනාගාරයේය. උක්කුවා සහ සියාම්ගේ නම් කී නිලධාරියාගෙන් තවත් හමුදා නිලධාරියෙක්, ‘කාගේද ලිස්ට් එක?’ යැයි ඇසුවේය. ඊට පිළිතුරු ලෙස තවත් හමුදා නිලධාරියකු ‘ගෝඨාගේ ලිස්ට් එක’ යැයි කියනු ඇසිණ.
ටික වේලාවකට පසු ‘එල්’ වාට්ටුව අසල පාන්දර අඩ අඳුරේ පුද්ගලයන් තිදෙනකු එකා පිට එකා මැරී වැටී සිටිනවා දක්නට ලැබුණේය. ඔවුන්ගේ සිරුරුවලින් තවමත් ලේ ගලායමින් පැවතිණි. එළිය වැටෙන විට මැරී සිටි තිදෙනා හඳුනාගත හැකිවිය. ඒ සුරංග ඇතුළු පිරිස විසින් චැපල් වාට්ටුවේ සිට නම් කියා අඬගසා, ‘එල්’ වාට්ටුව පැත්තට රැගෙන ගිය රඳවුවන් තිදෙනාය. ජෝතිපාල හෙවත් පොන්න කපිල, මාලන් සහ මංජුශ්‍රී හෙවත් නිලමේය.■
කළු තුෂාරගේ ඉරණම ගැන ලබන සතියේ රාවයෙන් කියවන්න.