රාවය

සාන්තුවර පාද චාරිකාව

සාන්තුවර පාද චාරිකාව

 

අත්වැල් යුගලයකින් සීමාවූ ගමන් පථයක එහා මෙහා ඇවිදිමින් සිටි තරුණයකු අප ඒ ගෘහ අභ්‍යන්තරයේදී දුටු පළමු දසුන වූයේය. ඔහු සිටියේ කෘත‍්‍රිම පාදයක ආධාරයෙන් ඇවිදීම පුරුදු පුහුණුවෙමිනි.

‘අවුරුදු දෙකකට විතර කලින් මෝටර් බයිසිකල් ඇක්සිඩන්ට් එකකින් දකුණු කකුල දණහිසට ටිකක් උඩින් අයින් කරන්න වුණා.’
තිස්විය නොඉක්මවූ තරුණයා අපගේ විමසීමට පිළිතුරු වශයෙන් කීවේ උපේක්ෂාවෙන් ඉරණම භාරගනිමිනි. තරුණයා පැළඳ සිටි කෘත‍්‍රිම කකුලේ වළලූකර දණහිස ආදී ස්ථානවලින් ඇත්ත කකුලක් සේ ම නැමෙනු දිගහැරෙනු පෙනේ.

අප හමුවන්නට ගිය මිනිසා සිටියේ ඒ ගෘහ අභ්‍යන්තරයෙහි කිසියම් කාර්යයක නිරතවෙමිනි. ගමන් පථයෙහි ඇවිදින තරුණයා විටින් විට නිරීක්ෂණය කරමින් සිටි ඔහු අප සමග කීවේ තව දවසකින් දෙකකින් මෙයා ඕනෑම බරක් උස්සගෙනය’යි කියාය. ‘මේ කකුලට සුළං සිලින්ඩර් යොදලා තියනවා. කකුලේ සවිවීම ටියුන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක බොහොම දියුණු ඉස්තරම්ම කකුලක්.’

වෛද්‍ය පනාගමුව

අපි සිටියේ මිනිස් සමාජයේ බිහිවූ දැවැන්තයකුට කන්දෙමිනි. ඔහු ශල්‍ය වෛද්‍ය බණ්ඩාරනායක පනාගමුව මහතාය. පනාගමුව ශරීර ප‍්‍රමාණයෙන් කුඩා මිනිසෙකි. එහෙත් සිතුවිලි හා අරමුණුවලින් ඔහු මිනිස් සමාජයට මහත් සේවයක් කරන්නට මෙබිම ජනිත සැනසිලිදායක සාන්තුවරයෙකි. පාදයක් නැති කෙනෙකුට පාදයකුත්, අතක් නැති කෙනකුට අතකුත් දීම යනු අකර්මණ්‍යභාවයේ ගිලෙන්නට ගිය ජීවිතය යළි උත්කර්ෂවත් කිරීමක් නොවේද? මේ වනවිට 68 වැනි වියෙහි පසුවන වෛද්‍ය පනාගමුව උපන්නේ ඉබ්බාගමුවේය. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන්, මාතලේ විද්‍යා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කොළඹ වෛද්‍ය විද්‍යාලයට සමත් වූයේ 1965දීය. 70-76 දක්වා කාලය තුළ ශල්‍ය වෛද්‍ය පුහුණු කාලයක් අවසන් කළ පනාගමුව මහතා 76දී සිය පශ්චාත් උපාධිය සඳහා විදෙස් ගතවිය. අනතුරුව ලංකාවට පැමිණ වසර කිහිපයක් කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ හෙතෙම යළි 89 දේශපාලන අවුල් වියවුල් සමයේ එංගලන්තයට ගියේය. එහෙත් ශල්‍ය වෛද්‍ය විෂයට ඔහුට එහිදී රස්සාවක් නොලැබුණි.

පාද යාත‍්‍රාව

මම රැකියාවක් සොයමින් ඉන්න කොට එංගලන්ත රජයේ පුනරුත්ථාපන කටයුතු අංශයට වෛද්‍යවරයකුට පුරප්පාඩුවක් තිබුණා. මගේ සුදුසුකම් කිව්වාම රස්සාව ලැබුණා. කකුල් හදන එක ගැන එතනදි අවුරුදු හතරක් පුහුණු වුණා. රෝද පුටුවකවත් වාඩිවෙන්න බැරි අයට අපි ප‍්‍රතිකාර විධි සෙව්වා. කකුල් හදන්නෙ එකිනෙකා ඇවිදින හැටියට. එකිනෙකාගේ ඇද කුද අනුව. එක්කෙනකුට හදන කකුලක් තව කෙනකුට දාන්න බැහැ. කොච්චර සමානකම් තියන දෙන්නකුගෙ වුණත් කකුල්වල පොඩි වෙනසක් හරි තියනවා. ඒ වෙනස්කම් අනුව කකුල හැදුවොත් තමයි ආබාධිත අයකුට කකුල පාවිච්චි කිරීමට පහසුවෙන්නෙ. තනි කකුලක් සහිත අයකු කෘත‍්‍රිම පාදයක් පැළඳගත් පසු ඔහු ඉදිරියට වැටෙන්නට නැඹුරු වන බව පෙනෙනවා නම් එම කකුලෙහි නිවැරදි පිහිටීම වන්නේ අදාළ පුද්ගලයාගේ පිටුපසට බරවන ලෙස කකුල නිෂ්පාදනය කිරීමය. ඒ සඳහා ගණිත මිණිත ක‍්‍රමයකට අනුකූලව කකුලේ ආකෘතිය තනාගත යුතුය. මෙහිදී කරන්නේ පුද්ගලයාගේ ශරීර බර විසින්ම කකුල පසුපසට තල්ලූ කර වැටීම වැළැක්වීමය. මෙම පසුපසට තල්ලූ කිරීමට ආධාරකවන්නේ කකුල හදන හැඩතලයම මිස අනෙකක් නොවේ. ආබාධවලට ලක්වූ සමහරුන්ගේ විලූඹ නැත. ඇතැමුන්ට වළලූකරෙහි ඇටකටුව නැත. විලූඹ වෙනුවට විලූඹේ හැඩයට කපාගත් සිලිකෝන් කොටසක් භාවිත කරන අතර කකුලේ ඇටකටුව වෙනුවට උපාංග භාවිතයෙන් පාද නිර්මාණය කිරීමට තරම් පනාගමුව මහතා සමර්ථය.

බෙකම් බූට් කියාල එකක් ගැන අහලා තියනවද? කතා කර කර සිටින ගමන් පනාගමුව මහතා අපෙන් විමසයි. මම එංගලන්තෙ කකුල් හදන කාලෙ දවසක් ඬේවිඞ් බෙකම් ෆුට්බෝල් මැච් එකකදි වළලූ කර බිඳගෙන ආවා. අපි එයාට ගැළපෙන සපත්තුවක් හදලා දුන්නා. එයා ඒක දාගෙන සෙල්ලම් කළා. එදා ඉඳලා ඒ සපත්තුව බෙකම් බූට් කියලා ජනප‍්‍රිය වුණා. ඒ විතරක් නෙමෙයි මම යගුලිය වීසි කරන්නත් කෙනෙකුට කකුලක් හදලා දුන්නා. එකපාරක් ඔන්න පැරාඔලිම්පික් ගිය ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පුෂ්පකුමාර ප‍්‍රැක්ටිස් කරන කොට කෘත‍්‍රිම කකුල කඩා ගත්තා. එයා මෙහෙන් යනකොට එක කකුලයි අරගෙන ගිහින් තිබුණේ. මම එතකොට හිිටියෙ බර්මිංහැම්වල. මට මතක හැටියට පුෂ්පකුමාරයි එයාගෙ කළමනාකරුයි මට කතා කළේ ලීඞ්ස්වල ඉඳලා. තරගයට තිබුණේ දවසයි නැත්නම් දෙකයි. කකුලක් හදලා ඉල්ලූවා. මං කිව්වා වහාම බර්මිංහැම්වලට එන්න කියලා. මං එගලන්තෙ ඉන්න කොට කරන්නෙ කෘත‍්‍රිම පාදවලට අවශ්‍ය බඩු පුළුවන් තරම් එක්කාසු කරන එක. ඒ ලංකාවට එන දවසක ගේන්න. මගේ ගරාජ් එකේ තමයි කෘත‍්‍රිම කකුල්වලට ඕනෙ කරන පාට්ස් ගොඩගහලා තියෙන්නෙ. හොඳ වෙලාව පුෂ්පකුමාරට කකුලක් හදන්න ගැළපෙන කෑල්ල ගරාජ් එකේ තිබුණා. මං හැදුවෙ හොඳට දුවන්න පුළුවන් කකුලක්. පුෂ්පකුමාර ඒ කකුලෙන් උස පැනලා හත්වැනියා වුණා.

අනවරත චාරිකාව

ලංකාවේ මාස දෙකක් ගතකරන පනාගමුව මහතා එංගලන්තයේ මාසයක කාලයක් ගත කරයි. අදටත් සිදුවන මෙම යාම ඊම කකුල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වෙනත් උපකරණ ගෙන ඒම පිිණිසය. ඔහු එකතු කරගෙන එන සමහර උපාංග පාවිච්චි කළ පරණ ඒවාය. විශේෂයෙන් කිහිලිකරු මියගිය අයගෙනි. කකුල් නිෂ්පාදනයේදී භාවිත කරන යකඩ හා ඇලූමිනියම් කොටස් ඔහු සපයාගන්නේ එංගලන්තයේදී ඉවත් කැරුණු පාදවලිනි. ඒවා නොගෙවෙන තව වසර සීයක් දෙසීයක් වුව පාවිච්චි කළ හැකි මට්ටමේ ඒවා බව පනාගමුව මහතා පවසයි. වෛද්‍ය පනාගමුව මෙවැනි සමාජ මෙහෙවරක නිරත වන බව දන්නා බි‍්‍රතාන්‍යයේ මෙම විෂයට සම්බන්ධ පිරිස් හා ආයතන නවතම උපාංග ඔහුට නොමිලයේම ලබාදෙති. පනාට මොකටද පරණ බඩු කියා දන්නා හඳුනන සුද්දෝ ඔහුට විහිළු තහළු කරති. පරණ කකුලක කොටසක් දුටහොත් පනාගේ බෑගයට දමන්න කියා ඒ ඇතැම්හු කීමට පුරුදුව සිටිති. පාද නිෂ්පාදනයට අවශ්‍ය යකඩ පොලියුරිතීන් මෙන්ම පොලිප්‍රොපිලීන් සිලිකෝ්න් සහ රබර් ප‍්‍රවර්ග මිල අධිකය. පාද නිෂ්පාදනය සඳහා භාවිත ප්ලාස්ටික් ප‍්‍රවර්ගය ගෙන්වන්නේ ස්කොට්ලන්තයෙනි. අධික මිලක් වැයවන තවත් ඇතැම් උපාංග පනාගමුව මහතා විසින්ම උපයා සපයා ගනී. ඇතැම් උපාංග ඔහු විසින්ම මැෂින් මගින් ලියවා ගනී. පවුම් 2500ක් වන ඇතැම් මැෂිමක් අබලි වූ පසු ගෙන්වාගෙන පවුම් 100කට ඔහු යළි එය අලූත්වැඩියා කරගනී. අවසානයේ පවුම් 450ක් පමණ මිල කළයුතු පාදයක් මේ සද්ගුණවතාණෝ නොමිලයේම ලබාදෙති.

මෙහෙම ලැබෙන උපකාර වගේම විශේෂඥ කණ්ඩායම්වල සේවයත් අරගෙන මම කෘත‍්‍රිම පාද ජංගම සේවාවන් ගණනාවක් ලංකාවෙ කළා. 90 දශකයේදී යුද හමුදාවේ ගැමුණු බලකායේ ආරාධනයෙන් කුරුවිටදී පැවැත්වූ ජංගම සේවයකදී කෘත‍්‍රිම පාද සීයක් හැදුවා. ඒ විදියට බෝයගනේ, මහඉලූක්පල්ලම, පනාගොඩ, වේයන්ගොඩ ආදී ප‍්‍රදේශවල යුද හමුදාවත් සම්බන්ධ කරගෙන කරපු ජංගම සේවාවන්වලදී පාද 600ක් පමණ අවශ්‍යතා තිබෙන අයට නිෂ්පාදනය කර දෙන්න අපේ කණ්ඩායමට හැකිවුණා.

මඩකළපුවේ බිෂොප්වරයා එක් අවස්ථාවකදී පනාගමුව මහතාගෙන් ඉල්ලීමක් කළේ එහි කෘත‍්‍රිම පාද ජංගම සේවාවක් පවත්වන ලෙසය. එහිදී හමුදාවේ පාද අහිමි වූ අයට මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ පාද අහිමිවූවන් රැුසකට කෘත‍්‍රිම පාද තනා දුනි. මේ වනවිට නම් මුළුමනින්ම පාහේ පනාගමුව මහතා කෘත‍්‍රිම පාද නිෂ්පාදනය කරන්නේ සිවිල් වැසියන්ටය.

මෙත්තා පදනම

ඉකුත් දවසක අපි මහව ගියෙමු. මහව දුම්රිය ස්ථානයේ සිට යාපහුව පාරේ මඳ දුරක් ඇවිද ගියවිට මෙත්තා පුනරුත්ථාපන පදනම හමුවෙයි. කෘත‍්‍රිම පාදයක් පැළඳ ගත් තරුණයකු ඇවිදිමින් සිටියේ මෙත්තා පදනම ස්ථාපිත කැරුණු ගෘහ අභ්‍යන්තරයෙහිය. වෛද්‍ය පනාගමුව නම්වූ අතිශයින්ම කඩිසර මිනිසාගේ සාන්තුවර වත මුල්වරට දක්නට ලැබුණේ මෙත්තා බිම්පෙතෙහිය. එය නිසොල්මන් බිම්කඩකි. සුදුවතින් සැරසුණු වෛද්‍ය පනාගමුවත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් යුහුසුලූව එකම අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන අයුරු දක්නට ලැබිණි. 2014 ජන. 04දා ආරම්භ කළ මහව මෙත්තා පදනම මගින් ගෙවී ගිය වසරක කාලය තුළ කෘත‍්‍රිම පාද පන්සියයකට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර නොමිලයේම ලබාදී තිබුණි. ඛැඉ්ර් නමැති අතිශයින්ම ලාබ ලබන ව්‍යාපාරික ආයතනයක් මෙත්තා පදනමෙහි බොහෝ කටයුතු සඳහා මූල්‍යමය ආධාර සපයා තිබේ.

පළමු පියවර

කෘත‍්‍රිම පාදයක් අවශ්‍ය අයකු මෙත්තා පුනරුත්ථාපන පදනමට පැමිණි විට ඔබ මූලික වශයෙන් සැලකිලිමත් වන කරුණු මොනවාද යනුවෙන් බොහෝ වේලාවකට පසුව මම ඇසූ ප‍්‍රශ්නයට වෛද්‍යවරයා සීරුවට පිළිතුරු බැන්දේය. ‘හුඟක් අයට කකුල් අහිමිවෙන්නෙ මෝටර් සයිකල් ඇක්සිඩන්ට්වලින්, දියවැඩියාව නිසා හා බඳින තුවක්කු පත්තුවීමෙනුයි. කකුලක් හදාගන්න ආපු කෙනකුගෙ මම මුලින්ම බලන්නෙ ශරීර ශක්තිය ගැන. කකුල අවශ්‍ය දණහිසෙන් පහළට නම් කොහොමහරි කකුලක් හදනවා. ඒක දාගෙන වැසිකිළියෙත් වාඩිවෙන්න පුළුවන්. දණහිසෙන් ඉහළ සිට පාදයක් හදලා දෙන්න නම් හොඳට තියෙන කකුලෙන් කාගෙවත් උපකාරයක් නැතුව හිටගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඊළඟට දණහිස දිගහරින්න නවන්න හැකිවීමත් වැදගත්.’

අනතුරුව පාදය අවශ්‍ය පුද්ගලයා ඇතුළු කුටියකට ගෙන පාදයෙහි දිග, වට ප‍්‍රමාණය ඇතුළු මූලික මැනුම් ක‍්‍රමයක් හරහා ඔහුට අවශ්‍ය පාදයේ ප‍්‍රමාණයත් සලකුණු කරගැනීම සිදුකරන අතර ප්ලාස්ටර් ඔෆ් පැරිස් ආධාරයෙන් කරන පාදයක ආකෘතිය සකස් කරගන්නේ ඒ අනුවය. පාදයක් සඳහා මැෂිමන්ට් ගැනීමේදී සම්පූර්ණයෙන් යටිකය නිරුවත් කරන්නට සිදුවේ. මන්ද ඉකිළිය ප‍්‍රදේශයේ සිට මැනීම හා ස්වභාවය නිරීක්ෂණය කළයුතු නිසාය. මේ තත්ත්වය තුළ කාන්තාවන්ට කකුල් සෑදීමේදී ඉතා පරිස්සමින් එම කටයුත්ත කළයුතු බව කියූ පනාගමුව මහතා බොහෝවිට තවත් කාන්තාවක් ළඟ තබාගෙන එය සිදුකිරීම උචිත බවද කීවේය.

කකුල් පමණක් නොව ඇඟිලි වැඩ කරන අත් සහ ඇඟිලි වැඩ නොකරන අත් විශේෂයක්ද පනාගමුව මහතා නිෂ්පාදනය කරයි. දකුණතෙහි මහපට ඇඟිල්ල සහ දබරැුඟිල්ල වැඩ කරන ලෙස නිෂ්පාදනය කළ අතකින් වාහනයක් පැදවීම පවා කළ හැකිය. ඒ සඳහා අතට කුඩා කෝප්පයකුත් ස්ටියරිං වීලය කරකැවීම සඳහා බෝලයකුත් භාවිත කෙරෙයි. බෝලය කෝප්පයට දැමූවිට හිරවී ස්ටියරිංවීලය ඒ ආශ‍්‍රයෙන් හැසිරවිය හැකිය. මෙම ක‍්‍රමයට නීතියෙන්ද නිසි අවසරය ලැබී තිබේ. ඇඟිලි දෙකක් වැඩ කරන අතකින් හැන්දකින් ගෑරුප්පුවකින් ආහාර ගැනීම, වැසිකිළි ගොස් පවිත‍්‍ර කර ගැනීම ඇතුළු බොහෝ කටයුතු කරගත හැකිය.

කකුල් කාමරේ

ප්ලාස්ටර් ඔෆ් පැරිස් පිරුණු කාමරයකදී පනාගමුව මහතා අපට කීවේ ලෙඩා යනවා කකුල අපි ළඟ කියාය. තරුණයකු හා තරුණියක එම කාමරයේ කඩිසරව ප්ලාස්ටර් ඔෆ් පැරිස් භාවිතයෙන් නිවැරදි මැනීම් ගත් පාද සාදති. කකුලක බර වැටෙන තැන් බර නොවැටිය යුතු තැන් මැනුමට අදාළව ඔවුන්ගේ ඇඟිලි තුඩුවලින් මනාව පිරිමැදී. එකිනෙකාට අනන්‍ය කකුල් නිර්මාණය වෙයි.

කකුල් හැදෙන්නෙ මූලධර්මයකට අනුව. මේක එක අතකින් මූර්තියක්. ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් හැදුවත් කකුල දිහා බලපුවාම ගෘංගාරය මතුවන විදියට තියෙන්නෙ ඕනෑ. ගෑනු කෙනකුට හදන කකුලක මොඩලයක් හැදුවත් ඒක ගෑනු කකුලක් වගේ සියුමැලි වෙන්න ඕනෑ.

කකුල වත්කිරීම

පළමුව සෙන්ටිමීටරයක පමණ ඝනකමින් යුතු සුවිශේෂී පොලි ප්‍රොපිලීන් (14’x14′) කැබැල්ලක් අවන් එක ආධාරයෙන් වැක්කෙරෙන මට්ටමට පැය 1/2ක් පමණ රත්කර ගනී. අනතුරුව ඩ්‍රේප් ටේබලය නම්වූ වෘත්තාකාර පුවරුව මත සිටවූ ප්ලාස්ටර් ඔෆ් පැරිස් කකුල මත උණුවූ පොලිප්‍රොපිලීන් කැබැල්ල සීරුවට නවා වැකුම් මැෂිම ආධාරයෙන් වැකුම් කරමින් පාදයට සවි කිරීමට අවශ්‍ය සොකටය සකසා ගනියි. මෙය ඉතා සීරුවෙන් එකම වරකින් කළයුතු කටයුත්තකි. වැරදුණහොත් රු.2500ක් වන පොලිපොපිලීන් කැබැල්ල ඉවත දැමීමට සිදුවේ. දණහිසෙන් උඩ හෝ යට සිට කකුලක් මෙම සොකටයට පහසුවෙන් සවි කළ හැකිය. අනතුරුව ඊට සවිවන තවත් උපාංග කිහිපයකින් පරිපූර්ණ කකුලක් නිර්මාණය කැරෙයි. ඕනෑම කෘත‍්‍රිම කකුලක් සැබෑ කකුල් කොටසට තබා නොගැළවෙන ලෙස තදකිරීමට නිව්ටන් මීටර් 42ක බලයක් යෙදිය යුතුය.

ගසයට දිවිය

කබඞ් එකක් තබා සරලව වටකරගත් කුටියක පුංචි ඇඳක් තිබුණි. ඒ පනාගමුව මහතා නිදන ඇඳය.
මම කැමතියි තව ටිකක් නිදහසේ ජීවත්වෙන්න. ඒ නිසා අන්න අර ගහයට පොඩි මඩුවක් හදාගෙන ඒකෙ පදිංචියට යන්නයි හිතාගෙන ඉන්නෙ.
ඔහු පෙන්වූයේ වත්තේ තිබුණු රූස්ස ගසකි. ඒ ගසයට සිසිල් පරිසරයකි. කුරුලූ කූජනය නැගේ. වියළි පත් බිම වැටේ. සැබැවින්ම පනාගමුව නම්වූ මේ සාන්තුවර වෛද්‍යවරයාගේ උත්කෘෂ්ට නවාතැන දැමුණු පරිසරයම විනා අන් තැනක් නම් විය නොහැකිය.