Monday, 21/8/2017 | 3:37 UTC+0
රාවය

මනම්පිටිය පාලමෙන් එහා ලෝකයක කතාවක්

කේ. සංජීව

මහවැලිය සද්ද නැහැ බලාගෙන ඉන්නවා විතරයි. ගලන්නේත් නැද්ද කොහේද. මම මනම්පිටිය අලුත් පාලම උඩ. වස්ගමුව මහ කැලේ ඈතින් සිතිජ වළල්ලට යනකම් සිතුවමක් වගේ මා දිහාට ඇස් හරෝ ගෙන. මගේ ගමනේ අවසානය වැලිකන්ද. වැලිකන්ද කියන්නේ යුද්දේ කාලේ මායිම් ගමක්. මෝටාර් කාලතුවක්කු උණ්ඩ අහසින් යහමින් ගිය ඉසව්වක්. සිංහල බෞද්ධයෝ මල් පහන් සුවඳ දුමින් පිදූ අතීතයක් දරාගෙන දැන් වැලිකන්ද බලාගෙන ඉන්නවා.
යුද්දෙන් පස්සේ වෙච්චි සුබසිද්ධියක් මේ ඉසව්වට නැහැ. වෙනසකට තියෙන්නේ මේ මිනිස්සු බංකරේ ජිවිතේට තිත තිබ්බ එක විතරයි. වියළි සුළඟ මිනිස්සුන්ගේ දාඩිය කඳුළටත් වග කියලා. දුහුවිල්ලේ මල් පිපිලා. හැමතැනම වැලි වැඩි පස නිසාදෝ මේ ඉසව්ව වැලිකන්ද උනේ කියලා මට හිතෙනවා. වන බුටාව කපලා කොටලා කෑම්ප් එකයි සිංහල කොලනියයි කියලා පදිංචි කළ ඉතිහාසයක් තමයි වැලිකන්දට තියෙන්නේ. මහවැලි කලාප අංකයක් වැලිකන්දට තිබුණාට ඉසෙඞ් ඊ ඇළ ළඟින් වංගු වංගු වෙළුණාට වැලිකන්ද කතරක් වගේ තමයි. මේ ඉසව්වේ ගොයම යහමට වැඩුණත් වී ඇටයේ බාගයකටයි සහල දෙන්නේ. ඒ තමයි වැලිකන්දේ පසේ ගුණේ. එදා කොටි යහමින් හිටි, මිනිස් ජීවිතත් එක්ක සෙල්ලං කළ මේ බිම දැන් අලි අල්ලලා. චතුරිකා නෝනා ළඟවත් ඒකට විසඳුම් නැහැ කියලායි දැනගන්න තියෙන්නේ.
මේවාගේ ලට්ට ලොට්ට ප්‍රශ්න හැටහුටහමාරක් ජීවිතේ එක්ක ගැටගසා ගත්ත වැලිකන්දට මම ගියා. වැලිකන්ද කිව්වාට සිංහපුර කුරුලුබැද්ද අසේලපුර මහවලිතැන්න වගේ ගම් නියම්ගම් බොහොමයක් වැලිකන්දට තියෙනවා. වැලිකන්දට ග්‍රාම සේවා වසම් 29ක් තියෙනවා. ගම් විදියට ගත්තොත් ගම් 45යි. මේ ගම්වලින් තනිකරම දෙමළ ගම් දෙකකුයි තනිකරම මුස්ලිම් ගම් හතරකුයි වැලිකන්දට තියෙනවා.
මහවැලිතැන්න කියන්නේ ඒ වාගේ මුස්ලිම් විජිතයකට. මේ හැම ගමක්ම වගේ හුදකලා කොදෙව් කිව්වොත් හරි. හරියට කැලෑකැටිති සයුරකින් වටවුණු දූපත් වගෙයි. සමහර ගම් අනෙක් ගම්වලින් දුරස් කරන්නේ වගුරු කුඹුරු. මකුළු දැලක් වගේ පාරවල් මේ කොදෙව් පටලවාගෙන හිටියාට ප්‍රවාහනය අන්තිමයි. මිනිස්සුන්ට තමන්ගේ කකුල් දෙකේම පිහිට තමයි. ඉස්කෝලේ යන ළමයින්ට උනත් මේ හින්දා ළමා කාලය කියන්නේ වහකදුරු තරමට තිත්තයි. ඒ හින්දා දුර නොබලන් ළඟම බලන් කියලා තමයි හිත කියන්නේ.
එහෙම ළඟම බැලූ ළමයින්ගේ ජීවිත එක අහුරට අරං මේ පත්තරේ උඩට දාන්න හිතුවා. කෙටියෙන් කිව්වොත් මෙතැනින් මත්තට ලියැවෙන්නේ ළමා විවාහ ගැන. පොටෝ නම් ගම් මනම්පිටිය පහුකරලා කොළඹ යනකොට මහවැලියට විසිකරලා යනවා කියූ නිසා ඒවා මේ ලියුමේ මුණගැහෙන එකක් නැහැ. කොහොම වුණත් මේ කතා අහුර මහවැලියට විසිකරලා බැහැ. යුද්දේ කාලේ වැලිකන්දට ගිය සිංහලයෝ මේ ප්‍රශ්න ගැන විස්සෝප වුණා. විසඳනවා කිව්වා. හැබැයි කොළඹට ආපස්සට එනකොට මේ මිනිස්සු ගැන මතකය එක්කම මහවැලියට අර ප්‍රශ්න විසිකරන්න අමතක කළේ නැහැ.

ළමා විවාහ
“ඇත්තටම මම ඒ ඉස්සර ගැන මොනවද කියන්නේ. දැන් මට අවුරුදු 40ක්. මම බඳිනකොට මගේ වයස 13යි. පුංචි එකා. මහත්තයාට 26යිද කොහේද… බැන්දා කිව්වාට එකතුවෙලා හිටියා. කොළේ අත්සන් කළේ නැහැ. ඉතිං අවුරුදු 14 වෙනකොට මට ලොකු දුව ලැබිලා. කොහොම ලැබුණාද ඒක වේදනාවක්ද ඒ මොකුත් මට දැන් හිතාගන්න බැහැ. අවුරුදු දහතුනෙන් බැන්දා, දාහතර වෙනකොට අම්මා කෙනෙක්. එච්චරයි කියන්න පුළුවන්. ඊළඟට අවුරුදු පහළොව වෙනකොට එයා වෙන ගෑනියෙක් ළගට ගියා. මම අම්මලාගේ ගෙදර තනිවුණා. ඊළඟට කුලී වැඩ. ජීවත්වෙන්න නැහුණා. මට අවුරුදු දාහතයි. තව මිනිහෙක් ළඟට ගියා. එයා තමයි දැන් ඉන්න කෙනා. එයා නම් මට ආදරෙයි. උප්පත්තියේ ඉඳලාම දුක තමයි. තවත් ඉවරවෙන කරුමයක් නෙවෙයි ඒක. මැරුණත් ඉවරයි කියලා හිතෙන්නේ නැහැ.”
ඇය වයසට වැඩිය නාකිවෙලා. අපි ඉඳගෙන හිටියේ පලු ගස් හෙවණක. ටකරන් හෙවිලි ගෙයයි පලු ගහයි යාළුවෝ වගේ. මේ පුංචි ඉඩමට පුංචි සිසිලසක් හරි අරං එන්නේ මේ උන්දැ විතරයි. පලු ගහේ වයිරම් මතුවුණ කඳයි ඇයගේ මුහුණයි එක වගේ. ටකරන් වහළය ඇයගේ හිස මතට හෙළන දාහය නිවා දාන්න මේ පලු ගහ කොච්චර වීරියක් ගන්නවාද, මට හිතෙනවා. ටකරන්වල ගොරහැඩි සද්ද හදන වියළි සුළඟ අහසට පනින්නේ පලු ගහේ අතු ඉති සොලවාගෙන. ඇගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ පලුගස් හෙවණේ සෙල්ලම. ගැහැනු දරුවෝ බෝනික්කෝ නළවනවා. හරියට ළඟ ළඟම එන දුක ගැන දැනගෙන වගේ.
ඇයි ඇත්තටම එතරම් අඩු වයසකින් බඳින්න හිතුවේ?… සෙල්ලම් කරන්න නැතිවෙන එක ඉස්කෝලේ යන්න බැරිවෙන එක ගැන හිතුවේ නැද්ද?… පලුගස් අතු ඉති කියන සිංදු මොකටද කියලා ඇගේ දුක් ගීයට ආයෙත් ඉඩ හදන්න මම නිහැඬියාව මැදට පැන්නා.
“ඒවා මොකුත් දන්නේ නැහැ. අක්කාත් බැඳලා අයියාත් එක්ක අපේ ගෙදරමයි හිටියේ. එයා ඇවිත් තාත්තාගෙන් කෙළින්ම අහලා මාව අරං ගියා. අක්කාගේ ළමයි බලාගෙන ඉඳලා මට ගෙදර එපා හිතිලා තිබුණේ. අනික ගෙදර ඉඩත් නැහැ. අපි එකට වැටිලා තමයි නිදියන්නේ. අක්කාගෙයි අයියාගෙයි ජීවිතේ දැකලා පවුල් කන්න ආසාවකුත් හිතේ තිබුණා.” ඇය සිනාසෙයි.
පලු ගහත් හුළඟත් එක්ක එකතුවෙලා ඊට වැඩිය සද්දෙට හිනා වෙනවා. ඒ ඇයටද? මට හිතෙනවා. ඉතිං සැප හොයාගෙන ගියා ලැබුණාද?… ඇයගේ සිනහව කොහේද නැහැ. දැන් ගසයි මායි විතරයි කතාව.
“නැහැ ඒක ඊට වැඩිය අපායක්. මිනිහෙක් එක්ක ගියොත් පවුලක් හදාගත්තොත් විතරයි මහවැලියෙන් ගෙයක් හදාගන්න ඉඩමක් පෙන්නන්නේ. ඉතිං මාපියොත් විරුද්ධ නැහැ. කැමතියි. අනික ගෙදර කටවල් ප්‍රමාණය අඩුවෙනවා. ඒකත් ලොකු අස්වැසිල්ලක්.” මොනවද මෙතැනින් එහාට ලියන්නේ. මේ බැඳිල්ලට හේතුව දුප්පත්කමද?… අඩු අධ්‍යාපනය කිව්වොත් ඒකත් ආයෙත් ගිහිං හේත්තු වෙන්නේ දුප්පත්කමටම තමයි.

දුකයි තමයි මොකෝ කරන්නේ
මගේ මගපෙන්වන්නා පස්සේ වැටිලා මම තවත් ගෙයක් සොයනවා. මේක තමයි ගෙදර. කඩුල්ලෙන් ඇතුළට පනින ගමන් මගේ සගයා මට කියනවා. මෝඩ ගඩොල් රටාවකට අහුරලා ඊට උඩින් වහලයක් තියලා. පිටිපස්සෙන් තව හදාගෙන එන ගේ කෑල්ලක් මේ ගඩොල් ගොඩට මූට්ටු කරලා. කෝ දූ… ගෙදරින් එළියට ආ ගැහැනු මනුස්සයාගෙන් මගේ සගයා අහනවා. ඇය මහ හඬින් කෑගහනවා. නමක් කියලා. එච්චර උසත් නැති මිටිත් නැති කෙල්ලෙක් ගේ පිටිපස්සෙන් මතුවෙනවා.
“තෝ කොහේද ගියේ? අරුන් එක්ක බෝල් ගැහැවුවා.” මෙයා තමයි ඊළඟ කෙනා. මගේ මිත්‍රයා මට කියනවා. කෝ මහත්තයා… මම කතාව පටන් ගන්නවා.
“එයා පොළොන්නරුවේ ගියා වැඩට. මේසන් වැඩ තමයි කරන්නේ.” දැන් බැඳලා කොච්චර කල්ද?.. “මාස 6ක්. බැන්දා කිව්වාට බැඳලා නැහැ මහත්තයෝ වයස ආවාම බඳිනවා.” ඉතිං දරුවෝ ලබන්න එහෙම කල්පනාවක් නැද්ද? “දැන් බඩට මාස හතරයි.” මම කල්පනා කරනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් බෝල ගහනවා. මගේ හිත කොළඹ ක්‍රමයට හිතනවා. ඇයි ඉක්මනින් බඳින්න හිතුවේ. ඇය කල්පනාවක.
“අම්මා නැහැ. තාත්තා තව ගෑනියෙක් ගත්තා. ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තමයි ආවේ. ගහනවා නිතරම. තාත්තාත් හොඳටම බොනවා.” අම්මා නැතිවුණේ කොයිකාලේද? මගෙන් අතුරු ප්‍රශ්නයක්… “අම්මා ඉන්නේ රට. ඉස්සර අම්මා ගෙදර ඇවිත් ගියා. තාත්තා පුංචි ගෙනාවාට පස්සේ අම්මා දැන් ලංකාවට එන්නේ නැහැ.”
මම ඇයගෙන් වයස ඇහැව්වේ නැහැ. දාහතරක් ඇති. ඇඟ නම් ඊටත් පුංචි. ගෙදර දුකට විසඳුම පිටිං දුක් කන්දක් ඇඟේ ඔතාගැනීම කියලා තමයි මේ ගැහැනුන් හිතන්නේ. ඒක ගෙදරට සාපේක්ෂව නිවනක් වෙන්නත් බැරි නැහැ. කොහොම වුණත් දරුවෙක් වදන්න ගියාම ඉලඇට කූඩුව කැඩිලා යයි කියලා හිතෙන පෙනුමක් ඇයට තියෙන්නේ.
ඇත්තටම වැලිකන්දේ සුවතා දත්ත පිරික්සන කොට මාතෘ මරණ අනික් ප්‍රදේශවලට සාපේක්ෂව වැඩියි. ඒ ගොන්න අස්සේ මෙවැනි විවාහවල බර දරාගත්ත ගැහැනු දරුවෝ ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ නිසාම දැන් සෞඛ්‍ය අංශ මෙවැනි අඩු වයස් විවාහ කරගත්ත ගැහැනු දරුවන්ගේ ශරීරවල හෝමෝන තැන්පත් කරන්න පියවර අරගෙන. මේ වාගේ පියවරකට යනවාට වැඩිය මේ විවාහ සංස්කෘතිය ඉවර කරන්න තියෙනවා නම් ඒක තමයි හොඳ. ගැහැනු දරුවෙකුගේ ශරීරයේ හෝමෝන තැන්පත් කළා කියලා මේ විවාහයක් නිසා අඩු වයසින් ඇයට උරුමවෙන දුක ඉවර වෙන්නේ නැහැ. දරුවෙක් උපද්දන්න නැතිවීමේ සැනසීම විතරයි ඇයට මේකෙන් ලැබෙන්නේ.

හේතුව දුප්පත්කමද
ලංකාවේ පොදු විවාහ නීතියට අනුව අඩු වයස් විවාහයකට ඉඩ නැහැ. හැබැයි මුස්ලිම්වරුන්ට නම් නීතියට අනුවම මේක කරන්න පුළුවන්. ඒත් වැලිකන්ද වැලිඔය වගේ පැතිවල මේ ක්‍රමය දරුණුවටම ක්‍රියාත්මක වෙනවා. මේ අය නීතියට අනුව විවාහ නොවුණත් කූඩුවක් හදාගෙන එකට ඉන්නවා. මේ එකට ඉඳිල්ලට අධ්‍යාපනයේ අඩුව ප්‍රධාන හේතුවක්. ඊළඟට, ජීවත්වෙන්න ගෙදර ඉඩකඩ මදිවීම. ගොඩක් ගෙවල්වල පවුල් දෙක තුන එකට ඉන්නවා. එතකොට තාත්තලාට, දූලාට, අම්මලාට සහෝදරයන්ට පුද්ගලික ජීවිත නැති තරම්. ඒ නිසාම කුඩා දැරියකට වුණත් ලිංගික සිදුවීම් අරුමයක් නෙවෙයි. ඒ හින්දාම අම්මා රට ගියාම දුව අඹුකමට ගන්න පියවරුත් ඉන්නවා. මේවා පවුලෙන් පිටට දෙන්න හොඳ නැති ගින්දර නිසා සමාජයට දැනෙන්නේ අඩුවෙන්. හැබැයි දියුණු සමාජවල සිද්ධ වෙන්න බැරි ඛේදවාචක.
වැලිකන්ද ගත්තොත් වාර්ෂිකව දරු උපත් 800ක් විතර වෙනවා. ඒ ගොඬේ ඉන්න අම්මලාගෙන් ලොකු ප්‍රමාණයක් අඩු වයස් විවාහ. යුද්දේ ඉවර වුණාට පස්සේ දැන් මේ ගැන කෙරෙන දැනුවත් කිරීම් නම් වැඩිවෙලා. ඒක හොඳ තත්ත්වයක්. අනික මේ විවාහ නිසා උපදින දරුවෝ ගොඩක් වෙලාවට අඩු බර දරාගෙන තමයි ඉපදෙන්නේ. අනික් එක ගෙදර ජීවත් වෙන පවුල් ප්‍රමාණය වැඩි නිසා මේ දරුවෝ මන්දපෝෂණයෙන් තමයි ජීවිතය ගැටහගගන්නේ. ඒ සේරටම වැඩි මේ අම්මලා තමන්ගේ ළමා කාලය කැපකරලා ලොකු දුක් කන්දකට උරහිස දීම. අනික, ජීවිතේ මැද්දකට ආවාට පස්සේ මේක කරුමේ තමයි කියලා ජීවිතේ අතෑරලා ඔහේ ජීවත්වීම මේ සමාජයේ සුලබයි. ඒ හින්දම ගොඩක් අම්මලා රට යනවා. ගෙදර ඉන්න දුව තව පිරිමියෙක් සරණ යනවා. හැබැයි අපි මේවා ගැන කතා කරන්නේ නැහැ. කරුමය කියලා වහන්තරාවකින් වහගෙන ලස්සනට ජීවත් වෙනවා.
මේ අඩු වයස් විවාහ ගැන වැලිකන්දේ පිරිමි කියන්නේ මොකද්ද? මේ මට මුණගැහුණු කාලවර්ණ පිරිමියෙක් මේ ගැන කියූ කතාව.
“මේක වෙන්නේ මහත්තයෝ මේ පැතිවල තියෙන රස්නේ නිසායි. හැම වෙලාවෙම අපේ ගෑනුන්ගේ ලේ රත්වෙලා තියෙන්නේ. ඉතිං පොඞ්ඩක් ඇස් ඇරුණාම කෙල්ල කාලෙම මිනිහෙක් එක්ක යනවා. නැත්තං ගෙදරට ගෙන්න ගන්නවා. දෙමාපියන්ටත් මේක ලොකු දෙයක්. ඉතිං කරබා ගන්නවා.” ඇත්තටම වැලිඔය සමාජේ දුවන්නේ ගොවිතැනින් එන මුදලින්. හැබැයි වී ගොවිතැනට මේ බිම සුදුසුයිද කියන එක ප්‍රශ්නයක්. ඉතිං දුප්පත්කම අහසට ගිහිං. ඒ නිසාම හොඳ ජීවිතේකට ඕනෑ කිසිදෙයක් මේ පොළොවේ නැහැ. ඒ නිසාම අද බොහොමයක් ගැහැනු රට යනවා. ඒකත් එක අතකින් මේ ප්‍රශ්නය දරුණු කරන්න හේතුවක් වෙලා. අනික තාත්තලා රස්සා හොයාගෙන කොළඹ යෑමත් ප්‍රශ්නයක්. ඉතිං මේ ගැටලුවට විසඳුමක් හොයන්නේ කොහොමද? ඒකත් ගැටලුවක්. දුප්පත්කම නැති කිරීම සඳහා හොඳ බුද්ධිමත් පියවර ගැනීම තමයි මේකට විසඳුම. හැබැයි මේ වාගේ රටක එහෙම විසඳුමක් ලැබෙයිද? මේ ප්‍රශ්න සේරමත් අරං මම මනම්පිටියෙන් ආයෙත් කොළඹ ආවා. මේක වැලිකන්දට විතරක් පොදු නැහැ. මේක ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට පොදුයි. ඒක තමයි ඇත්ත.■