රාවය

ජෝන් ද සිල්වා රඟහලට මොකද වෙන්නේ?

ජෝන් ද සිල්වා රඟහලට මොකද වෙන්නේ?

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කොළඹ කලාභවන අසල 1974 දී ඉදිකෙරුණු රංග ශාලාව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජෝන් ද සිල්වා සමරු රඟහල ලෙස නම් කරනුයේ විශිෂ්ට නාට්‍ය රචකයෙකු වූ ජෝන් ද සිල්වා මහතාට ගෞරවයක් ලෙසය. පසුගිය ආණ්ඩුව එම රඟහල කඩා ඉවත් කර 2014 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නේ රුපියල් මිලියන හාරසිය පනහක වියදමින් දෙවසරක් තුළ අතිනවීන පහසුකම් සහිත අංගසම්පූර්ණ ප්‍රාසංගික රඟහලක් ලෙස වැඩ නිමකිරීමේ සැලසුමෙනි. මේ එහි වත්මන් ඉදිකිරීම් සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව රාවය කළ අදහස් විමසුමකි.

ප්‍රමිතිගත රංග ශාලාවක්  | අනුෂා ගෝකුල ප්‍රනාන්දු
සංස්කෘතික අධ්‍යක්ෂ
රඟහලේ ඉදිකිරීම්වල පළමු අදියර සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්වෙලා තිබෙන්නේ. දෙසැම්බර් තිස් එක් වෙනිදා වන විට එම අදියරේ වැඩ අවසාන කිරීමට තමයි සැලසුම් වී තිබෙන්නේ. මේ වන විට මිලියන හාරසිය හතළිස් හතරක පමණ වියදමක් කර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලය මගින් තමයි තාක්ෂණික උපදේශකත්වය සැපයීම සිදුවන්නේ. කලාකරුවන්ට අඩු වියදමකින් තමන්ගේ නිර්මාණ එළිදැක්විය හැකි අන්දමේ ප්‍රමිතිගත රංග ශාලාවක් ලෙස මෙය ඉදිවෙනවා. මේ වනවිට දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා සැලැස්ම ලබා දී තිබෙනවා. ඒ අනුව අපි අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළාම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ආ පසු එයට ප්‍රතිපාදන වෙන් කරගෙන ප්‍රසම්පාදන කටයුතු කර ඉදිකිරීම් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන බොහෝ දේ විදේශවලින් ආනයනය කිරීමට සිදුවෙනවා. ඒ සියල්ල මත තමයි මෙම ඉදිකීරීම් අවසන් වන කාලය තීරණය වෙන්නේ.

අඩු වියදමකට දිය හැකියි| සිතුමිණ රත්නමලල
මොරටුව විශ්වවිද්‍යාලය
ඉදිකිරීම් කටයුතු අදියර දෙකකට තමයි සිදුවන්නේ. පළමු අදියර තමයි එහි ගොඩනැගිල්ල ඉදිකිරීම. අලෝකය, ශබ්ද වැනි විශේෂ පහසුකම් තමයි දෙවන අදියරට අයත් දේ. දැනට පළමු අදියරේ කටයුතු අවසන්වෙමිනුයි පවතින්නේ. දෙවන අදියර සඳහා තවම රජයෙන් ප්‍රතිපාදන ලබා දී නැහැ. ඒ නිසා මෙහි ඉදිකිරීම් කටයුතු අවසන්වෙලා කවදා භාවිතයට ගැනීමට හැකිවේ ද කියලා කියන්න අපහසුයි. මීට පෙර ආණ්ඩුව විසින් ඉදිකිරීම් කටයුතු අදියර දෙකකට වෙන්කර පළමු අදියර සඳහා ප්‍රතිපාදන ලබාදී තිබුණා. නමුත් දෙවන අදියර සඳහා ප්‍රතිපාදන ලබාදීම සිදුවුණේ නැහැ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන හයහමාරක් පමණ අවශ්‍ය වෙනවා. මෙය නාට්‍ය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව ලංකාවේ ඉදිවන පළමු රංග ශාලාවයි. වැසි ජල කළමනාකරණය සහ සෝලා ඉමේජස් යොදා ගැනීම මගින් මෙහි නඩත්තු වියදම් හැකි තරම් අවම කර කලාකරුවන්ට අඩු වියදමකින් ලබාදිය හැකි අයුරින් ඉදිකිරීමට කටයුතු කරමින් තිබෙනවා. එය හරිත ගොඩනැගිල්ලක් ලෙසයි ඉදිවන්නේ. එහි කලින් තිබුණේ ජෝන් ද සිල්වා රංග ශාලාව පමණයි. දැන් ජෝන් ද සිල්වා රංග ශාලාව, පරීක්ෂණ රංග ශාලාවක්, ප්‍රධාන රංග ශාලාවේ ප්‍රමාණයේම පෙර පුහුණු ශාලාවක්, කලාකරුවන් සඳහා එකතු වී කතාබහ කළ හැකි සමාජ ශාලාවක් තිබෙනවා. මුල් සැලැස්මේ තිබුණේ නෙළුම් පොකුණත්, කෞතුකාගාරයත් අතර තාප්ප ඉවත්කර සම්පූර්ණ සංස්කෘතික කලාපයක් බවට එය පත් කිරීමයි. ඒ සියල්ල සඳහා අවශ්‍ය ආපන ශාලවකුත් ජෝන් ද සිල්වා එක යට ඉදිවෙනවා. පෙර සැලැස්මට අනුව නම් කලාභවනේ දෙපැත්තේ තිබෙන ශාලා දෙක ඉවත් කර කලාභවන තට්ටු පහකට සකස් කළයුතු වෙනවා. ඒ නමුත් කලාභවන වෙනස් කිරීම සඳහා ගැටලු මතු වී තිබෙනවා. සමහරවිට ජනවාරි වන විට ගොඩනැගිල්ල පමණක් සාදා කලාකරුවන්ට ලබාදෙන්න හැකි වේවි.

වාස්තු නාශකයන් කරන වැඩක්| චන්ද්‍රගුප්ත තේනුවර
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති
ජෝන් ද සිල්වා කියන්නේ ලංකාවේ තිබුණු රඟහල් අතරින් සාමාන්‍ය ජනතාවට එක් රැස්විය හැකි මෙන්ම ඔවුන්ගේ නාට්‍ය සඳහා භාවිත කළ හැකිව තිබූ පොදු ජන අවකාශ අතරින් එක් ස්ථානයක්. එය තමයි නාට්‍යකරුවන්ට ඔවුන්ගේ නාට්‍ය පුහුණුවීම් සඳහාත් ඉතා පහසු ලාභ මුදලකට ගැනීමට හැකි වූ ස්ථානය. එය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. නාට්‍ය, උත්සව, තරගමාලා ආදිය එහි දිගින් දිගටම පැවතුණා. එය ක්‍රමානුකූලව වර්ධනය වුණා. මුලින්ම වේදිකාවක් පමණයි තිබුණේ. පසුව ක්‍රමක්‍රමයෙන් එහි ශාලාවට වහලක් ලැබිලා ඉදිරියේ ආසන හැදුණා. එලෙස අධික වියදමින් සෑදුණු ස්ථානයකට වඩා පුළුවන් ආකාරයට සංස්කෘතික දෙපාර්තමේන්තුවත් සංස්කෘතික අමාත්‍යාංශයත් මැදිහත්ව ඒ කටයුතු සිදුවුණා. කලාභවන සතුව මූර්ති ප්‍රදර්ශනය සඳහා තිබුණු ඉඩම තමයි එතැනින් නැති වුණේ. ඒත් නාට්‍යකරුවන්ගේ සහ දෘශ්‍ය කලාකරුවන් අතර සුහද ගනුදෙනුවක් පැවතුණ නිසා ඒ නැතිවීම කිසියම් ආකාරයකට තුලනය වුණා. පැරණි ගොඩනැගිල්ල සහ ජාතික කලා භවන තිබුණේ එම ගොඩනැගිලි දෙක තම තමන්ට ගෞරව කරගන්නා ඉඩකින්. මට දැනගන්නට ලැබුණු විදියට පරණ කවුරුන් හෝ සිටි ලොක්කන් කියා තිබෙන්නේ නෙළුම් පොකුණට ගැළපෙන ආකාරයට අලුත් ආකාරයේ ගොඩනැගිල්ලක් හදන්න කියායි. ඒ ලොක්කන් විනාශ කිරීම විනා වෙනත් දෙයක් දන්නවා කියලා හිතන්න බෑ. ඉතින් ඒ විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගන්න වාස්තු විද්‍යාඥයන් වෙනුවට වාස්තු නාශකයන් තමයි හමුවෙලා තිබෙන්නේ. එහි විශේෂම කරුණ තමයි මුදල් වියදම් කර තිබෙන ආකාරය. ඒ තිබුණු දුප්පත් හෝ අහිංසක ජෝන් ද සිල්වා රඟහල ගලවා ඉවත් කිරීමට මිලියන 3.8ක් වියදම් කර තිබෙනවා. එහෙම මුදලක් වියදම් කර තමයි දැන් සුදු අලියෙක් හදන්න යන්නේ. ඔවුන් ඉතිහාසයට, ඉතිහාසයේ තිබෙන වෙනස්වීම්වලට, එම වෙනස්වීම් එකඟතාවන්වලට ගෞරව කරලා නැහැ. සමහර ගොඩනැගිලි තිබෙනවා පසුකාලීනව වෙනස්කම් කරමින් දිගටම පවත්වාගෙන ආ දේවල්. ඒ නමුත් මේ අය අතීතය ශුද්ධ කරන්න කියලා අන්තිමට ජාතික කලාභවනේ මැද කොටස විතරක් ලෙනින්ගේ මිනී පෙට්ටිය තියනවා වගේ හැඩයකින් ඉතිරි කරලා අනික් ඒවා විනාශ කරලා මහා විකාර සැලැස්මක් තමයි සකස්කර තිබුණේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක නොවෙනවා නම් ඒක වාසනාව කියලා මම හිතනවා. අනුමත කර තිබූ පළමුවැනිම සැලැස්ම මම වරක් දුටුවා. ඒ ගොඩනැගිලි සැලැස්ම නෙමෙයි පස්සේ බැලුවාම හදලා තියෙන්නේ, ජාතික කලාභවනට හානිකරන ගොඩනැගිල්ලක්. ලෝකයේ ඉතිහාස දෙකක් අතර සිට අප තුන්වන ඉතිහාසයට ආවා නම් අර පළමු සහ දෙවන ඉතිහාස පිළිගන්න සිද්ධ වෙනවා. ඒ අනුව එයට ගරුකරලා වඩා යහපත් ලෙස එය ඉදිරියට ගෙනයෑම වැනි කරුණුයි බැලිය යුතු වන්නේ. අනික් දේ කොළඹ වැනි තැනක ගොඩනැගිල්ලක් සාදනවා නම් පොළොව යට හෝ පොළොව මත ඉඩක් හොයාගෙනයි අලුත් ගොඩනැගිලි ඉදිකරන්න වෙන්නේ. කොපමණ වාහන ප්‍රමාණයක් මේ නාට්‍ය, උත්සව බලන්න ඒවිද කියලා මේ අය හිතලාම නැහැ. වේදිකා ආරුක්කුව පිහිටා තිබෙන ආකාරයට සමහර ආසනවලට පෙනෙන්නේ නැහැ. මම හිතන්නේ ලෝකයේ තිබෙන නරකම රඟහලකට හොඳම උදාහරණය තමයි ඒක. මේක රත්තරනින් හදනවා වගේ තවත් මුදල් ඉල්ලා සිටිමින් ඉන්නවා. ඒවා යළි සලකා බැලිය යුතු මට්ටමකයි තිබෙන්නේ. ඔවැනි විනාශකාරී ගොඩනැගිලි තියාගන්නවාද නැද්ද කියන කාරණය සලකා බැලිය යුතුයි. ඒ නමුත් ජෝන් ද සිල්වා රඟහල නිසා කලාභවන විනාශ කිරීමට අත ගැසුවහොත් සංස්කෘතික දෙපාර්තමේන්තුවට ඒ ශාපයෙන් ගැලවෙන්න කවදාවත් බැරිවෙයි. ඒවා සෑදීමේදී කලා මණ්ඩලයේ උපදෙස් ලබාගන්න ඕනෑ වුණාට ඔවුන් කලා මණ්ඩලයේ උපදෙස් නොගෙන හිතුවක්කාර ලෙස කටයුතු කරගෙන යනවා. මෙවැනි ජාතික වැඩක් ආරම්භ කරන විට එහි සැලැස්ම හැමෝටම දකින්න ලැබිලා ඒ පිළිබඳව හැමෝටම කිසියම් අදහසක් ප්‍රකාශ කළ හැකි සහ ඒ එකඟතාවෙන් තමයි බොහෝ රටවල වැඩ කරන්නේ. ඒ නමුත් මේවා පුද්ගලික දේපොළ වගේ ඔවුන් වැඩ කරගෙන ගොස් තිබෙනවා. ආණ්ඩුවෙන් මුදල් ඕනෑම තැනකට දෙන්න බැරි නිසා ඔවුන් මොරටුව විශ්වවිද්‍යාලයත් මෙයට සම්බන්ධ කරගෙන තිබෙන බව පෙනෙනවා.

විශාල වැඩක් බවට පත්කරගෙන | නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල
ආණ්ඩුව මාරු වුණාට පසුව ජෝන් ද සිල්වා රඟහලේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කළා. එම කමිටුවේ මමත් සිටියා. එම ඉදිකිරීම්වල අඩුපාඩු ගණනාවක් තිබුණා. පළමු කාරණය තමයි වේදිකාව තිබෙන තට්ටුවේ නෙමෙයි අංග රචනය කරන සහ ඇඳුම් මාරුකරන කාමර තිබුණේ. ඒ නිසා නළු නිළියන්ට නාට්‍ය ප්‍රවිෂ්ටයන් සඳහා වෙනත් තට්ටුවකට යා යුතු වෙනවා. ඒවා එකම තට්ටුවට ගැනීමට අපි උපදෙස් දුන්නා. එතකොට ඒ සැලසුම් සකස් කරන අය එය කිරීමට තීරණය කළා. ඊළඟට ආසන තිබෙන කොටසේ ආසන අසූවකට පමණ සම්පූර්ණ වේදිකාව පෙනෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න උපදෙස් දුන්නා. අපි දකින අවස්ථාවේ එය වෙනස් කිරීමට නොහැකි තත්ත්වයේ තිබුණේ. ඒ දෝෂය එලෙසම තිබෙනවා. ඉදිරියේ හතරවන පේළිය දක්වා වේදිකාව සම්පූර්ණයෙන් පෙනෙන්නේ නැහැ. ඒ කොටස ඒ අය උස් කරනවා කීවා, මොනවා කළාද දන්නේ නෑ. තවත් එවැනි ගැටලු කීපයක්ම තිබුණා. එයත් නෙළුම් පොකුණ වාගේ විශාල වැඩක් බවට පත්කරගෙන. ඒ නමුත් එච්චර නාට්‍ය කලාව දියුණු තත්ත්වයක නැහැනේ. මේක විශාල වැඩක් කරගෙන ප්‍රයෝජනයක් නැති තත්ත්වයට පත්වෙනවා. ඊළඟට නාට්‍යකරුවන්ට එයට කිට්ටු වෙන්නත් බැහැ. ඒ මුදල දරන්න බැහැ. එවැනි තත්ත්වයක තවත් රඟහලක් බවට පත්වෙන බවයි පෙනුණේ. ඊට පස්සේ අපට කිසිම දේකට කතා කළේ නැහැ.■