Untitled-1

Untitled-1

සාරයේ පැවැත්ම |ජස්ටින් පියරත්නට පිළිතුරු


eric

එරික් ඉලයප්ආරච්චි

ප්ලේටෝගේ මධු සාදය (Symposium) එක් අතකින් ආදරයේ සම්භවය හා ස්වභාවය පිළිබඳ සංවාදයක් වන අතරේ අනෙක් අතින් එවැනි පරමාදර්ශී කාරණා පිළිබඳ මධුපැන් පානය කරමින් හා ග්‍රීක සමරිසි ඇලුම්කම් පාමින් රෑ පුරා නිදිවර්ජිතව සංවාද කරන්නවුන්ගේ ජීවිතය හා පැවැත්ම පිළිබඳ සංවාද කාව්‍යයක් වේ. එහෙයින් මහාචාර්ය ලියනගේ අමරකීර්ති හා මා අතරේ ඇතිවූ සංවාදයේදී කඳු ගැසුණේ ජස්ටින් පියරත්න මහතා පවසන ආකාරයේ අපවාද, ඇනුම්පද, ආත්මීය කාකොටා ගැනීම් හා ප්‍රස්තුතයට අදාළ නැති කාරණ නම්, සාරය නමැති ප්‍රතිමාව කරා යෑමට සිදු වූයේ මඩගොහොරු මතින් නම් එය සිම්පෝසියානු අර්ථයකින් තේරුම් ගැනීමට සිදුවන කාරණයකි. ඒ කෙසේ වෙතත් සංවාදයේ නිමිති හා මූලහේතු හුදෙක් සාහිත්‍ය මාසයේ කාලගුණය තුළ දකිමින් සිංහල සාහිත්‍ය නදියේ දියබුං ගැසීම් හා පාරු පෙරළුම් ලෙස ඒවා අර්ථකථනය කරමින් සමකාලීන සාහිත කලාවේ නාට්‍ය කලාවේ, සිනමා කලාවේ හා විචාර කලාවේ ඉතාමත් බරපතළ ගැටලු මඟහැර යෑමට උත්සුක නොවීම ගැන ජස්ටින් පියරත්න මහතාට ගෞරවය හිමි වේ. විශේෂයෙන් ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය සම්බන්ධයෙන් කෙරුණු විචාරය පවා ස්වර්ණ පුස්තක අශ්වයාගේ වල්ගයේ ගැටගැසීමේ සයිකෝසියාව ජස්ටින් පියරත්න මහතාට වැළැඳී ඇති බව නොපෙනේ.
එනමුත් එකී සයිකෝසීය සාහිත්‍ය විචාර ප්‍රතිචාර සම්බන්ධයෙන් පැවසිය යුත්තක් තිබේ. එනම් සමකාලීන සිංහල සාහිත්‍ය සංස්කෘතිය තුළ සම්මාන ලැබීම හෝ නොලැබීම අධිතක්සේරු කිරීමක්, දෘෂ්ටිවාදයක් ලෙස සම්මාන කලාවට අනුගත වෙමින් ඒ කාලය තුළ සදාචාරාත්මක වත්පිළිවෙත් පුරමින්, විචාරය නින්දට යැවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයේ ප්‍රචලිත අපචාරයකි. පසුගිය දශක කිහිපය තුළ ව්‍යුහවාදය හා පශ්චාත් – ව්‍යුහවාදය ඇතුළු සාහිත්‍ය න්‍යායවේදය ඔස්සේ සාහිත්‍ය කලා විචාරය විසින් ලබාගෙන ඇති අභිවර්ධනය ඉදිරියේ සාහිත්‍ය විචාරය එවැනි බලහත්කාර සහ බොරු නින්දකට යැවිය හැකි බව සිතීමද මිථ්‍යාවකි. අප පසුකර ඇත්තේ නිර්මාණ කලාවටත් වඩා සාහිත්‍ය න්‍යායවේදය දියුණුවූ දශක කිහිපයකි. එබැවින් මෙවර බොබ් ඩිලන්ට යොමු කළ නොබෙල් ත්‍යාගය ඊළඟ වසරේ හොඳම සාහිත්‍ය විචාරයා වෙත ප්‍රදානය කළහොත් එය විමතියට කාරණයක් විය නොහැක.
ජස්ටින් පියරත්න මහතා ලියනගේ අමරකීර්තිගේ සාහිත්‍යයේ සහ විචාරයේ ගැටලුවත්, රාජිත දිසානායකගේ වේදිකා නාට්‍යයේ ගැටලුවත්, අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ විත්‍රපටයේ ගැටලුවත් දකින්නේ ධනේශ්වර පරිහානියේ ගැටලුවක් ලෙසටය. එය හුදෙක් ලෝක පරිමාණව තේරුම් ගැනීමට අසමත්ව දේශීය පරිහානියකට හා අමරකීර්ති-රාජිත ගැටලුවට ලඝුකිරීම සම්බන්ධයෙන් ඔහු මා විවේචනයට ලක්කරයි. ඊට පැහැදිලි පිළිතුර වශයෙන් සඳහන් කළ යුත්තේ අප කතාකරන්නේ කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් බවයි. කවර ආකාරයක විවේචන මධ්‍යයේ වුවත් ඔවුහු කලාකරුවෝම වෙති. විචාර කලාවේ අරමුණ ඇතැම් විට ඔවුන්ටම වටහාගත නොහැකි ගැටලු විභාග කරමින් විශේෂයෙන් කලාත්මක ගැටලු විභාග කරමින් ඔවුන් වඩාත් සාර්ථක නිර්මාණ වෙත යොමුකිරීමයි. ලෝක පරිමාණ ධනේශ්වර අර්බුදය මැද වුවද කලාකරුවන් ලෙස සිටින්නේ ඔවුන්ම බැවින් මැතිවරණයකදී මෙන් ඔවුන් ඉවත්කර වෙනත් පිරිසක් කලාව සඳහා බඳවාගත නොහැකිය.
පුද්ගල කලාකරුවා සහ ඔහුගේ නිර්මාණය නම්වූ සුවිශේෂය පවතින්නේ සමස්තයේ කොටසක් ලෙස බැවින් කලාත්මක සුවිශේෂය ගැන කතාකිරීමෙන් වැළකී සිටිනු බැරිය. සිදුවිය යුත්තේද, කළ යුත්තේද සමස්තයේ පොදු දේ කරා සුවිශේෂය රැගෙනයෑම විනා සුවිශේෂය නොතකා හැරීම හෝ අමතක කර දැමීම හෝ එය සමස්තයට එරෙහිව පිහිටුවීම හෝ සමස්තය වෙනුවෙන් එය නිශේධනය කරදැමීම හෝ නොවේ.
එසේ කිරීමෙන් සිදුවන්නේ පුද්ගල කලාකරුවා සහ නිර්මාණයේ ගැටලුව ඔහුගේම ඒවා බවට ලඝුවීමයි. පියරත්න කල්පනා කරන්නේ මෙරට සාහිත්‍ය හා නාට්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවත්, එහි උද්ගතව ඇති කලාත්මක පරිහානියත් ලියනගේ අමරකීර්ති හා රාජිත දිසානායක යන දෙදෙනාගේ පරිහානියක් වශයෙන් මා සලකන බවයි. මේ දෙදෙනාගේ කලාවන් පිළිබඳ විචාරය සමකාලීන කලාත්මක සමස්තය පිළිබඳ විචාරයක් වන අතර ඔවුන් සමස්තයෙහි කලාත්මක නියෝජිතයන් බැව් නොපිළිගැනීම සැබැවින්ම ජස්ටින් පියරත්න මහතාගේ පටු දැක්මකි. පියරත්නගේ විවේචනය යොමුවන්නේ සමස්තයෙන් ඔවුන් දෙදෙනා හුදකලා කිරීම වෙතටය. කලාත්මක පුද්ගලභාවය සමස්තය වෙත රැගෙන යාමේ විදග්ධ පිළිවෙතක් අනුගමනය නොකරන පියරත්න ඔවුන් සමස්තය තුළ නැති බව උපකල්පනය කරයි. එම උපකල්පනය අවරසික ධනේශ්වර දෘෂ්ටිවාදයක් වන්නේ නිර්මාණකරණය සඳහා ඔවුන් සතු නිදහස පැහැර ගැනීමත්, නිර්මාණ වර්ධනය සඳහා පැවතිය හැකි වූ විභවතාවත් ඉන් ඇති බැවිනි.
ලියනගේ අමරකීර්ති මහතා මෙන්ම ජස්ටින් පියරත්න මහතාද තවත් බොහෝ දෙනෙකු මෙන් මා ව්‍යුහවාදියකු ලෙස නම් කිරීමට ඉක්මන් වෙයි. මේ සඳහා ඔවුන් උපුටාගන්නේ ‘අශෝක හඳගමට විවෘත ලිපියක්, කලාකරුවා සහ විචාරකයා ව්‍යසනයක් නොවීමට නම්’ පොතේ දහතුන හා දහහතර පිටුවල ඇති පහත සඳහන් වැකියයි.
‘පසු ධනවාදයේ සංස්කෘතික තර්කණය ඉදිරියේ කලා විචාර න්‍යාය තුළ කලාව විනාශයෙන් ගලවා ගෙන, ජීවන ප්‍රාණය අල්ලාගෙන සිටින්නට ව්‍යුහවාදය විසින් දරන ලද අවසාන උත්සාහයද පශ්චාත් – ව්‍යුහවාදය මඟින් සපුරා විනාශ කරදැමීමෙන් පසු කලා න්‍යායේද කලා නිර්මණායේද කලා උපදේශනයේ ද තත්ත්වය ඉතාමත් නරක අතට හැරිණි.”
ඉතාමත් හාස්‍යජනක කාරණය වන්නේ එම ඡේදයෙහිම ඇතුළත් පහත සඳහන් ඊළඟ දීර්ඝ වාක්‍යය සපුරා අමතක කර දැමීමයි.
“ඉමහත් විචාර ශක්‍යතාවක් සහ වියමන් කියවීමේ හැකියාවක් සහිත විසංයෝජනය කලාත්මක අවකාශය විනාශකර දැමීම සඳහාත් කලාත්මක අන්තර්ගතය හුදු න්‍යායික තර්ක මාලාවක් සහ ව්‍යාජ මකියාවෙල්ලියානු තර්ක මාලාවක් බවට පොලාපැන්වීම සඳහාත් නිර්මාණයට සමගාමීව කලාකරුවා අවසරය හා අනුමැතිය ලබාගත යුතු අධිකාරිත්වයක් ගොඩනැගීම සඳහාත් අධි-අර්ථකථනයට ඉඩ දෙන බොළඳ අස්වාභාවික අවස්ථා සහ ගැටුම් කලාකෘති තුළට බලහත්කාරයෙන් රිංගවීම සඳහාත් අද භාවිත වේ.”
ඉමහත් විචාර ශක්‍යතාවක් හා වියමන් කියවීමේ හැකියාවක් විසංයෝජනය සතු බව පිළිගන්නා කෙනෙකු ව්‍යුහවාදියකු ලෙස නම් කිරීම අරුමයකි. කරුමයකි. මා අද මුහුණදී සිටින උභතෝකෝටිකය වන්නේ විචාර විධි ක්‍රමයක් ලෙස විසංයෝජනය හා මනෝවිශ්ලේෂණය සතු හැකියාව සහ හුදෙක් දාර්ශනික ආස්ථානයක් ලෙස සාහිත්‍ය විචාරය ඉක්මවා සාහිත්‍ය වියමන් කියවීම අතර මතුවන ව්‍යාකූලත්වයයි. එම ගැටලුව විභාග කිරීම නිසා කෙනෙකු ව්‍යුහවාදියකු වන්නේ නැත.
සාහිත්‍යය සහ දර්ශනවාදය අතර පවතින සංකීර්ණ සබඳතාව පිළිගැනීම වෙනුවට සාහිත්‍යය සහ දර්ශනවාදය එකිනෙක සමඟ අනන්‍ය කිරීම වැරදි සෞන්දර්ය භාවිතයකි. සාහිත්‍යයේ දර්ශනවාදය සෞන්දර්ය වේදය වන බැවින් දාර්ශනිකයා සාහිත්‍ය විචාරයේදී සෞන්දර්ය වේදියකු විය යුතුය. සාහිත්‍යය හෝ කලාව හෝ දාර්ශනික අදහසක් හා දාර්ශනික සන්තාවක් පළකිරීම සඳහා යොදාගත නොහැකි බව මින් අදහස් නොවේ. සාහිත්‍යය හා මනෝවිශ්ලේෂණය මෙන්ම වෙනත් කලාවන් හා මනෝ විශ්ලේෂණය සම්බන්ධ යෙන්ද මෙය අදාළ වේ.
සාහිත්‍ය කලාවේදී නොලැබෙන තරමේ පුළුල් දාර්ශනික අවකාශයක් ලැබෙන චිත්‍ර කලාවේදී හා මූර්ති කලාවේදී වුවත් කලාත්මක සත්‍යයේ දෘශ්‍ය රූපය ලෙස දෘශ්‍ය සත්‍යය විභාග කිරීම සෞන්දර්ය වේදයට පැවරුණු වගකීමකි. දර්ශනවාය පිළිබඳ මහාචාර්යවරයකු මෙන්ම ‘ද නේෂන්’ සඟරාවේ චිත්‍ර කලා විචාරකයාද වූ ආතර් ඩාන්ටෝ දාර්ශනවාදියකුගේ සිට සෞන්දර්යවේදී චින්තකයකු දක්වා තමා තුළ සිදු වූ පරිණාමය විස්තර කළේ මෙලෙසිනි.
“මට කලා විචාරය පුළුවන් වීමට බොහෝ කලකට පෙරදී මා මුලින් ලීවේ දාර්ශනිකයකු ලෙසය. කොලොම්බියා සරසවියේ වසර තිස් ගණනක් උගන්වා තිබුණු දර්ශනවාදයේ සිටය මා චිත්‍ර කලා විචාරයට පැමිණියේ. පොප් කලාව සම්බන්ධයෙන් මා තිගැස්සවනු ලැබුවේ ඇන්ඩි වෝල්ගේ බි්‍රල්ලෝ පෙට්ටිය විසින් මතුකර තිබුණු දාර්ශනික ප්‍රශ්නයකිනි. කාඞ්බෝඞ් සබන් පෙට්ටියක් ලෙස පෙනුණු එය හුදෙක් සබන් පෙට්ටියක් පමණක් නම් කලාකෘතියක් වන්නේ කෙසේද?”
ආතර් ඩාන්ටෝ පැවසුවේ චිත්‍රය නම් කලාකෘතිය සහ එහි පෙනෙන සැබෑ පාරිභෝගික භාණ්ඩය අතර වෙනස අවශේෂ නිරූපණාත්මක :ඍැචරුිැබඒඑසදබ්ක* වෙනස්කම් මගින් පැහැදිලි කළ නොහැකි බවයි. එවැනි නිර්මාණ බිහිකරන ලද කලාකරුවන් විසින්ම දාර්ශනික හේතු ගෙනහැර දක්වනු ලබන විටද කලා විචාරකයා සෞන්දර්ය වේදියකු විය යුතුය. අද පශ්චාත් ව්‍යුහවාදී විචාරකයන්ට පැවරී ඇත්තේ මේ වගකීමයි.
පශ්චාත් ව්‍යුහවාදය විචාර කලා ක්ෂේත්‍රයට ඇතුළුවීමේදී එහි දේශීය අනුවර්තනය රටින් රටට වෙනස් විය හැකිය. මේ සම්බන්ධයෙන් මෙරට තත්ත්වය හා ඇමරිකාවේ තත්ත්වය එකිනෙකට අසමාන නැති බව ආතර් ඩාන්ටෝගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලිව කියැවේ.
‘හැටේ දශකයේ දියුණු වූ දේශීය සෞන්දර්යවේදය ඩෙරීඩා, ෆුකෝ, ලකාන් සහ ප්‍රංශ ස්ත්‍රීවාදීන් සහිත විදේශ බුද්ධිමය ආනයනයන් මඟින් යට කරනු ලැබුවේය.’
එකී බුද්ධිමය ආනයනය මධ්‍යයේ වුවත් සෞන්දර්යවේදය තව තවත් මුවහත් හා යාවත්කාලීන විය යුතු විනා සාහිත්‍යයේ හා වෙනත් කලාවන්ගේ කලාත්මක සත්‍යය හා සෞන්දර්ය කෙලෙසීමක් සිදුවිය නොහැකිය. අමරකීර්තිගේ නවකතා වේවා, රාජිතගේ වේදිකා නාට්‍ය වේවා කලා කෘති ලෙස හඳුනාගත නොහැකි වෙනත් ඒවා විචාරයට හා අභිනන්දනයට ලක් කළ හැකිය. එනමුත් එය කලා විචාරයක් වන්නේ නැත. එය වෙනත් විචාරයකි. අද මෙරට පශ්චාත් ව්‍යුහවාදය මුහුණ දෙමින් සිටින්නේ මේ බරපතළ ගැටලුවටය. බි්‍රල්ලෝ පෙට්ටිය සම්බන්ධයෙන් ආතර් ඩාන්ටෝ මෙසේ කියයි.
“සුපර්මාකට් කාඞ්බෝඞ් පෙට්ටිය වාණිජ කලාව වන අතර එමඟින් සිදුකරන්නේ පෙට්ටිය ඇතුළේ තිබෙන සබන් පෑඞ් පිළිබඳව අදහස් පළකිරීමත් එය වගවර්ණනා කරමින් උත්සව පැවැත්වීමත්ය. ඇන්ඩි වොල්ගේ පෙට්ටිය ඒ කාඞ්බෝඞ් පෙට්ටියට සමානවුවත් එය බි්‍රල්ලෝ ගැන කියන්නක් නොවේ. සමහර විට එය කියන්නේ වාණිජ කලාව ගැන විය හැකිය. එසේ නැති නම් බි්‍රල්ලෝ කියන්නේ කුමක්දැයි අපට කියනු විය හැකිය. ඒ වස්තු දෙකම බාහිර වශයෙන් එක සමාන වෙනත් ඒවා විසින් ඉල්ලා සිටිනු ලබන්නේ දෙයාකාරෙක විචාරයන් ය.”
කලාව සහ දර්ශනවාදය එකිනෙක සමඟ අනන්‍ය කිරීම වූ කලි කලාව හා දේශපාලනය එකිනෙක සමඟ අනන්‍ය කිරීමට පසු මෙරට ඇති වුණු තවත් ව්‍යසනයකි. කලාත්මක සත්‍යය හා දර්ශනික සත්‍යය අතර වෙනස හෝ සමානකම හෝ සෞන්දර්යවේදය මඟින් නිර්ණය කරයි. ඉලියඞ් හා ඔඩෙසි යන මහා කාව්‍ය රචනා කළ හෝමර් කවියාගේ කලාත්මක සත්‍යයේ අධිකාරීත්වයට එරෙහිව ප්ලේටෝ දාර්ශනිකයා විසින් ගවේෂණය කරන ලද දාර්ශනික සත්‍යයේ සහ තාර්කිකවාදයේ අභියෝග යෙන් දර්ශනවාදය ඇරඹුණු බවත්, සත්‍යය හා තර්ක බුද්ධිය මත ස්ථාපිත කරන ලද සිය පරමාදර්ශී ජනරජයෙන් කවීන් පන්නා දැමු බවත් ජේඑම් බර්න්ස්ටයින් පෙන්වා දෙයි. ෆෙඩි්‍රක් නීචේද කලාව හා දාර්ශනික සත්‍යය අතර දුටුවේ බියකරු විසෘද්ධ්වනියකි. :ාසිජදරා්බජැ*
ඕනෑම වියමනක් මඟින් දර්ශනවාදයෙන් අතිරේක යක් (Supplement) ඉල්ලා සිටියි. මෙය ශ්‍රේෂ්ඨ ගණයේ කලාකෘතියකට පමණක් නොව අවර ගණයේ කලාකෘතියකටද පොදුවූ කාරණයකි. සෞන්දර්ය වේදය අමතක කරමින් සාහිත්‍ය වියමන් හෝ නාට්‍ය වියමන් හෝ චිත්‍රපට වියමන් හෝ විභාග කළ විට සිදුවන්නේ එමඟින් අවර ගණයේ කලාකෘතියකට වුවද දාර්ශනික අතිරේකයක් සම්පාදනය කිරීමයි.
පශ්චාත්-ව්‍යුහවාදය වැරදි භාවිතයෙහි යෙදෙන තවත් අවස්ථාවක් වන්නේ සාහිත්‍ය න්‍යායෙහි ලා සුභාවිත විවරණයන් සාහිත්‍යකරුවා සහ සමාජ යථාර්ථය අතර සබඳතාව විභාග කරගැනීම සඳහා භාවිත කිරීමයි. නිදසුනක් වශයෙන් රූසෝගේ ‘පාපෝච්චාරණය’ කෘතිය පිළිබඳ විචරණයේදී ඩෙරීඩා පෙන්වාදෙන්නේ විය මනකට පිටතක් නොමැති බවයි. (There is no outside of text) වියමනින් පිටත සොයන ඔබට හමුවන්නේ තවත් සංඥා වියමන් සහ අතිරේකයන් පමණි. කුඩා කල මමන් :ඵ්ප්බ* නම් වූ කාන්තාව කෙරෙහි දක්වන ලද ආදරය පිළිබඳව රූසෝ කරන පාපෝච්චාරණය ඩෙරීඩාගේ විවරණයට පාත්‍රවන අතර මමන් නම් වූ කාන්තාවක නොසිටි බව එයින් අදහස් නොකෙරේ. ජොනතන් කලර් එම වෙනස මෙසේ පැහැදිලි කරයි.
“මමන්ගේ සිටීම හෝ නොසිටීම අතර වෙනසක් නැතිබවක් හෝ සැබෑ සිද්ධිය හා ප්‍රබන්ධිතය අතර වෙනසක් නැතිබවක් හෝ ඉන් අදහස් නොකෙරේ. ඇගේ සිටීමද විශේෂ ආකාරයක නොසිටීමක් බවත්, මැදිහත්වීම් සහ අතිරේකයන් වුවමනා බවත් ඉන් අදහස් කෙරේ.”
‘අශෝක හඳගමට විවෘත ලිපියක්’ කෘතියේ ඇතුළත් විවාදාත්මක වැකි දෙකෙහි අඩංගු ප්‍රතිවිරෝධයක් වේ නම් එය පශ්චාත් – ව්‍යුහවාදය කලා විචාරය සඳහා භාවිත කිරීමේදී මතුවී තිබෙන ගැටලුව ප්‍රතිරූපණය කිරීමකි. ඒ වැකි දෙක අතර හිඩැස හා පළමු වැකියේ අර්ථය දෙවැන්න වෙත කල් තැබීම යන කාරණා හුදෙක්ම මුල් වැකිය මත පදනම් වී මා ව්‍යුහවාදියකු ලෙස නම්කරන්නෝ තේරුම් නොගනිති.
මෙය ජස්ටින් පියරත්නගේ ගැටලුව නොවුවත් සමකාලීන සාහිත්‍ය න්‍යාය තුළ පශ්චාත්-ව්‍යුහවාදය විසින් ඉටුකරනු ලබන කර්තව්‍යය එතුමාගේ අධ්‍යයනයට ලක්විය යුතු අතර එය ඉහත පැහැදිලි කරන ලද විචාරයටද භාජනය විය යුතුය. එකී විවේචනයට යටත්ව සාහිත්‍ය විචාරයෙහි ලා පශ්චාත් – ව්‍යුහවාදයේ කාර්යභාර්ය විමසන විට පෙනීයන්නේ එය සමකාලීන සාහිත්‍ය විචාර භූමිදර්ශනයේ අවියෝජනීය අංගයක් වී ඇති බවයි.
නිදසුනක් වශයෙන් සාහිත්‍ය විචාරයේ නව-මාක්ස්වාදී විචාරය, ස්ත්‍රීවාදී විචාරය හා පශ්චාත්-ව්‍යුහවාදය ප්‍රතික්‍ෂේප කරමින් සාහිත්‍යයේ ධීශක්තිය, නිර්මාණාත්මක අපූර්වත්වය මිනිසා පිළිබඳ ගැඹුරු චිත්‍රණය සහ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථරාජයන්ගේ පැවැත්ම පිළිබඳ අදහස් තවමත් අගය කරන හැරල්ඞ් බ්ලුම් පවා ජේම්ස් ජොයිස්ගේ යුලිසිස් නවකතාව පිළිබඳව අර්ථකථන සංග්‍රහයේදී මනෝවිශ්ලේෂණය ඇතුළු පශ්චාත් – ව්‍යුහවාදී අර්ථකථන කිහිපයක් සිය විචාර සංග්‍රහයට ඇතුළත් කරයි. ඔහු ඊට ඇතුළත් කරන හැඳින්වීම ඇරඹෙන්නේ පශ්චාත්-ව්‍යුහවාදය පිළිබඳ විවේචනයකිනි.
“පශ්චාත් – ව්‍යුහවාදී ජොයිස් යනුවෙන් තමාම කියා ගන්නා අද දවසේ විචාර විලාසිතාව විකාර විධියට යූලිසිස් නවකතාවේ ප්‍රධාන චරිතය පුද්ගලභාවයක් නැත්තකු, තවත් පාවෙන හඟවනයක් කරමින් බාත, ලකාන් සහ ඩෙරීඩා විචාරයට අවශෝෂණය කරගනියි.”
එනමුත් සුපුරුදු පරිදි ඩාන්ටේ චෝසර්, ශේක්ස්පියර්, සර්වාන්ටේ, ෆ්ලෝබෙයා ආදින් ඔස්සේ ඔහු පශ්චාත් ව්‍යුහවාදී ජොයිස් කරා ළඟාවෙයි. ඒ වේදනාකාරී ආත්මීය විපර්යාසය ගැන ඔහු මෙසේ පාපෝච්චාරණය කරයි.
“පශ්චාත්-ව්‍යුවාදීන් අතුරෙන් වඩාත්ම කැපීපෙනෙන්නා වූ මගේ ආදරණීය මිත්‍රයකු සමඟ ජර්මන් උද්‍යාන මැදින් මා පැමිණි ගමනේ තැතිගැන්මෙන් නිදහස් වීමට මට කිසිදා නොහැකි වනු ඇත. යුලිසිස් නවකතාවේ ප්‍රධාන චරිතය බටහිර ප්‍රබන්ධ කලාවේ ඉතාමත් ආදරණීය පුද්ගලයා නොවේදැයි අසමින් මම ඔහු ඇවිස්සුවේ එම චරිතය පුද්ගලයකු නොව මා වැනිම භාෂාවක් පමණයයි කියන්නටය.”
ප්‍රංශයේ පශ්චාත්-ව්‍යුහවාදී ප්‍රාදුර්භාවය පිළිබඳව ඔහු මෙසේ කියයි.
“ප්‍රංශ පශ්චාත්-ව්‍යුහවාදය වූකලි සැබැවින්ම ප්‍රමාදවී පැමිණි නූතනවාදය විනා අන් යමක් නොවන්නේ විදේශිකයන් නුරුස්සන පැරීසිය සෑම දේම උරාගන්නේ ඉතාමත් සෙමින් වන බැවිනි. ප්‍රංශ රොමෑන්ටික්වාදය බොහෝ දුරට ප්‍රමාදිත ප්‍රපංචයක් වූ අයුරින්ම ප්‍රංශ-හේගල්, ප්‍රංශ-ෆ්‍රොයිඞ්, ප්‍රංශ-ජොයිස් යන සියල්ල පශ්චාත්-සංසිද්ධීහු වෙති.”
එබැවින් ජස්ටින් පියරත්නගේ අවිචාරාත්මක පශ්චාත්-ව්‍යුහවාදී භීතිය සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් නව වර්ධනයන් පිළිබඳව විචාරාත්මක ආස්ථානයක් නොගැනීමේ ප්‍රතිවිපාකයකි. එයින් ආරක්ෂා විමේ පළිහක් ලෙස මාක්ස්වාදය භාවිත කිරීමට වඩා ප්‍රඥාගෝචර වන්නේ විවේචනාත්මක ලෙස යාවත්කාලීන වීමයි.■