රාජපක්ෂ සමාගමක් ටෙලිකොම් මිලදී ගෙන අලාභය මිලියන 1,000යි

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට අයත් සමාගමක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් රුපියල් මිලියන 588ක මුදලක් වැයකරමින් එම සමාගමේ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 600ක නාස්තිකාර වියදමක් දරා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද විගණන පරීක්ෂණයකදී හෙළිවී ඇත.

රාජපක්ෂවරුන්ගේ මෙම සමාගම ස්කයි නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම යනුවෙන් 2006 වර්ෂයේ මැයි 08 දින අංක එන් (පීවීඑස්) 46/22 යටතේ ලියාපදිංචි කර ඇති අතර 46122 යටතේ ලියාපදිංචි කර ඇති අතර එහි අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ සහෝදරියගේ පුත‍්‍රයා වන හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි, හෙට්ටි ආරච්චිගේ සිරිසේන හා කෝනාර මුදියන්සේලාගේ සේනාරත්න බණ්ඩාර යන අයය.

ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි හඬ හා දත්ත සේවාව wimax  තාක්ෂණය ඔස්සේ පුළුල් කිරීම, එම තාක්ෂණය භාවිතයට අදාළ සංඛ්‍යාත පථ ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙත නොවීම යන කරුණු හේතු දක්වමින් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රාජපක්ෂ වරුන්ගේ එම සමාගම මිලදී ගෙන ඇත.

එහෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන වාර්තාව එම හේතු නිෂ්ප‍්‍රභ කරමින් සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ 100%ක අයිතිය සතු මොබිටෙල් පුද්ගලික සමාගම සතුව අසප්ං තාක්ෂණය හා අවශ්‍ය සංස්ථාපන පථද, එමෙන්ම මොබිටෙල් හා ටෙලිකොම් සමාගම්වල ඒ සඳහා පුහුණු තාක්ෂණ කාර්ය මණ්ඩලයක්ද සිටි බවත්, ස්කයි නෙට්වර්ක්ස් ආයතනය විසින් නීත්‍යනුකූලව ලබාගැනීමක් සිදුනොකරන ලද සංඛ්‍යාත පථ භාවිත කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 108 ගැනුම් ප‍්‍රතිෂ්ඨාවක් (පොරොන්දුවක්) ගෙවා තිබූ බවයි.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ස්කයි නෙට්වර්ක්ස් ආයතනය 2008 මැයි 16 දින මිලදී ගෙන ඇති අතර එම මිලදී ගැනීමෙන් පසු සමාගමේ 1%කටත් වඩා අඩු කොටස් හිමිකමක් ඇති හිමාල් හෙට්ටිආරච්චිට අධ්‍යක්ෂ ගාස්තු වශයෙන් රුපියල් මිලියන 10ක (රු. 10,400,000/-) මුදලක් ගෙවා තිබේ.
මේ පිළිබඳ විස්තරාත්මක ලිපියක් ලබන කලාපයේ බලාපොරොත්තුවන්න.