Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය

19ට ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි

 

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 19 වන වරටත් සංශෝධනය කිරීමේ වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් 16 වන දින අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි ගැසට් කරනු ලැබිණ. මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්ය දින 100 යේ කාල සටහනට අනුව ආරම්භ කළ යුතුව තිබුණේ ඉකුත් ජනවාරි 21 වන දින ය. කෙසේ හෝ අදාළ 19 වන සංශෝධනය දැන් නිල වශයෙන් ප‍්‍රසිද්ධ කර ඇත. මීට තෙසතියකට පමණ පෙර පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නාවූ දේශපාලන පක්ෂ වෙත මෙම සංශෝධනයට අදාළ සංකල්පමය පත‍්‍රිකාවක් සාකච්ඡුාවට බෙදා හරිනු ලැබිණ. එය රහස්‍ය පති‍්‍රකාවක් ලෙස බෙදා හැරුණද වෙනත් බාහිර තැන්වලද එය සාකච්ඡුා විය. එහි වූ ඇතැම් කරුණු සහ මෙහි නිශ්චිතව අඩංගු වගන්ති අතර දැන් ලොකු වෙනස්කම් ඇත. එහි වරදක් නැත. සාකච්ඡුාවට තැබෙන්නේ අවශ්‍ය වෙනස්කම් සමගින් කෙටුම්පත දියුණු කිරීමට වන හෙයිනි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ඇත්තෙන්ම සිදුව ඇත්තේ කෙටුම්පත වඩා හොඳින් අලූත් කර ඇතිද නැතිනම් තවදුරටත් බාල්දු කර හෑල්ලූ කර ඇතිද යන්නය.

මඳකට අප මෙහි ඉතිහාසයට යා යුතුව ඇත. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සමාජ කතිකාව ආරම්භ කෙරුණේ මීට අවුරුද්දකටත් ඉහතින් මාදුළුවාවේ සෝභිත හිමි පෙරටු කරගත් සාධාරණ යුක්තිසහගත සමාජයක් සඳහා වන ව්‍යාපාරය විසින්ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ප‍්‍රධාන හා එකම ඉල්ලීම ලෙස ඔවුහු යෝජනා කළහ. ජනාධිපති රාජපක්ෂගේ පාලනය නිදසුන් කොට, මේ රටේ අපරාධ, දූෂණ, වංචා සහ සියලූ ව්‍යාධි ව්‍යසන සඳහා මුල විධායක ජනාධිපති ධුරය යැයි ඔවුහු තර්ක කළහ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඒ වන විට පොරොන්දු වූ දේශපාලන නායකයින් කිසිවකු එම පොරොන්දුව ඉටු නොකළ හෙයින් දේශපාලන නායකයින් ගැන නැවත විශ්වාසයක් නොතැබිය යුතුයැ’යි දැඩි මතයක්ද පළ විය. එනිසා සය මසක් ඇතුළත එම කාර්ය ඉටුකර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයැ’යි ඔවුහු අදහස් කළහ. එම අදහසට කොළඹ මධ්‍යම පංතියේ සැලකිය යුතු ආකර්ෂණයක් ඇති වූයෙන් විරුද්ධ පක්ෂ හා සංවිධානද ඊට හවුල් වන්නට පටන් ගත්හ. එබැවින් පොදු විපක්ෂ අපේක්ෂකයෙකු ජනාධිපති වරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සය මසක කාලසටහනක් සහිතව සැලකිය යුතු විස්තරාත්මක මාර්ග සිතියමක් ඔවුහු සැකසූහ. එය සෝභිත හිමි ප‍්‍රධානව පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරට සිවිල් සමාජයේ ප‍්‍රභූන් හා බහුතර දේශපාලන පක්ෂ නියෝජනයක් සමගින් විශාල ප‍්‍රසිද්ධියක් ඇතිව එළිිදක්වනු ලැබිණ. එම මාර්ග සිතියමට අනුව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නට නියම වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරමින්ය.

පසුගිය ජනාධිපති වරණයේ එනමුත් මෛතී‍්‍රපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනු ලැබූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා කෙටුම්පතක් ජනතාව හමුවේ තබමින් නොවේ. එහෙත් ඔහු විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඒ මූලික ඉල්ලීම ඉටු කරනු ඇතැයි වූ සමාජ අපේක්ෂාව ඉතිරි විය. ‘‘මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්’’ මැයෙන් වූ ඔහුගේ මැතිවරණයට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි ඒ ගැන තිබූ ‘‘දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට අලූතෙන් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලි මේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රමයක් හඳුන්වා දෙමි’’ (පිට/14* යන ලොකු රතු අකුරෙන් අවධාරණය කෙරෙන සඳහන, අනතුරුව වඩාත් පැහැදිලි ලෙස විස්තර කර ඇත්තේ ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සඳහා මා විසින් පසුබිම් කරගනු ලබන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් ඇති කරගෙන තිබෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ එකඟතා හා පූජ්‍ය අතුරලියේ රතන හිමි ප‍්‍රමුඛ පිවිතුරු හෙටක් ජාතික සභාව විසින් සම්පාදනය කර ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් ඉදිරිපත් කර ඇති ජනාධිපති-අගමැති ව්‍යවස්ථාමය සන්ධානයක් පිළිබඳ වූ යෝජනාය.’’ යනුවෙනි. පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවලද ඊට අනුමැතියක් ලැබිණ.
මෙය මේ සමාජය තේරුම් ගන්නේ අන් කිසිවක් ලෙස නොව, එතෙක් අවුරුද්දකට වැඩි කාලයක් මේ සමාජය ඉතා දැඩිව සාකච්ඡුා කළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප‍්‍රතිඥාවක් ලෙස පමණි. එනිසා මෛතී‍්‍රපාල සිිරිසේන ජනාධිපති ලෙස තෝරා පත්කිරීමේ ජනතා වරම ව්‍යවස්ථා සංශෝධනයකට ලබාදුන් ජනවරමක් යැයි කිසිවකු කියන්නේ නම්, එය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අවුරුද්දක් පුරා මේ සමාජයේ තහවුරු වූ ජනමතය අනුව දෙන ලද ජන වරමක් මිස වෙනකක් නොවේ. මැතිවරණයකින් ලබාදෙන ජනවරමක් යනු හුදු පුද්ගලවාදී කැමැත්තක් නොව, සමාජයක් සාමූහිකව ඉල්ලා සිටින ඔවුන්ගේ දේශපාලන අපේක්ෂාවක් ඉටුකිරීම වෙනුවෙන් ලබා දෙන ජනතා නියෝජන බලයකි. ජනවාරි 08 වන දින මෛතී‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණය එබැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් ඔහුව ජනාධිපති ධුරයේ වාඩිකරවීමක් මිස හුදෙක් රාජපක්ෂ පරාජය කිරීමක් නොවේ. දැන් ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඒ ජනවරමට පටහැනි, එය උල්ලංඝනය කරන්නකි.

ඉදිරිපත් කර ඇති 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලය ඉවත් කර නැත. ගැසට් පත‍්‍රයේ සිංහල පිටපතට අනුව ජනාධිපතිවරයා තවදුරටත් ‘‘රජයේ ප‍්‍රධානියාද, විධායකයේ ප‍්‍රධානියාද, ආණ්ඩුවේ ප‍්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වන්නේය’’ (30.1 ව්‍යවස්ථාව). ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ ජනාධිපති සිරිසේනගේ උපදේශක ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඉකුත් අගහරුවාදා වෘත්තික යින්ගේ සංවිධාන හවුලේ රැුස්වීමක පවසා තිබුණේ, ‘‘පසුගිය සතිය වනතෙක් අප අතර තිබූ පැහැදිලි එක`ගතාව වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි. විධායක ජනාධිපති බලතල අඩු කරන්නයි’’ කියාය. ඔහුට අනුව පළමුව සැකසූ කෙටුම්පතෙහි ජනාධිපති ආණ්ඩුවේ ප‍්‍රධානියා වන්නේ යැයි වගන්තියක් නොතිබුණි. එහි වූයේ ජනාධිපති ඇමති මණ්ඩලයට උපදෙස් දිය යුත්තේ අගමැති හරහා යන සඳහනය. ‘‘මේ සඳහන කෙටුම්පතින් දැන් ඉවත් කර තිබීම ඉතා කනගාටු දායකයි’’ ඔහු එදින රැුස්වීම අමතා කියා තිබිණ.

දැන් මේ ජනාධිපති ධුරය සඳහා ‘‘විධායක’’ යන විශේෂණ පදය යොදන්නේ නැත. එහෙත් මේ ජනාධිපති ධුරය මහින්ද රාජපක්ෂ දක්වා සැවොම භුක්ති විඳි ව්‍යවස්ථාමය මුක්තියද ඉතිරි කළ (7 යටතේ ආදේශ කෙරෙන 35.1) අහෝසි කළයුතුයැ’යි කියූ ජනාධිපති ධුරයම මිසක් වෙනකකක් නොවේ. එපමණක් නොව, කොහේ හෝ නුහුගුණ නායකයින් ඉන්නා රටක මිස ශිෂ්ට ප‍්‍රජාත‍්‍රන්දවාදී සම්මතයන් ඇති රටක නොවන ආකාරයෙන් පුද්ගලවාදී බලයක් ඉතිරි කරන ව්‍යවස්ථාමය අවකාශයන්ද මේ කෙටුම්පතේ ඇත. මෙහි 56(අ) යටතේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පමණක් වලංගු වන ලෙස මහවැලි සංවර්ධනය හා පරිසරය යන විෂයන් බාර දෙන්නේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගෙන් පසු තේරී පත්වන කිසිදු ජනාධිපතිවරයෙකුට එලෙසින් ඒ විෂයන් හිමිවන්නේ නැත. ඊට අමතරව, 54(1)ආ මගින් කියන්නේ, මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව කලින් විසිරුවා හැරෙන්නේ නැතිනම්, 2015 අපේ‍්‍රල් මස 22 දින වන විට අගමැති ධුරයෙහි ඉන්නා පුද්ගලයා 2016 අපේ‍්‍රල් දක්වා අගමැති ලෙස සිටිය යුතු බවය. එහි තේරුම වන්නේ පාර්ලිමේන්තුවේ බල තුලනය කුමක් වූවත් රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස 2016 අපේ‍්‍රල් දක්වා සිටිය යුතු බවය. ඒ අනුව ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවේ වැඩි බලයකට ඔහුව ඉවත් කළ නොහැකිය. එවැනි ආණ්ඩුවක් තිබිය හැක්කේ රාජපක්ෂටද වඩා විකෘති වූ බලතණ්හාවක් ඇති මානසිකයක පමණි.

එලෙසින්ම මැතිවරණ සමයේ මාධ්‍ය සඳහා මැතිවරණ කොමසාරිස් විසින් පනවනු ලබන නියාමන කොන්දේසිද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට කිසි ලෙසකින් ඔබින හා ගැළපෙන ව්‍යවස්ථාමය අවකාශයන් නොවේ. මැතිවරණ ව්‍යාපාර සඳහා පක්ෂ නායකයින් වෙත ගලා එන කළු සල්ලි මලූ ගැන කිසිදු තොරතුරක් පක්ෂයේ දෙවන පෙළට හෝ නොලැබෙන අතිශය දූෂිත පක්ෂ ක‍්‍රමයක් සමග විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය සඳහා කෙටුම්පත් කර ඇති අවසර අතිශය විනාශකාරී අවසරයන්ය. එම වගන්ති ගැන විජයනාන්ද ජයවීර විසින් තබන ලද සටහන මෙම රාවය කලාපයේ වෙනත් තැනක සවිස්තරව පළ කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවන හෙයින් මෙහි ඒ ගැන විස්තර නොකරමි.

අවසන් වශයෙන් කිවයුත්තේ මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ 2/3ක බලය යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මතයකට අනුව ශිෂ්ටසම්පන්න ඉල්ලීමක් මත නොවේය යන්නය. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට මන්තී‍්‍රවරුන් 41ක් ඉන්නා වික‍්‍රමසිංහ ආණ්ඩුවට උපරිමයෙන් ලබාගත හැක්කේ මන්තී‍්‍ර ඡන්ද 50ක් හෝ 55ක් පමණය. විපක්ෂය ලෙස කි‍්‍රයාත්මක වන ශී‍්‍ර.ල.නි.ප මන්තී‍්‍රවරුන් 125 දෙනාගේ පිහිට පතන්නට ඔවුන්ට දැන් සිදුව ඇත. එනිසාම මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන අපේ‍්‍රල් 20 වන දිනට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමේ පුදුමාකාර හදිස්සිය ඇත්තේ පොරොන්දු වූ දින 100 එලෙසින්ම කි‍්‍රයාත්මක කිරීමට ඇති දේශපාලන කැපවීම නම් නොවේ. එවැනි කැපවීමක් ඇතිනම් මැතිවරණ සංශෝධන සඳහා දින 100 යටතේ පොරොන්දු වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ ඇතුළුවන විශේෂ කමිටුව අගමැති විසින් පත් කළ යුතුව තිබුයේ ජනවාරි 21 වන දිනය. එය අදටත් පත් කර නැත. මේ හදිස්සිය ඇත්තේ මන්තී‍්‍රවරයෙකු ලෙස අවුරුදු 05 සම්පූර්ණ නොවුණු 40 ක් පමණ වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ඇපයට තබා ගැනීමට ය. ඔවුන් හමුවේ තබා ඇති තර්ජනය වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ඡුන්දය නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව වහා විසිරුවා හරින බවය. එසේ වූ විට ඔවුන්ට පාර්ලිමේන්තු විශ‍්‍රාමය අහිමි වන හෙයින්ය.

ව්‍යවස්ථා සංශෝධන යක් සඳහා මන්තී‍්‍රවරුන්ගේ ඡුන්ද එලෙසින් ලබාගැනීමේ ඉඩක් මේ පාර්ලිමේන්තුවේ නැතැයි කිව නොහැක. මේ පාර්ලිමේන්තුවේ කිසිවකුට ආත්ම ගෞරවයක් ඇතැයි සිතන්නට තරම් කල්කිරියාවක් ඔවුන් අතර නැති හෙයින්ය. දැන් මේ පාර්ලිමේන්තුව 2010 අපේ‍්‍රල් මාසයේ ජනතාව විසින් තෝරා පත් කළ පාර්ලිමේන්තුව නොවේ. එදා පත් කෙරුණු එ.ජා.ප මන්තී‍්‍රවරුන් 60 දෙනාගෙන් අද ඉන්නේ 41 කි. එදා එ.ජ.නි. පෙරමුණ ලබා ගත් මන්තී‍්‍ර ආසන 144 මාස කිහිපයකින් 156 දක්වා ඉහළ ගිය නමුත්, දැන් සමහරක් ඉන් පිටවී වෙනත් ගනුදෙනු අනුව පාර්ලිමේන්තුවේ රැුඳී ඉන්නාහ. එහි වූ මුස්ලිම් ඇමතිවරුන් අද වික‍්‍රමසිංහ ආණ්ඩුවේ ඇමතිවරුන්ය. මේ පාර්ලිමේන්තුව ඇත්තෙන්ම මීගමු වැල්ලේ ලෙල්ලම වැනිය. එනිසා මේ පාර්ලිමේන්තුවෙහි ඡුන්දවලින් ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීමට ඉඩදීම අතිභයානක ය. කෙටියෙන් සරලව කිවහොත් එවැනි වගකීමක් දැරීමේ කිසිදු අයිතියක් සුජාත බවක් මේ පාර්ලිමේන්තුව සතුව නැත.

ඊළ`ග මැතිවරණයකදී පත් කෙරෙන නව පාර්ලිමේන්තුවකින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි එනිසා තර්ක කළ හැකිය. එහෙත් මේ පාර්ලිමේන්තුවේ ඇති ප‍්‍රතිවිරෝධ හමුවේ පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස්වන්නේ නැත. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපට යන්නට සිදුවන්නේ මේ ආකාරයේම පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමටය. මීට වෙනස් වැදගත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට නම්, වර්තමාන මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමක් පමණක් නොව, සියලූ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ මැතිවරණ අරමුදල් ආරම්භයේ සිටම ජනතාවට විවෘත කළ යුතු කොන්දේසිද අනිවාර්යෙන් තිබිය යුතුය. එවැන්නකට ඊළග මැතිවරණයේදී කිසි ඉඩක් නැත. එනිසා මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ඒ වෙනුවෙන් ජනතාවගේ විශේෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැදිහත්වීමක් අවශ්‍ය වන්නේය.

දින 100 ඇතුළත තමන් ලබාගත් ජනවරම උල්ලංඝනය කරමින් අධිකාරිවාදී බලයක් ආරූඪ කෙරෙන අගමැති ධුරයක්ද ඒ හා ගැටෙන විධායක යැයි නොකියන විධායක ජනාධිපති ධුරයක් මුක්තියද ඇතිව තබා ගැනීමට මේ නායකයින්ට අවශ්‍ය නම්, එය කළයුත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරුන්ගේ විශ‍්‍රාමය ඇපයට තබා ගැනීමෙන් නොව, ජනතාව හමුවට පැමිණ ජනතාවගෙන් ඊට අවසරයක් ලබා ගැනීමෙන්ය. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වන්නේ එබැවින්ය.

About

Journalist and political commentator