ජෙයකුමාරි ඇප ලැබුවාය

 

රැඳවුම් නියෝග යටතේ දින 362ක් අත්අඩංගුවේ සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඇප මත මාර්තු 10 වැනිදා මුදාහැරීය. රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඇය නිදහස් කරන ලද අතර ඇයට විදෙස් ගතවීම නීතියෙන් තහනම් කරන නියෝග ලැබිණි. ජෙයකුමාරි රැුඳවුම්භාරයේ සිටියේ ඇයි? දින 362ක්ම එහි සිරකොටගෙන සිටියේ ඇයි?

ඇයගේ අත්අඩංගුව දකුණ දැක්කේ එල්ටීටීඊ සැකකාරියක ලෙසය. ඇයට එල්ල කළ චෝදනාව ඇය සහ ඇගේ දහතුන් හැවිරිදි දියණිය එල්ටීටීඊ සංවිධානයට නැවත පණ පොවන්නට ආ ගෝපි නමැත්තාට රැකවරණය සැපයීමය. එදා අත්අඩංගුවට ගන්නට ගෙතූ කතාව අනුව ඇයට ඇප ලැබුණේ කෙසේද? සියලූ කතා දකුණේ ඉපිද දකුණේම පැළවූ ඒවාය. දින 362ක් ගෙවෙන තෙක් දකුණේ මාධ්‍ය කී කිසිවක් පොලිසිය අධිකරණයට ඔප්පු නොකළේය. මාධ්‍ය දන්නා රහස පොලිසිය නොදැන සිටියාද? මාධ්‍යයට මෙවන් තොරතුරු සපයන්නේද පොලිසියමය. එහෙව් පොලිසියට වාර කිහිපයක් අධිකරණයට ගියද දින 362ක් ගතවන තෙක් කිසිවක් කීමට කරුණු කාරණා නොයෙදුණි.

ජෙයකුමාරිද උතුරේ නූතන පටාචාරවකි. දකුණේ මවගේ කඳුළු හඳුනන සමාජය උතුරේ කඳුළු කඳුළු ලෙස නොනගනී. කවුද මේ ජෙයකුමාරි, දකුණ දන්නේ නැවත එල්ටීටීඊය ගොඩනගන්නට අනුබල දුන් අයකු ලෙසය. මේ සියල්ල ව්‍යාජය.

ජෙයකුමාරිද යුද්ධයේ ඛේදවාචකයකි. ජෙය කුමාරිගේ සැමියා මිය ගොස්ය. ඒ වසර ගණනකට පෙරය. ඉන්පසු ඇයගේ වැඩිමහල් පුතු වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගියේය. ඒ 2006 වසරේදීය. බාලේන්ද්‍රන් යොහාන් නම් වූ ඔහු මියයන විට විසි හැවිරිදිය. 2009 මැයි මාසයේදී රජයේ පාලන ප‍්‍රදේශයට එමින් සිටියදී ආරක්ෂිත ප‍්‍රදේශයකදී ඇගේ දෙවැනි පුතුද ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගියේය. ඔහු බාලේන්ද්‍රන් කජීවන්ය. ඇයට තවත් පුතකු විය. ඔහු බාලේන්ද්‍රන් මහින්දන්ය. ඒ ඇයගේ බාල පුතුය. 2008දී එල්ටීටීඊ සංවිධානය විසින් ඔහු පැහැර ගෙන තිබුණි.

වාර්තා වන අන්දමට ඔහු 2009දී හමුදාවට භාරවී ඇත. එය එසේ බවට තහවුරු කරගත හැකි සාක්ෂි ඇයට හමුවන්නේ හමුදා සෙබළුන් පිරිසක් සමග පුනරුත්ථාපන කඳවුරක පුනරුත්ථා පනයවෙමින් සිටින ඡුායාරූපයක් දැකීමත් සමගය. එතැන් සිට සිය පුතු සොයමින් ඇය කඳවුරක් කඳවුරක් ගානේ ඇවිද්දාය. මහපාරේ උද්ඝෝෂණය කළාය. මානව හිමිකම් පිහිට පැතුවාය. ඇයට ඊට සහයට සිටියේ ඇගේ බාල දියණිය පමණය. මානව හිමිකම් සංවිධානද පසුව ඇගේ සහයට ඉදිරිපත් වූහ. හුදකලා සටනක නියැලූණු ජෙයකුමාරි අවසානයේ පොදුවේ අතුරුදන්වූවන් ඉල්ලා හඬ නගන ගොඬේ තවත් එක් සාමාජිකාවක් වූවාය. ඒ අතර ඉදිරියෙන්ම හඬ නැගුවාය. එතැන් පටන් අනතුරු ඇඟවීම් ඇගේ ජීවිතයටද එල්ල වූවාය.

සෙල්වනායගම් හෙවත් ගෝපී කරළියට එන්නේ ඔය අතරතුරය. ගෝපී අත්අඩංගුවට ගැනීමට 2014 මාර්තු 11 වැනිදා පොලිසිය කිළිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයට යන අතර ගෝපි එහි තිබූ නිවසකට කඩා වැදී පොලිසියට වෙඩි තබමින් නිවස පිටුපසින් පලා ගොස් තිබේ. වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරියකුද තුවාල ලැබීය. එදා ගෝපී කඩා වදින නිවස ජෙයකුමාරිගේය. ඒ අනුව ඇයත් ඇයගේ දියණියත් ත‍්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ඇයගේ පුතු හොයන සටනත් එය ආණ්ඩුවට බලපෑමක්වීමත් ගෝපි ඇයගේ නිවසේ සිටම වෙඩි තැබීමත් අතර සම්බන්ධයක් මෙරට බුද්ධි අංශ දකින්නේ නම් එය තහවුරු කිරීමට දින 362ක් ඕනෑවටත් වැඩිය. ජෙයකුමාරි මෙන්ම ඕනෑතරම් අය මෙලෙස නිරපරාදේ රඳවාගෙන සිටිති. ජෙයකුමාරි බූස්ස කඳවුරේ රඳවා තබන ලද අතර ඇයගේ දියණිය විබුෂිකා කිළිනොච්චියේ මහාදේවන් ළමා නිවාසයේ රඳවනු ලැබීය. ඇය එහිදී වැඩිවියට පත්වනමුත් ජෙයකුමාරිට ඒ අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව නොලැබේ.

අවසානයේ ජෙයකුමාරිට ඇප ලැබුණි. ඒ විශාල හඬ නැඟීමක අවසන් ප‍්‍රතිඵලය ලෙසය. ඊට දින 362ක් සටන් කරන්නට සිදුවිය. තවත් ජෙයකුමාරිලා කොතෙක් ඇත්ද? එල්ටීටීඊ ලේබලය අලවා දින ගණන් රඳවා තබාගෙන සිටින තව කීදෙනෙක් ඇත්ද? ඒ අයගේ ජීවිතත් මේ පරිදිම ඛේදවාචක විනා සුපැහැදිලි නැති බව පැහැදිලිය. ඒ අයට ඇප නැද්ද?