මිලියන 6,500ක් ගැන බැසිල්ගෙන් ප‍්‍රශ්න කෙරේ

 

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති රුපියල් මිලියන 6500කට වැඩි මූල්‍ය අක‍්‍රමිතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරිමට නියමිත බව වාර්තා වේ.

එම ප‍්‍රශ්න කිරීම්වලදී විශේෂම අවධානය යොමුවී ඇත්තේ ලංකා බැංකුවේ බත්තරමුල්ල ශාඛාවේ තිබූ දිවි නැගුම දෙපාර්තමේන්තුව සතු රුපියල් මිලියන 4681ක මුදල වියදම් කළ ආකාරය වන අතර එහිදී සිදුවී තිබෙන්නේ ස්ථාවර තැන්පතු අංක 76488889 ගිණුමේ තිබූ එම මුදල 2014 දෙසැම්බර් 31 දින එම බැංකුවේම ඇති අංක 3417925 දරන දිවි නැගුම ජංගම ගිණුමට මාරු කිරීම හා විවිධ පුද්ගලයන්ගේ නම්වලට චෙක්පත් ලියමින් එම මුදල් ජංගම ගිණුමෙන් ඉවත් කරගෙන තිබීමත්ය. ඊට අමතරව එම ස්ථාවර තැන්පතුවට අදාළ රුපියල් මිලියන 36.6ක පොලී මුදලක්ද එම ජංගම ගිණුමට ලබාගෙන ඒ ආකාරයටම ඉවත් කරගෙන තිබීම විමර්ශනයට ලක්වීමට නියමිතය.

එමෙන්ම බොරැුල්ල ලංකා බැංකුවේ ඇති අංක 7041562 දිවි නැගුම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නමින් ඇති ගිණුමෙන් 2014 දෙසැම්බර් 22 දින රුපියල් මිලියන 580ක් හා රුපියල් මිලියන 771ක් වශයෙන් අවස්ථා දෙකකදී රුපියල් මිලියන 1351ක මුදලක් ඉවත් කරගැනීමද එම ගිණුමෙන්ම 2014 දෙසැම්බර් 09 දින රුපියල් මිලියන 70ක් හා රුපියල් මිලියන 225ක් වශයෙන් අවස්ථා දෙකකදී රුපියල් මිලියන 295ක මුදලක් ඉවත් කරගැනීමද එම ප‍්‍රශ්න කිරීම්වලට අදාළ අනෙකුත් කරුණුය.
දැනට රට හැර ගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැ’යි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් වනිගසේකර මහතා ප‍්‍රකාශ කළේ මාර්තු 25 දිනය.
එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.ආර්.කේ. රණවක මහතාගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ලබා දුන් නියෝග අනුව එම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ගනුදෙනු සිදුකළ බවට ප‍්‍රකාශ කර ඇති බැවින් ඊට අදාළව අදාළ ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

එමෙන්ම දිවි නැගුම දෙපාර්තමේන්තු ගිණුම්වල මුදල් වියදම් කිරීමට අමතරව සම්මේලනයක් සඳහා රුපියල් මිලියන 73ක් වියදම් කිරීම, දිවි නැගුම සේවකයන්ගේ පාරිතෝෂික මුදල්, දිවි නැගුම සහනලාභීන්ගේ නිවාස අලූත්වැඩියාව හා ජනාධිපතිවරණයේදී ලිත් මුද්‍රණය කිරීම යන කරුණු ගැනද අදාළ විමර්ශනයන් සිදුකිරීමට නියමිත බව ප‍්‍රකාශකවරය කීවේය. ඉන්පසු මාර්තු 26 දින පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කරනු ලැබුයේ එම ප‍්‍රකාශය ලබාගැනීම සඳහා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය භාරදීමට යෑමේදී බැසිල් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රයේ සඳහන් මැදමුලන නිවසේ පදිංචිකරුවන් පොලිස් නිලධාරියාට බාධා කර ඇති බවයි.