කුණු ඇළෙන් අත්පා මතුවීම සුදුවෑන් දෙවැනි කොටසද?

 

මිනිස් සිරුරින් කපා වෙන් කරන ලද අත්පා කොළඹ අවට ඇළවල්වල තිබී පසුගිය දිනවල හමුවිය. ඒවා කාගේ කවුද යන්න අදටත් නොවිසඳුණු ප‍්‍රහේළිකාය. පොලිසිය පුළුල් පරීක්ෂණ කරතැ’යි කීවද ප‍්‍රතිඵල නිකුත් වන දිනයක් නොමැතිය. දින සියයේ වැඩසටහනට පිිටින් සිදුවන මේ ක‍්‍රියා දින සියයම අවුල් කරනු නියතය.
ජාතික ආණ්ඩු, 19 වැනි සංශෝධන, මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම වැනි බරපතළ සාකච්ඡා හමුවේ මිනිස් අතක්, පයක්, කඳක් හමුවීම සුළුකොට තැකිය හැකිද?
පහුගිය ආණ්ඩු සමයේ භීතිකාවක් වූ සුදුවෑන් සංස්කෘතියයේ නරක පරිච්ෙඡ්දයක් මේ හරහා එළිනොබසින්නේද? සුදුවෑන්වල පටවාගෙන ගියායැ’යි කියන එහෙත් අතුරුදන්වූ අය ගැන කතා වටින් ගොඩින් ඇසේ. ඒ අයට සිදුවූයේ කුමක්ද? සාක්ෂි නොතිබූ නිසාම සුදුවෑන් යනු අදිසි මෙහෙයුමක් විය. එහෙත් අද අපි එකවරම ශරීර කොටස් තැන් තැන්හී දකිමු. අතක්, පයක්, කඳක් හමුවීම සාමාන්‍යයද? මේවායේ හිස් කොහිද? හමු නොවූ ඉතිරි කොටස්වලට කුමක් සිදුවීද?

මෙය සිරුරු දෙකක කොටස්ද? නැතහොත් වෙන වෙනම සිරුරුවලින් වෙන් කළ ඒවාද යන්න විධිමත්ව තහවුරු කොට ගෙන නොමැතිය. එසේ නම් එක් දෙයක් තහවුරුය. ඒ මෙය සැහැල්ලූවට ගතහැකි පන්නයේ සංඥාවක් නොවන බවය. මේ අනතුරු අඟවන්නේ ඉඟිසපයන්නේ කුමක්ද? බියගන්වන්නට උත්සාහ ගන්වන්නේ කාවද? විධිමත්ව සංවිධානගත නොවී මෙතරම් කෙරුම්කාරකම් කළහැකිද? එසේ නම් ඒ හරහා වල්බිහි කරවන්නට උත්සාහ ගන්නේ මේ සමාජය නොවේද?
මෙවන් අපරාධ නැවැත්වීම යහපාලනයේ නොව මොන පාලනයක වුව වගකීමක් වන්නේය.

අත්පා මතුවීම

දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇති කුණු ඇළකින් මිනිස් පාද දෙකක් හමුවන්නේ ඉකුත් 15 වැනිදාය. එම පාද දෙක ඇළට විසිකරන අයුරු අසල පෙට්ටි කඩයක සිටි කාන්තාවක් දැක ඇතත් ඒ පිළිබඳ කතා කිරීමට ඇය අද කැමති නැතිය. ඇගේ අත්පාවලට ඇය ආදරය කරන බැවින් එය නොදැක්කා සේ සිටීම නුවණට හුරු බව ඇයට වැටහී ඇතිවාට සැක නැත. කෙසේ නමුත් පොලිසිය එම ස්ථානයේ වැටී තිබූ යතුරු කැරැුල්ලක් පසුපස පොලිස් සුනඛයන් යවන අතර එම සුනඛයන් නතර වනුයේ ඉහත කාන්තාවගේ පෙට්ටි කඩය අසලය. ඒ අනුව සත්‍ය වසන් කිරීමේ චෝදනාව මත එම කාන්තාව අත්අඩංගුවට පත්වන්නේය. අත්පා වෙන් කිරීමකට වඩා එවන් ඉඟියක් හෝ දැකීම බරපතළ බව මෙයින් පැහැදිලිය. ඇය දැක නොදැක්කා සේ සිිටිනවායැ’යි කියා පොලිසිය භාරයට පත්වන්නීය. එහෙත් ඇය දුටු යමක් කීවා නම් ඇයට එල්ල වන අනතුරින් ඇය ගලවා ගන්නේ කවුද? මේ පොලිසියමද?

මේ කොහේ පාදදැ’යි අදටත් අභිරහසකි. ඇඟිල්ලක් නොව පාදයක් අහිමි වුවද එය සාමාන්‍යය. මේ පාදවල හිමිකරු ජීවත්ව නොසිටින බව සැබෑය. පාදය පමණක් අහිමි වූයේ නම් එහි හිමිකරු කතා නොකර සිිටින්නේ නැත. එහෙත් මළවුන් සාක්ෂි නොදෙන්නේය. එම පාද සොයා ගන්නට පැය හයකට පෙර කපා වෙන්කර ඇති බව අධිකරණ වෛද්‍ය නියමයය. එම කපා වෙන් කිරීම කර ඇත්තේද එක පිහි පහරකින් බව වෛද්‍ය නිගමනයය. එසේ නම් මේ පළපුරුදු කැපුම්කරුවන්ය. එපමණක් නොව අත්පා කඳෙන් වෙන්කරන ෆැක්ටරිය විධිමත්ව පවත්වාගෙන යන බව නම් ටක්කෙටම කිව හැකිය. පාදයක් ශක්තිමත් අස්ථි මත පිහිටා ඇත. එවන් පාදයක් එක් පහරකින් වෙන් කරන්නට නම් මුවහත් පිහියක් මෙන්ම පළපුරුදු කැපුම්කරුවෙක්ද විය යුතුය. මෙය පාතාලයටම යටකළ යුතුද යන ප‍්‍රශ්නය ඒ තුළ පවතී.

දෙවන හමුවීම

දෙමටගොඩ ඇළෙන් පාද හමුවී පැය විසිහතරක් ගෙවෙන්නට මත්තෙන් නාවල කුණු ඇළකින් පුද්ගලයකුගේ වම් අතක් හමුවන්නේය. එය දෙන ඉඟි බරපතළවන්නේ එම අතේ ඇඟිලි පවා උගුල්ලා ඇති නිසාය. එසේ නම් එක පහරින් කැපෙනමුත් මේ අත්පා ඊට පෙර බොහෝ දුකක් විඳින බව පැහැදිලිය. මේ කාගේ රහස් වෙනුවෙන්ද? කාගේ ආරක්ෂාව තකාද? කාගෙන් වහන් වනු පිණිසද? දෙමටගොඩ පාද දෙක හිමි ශරීරයේම අතක්ද යන්න මෙය තහවුරු නැතිමුත් දෙමටගොඩ ඇළෙන් හමුවන පාද දෙක සහ මේ අතර අතර ඇති ළඟම සම්බන්ධය මෙයද එක් පිහි පහරකින් වෙන් කිරීමය. එසේ නම් මේ එකම වධකාගාරයකින් වන කැපුම් නොවේද? මේ පාද සහ අත එක පුද්ගලයකුගේද යන්න තහවුරු කරගත හැකිවනුයේ ඞී.එන්.ඒ. පරීක්ෂණයකිනි. එය සිදුවෙමින් පවතී.

තුන්වන කොටස

එතැනින් කොටස් හමුවීම අහවර නැති බව මාර්තු 17 වැනිදා නැවත තහවුරු කරනුයේ දෙමටගොඩ කළු පාලම යටින් මිනිස් කඳක් හමුවීමත් සමගය. එය ඇඳ ඇතිරිල්ලක ඔතා කසළ ගොඩකට දමා තිබුණි. සිරුර ගිනි තබා ඇත. එම ශරීර කොටස ඉහත සිද්ධි දෙකට සමීපවන්නේ ශරීරයේ බෙල්ල අත්පා කපා ඇත්තේ එක් පහරකින් වීමය. පොලිසියේ නිගමනය පාද දෙක මේ කඳට සමාන බවය. එහෙත් අත පිළිබඳ එවැනි විශ්වාසයක් නොපැවතීමය.

ශරීරය

තැනින් තැනින් හමුවන කොටස් වෙනුවට ඊළඟට හමුවන්නේ සම්පූර්ණ සිරුරකි. එය හමුවන්නේ දියවන්නා ඔයෙනි. පිරිමියකුගේ නිරුවත් සිරුරක් වන එය දින ගණනාවකට පෙර ඝාතනය කළ එකක් බව වෛද්‍ය නිගමනය විය. අතක් පයක් සඟවාගෙන විත් ඇළකට දැමීමට වඩා කඳක් රෙද්දක ඔතාගෙන දැමීම සුළුපටු නොවිය හැකිය. ඊටත් වඩා සම්පූර්ණ සිරුරක් පාර්ලිමේන්තුවට කිට්ටුව දමා යෑම ඊට වඩා කොතරම් සංකීර්ණ විය යුතුද? එහෙත් ඒ සියල්ල පහසුවෙන් සූක්ෂ්මව කරනුයේ කවුද?
මේ සිද්ධි කොටස් වශයෙන් රඟදැක්වූ ශරීර කොටස්ය. එසේ නම් මේ දෙන පණිවුඩය කිසිසේත්ම නුපුරුදු ඝාතකයන්ගේ නොවන බව පැහැදිලිය.

අම්පාර සිද්ධිය

කොළඹ සිද්ධ වූ ඉහත සිද්ධීන් තුනටම ලැබුණු ප‍්‍රසිද්ධිය මාර්තු 18 දිනයේදී අම්පාර කොණ්ඩුවටුවාන ජලාශයේ තිබී හමුවන එක් පාදයක් කපා දමා තිබූ සිරුරට නොවුණි. එම සිරුර නයිලෝන් ලණුවලින් බැඳ දමා තිබූ බවද වාර්තා වේ.

ප‍්‍රසාද්ගේ මරණය

එසේ නම් මේ සිද්ධි දාමය දෙන පණිවුඩය භයංකරය. යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග එනම් ජනවාරි 21 වැනිදා මහ දහවලයේ මිනිසුන් බලා සිටිද්දී කොස්ගස් හන්දියේදී බිල්ඩර් ප‍්‍රසාද් නමැත්තා කපා කොටා ඝාතනය කරනු ලැබීය. මොහු මාලිගාවත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බැවින් ප‍්‍රසාද්ට බිල්ඩර් යන නාමය පටබැඳී ඇත. පාතාලය සමග කිට්ටු ඇසුරක් තිබූ ප‍්‍රසාද් එවැනි රංගනද ඉදිරිපත් කර ඇත. කොට කලිසම් ඇඳි ළාබාල තරුණ පිරිසක් පිහිවලින් සහ කඩුවලින් කොටා මොහු මරා යන්නේ පාගමනින්මය. එහෙත් අදවනතුරු මේ ඝාතකයන් පොලිසියට අල්ලා ගැනීමට නොහැකි වී ඇත. එයට මාස දෙකක් ගෙවී අවසන්ය. බිල්ඩර් ප‍්‍රසාද් චරිතය පාතලයට කොටුකර පාතාලය විසින් පාතාලගත කළායැ’යි කිව හැකි වුවත් අමතක කළ නොහැකි කතාවක්ද ප‍්‍රසාද්ට අයත්ය. ඒ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ජාතික කෞතුකාගාරය බිඳ සොරාගත් පුරා වස්තු සඟවා තැබීම සම්බන්ධයෙන් ඔහු කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවටද පත්වී කාලයක් බන්ධනාගාර ගතව සිටි බැවිනි. ඒ අනුව ප‍්‍රසාද් දන්නා සියල්ලද පොළෝ ගතවිය.

මෙම සිද්ධිය සහ අත්පා, කඳවල්, සිරුරු හමුවීම සම්බන්ධයක් නැතත් මේ සියල්ල කවුරු හෝ ගලවා ගැනීමට බිලිවන මිනිස් බිලි බව අමතක කළ නොහැකිය.
පසුගිය කාලය තුළ පැවති සුදුවෑන් සංස්කෘතිය කොතරම් බරපතළව සිදුවීද යන්න මේ වනවිට පැහැදිලිවෙමින් පවතී. එහෙත් තවමත් ඊට අදාළ කිසිවකු අත්අඩංගුවට නොගැනුණි. නේවි සම්පත් යනු එහි එක් ඉත්තකු පමණි. සුදුවෑන්වලින් පැහැරගෙන ගියේ පසුගිය ආණ්ඩුවට විරුද්ධවාදීන් බව පොදු මතයය. එලෙස රැුගෙන ගිය බොහෝ අය ගැන තොරතුරක් නැති බව කතාබහ විය. එසේ නම් මේ හමුවන්නේ එලෙස රැුගෙන ගිය අයද?

මෙය පාතාලයේ වැඩක් බව අනෙක් කතාබහය. පහුගිය ආණ්ඩු සමයේ සැඟව විදෙස්ගතව සිටි පාතාලය නැවත යහපාලනය යටතේ මෙරටට පැමිණ පැරණි සුපුරුදු වැඩ අල්ලන බව ඇතැම් මාධ්‍ය පොලිස් හිතවතුන් කී බවට පුවත් මවා තිබුණි.

එසේ නම් එයින් ගම්‍යවන්නේ යහපාලනය පාතාලයට රජදහනක් බවද? ආශ්චර්යය මර උගුලක් බවද? ආශ්චර්යය තුළ පාතාලය අබිබවා පාතාලයක් තිබූ බැවින් පාතාලය සාමාන්‍ය චණ්ඩින් බවට පත්විය. මේ හමුවන කොටස් පාතාලයේ වැඩයැ’යි ඍජුවම කිවනොහැක්කේ ඒවාට ලබාදී ඇති දඬුවම්වල ස්වභාවය හේතුවෙනි. පාතාලය නියපොතු උගුල්ලා ප‍්‍රශ්න කරන ස්වරූපයක් තිබිය හැකිද? පාතාලයට තම හතුරා ඝාතනය කළයුතු තැන විනා ඔහුගෙන් දස වද දී ප‍්‍රශ්න කළයුතු රහස් ඇතැ’යි සිතිය නොහැකිය. ඒ අනුව මේ හමුවන අත්පා කාගේ හෝ රහස් කන්දරාවක් දරා සිටි ශරීර විය හැකි නොවේද? මෑතකදී බේකරිය හන්දියේ එළවළු කඩයක් තුළ වෙඩි තබා මරා දමන ඇඹිලිපිටිය පැත්තේ චණ්ඩියකුගේ සිරුරෙහි නියද දත්ද ගලවා ඇති අතර එය වෙන තැනක ඝාතනය කර කඩයට ගෙන දමා ඇති බවද පොලිස් ආරංචිය. එසේ නම් මේ ඝාතන රැුල්ල එකිනෙක සම්බන්ධ බව පැහැදිලිය. පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ කරනවා කීවද එහි ප‍්‍රතිඵල කවදා ලැබෙයිද යන්න නොපැහැදිලිය.
මෙය යහපාලන ආණ්ඩුව අපහසුතාවට පත්කරන්නට විපක්ෂය කරනවාද යන්න සැකසහිත බව පාර්ලිමේන්තුවේදී මහජන සාමය සහ ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග පැවසීය.

එය ඇමති කියන විදියට විපක්ෂය කරනවා නම් එයද බරපතළය. මන්ද විපක්ෂයද මේ ආණ්ඩුවම වන බැවිනි. කොහොම වුවද මේ ශරීර කොටස් දෙන අනතුර සුළුපටු නොවේ. සුදුවෑන්වලට වඩා බියක් ඒ හරහා ජනිත කරන බව පැහැදිලිය. සුදුවෑන්වලින් ඔසවාගෙන ගිය ජීවිතවල අවසාන රැුකවරණයද ගිලිහී යන බව පැහැදිලිය. මෙය සුළු කොට නොතකා දින සියය තුළ සෙවිය යුතු බරපතළ කරුණක් කරගත යුතු බවද සිහිකළ යුතුය. යහපාලනය යහපාලනයක් වන්නට නම් මේ අයුරින් අත්, පා, කඳ, කොටස් නොව ඒවා කළවුන්ද සොයාගත යුතුය. ඒවා කාගෙද යන්න හෙළිදරව් කරගත යුතුය. එසේ නොවුණුහොත් මෙය බෝවිය හැකිය. සුදුවෑන්වල දෙවැනි කොටස ලෙස වගා විය හැකිය. අමතක නොකළ යුත්ත කවුරු කළද කළවුන් නිදැල්ලේ බවය. එසේ නම් කළයුත්තේ ඇළවල් පීරීමද? භීෂණය තවමත් පහව නැත. අනතුර පෙර දේමය. ආරක්ෂාව ඈලියාවට ගොස්ය. ජීවිතවලට මීට වඩා අරුතක් සෙවිය යුතු නැද්ද? යහපාලනය නොව මොන පාලනය වුව එය කළයුතු නැද්ද?