මිලියන 1500ක් රටට අහිමි කළ රාජපක්ෂවරුන්ගේ සමාගම

රාජපක්ෂ සමාගමක් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලදී ගෙන ඇති බවත්, එම ගනුදෙනුවෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 1000ක් බවත් පසුගිය සතියේ මුල් පුවතින් අනාවරණය කළෙමු. එමෙන්ම එම මුල් පුවතේ වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ගනුදෙනුව සම්බන්ධව විස්තරාත්මක ලිපියක් මෙම සතියේදී ඉදිරිපත් කරන බවයි.

මේ ආකාරයට ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් මිලදී ගෙන තිබුණේ ස්කයි නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමය. එහි අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරියගේ පුත‍්‍රයා වන හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි නමැත්තාත්, හෙට්ටිආරච්චිගේ සිරිසේන නමැති මීට පෙර අප හෙළිදරව් කළ රාජපක්ෂලාගේ සමාගමක් වූ චෙස්මි කොන්සොලිඬේටඞ් හි මුල් අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයාත් හා කෝනාර මුදියන්සේලාගේ සේනාරත්න බණ්ඩාර නමැති පුද්ගලයන්ය.

පසුගිය මුල් පුවතින් හෙළිදරව් කරන ලද මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඔවුන්ගේ අවධානය යොමු කරන්නේ මගේ අංක ටීඑම්/එච්/cope/එස්එල්ටී/2012 දරණ 2013 ඔක්තෝබර් 10 දින සහිත ලිපිය මගින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අමතමින්ය.
මුලින්ම මෙම දූෂිත ගනුදෙනුව තේරුම් ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මිලදී ගැනීමට පෙර ස්කයි නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමේ පැටිකිරිය විමසා බැලීම සුදුසුය.

ස්කයි නෙට්වර්ක්ස් හි පැටිකිරිය

සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව මෙම සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2006 වර්ෂයේ මැයි 08 දින අංක එන් (pvs) 46122 යටතේය. සමාගමේ අරමුණු වී ඇත්තේ ස්ථාවර හා ජංගම මාධ්‍ය ඔස්සේ හඬ හා දත්ත සන්නිවේදනය කිරීමේ ව්‍යාපාර කටයුතු සිදු කිරීමය.
මුලින්ම මෙම සමාගම සතුව රුපියල් 10/= වටිනාකමක් සහිත කොටස් දෙකක් පමණක් තිබී ඇති අතර 2007 මාර්තු 15 දින වනවිට සමාගම කොටස් 95,000ක් නිකුත් කර තිබී ඇත. එම කොමිස්වලින් 80752ක් හාස්ටින් ටේ‍්‍රඩින් E සර්විස්ටද, කොටස් 4748ක් හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චිටද, කොටස් 9,500ක් ලියුසින් හෝල්ඩින් ලිමිටඞ්ටද හිමිවී තිබී ඇත.

මෙම සමාගමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2007 ජනවාරි 10 හා 2014 පෙබරවාරි 14 දින සංඛ්‍යාත පථ (සංඛ්‍යාත පරාසය) ලබා දී ඇති අතර ඒවා 5470-5725, 5725-5850, 2400-2430 ලෙස හඳුනාගෙන ඇත. එම සංඛ්‍යාත පථ සමාගම බාරගෙන තිබුණත් ඒවාහිි නීත්‍යානුකූල හිමිකම සමාගම ලබාගෙන තිබී නැති අතර නියමිත ගාස්තු නොගෙවීම නිසා පසුව එම සංඛ්‍යාත අවලංගු කර තිබේ.

පසුව 2009.12.22 දින අංක DT/10/26/07-9-002 දරණ ලිපිය මගින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2570-2600 සංඛ්‍යාත පථය ස්කයි නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමට වෙන්කර ඒ සඳහා රුපියල් මිලියන 300ක් ගෙවිය යුතු බව දන්වා ඇත. එසේ වූවත් එම මුදල සමාගම ගෙවා තිබී නැත. එමෙන්ම සමාගම ආරම්භ කර 2006 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම එය මිලදී ගත් 2008 වර්ෂය දක්වාම සංඛ්‍යා පථ භාවිතයෙන් කිසිදු ක‍්‍රියාකාරී කාර්යභාරයක් සිදුකර තිබී නැති අතර wimax තාක්ෂණය භාවිතයට අවශ්‍ය කිසිදු යන්ත‍්‍ර උපකරණයක් හෝ තාක්ෂණික කාර්යමණ්ඩලයක් එම සමාගම සතුව තිබී නැත. එසේ වූවද ඒ වනවිට කොටස් හිමිකාර හාස්ටින් ටේ‍්‍රඩින් E සර්විස් සමාගමට රුපියල් 7,731,500/=ක මුදලක් ගෙවීමට නියමිතව තිබී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් වෙන්කරන ලද සංඛ්‍යාත පථ භාරගැනීමට පෙර ඊට අදාළ ගිවිසුමට එළඹීම සඳහා නිශ්චිත ගාස්තු ගෙවා සංඛ්‍යාත භාවිතයේ අයිතිය ලබාගත යුතු වුවද එම කටයුතු සිදුකර නොතිබූ බැවින් සංඛ්‍යාත පිළිබඳ නීත්‍යානුකූල හිමිකමක් තවදුරටත් සමාගමට තිබී නැත.

එමෙන්ම ස්කයි නෙට්වර්ක්ස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 12.5ක ආයෝජනයක් කිරීමට ගිවිසුම් ගත වූ BOI ව්‍යාපෘතියක් ලෙස වැට් සඳහා රුපියල් මිලියන 65ක හා රේගු ගාස්තු සඳහා රුපියල් මිලියක 60ක සහනයක්ද හිමිකරගෙන තිබී ඇත.

ස්කයි නෙට්වර්ක්ස් ටෙලිකොම් විසින් මිලදී ගැනීම

ස්කයි නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් 2008 මැයි 16 දින මිලදීගෙන ඇති අතර ඒ සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් හා එම මිලදී ගැනීමට අදාළව දක්වා ඇති හේතූන් මෙසේය.

wimax තාක්ෂණය ඔස්සේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි හඬ හා දත්ත සේවාව පුළුල් කිරීම, wimax තාක්ෂණය භාවිතයට අවශ්‍ය වන සංඛ්‍යාත පථ ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙත නොතිබීම, ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවශ්‍ය සංඛ්‍යාත ලබාගැනීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ඉල්ලීම් කළද එය නොසලකා හැරීම සහ එඑම පහසුකම මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1ක් ගෙවීම යෝග්‍ය බවය.

එහෙත් එම හේතූන් සම්බන්ධයෙන් විගණනයේ නිරීක්ෂණ වන්නේ ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි 100%ක පරිපාලිත සමාගමක් වන මොබිටෙල් පුද්ගලික සමාගම සතුව wimax  තාක්ෂණය හා අවශ්‍ය සංඛ්‍යාත පථ තිබීම, එමෙන්ම මොබිටෙල් සමාගම හා ටෙලිකොම් සමාගමට ඒ පිළිබඳව පුහුණු තාක්ෂණ මණ්ඩලයක් සිටීම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙත සංඛ්‍යාත පථ ලබා නොදීමට හේතුවක් නොමැති බව තහවුරු කිරීම, ස්කයි නෙට්වර්ක්ස් ආයතනයේ සංඛ්‍යාත පථ භාවිතා කිරීමේ අරමුණ ඇතිව එම සමාගම නීත්‍යානුකූලව ලබාගෙන නොමැති සංඛ්‍යාත පථ වෙනුවෙන් රුපියල් මිලියන 108ක ගැනුම් ප‍්‍රතිෂ්ඨාවක් (අත්තිකාරමක්) ගෙවා තිබීමය.

මිලදී ගැනීමෙන් පසු ක‍්‍රියාවලිය

ස්කයි නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලදී ගැනීමෙන් පසු අසප්ං තාක්ෂණ භාවිතය සඳහා අවශ්‍ය යන්ත‍්‍ර උපකරණ ස්ථාපිත කර ඇත්තේ 2010 නොවැම්බර් මාසයේදී වන අතර ඒ සඳහා ටෙලිකොම් සමාගම විසින් රුපියල් මිලියන 633ක මුදලක් වියදම් කර තිබේ. අමතරව ග‍්‍රාහක උපකරණ 1000ක් රුපියල් මිලියන 17කට ලබාගෙන තිබුණි. 2010 දෙසැම්බර් මාසයේදී පාරිභෝගිකයින් 70කින් එකී සේවාව පටන්ගෙන ඇති අතර ව්‍යාපාර කටයුතු 2011 මැයි මසදී අත්හිටුවා ඇත. එසේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන විටදී සිට ඇත්තේ පාරිභෝගිකයන් 70 දෙනාම පමණය. අවසානයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන විටත් wimax පද්ධති උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 281ක මුදලක් සැපයුම් කළ ආයතනය වන HUAWEI ආයතනයට ගෙවීමට නියමිතව තිබී ඇත.

විගණනයේ ප‍්‍රධාන නිරීක්ෂණය

විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් ස්කයි නෙට්වර්ක්ස් ආයතනයට වෙන්කර දී තිබූ සංඛ්‍යාත පථ භාවිතයට නීත්‍යානුකූල හිමිකමක් නොතිබීමේ තත්ත්වයක් තුළ අදාළ සංඛ්‍යා පථය ලබාගෙන ඇත්තේ එම ආයතනය මිලදී ගැනීමෙන් පසුවය. එම නිසාම ස්කයි නෙට්වර්ක්ස් ආයතනය මිලදී ගැනීමේ තීරණය ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව විගණනයේ මතයයි.

එමෙන්ම ස්කයි නෙට්වර්ක්ස් ආයතනය මිලදී ගැනීම සම්බන්ධයෙන් අර්නස්ට් ඇන්ඞ් යංග් විගණන ආයතනය කරන ලද අධ්‍යයන වාර්තාවේ ආයෝජනය අවුරුදු 4ක කාලයකින් නැවත ලබාගත හැකි බව දන්වා තිබුණද එම නිගමනයට පාදක කරගෙන තිබූ ශ‍්‍රී ලංකා ටෙලිකොම් මගින් ලබාදී තිබූ තොරතුරු හා දත්ත නිවැරදි නොවන බව විගණනය කියයි.

තවද ස්කයි නෙට්වර්ක්ස් ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් මිලදී ගැනීමට ආසන්නයේදී එනම් 2007 මාර්තු මස රු. 950,000ක් කොටස්් නිකුත් කළබවත් , එය පුද්ගලයන් තිදෙනකටු ලබාදුන් බවත් සඳහන් කර තිබුණද එවැනි ගනුදෙනුවක් සිදුවී ඇති බව සනාථ නොවන බව විගණනය කියයි. විශේෂයෙන්ම විගණනය අවධාරණය කරන්නේ මිලදී ගැනීමට ප‍්‍රථම ගැනුම් ප‍්‍රතිෂ්ඨාවක් වශයෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ලබාදුන් රුපියල් මිලියන 108ක මුදලින් රුපියල් මිලියන 107ක (රු. 107,287,500) මුදල ගිණුම්වල දක්වා නොතිබූ බැවින් එම මුදල බාහිර පාර්ශ්වයකට නීතියට පටහැනිව ගෙවා ඇති බව නිරීක්ෂණය වන බවයි.

එමෙන්ම ස්කයි නෙට්වර්ක්ස් මගින් විදුලි සංදේශ නියාමන කොමිෂමට ගෙවීමට තිබූ රුපියල් මිලියන 300ක මුදල පිළිබඳව සැලකිලිමත් වී නොතිබූ බවත්, එමෙන්ම රුපියල් මිලියන 588ක (රු. 588,712,510) මුදලක ආයෝජනය අර්ථවත් හා ඵලදායී නොවන බවත්, සංඛ්‍යාත පථ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂමට ගෙවිය යුතු රුපියල් මිලියන 300ක මුදල ගෙවා එහි හිමිකම 2019 වර්ෂය දක්වා රඳවා ගන්නවා වෙනුවට 2013 වර්ෂයේදී එම සංඛ්‍යාත සඳහා රුපියල් මිලියන 600ක මුදලක් ගෙවා එම හිමිකම 2023 වර්ෂය තෙක් රඳවා ගැනීමට අනාර්ථික වියදමක්් දරා ඇති බවයි. සංඛ්‍යාත පථ වෙනුවෙන් ගෙවමින් තිබූ රුපියල් 5,486,845ක වාර්ෂික බලපත‍්‍ර ගාස්තුව වෙනුවෙන් රුපියල් 27,553,020ක ගාස්තුවක් ගෙවමින් අනාර්ථික තවත් වියදමක් දරා ඇති බව විගණනය නිරීක්ෂණය කරයිි.

විගණනයේ විශේෂම නිරීක්ෂණය වන්නේ සමාගමේ 1% කටත් වඩා අඩු කොටස් හිමිකාරීත්වයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරියගේ පුත‍්‍රයා වන හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චිට අධ්‍යක්ෂ ගාස්තු වශයෙන් රුපියල් මිලියන 10ක (රු. 10,400,000)මුදලක් ගෙවා ඇති බවයි. එමෙන්ම එම ගෙවීම කර ඇත්තේ ආයතනයේ කිසිදු ක‍්‍රියාකාරී කටයුත්තක් සිදුකර නොමැති තත්ත්වය තුළදී බවද විගණනය අවධාරණය කරයි.

විගණන වාර්තවේ ඇති ඉහත සඳහන් කරන ලද කරුණු සම්පිණ්ඩනය කර තේරුම් ගතහැකි සරල ආකාරයකට කිවහොත් සිදුවී ඇත්තේ රාජපක්ෂවරු විසින් හඬ හා දත්්ත සන්නිවේදනය කිරීමේ නාමික ව්‍යාපාරයක් ලියාපදිංචි කර, ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහයෙන් ගෙවීමකින් තොරව සංඛ්‍යාත පථ වෙන් කරවාගෙන, එම සංඛ්‍යාත පථ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අත්‍යවශ්‍ය බවට නිගමනය කර, රජයේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් මුදලින් රාජපක්ෂවරුන්ගේ ස්කයි නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම මිලදී ගෙන ඉන්පසු ඒ සඳහා තවත් වියදම් දරමින් රටට අතිවිශාල මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවයි.

මෙම ගනුදෙනුවේ වංචාවේ හා පාඩුවේ එකතුව රුපියල් මිලියන 1500කට ආසන්නය. යහපාලනය ගැන වත්මන් ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇතිනම් රාජපක්ෂවරුන්ගේ මෙවැනි ව්‍යාජ ගනුදෙනු ගැන ඉතා ඉක්මනින් කටයුතු කළ යුතුය.