රාවය

ඔබාමාට හිස රුජාවක්

ඔබාමාට හිස රුජාවක්

 

පසුගියදා පැවැති ඊස‍්‍රායෙල් මහ මැතිවරණයෙන් බෙන්යෙමින් නෙතන්යාහු ජයගැනීම අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට හිසේ ඇම්මක් ඇති කරවන්නට හේතු වී ඇතැ’යි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයකු ව සිටි පිලිප් ජේ. ක්‍රෝලි ලියයි. ‘අහා, ප‍්‍රතිඵල නිකුත්වෙලා ය. බිබිගේ මෙවර ජයග‍්‍රහණය ජනාධිපතිවරයාගේ හිසරදය නිදන්ගත රෝගයක් බවට පත් කරයි. මෙය ලබන වසරේ ඔහු ධුරයෙන් ඉවත් ව යනතුරු එලෙසින් ම පවතිනු ඇති.’
ක්‍රෝලි පෙන්වා දෙන ආකාරයට රෝග නිධානය නෙතන්යාහු සමග ඔබාමාගේ ගැටලූකාරී සබඳතාව බව ඔහුගේ අදහසයි.

පළපුරුදු දේශ පාලනඥයකු වන නෙතන්යාහු සිමොන් පෙරෙස් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නිසා පුරප්පාඩු වූ අගමැති තනතුරේ 1996 ජුනි සිට 1999 ජුලි දක්වා රාජකාරි කළේ ය. 2006 – 2009 කාලසීමාවේ එරට විපක්‍ෂ නායක වූ ඔහු විදේශ ඇමති, මුදල් ඇමති යන ධුර ද හොබවා තිබේ. 2009 මාර්තු 31 දින ඊස‍්‍රායෙලයේ අගමැති ධුරයට පත් වූ ඔහු නැවත 2013 මහ මැතිවරණයෙන් ජයගෙන අගමැති විය. වසර දෙකක් ශේෂව තිබිය දී ඊස‍්‍රායෙල් පාර්ලිමේන්තුව හෙවත් නෙසෙට් සති කිහිපයකට පෙර විසුරුවා හරින ලද අතර ඒ අනුව පැවැත් වූ මහ මැතිවරණයේ දී ඔහුගේ ලිකුද් පක්‍ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත් හෙයින් තුන්වන ධුරකාලය සඳහා ද එළැඹෙන 31 හෝ ආසන්න දිනයක ඔහු දිව්රුම් දෙනු ඇත. ඊස‍්‍රායෙලයේ සමාරම්භක අග‍්‍රමාත්‍ය බෙන් ගුරියන් හැරුණුවිට මෙසේ එක දිගට තුන්වරක් සහ ඊට පෙර ද එක් වරක් වශයෙන් සිව්වරක් අගමැති ලෙස පත්වන්නට හැකියාව ලැබුණේ බිබිට පමණකි.

පසුගිය මහ මැතිවරණයේ දී ඔහු ජයගත්තේ පලස්තීනුවන්ට එරෙහිව ජාතිවාදය වැපිරීමෙනි. රටේ විරැුකියාව සහ උද්ධමනය ඉහළ නැග පැවති අතර ජනතාව පසුවූයේ නෙතන්යාහු පාලනය සමග කෝපයෙනි. එහෙත් තමා බලයට පත් වූ පසු පලස්තීනය විනාශ කරන්නට පියවර ගන්නේ යයි කළ ඉතා අන්තවාදී ප‍්‍රකාශ නිසා ඒවා කි‍්‍රයාවට නංවන්නට ආශා ඇති ඊස‍්‍රායෙල් ජාතිකයන් ඔහුට ඡුන්දය දුන් බව වාර්තාවේ. මැතිවරණ ව්‍යාපාරය පැවැත්වෙන අතර ආමරිකාවට ගොස් එරට කොංග‍්‍රස් මණ්ඩලය අමතා ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන විරෝධය පළකරන්නට ද ඔහු අවස්ථාව ලබා ගත්තේ ය. ජනාධිපති ඔබාමා ඒ සංචාරයේ දී නෙතන්යාහු මුලිච්චි වුණේ නැත.
මැදපෙරදිගට සාමය ගෙන එන්නට කිසියම් ප‍්‍රයත්නයක් දරනා විට මැදට පැන එය කඩාකප්පල් කිරීම නෙතන්යාහුගේ සිරිත ය. මෙවර ද ඔහු එයාකාරයෙන් ම හැසිරෙනු ඇතැ’යි දැන් ම කිව හැකි ය. ධවල මන්දිරයට ඔහු හිසරදයක් වන්නේ එහෙයිනි.