මහරු වොලිබෝල් ඉතිහාසයක ගම්පහ සියනෑතරු

 

ගිය සුමානෙ අපි අවුරුදු 60න් උඩ ගැහුවනෙ. මාවත් ටීම් එකට දාන්නයි අපේ එවුන් හැදුවෙ. කකුල් පෙරළෙයි කියලා මම ගියේ නැහැ. එදා කකුල් පෙරලිච්ච දෙන්නෙක් තාම නැගිටින්න බැරුව ඉන්නවා. මං පස්සෙ ඇහුවා උඹලා මාවත් මරන්න නේද හැදුවෙ කියලා.’
විජේ කියන පරිදි ඔහුගේ වයස අවුරුදු හැටනමයාමාරකි. ඔහු මහත් අභිරුචියෙන් කීවේ හැටෙන් ඉහළ පැරණි ක‍්‍රීඩකයන් ගැසූ වොලිබෝල් තරගයක් ගැනය. වොලිබෝල් ගැන කතා කරන විට දුනු සවි කරපු පුටුවක ඉන්නවා වගේ විජේගේ ඉඟටියෙන් ඉහළ පෙදෙස රංගනයක යෙදෙයි. ඒ අත්පන්දු ක‍්‍රීඩාව පිරිබඩ ගෑ අතිමහත් සතුටටය. විජේ අයියා හෙවත් විජයදාස සමරවීර ගම්පහ සියනෑතරු වෝලිබෝල් කණ්ඩායමේ වර්තමාන පුහුණුකරුවාය.
අපි සිටියේ වොලිබෝල් පිටියකට මුහුණලා තැනූ ඉතාම කුඩා කුටියකය. ඒ ලක නම පතල ගම්පහ සියනෑතරු වොලිබෝල් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩාගාරයයි. ක‍්‍රීඩාගාරයේ සිටින විට බස්පාරට ඔබ්බෙන් මිනිත්තු පහෙන් පහට වාගේ දුම්රියක් ඇදෙනු නූස් ළඳු කැළෑව අස්සෙන් දිසේ. ඒ සවස්වරුවේ ගම්පහ සියනෑවේ නවකයෝ එකා දෙන්නා එසේ ගිය දුම්රියවලින් බැස ආහ.
උඹලා සෙල්ලම් කරපල්ලා. අනික් එවුන් එන්නෙ නැතෑ.
පිටිය දෙසට එමින් සිටි ඒ කාටත් විජේ අයියා එසේ කීවේය.

සියනෑතරු

ගම්පහ සියනෑතරු ක‍්‍රීඩා සමාජයේ ආරම්භය 1944 දක්වා ඈතට දිවෙයි. ගම්පහ බැණ්ඩියමුල්ලේදී පටන් ගත් වොලිබෝල් ක‍්‍රීඩාංගණයේ දැල බඳින්නට අවශ්‍ය ලණුව ගෙන ආවේ එවකට වරායේ වැඩ කළ අත්පන්දු පේ‍්‍රමියකු වූ දිසානායක කෙනෙකි. බැණ්ඩියමුල්ලේ කවුරුත් පාහේ අත දුන් සියනෑතරු ක‍්‍රීඩා සමාජයේ පළමු සභාපතිවරයා වූයේ ගම්පහ නිව් ක‍්‍රවුන් ව්‍යාපාර අධිපති ජේ.ජී. ජිනදාස මහතාය. සියනෑතරු මෙසේ බිංදුවෙන් පටන් ගෙන ඉබි ගමනේ ඉදිරියට එද්දී 50 දශකයේදී ආරම්භ කළ ගම්පහ සෙන්ට‍්‍රල් ක‍්‍රීඩා සමාජය හැටේ දශකය පුරා පළාතේ පමණක් නොව රටෙහිම ජයකෙහෙළි නැංවූයේය. 1959 වෙද්දී අග්නිදිග ආසියාවේ හොඳම වොලිබෝල් ප‍්‍රහාරකයා ලෙස සම්මානයට පාත‍්‍ර සිරිවර්ධන හෙවත් වොලිබෝල් සිරා සෙන්ට‍්‍රල් ක‍්‍රීඩකයකු වූ අතර සෙන්ට‍්‍රල් ක‍්‍රීඩා සමාජයෙන් සිරා අනුයන තවත් විශිෂ්ටයෝ කිහිපදෙනෙක් බිහිවූහ. එපමණක් නොව ඔවුහු දොළොස් වතාවක් පමණ ජාතික වොලිබෝල් ශූරතාවටද හිමිකම් කීහ. ඉබිගමනේ ගිය සියනෑවටත් අග්නිදිග ආසියාවේ හොඳම වොලි බෝල් ප‍්‍රහාරයකයාගේ උණුසුම කාන්දු වන්නට පටන් ගත්තේය.

බලා සිට ගැසීම

පනහේ අගවෙද්දී අපි බෝල අහුලන්න ආපු පොඩි කොල්ලො. ඒ දවස්වල සියනෑපිටිය තිබුණේ ගම්පහ ඉස්පිරිතාලෙ ඉස්සරහ වතුර ටැංකිය ළඟ. අපි ඉස්කෝලෙ ඇරිච්ච ගමන් ගිහින් බෝලෙ ඉල්ලගෙන සෙල්ලම් කරනවා. තුනහමාර හතර වෙද්දි ලොකු අයියලා වොලිබෝල් ගහන්න ආපු ගමන් අපිව පන්නනවා. දැන් ඉතිං තොපි පලයල්ලා කියලා. ඇයි ඉතිං ඒ දවස්වල සියනෑ ක‍්‍රීඩා සමාජයට තිබුණේ එක බෝලයයිනෙ. ඉතිං අයියලා ගහන්න පටන් ගත්තට පස්සෙ අපි බෝල අහුලනවා.
විජේ ඇතුළු පිරිසට යළි වොලිබෝල් සෙල්ලම් කරන්නට ලැබෙන්නේ අයියලාට හොඳටෝම මහන්සි වී පොඩි විවේකයක් ගන්නට ක‍්‍රීඩාව නැවැත්වූ විටය. ඉක්බිති විජේ ඇතුළු සගයෝ අයියලා ගහන විදියට ගැසූහ. පාස් කරන විදියට පාස් කළෝය. බෝලය පිරිනමන විදියට පිරිනැමුවෝය. ඒ දවස්වල මාත් එක්ක බෝල අහුලපු යාළුවෙක් තමයි රංජිත් පේ‍්‍රමරත්න. රංජිත් පස්සෙ කාලෙක ජාතික වොලිබෝල් පිලට ක‍්‍රීඩා කළා. මමත් සියනෑතරු නායකයා වුණා. ඒත් අපිට මේ ක‍්‍රීඩාව ගැන විද්‍යානුකූල පුහුණුවක් තිබුණේ නැහැ. බලා ඉඳලා සෙල්ලම් කරන එක තමයි කවුරුත් කළේ. අපේ අයට යම් විද්‍යානුකූල පුහුණුවක් පසුකාලෙක ලැබුණේ ජර්මනියට ගිහින් පුහුණුවෙලා ආපු ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු වූ විජේපාල මහත්තයාගෙනුයි, ගුණ වර්ධන මහත්තයාගෙනුයි.

ඇදගෙන යන්න බැරිකම

වොලිබෝල් පුහුණු වන්නට ආර්ථික අමාරුකම් සහිත ළමයකු හැමදාම උනන්දුවෙන් එනවා නම් ඔහුට ගමන් ගාස්තුව සමග ක‍්‍රීඩා කරන විට තේකක්, බනිස් ගෙඩියක් ලබාදීම වැදගත්ය. එහෙත් සියනෑ ක‍්‍රීඩා සමාජයට වසර 70ක් ගතවීත් එබඳු අඛණ්ඩ ආර්ථික හැකියාවක් නැත. සියනෑ පුහුණුකරු විජයදාස සමරවීර තම පුද්ගලික දිවියේ සියල්ල අතහැර සියනෑතරු වොලිබෝල් ප‍්‍රගමනයට කැපවූවෙකි. තවදුරටත් සියනෑතරු දුවන්නේ විජේ වැනි මිනිසුන්ගේ ධෛර්ය සම්පන්න මැදිහත් වීමෙනි. පුහුණුව සඳහා එන ක‍්‍රීඩකයන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරෙන අතර රැුකියාවක නියුතුවූවන් ක‍්‍රීඩා සමාජයේ සාමාජිකත්වය දැරීමට මාසිකව රු. 50/-ක සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුය. ක‍්‍රීඩා සමාජයේ ස්ථාවර ආදායම එපමණකි.
‘ටූනමන්ට් එකක් කරනවා වගේ දේකට සල්ලි ඕනෙ වුණාම අපි සංගීතයක් කරලා කීයක් හරි හොයා ගන්නවා. නැත්නම් ගෙට්ටු ගෙදර් එකක් සංවිධානය කරලා පොඩි ෆන්ඞ් රේස් එකක් කරනවා.’
කවර ආර්ථික ප‍්‍රශ්න තිබුණත් සඳුදා, බදාදා, සිකුරාදා දිනවල හවස තුනයි තිහ, හතර වනවිට තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සියනෑපිටිය වෙත රොද බඳිති. අපි එහි ගියේ ඉකුත් සඳුදාවක සවස් වරුවේය. එදා නම් කෝච්චි නොනවත්වා ගියේය. තරුණ සියනෑ ක‍්‍රීඩකයන් ආවේ මද වශයෙනි.
උඹලා සෙල්ලම් කරපල්ලා – විජේ ඒ කාටත් කීවේය.
කොල්ලෝ ඒ වනවිටත් ශරීර උණුසුම් වන අභ්‍යාස පටන් ගෙන තිබුණි.
අද ඉන්ටර්ස්කූල් ටූනමන්ට් එකක් තියනවා. අපේ හැමදාම එන එවුන් ඒකෙ රෙෆ්රිලට යන්න ඇති. එක මැච් එකකින් 1200ක් හම්බවෙනවා. සල්ලි නැති කොල්ලොනෙ, කීයක් හරි හොයා ගත්තදෙන්.

තරු

විජේ කියන ජාතියේ අමාරුකම් සියනෑතරු පිලට ඉකුත් වසර 70 පුරාම තිබුණේය. එහෙත් බනිස් හෝ ප්ලේන්ටි ඇතුව හෝ නැතුව ප‍්‍රකට වොලිබෝල් තරු සියනෑවෙන් බිහිවූහ. ධර්මසේන රාජසිංහ, බන්දු, ඞී.ඞී. ගුණතිලක මෙන්ම පසුකලෙක ජයන්ත සමරනායක, රංජිත් පේ‍්‍රමරත්න, ජයතිස්ස හා අජිත් ආනන්ද ආදීන් කීර්තිමත් සියනෑ පුත‍්‍රයෝ වූහ. ඇතැම් වසරවල සියනෑ ක‍්‍රීඩකයන් හතරපස් දෙනකුම ජාතික වොලි බෝල් පිලට ක‍්‍රීඩා කළහ. රදාවානේ ජයන්ත සමරනායක ලංකාවේ බිහිවූ උසින් වැඩිම ක‍්‍රීඩකයෙකි. ජයතිස්ස ජාතික කණ්ඩායමේ සෙටර්ය. මුල්වරට සියනෑ පිල ජාතික වොලිබෝල් ශූරතාව දිනුවේ 1982දීය. අනතුරුව 84දී හා 99දී ඔවුහු ජාතික ශූරතාවට හිමිකම් කීහ.
82දී අපි දිනුවාම එතැන් සිට හවසට විශාල පිරිසක් වොලිබෝල් සෙල්ලම් කරන්න ආවා. හවසට විශාල පිරිසක් එන එකම ක‍්‍රීඩා සමාජයකට ලොකු ජයග‍්‍රහණයක්. ඇත්තටම 82න් පස්සෙ අපි ගම්පහ සෙන්ට‍්‍රල් එකට තිබුණු තැන දිනාගත්තා. සියනෑ ගහනවා කියන්නේ එදා සිලෝන් ටීම් එකට ගහනවා වගේ වැඩත් වුණා.
සියනෑට අමතරව ජෝර්ජ් ප‍්‍රනාන්දු (මීගමු නවකතරු), වී.පී. ගුණතිලක (ගුවන් හමුදාව), ඩබ්.එල්. පියසේන හා ඞී.සී. චාල්ස් (සෙන්ට‍්‍රල්) යනාදී ක‍්‍රීඩකයෝ එකල සෙසු වොලිබෝල් තාරකා වූහ.

රැකියා

මෙම ජයග‍්‍රහණ හරහා සියලූම ක‍්‍රීඩකයන්ට පාහේ මත්තේගම හා පූගොඩ ටෙක්ස්ටයිල්ස්, වරාය වැනි ආයතනවල රැුකියා ලැබිණි. එයින් ක‍්‍රීඩකයන්ගේ ආර්ථික අමාරුකම්වලට පිළියමක් ලැබුණත් අත්වූ එක් කනගාටුදායක සිදුවීමක් වන්නේ එම දක්ෂ ක‍්‍රීඩකයන්ට තරගාවලිවලදී තමන් රැුකියාව කරන ස්ථානයේ වොලිබෝල් කණ්ඩායම් වෙනුවෙන් ක‍්‍රීඩා කරන්නට සිදුවීමය. එසේ සියනෑවට සියලූම අතිදක්ෂයන් අහිමි වූ අවස්ථා තිබුණු අතර වැදගත්ම ශූරතා කිහිපයක් සියනෑවෙන් ගිලිහී යෑමට එය හේතුවක් විය.
වර්තමාන ශ‍්‍රී ලංකා ජාතික පිලේ නායකයා සියනෑතරු පිලෙන් බිහිවූ සමීර දිසානායකය. කාන්තා ජාතික පිලටද සියනෑ අම්මා තම ඇකයේ දරුවන් දුන්නාය. ශ‍්‍රී ලංකා නෙට්බෝල් ජාතික පිලේ වර්තමාන නායිකා රසිකා සියනෑවේ වොලිබෝල් ක‍්‍රීඩිකාවකි. ඇය දක්ෂ නෙට්බෝල් ක‍්‍රීඩිකාවක් වූයේ වොලිබෝල් ක‍්‍රීඩාවෙන් ලද පරිචය හේතු කොටගෙනය.
‘ඒ කාලෙ සමහරු සියනෑ එකට ගහන්න ඕනෙ නිසා හොඳ රස්සාවල් දාලා ගමට ආවා. මාසයක් දෙකක් රස්සාවට නොයා ඉන්න කොට අස්කරනවනෙ. ඊට පස්සෙ ආයෙත් සියනෑ ගහනවා. ඒවා පුුදුම කැපකිරීම්.’ විජේ එසේ කීවේ හැඟුම්බරවය.

ගොගොල් සහ සිරා

රුසියානු ලේඛකයන් ගොගොල්ගේ හිම කබාය ඇතුළෙන් වැටුණා වගේ වැඩක් ගම්පහදීත් සිදුවිය. ඒ සිරිවර්ධන හෙවත් සිරා හරහාය. ඔහු වොලිබෝල්වලට දුන් කීර්තිය මත තවත් අතිදක්ෂයන්ගෙන් සැදුම්ලත් වොලිබෝල් කණ්ඩායම් ගම්පහ දිස්ත‍්‍රික්කය පුරා බිහිවිය. මිනුවන්ගොඩ පරාක‍්‍රම, උඩුපිල සිසිර, වැලිකඩ වික්ටරි, වැලිසර ඇට්ලස්, ගණේමුල්ල රන්තරු, මීගමුව නවක තරු සහ ග‍්‍රාෆෝම් ගාමන්ට්ස් ඒ අතර විය. ඒ හැරුණුවිට ගම්පහ බණ්ඩාරනායක හා සිද්ධාර්ථකුමාර යන දෙවිදුහල්වලින්ද එකල දක්ෂ වොලිබෝල් ක‍්‍රීඩකයෝ බිහිවූහ.
හිටපු අමාත්‍යවරයකු වූ රෙජී රණතුංග මහතා සෙන්ට‍්‍රල් ක‍්‍රීඩා සමාජයේ උද්යෝගිමත් ක‍්‍රීඩකයෙකි. සිරා අග්නිදිග ආසියාවේ හොඳම ප‍්‍රහාරකයා බවට පත්වූ පසු රණතුංග පවුලට අයත් ගම්පහ පබ්ලික් හෝල්හි වොලිබෝල් ජයග‍්‍රහණය සැමරීම සඳහා දැවැන්ත උත්සවයක් සංවිධානය කැරිණි. එහි ප‍්‍රධාන ආරාධිතයා වූයේ අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාය. එහිදී වොලිබෝල්වලට කළ සේවාවට කෘතගුණ සැලකීමක් වශයෙන් ගම්පහ සෙන්ට‍්‍රල් ක‍්‍රීඩකයන්ට පබ්ලික් හෝල් සිනමා ශාලාවේ චිත‍්‍රපට බැලීමට දෙවැනි පන්තියේ ප‍්‍රවේශ පත‍්‍රයක් ශත 55ක් වැනි සහන මිලකට ලබාදීම රණතුංග මහතා වෙතින් සිදුවිය.

ඔරලෝසු මුහුණතේ හැටියට

වොලිබෝල් ක‍්‍රීඩා කරන පිටියක ක‍්‍රීඩක චලනය ඔරලෝසු මුහුණතක ආකෘතිය ගනී. එක දෙකට යාම, දෙක තුනට යෑම ආදී වශයෙන් චක‍්‍රීයව සාමාජිකයන් සයදෙනකුගේ එකසර ඉරියව්ව මෙම ක‍්‍රීඩාවේ තානයයි. වොලිබෝල් මනා ශරීර පාලනයකටද උපකාරි වන අතර පොඩි ඉඩක අඩු වියදමකින් වැඩි කැපවීමකින් යුතුව ක‍්‍රීඩාවේ සෞන්දර්යය මෙන්ම තාක්ෂණයද සාක්ෂාත් කරගත හැකිය.
සියනෑ වොලිබෝල් කෙබඳු තත්්ත්වයට පත්වුවත් ඔවුන්ට තවමත් ස්ථිර ක‍්‍රීඩා පිටියක් නැත. ක‍්‍රීඩා පිටියක් දෙන බවට පොරොන්දු දී ඉකුත් සමයේ ඇතැම් දේශපාලකයෝ සියනෑ වොලිබෝල් ක‍්‍රීඩාවට ඇන්දූහ. සියනෑවට ලැබුණු පිටියක් නැත.
මේ කතාබහ අතරතුරේදී විජේ අයියා පරණ පුවත්පත් කැබලි මිටි කිහිපයක් අප ඉදිරියට ගෙනැවිත් දැමුවේය. ඒ ඔහු සියනෑවට ක‍්‍රීඩා කරන සමයේ පටන් අද දක්වාම එකතු කරන ලද සියනෑතරු පිළිබඳ පුවත්පත්වල පළවූ දැය. ඒවාට අනුව සියනෑ ලබා ඇති ජයග‍්‍රහණ සංඛ්‍යාව ගණන් කිරීම පහසු නැත. ක‍්‍රීඩා පිටි නැතත් අඩුම තරමින් බනිස් හෝ ප්ලේන්ටි නැතත් අවකාශයට දෑත් ඔසවා ඩෑෂ් ගසන සියනෑ ක‍්‍රීඩකයන්ගේ විදුලි වත ඒ දුහුවිලි බැඳුණු පත්තර පිටු අතරින් සජීවීව පෙනුණි. ඒ සියල්ලෝ ඔරලෝසු මුහුණතක තත්පර කටුව සේ හතිනොලා නොනැවතී අසිරිමත් ගමනක ගියහ.