සුගත්ගෙන් සුවඳ ගන්න

ධනංජය කරුණාරත්න

සිංහල නාට්‍ය කලාවේ තරුණ නාට්‍යකරුවන්ගේ ස්වර්ණමය නාට්‍ය යුගයක් අසූව දශකයේ අවසාන භාගය හා අනූව දශකය අතර හමුවන බව එදා මෙදා තුර නාට්‍ය දැක ඇති කිසිවකුට බැහැර කළ නොහැකිය. මින් සියලූම නාට්‍ය මෙන් බිහිවූවේ යෞවන සම්මාන නාට්‍ය උළෙල හරහාය. විශේෂයෙන් කැපී පෙනෙන තරුණ නාට්‍ය රැුසක් බිහිවුණු අතර ඉන් බහුතරය ස්වතන්ත‍්‍ර වීමත්, එයින්ද අති බහුතරය නාට්‍යකරුවන්ගේ ප‍්‍රථම නාට්‍යවීමත් විශේෂයෙන් සැලකිය යුතුය. එසේම ඒ නාට්‍යවලින් බිහිවුණු බොහෝ ශිල්පීහු අදටත් ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීව සිටිති. මෙයින් අද අපගේ මතකයට එන කීපයක් ලෙස සෙවණැලි සහ මිනිස්සු. පස්වැන්නා. තහනම් අඩවිය, පේ‍්‍රම ලාල් ආවට පස්සෙ, කොන්තරාත්තුව, අධිපතියාගේ මරණ මංචකය, දුක්ගන්නාරාළ, තිත්ත කුසලාන, මනුසත්තු. ලෝකා ආදිය සටහන් කළ හැකිය. තව රැුසක් ඇත. මෙම නාට්‍ය ‘අසම්ම’ත නාට්‍යකලාවේ සිට ‘ශෙලිගත’ නාට්‍ය කලාව දක්වා නානාප‍්‍රකාර ආකෘතිවලින් යුක්ත වූ අතර භීෂණ මර්දනයක් තිබෙද්දී පවා තරුණ නාට්‍යකරුවෝ නිර්භයව එයම මාතෘකාවට ගත්හ. වසරක් පාසාම මෙන් හොඳ නාට්‍ය නිෂ්පාදන බිහිවීමේ ප‍්‍රවණතාව නැතීවී ඉඳහිට හොඳ නාට්‍යයක් බිහිවීමේ නව ප‍්‍රවණතාවක් පැමිණියේ අනූව දශකයෙන් පසුවය. එදා ශ‍්‍රී ලංකාවේ සිටි තරුණයින්ගේ නිර්මාණාත් මක කුසලතාව හරියටම අනූව දශකයෙන් පසු අඩුවන්ට ගත්තාද? නැත. එය සිදුවුණේ සුළඟට ද නොවේය. මෙසේ වීමට යම් සාර්ථක යාන්ත‍්‍රණයක් මේ පිටුපස තිබිය යුතුය. ඒ වූ කලි අනූව දශකය අවසන්වන විට ලංකාවේ නාට්‍ය කලාවෙන් සදහටම සමුගත් සුගතපාල ද සිල්වා නම් යන්ත‍්‍රයයි. එය එකම යන්ත‍්‍රය නොවිය හැකිමුත් ප‍්‍රධාන යන්ත‍්‍රයයි. එය එසේ වූවේ මෙසේය.

අද අපි උණුසුම් ලෙස කතා කරන තමා සහ අනෙකාගේ අයිතීන් නොදන්නා, අපට නැතිවූ පුරවැසියාගේ භූමිකාව, අශිෂ්ට මිනිසාගේ චර්යාරටාව, වෙනස් කිරීමේ සිහිනය දිග්ගැස්සෙන දූෂිත සමාජ ක‍්‍රමය, බංකොළොත් රාජ්‍ය අධ්‍යාපනය හා සංස්කෘතික ඛාදනය ආදියෙන්ම නිර්මාණය වූ මිනිසෙක් අපට නාට්‍යකරුවා නමින්ද හමුවේ. ඊට අමතරව මේ මිනිසා ඉඩමක් ඇත්නම් නඩුවක් ඇති තරමට වාර්තාගත ඉඩම් නඩු සංස්කෘතියකින් පැව තෙන්නෙකි. දේපළ සාධාරණව ලබාදීමට අකමැති බව, නැතහොත් සාධාරණව ලබාදුන්නද පිළිිගන්නට අකමැති බව ඉන් කියවේ. පවුල සමගම දේපළ බෙදාගැනීම එසේ නම් සම්මාන කීර්තිය මිල මුදල් තෑගි ආදිය ගැනද දේපළක් ලෙස කලා නිෂ්පාදන ආදායම ගැන ද කවර කතාද? මෙවන් ජන කොටසක් නාට්‍ය නම් අතිසුන්දර මානව විෂයක් තුළ ශික්ෂණගත කරන්නේ කෙසේද? විවේචනය, විචාරය, ඇගයීම, රස ආශ්වාදය බෙදාගැනීම වැනි දේ තුළට රැුගෙන යන්නේ කෙසේද? එසේ නොකට හොඳ නාට්‍ය කලාවක් බිහිකර ගන්නේ කෙසේද? මේ වූ කලි එදා සුගත් ඉදිරියේ තිබූ අභියෝගයයි. මේ වූ කලි ශ‍්‍රී ලංකාවේ මිනිසා කේන්ද්‍රිත සංවර්ධනයකට යන්නාවූ ඕනෑම කෙනෙකු ඉදිරියේ ඇති ප‍්‍රධාන අභියෝගයයි. එම ශික්ෂණය ගෙන ඒමට නොහැකි වූවොත් කුමක් වේවිද? විවේචනය පුද්ගලිකව ගෙන කේන්ති යනු ඇත. සම්මාන සහ විචාර ලබාගැනීමට විවිධ අල්ලස් දෙනු ඇත. ඇගයිය යුතු හා සාධාරණය උදෙසා කතා කළයුතු තැන්වල නිහඬ වනු ඇත. නාට්‍යකරුවන් කොටුවණු ඇත. තමාගේ පැවත්ම විනා අනිකාගේ පැවත්ම පිළිනොගනු ඇත. තමාගේ වාසියට න්‍යායන් පවා වැරදියට අර්ථකථනය කරනු ඇත. තවත් විවිධාකාර සොරකම්, වංචා, හිංසා, දූෂණ සිදුවනු ඇත. කොටින්ම ඉහත පැවසූ දූෂිත සමාජ ක‍්‍රමයේම ගතික ලක්ෂණ නාට්‍ය කලාවේද අභ්‍යාසගත කරනු ඇත. නාට්‍ය කලාවට පැමිණි පමණින් ඒවා වෙනස්වන්නේ නැත. විශේෂයෙන් ලංකාව වැනි මූලික වශයෙන් පංති උවමනාවට කලාව කරන සමාජයන් තුළ මේ වූකලි ශිෂ්ටත්වය සාධාරණත්වය ස්ථාපිත කර නැති ඕනෑම තැනක සිදුවිය හැකි දෙයයි.

ඔබට හොඳට මතක නම් නාට්‍යම තෝරාගන්නා ප‍්‍රධාන නියමුවා ලෙස මේ කියන සුගත්ගේ සොඳුරු ආඥාදායකත්වය යටතේ පැවති යුගයේ යොවුන් රඟහලේ නාට්‍ය පෙන්වීම වටා නාට්‍යකරුවන් අතර එක්තරා සමාජයක් ගොඩනැගී තිබූණි. රටේ විවිධාකාර ගුරුකුල සහ පළාත්වලින් විවිධාකාර ශෛලීන් යටතේ නාට්‍ය පැමිණි අතර ඒ සියලූමදෙනාට එක හා සමාන ලෙස සලකන විනිශ්චයක් සුගත් විසින් ඉතා තදින් ස්ථාපිත කර තිබුණි. කෙතරම් තදින් එය තිබුණේදැ’යි කියතොත් එය මොනම හැඳුනුම්කමකටවත් ගෝලබාලයෝ හෝ තමන්ගේ නළු නිළියන්ටවත් දේශපාලන බලපෑමකටවත් වෙනස් කළ නොහැකි විය. සුගත් යනු ගෝස්තරය හොයාගන්න නාට්‍ය කළ අයෙකු නොවන බවට ඕනෑතරම් සාධක ඇති අතර, එබැවින් විනිශ්චයේදී ඔහු නිදහස් මිනිසකු විය. සාධාරණත්වය පිළිබඳ විශ්වාසය සියලූම නාට්‍යකරුවන් තුළ ඇති කිරීමට ඔහු සමත්විය. එබැවින් ඔහු හොඳ නෑ හෝ හොඳයි කීවොත් එය කිසිවකු ප‍්‍රශ්න කිරීමට පෙළඹුණේ නැත. මගේ නාට්‍යය මා විසින් හදාගතයුතුය යැයි නාට්‍යකරුවා සිතීය. එසේම ඒ සියලූම අඩුපාඩු හා ඇගයීම නාට්‍යකරුවන්ට මුහුණට ඔහු කීවේය. එසේම ඕනෑම නාට්‍යකරුවකුට ඕනෑම වෙලාවක ඔහු හමුවී නාට්‍ය තෝරා නොගැනීමට හේතුව ඇසිය හැකි විය. ‘උඹේ නාට්‍යයේ මෙන්න මේ අඩුපාඩු තිබ්බා ඒක හින්ද ගන්න බෑ. අරූගේ එකේ ඒක හොඳට අරගෙන තිබුණා ඒකයි ඒක ගත්තේ.’ මේ කී විශ්වාසය ගොඩනැගීම පමණක්ම නාට්‍යකරුවන් අතර එකිනෙකා කෙරෙහි වෛරය ඊර්ෂ්‍යාව හා ගැටුම් අවම කිරීමට සමත් විය.
නාට්‍යවලට තරුණ නාට්‍යකරුවන් අධික වියදම් කරනවාට එතරම් කැමති නොවූ සුගත් නිතරම දුන් උපදෙස් නම් වියදම් දී බඩුමුට්ටු ගන්නවා වෙනුවට හැකි හැමවිටම ඒවා හුවමාරු කරගන්නා ලෙසයි. ‘අර අරූගේ මේසේ ගනිංකෝ උඹේ වැඬේට අනිත් පැත්ත හරෝලා.’ ‘අන්න අරූගේ නාට්‍යයෙන් පෙට්ටියක් ඉල්ලගෙන වරෙන් ඔතනට.’ සුගත් නිතර පවසයි. එපමණක් නොව බොහෝ නාට්‍යවල සිටියේ එකම නළු නිළියන්, ශිල්පීන් වන අතර ඔවුන්, කාලය හා පුහුණුවීම්, ස්ථානද සහයෝගයෙන් බෙදාගැනීමේ පුරුද්දක් තිබුණි. කොටින්ම කියතොත් සමහරෙක්ගේ නාට්‍ය අවසාන වටයට සුදුසුකම් ලැබූ පසු අනිත් නාට්‍යවල ශිල්පීන් එම නාට්‍යකරුවාගේ නිවසට ගොස් නැවතී උපකාර කළ අවස්ථා සුලබව තිබුණි. බොහෝ නාට්‍ය නිෂ්පාදනයට මුදල් යෙදවූයේ නාට්‍යයේ ශිල්පීන්මය. අවසාන වටයට නාට්‍යය සුදුසුකම් ලැබීම යනු අතිවිශාල ජයක් විය.

සුගත්ට තිබූ අනිත් හැකියාව නම් නාට්‍යකරුවන් සොයා ගැනීමට ඔහුට තිබූ ඉවයි. බොහෝ නාට්‍යකරුවෝ අඩු අවබෝධය හා අත්දැකීම් මත නාට්‍ය කළ අය බව අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් ඔවුන්ගේ නාට්‍ය පිළිබඳව දෙනු ලබන නිවැරදි විනිශ්චය අතිශය තීරණාත්මක ලෙස ඔවුන්ගේ ඉරණමට බලපානු ලබයි. ඔවුන්ව සොයාගැනීමට ඔවුන් නොදනී. යොවුන් වේදිකාවෙන් බිහිවූ හොඳ වියුක්ත නිෂ්පාදනයක් වූ ‘සෙවණැලි සහ මිනිස්සු’ නාට්‍යය දෙවන වටයට දිවා කාලයේ පෙන්වන විට නාට්‍යකරුවාට අවශ්‍ය පරිදි ඉදිරිපත් කරගැනීමට නොහැකිව සමස්ත දර්ශනය අවුල් ජාලයක් වී අවසන් විය. නාට්‍ය කණ්ඩායම බලාපොරොත්තු අත්හැර දමන ලදි. නමුත් සුගත් විසින් නාට්‍යකරුවා සමග දීර්ඝ ලෙස සාකච්ඡුා කර පෙන්වන්නට හැදූ කෘතිය සොයාගෙන අවසන් වටයට තෝරාගත් අතර එය එවර හොඳම නිෂ්පාදනය විය. ප‍්‍රාදේශීය වශයෙන්ද නාට්‍ය කරුවන් තෝරාගැනීමේ මෙවැනි උදාහරණ එමට ලාබාදිය හැකිය. ඊට අමතරව නාට්‍යකරුවාට ඕනෑම දෙයක් වේදිකාව මත ඉදිරිපත් කිරීමට අසීමිත නිදහසක් ලබා දී තිබූණි.

නාට්‍යකරුවන්ගේ විවිධාකාර ප‍්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්වීම පිළිබඳවද සුගත්ගෙන් උදාහරණ එමටය. ‘ජූරිය’ නාට්‍ය පිටපත රැුඟුම්පාලක මණ්ඩලයෙන් තහනම් කළ මොහොතේද එවකට සභාපති ලලිත් එස් මෛත‍්‍රීපාල සමග සාකච්ඡුා කර එම ගැටලූව විසඳුවේ සුගත්ය. 1987 රාජ්‍ය නාට්‍ය උළෙලට ඔහුත් සමග තරග කළ ‘හෙණ’ නාට්‍යය ඉවත්කළ මොහොතේ එය නොගන්නේනම් තෝරා ගත් තමන්ගේ නාට්‍යය නොදෙන බවට සුගත් කළ වර්ජනය ප‍්‍රකට සිදුවීමකි. (මෙහිදී තරගකරුවා ලෙස විනිශ්චයට ගතයුතු, නොගතයුතු නාට්‍ය පිළිබඳව ඔහු කළ බලපෑම පිළිබඳව මා එකඟ නැත). මා අගයන්නේ විරෝධය නොව සහෝදර නාට්‍යකරුවකු වෙනුවෙන් රාජ්‍ය යාන්ත‍්‍රණයට එරෙහිව තම නාට්‍ය පිළිබඳ පවා නොසලකා ඔහුගේ ඉදිරිපත්වීම වන අතර එය සිංහල නාට්‍ය සමාජයේ සුලබ ලක්ෂණයක් නොවේ.
යොවුන් වේදිකාවේ සුගත් පිළිබඳ සාකච්ඡුාවේදී අනිවාර්යයෙන්ම සිහි කළයුතු තවත් විශේෂ චරිතයක් ඇත. බොහෝ දෙනෙකු නොදන්නා වුවද තරුණ සේවා සභාව වැනි රජයේ ආයතනයක් තුළ සුගත්ව ආරක්ෂා කරගනු ලැබුවේ එම චරිතය විසිනි. සමහරවිට ඔහු නොසිටින්නට සුගත් එහි නොසිටින්නට ඉඩ තිබිණි. එවකට නිස්කෝ විඩියෝහි සහ පසුකාලීනව සංස්කෘතික අංශයේද සහකාර අධ්‍යක්ෂක වූ ඕවන් වීරක්කොඩි එම චරිතයයි. අතිශය වාමවාදියකු වූ ඔහු සුගත්ට බෙහෙවින් ආදරය කළ අතර සමහර නාට්‍යවල තිබූ රාජ්‍ය විරෝධී දේ නිසාත්, සුගත්ගේ රාජ්‍ය විරෝධී විවේචන නිසාත් යම් යම් ගැටලූ පැන නැගුණු සෑමවිටම ඕවන් තමා ගැන පවා නෙසලකා සුගත්ව බේරාගත්තේය. සුගත්ට වැඩ නැතිවන විට වැඩ හදා දුන්නේය. නාට්‍ය සමාජය තුළ ශිෂ්ටත්වය, සාධරණත්වය හා ගුණාත්මකත්වය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඕවන්, සුගත්ට මෙන්ම අසමසම භූමිකාවක් නිරූපණය කළ, රාජ්‍ය නිලධාරියකු තුළ කලාතුරකින් පිහිටන හරයන් රැසක් තිබූ මිනිසකු බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැකිය.

සුගත් පිළිබඳ වූ ඉහත මතකයක් වර්තමානයට රැුගෙන ආවේ, වර්තමානය තුළ එබඳු වූ ධෙර්යයක් නොමැති බව පෙනෙන නිසාය.
වර්තමාන නාට්‍ය කලාවේ ගුණාත්මක නාට්‍ය ප‍්‍රමාණවත් නොවීමේ යම් බංකොළොත්භාවයක් ඇත්නම්, එය නිවැරදි කිරීමට අවශ්‍ය කෙනෙකු අවධානය යොමු කළයුතු වැදගත්ම ස්ථානය වන්නේ නාට්‍යකරුවන් නාට්‍ය කලාවට ප‍්‍රවේශ වන දොරටුය. අපගේ නාට්‍ය කලාව එදත්, අදත් මුළුමනින්ම මෙන් රඳා පවතින්නේ ප‍්‍රධාන සම්මාන උළෙලවල් දෙකක් මත වීම එයට හේතුවයි. අද බොහෝ නව නාට්‍යකරුවන්ගේ ගුණාත්මක නාට්‍ය බිහිනොවන්නේ එදාට වඩා නිර්මාණ ශක්තිය අද තරුණයින්ට නැති නිසා ද, නැතහොත් හොඳ නාට්‍යකරුවන් සොයා ගැනීමේ, ශික්ෂණ ගතකිරීමේ හා මග පෙන්වීමේ සුගත් වැනි දියුණු අවංක යාන්ත‍්‍රණයක්, විශේෂයෙන්ම නාට්‍ය උත්සව ආශ‍්‍රිතව පසුකාලීනව අපට හමු නොවීම නිසාද යන්න සිතා බැලීමට ඔබට බාර කරමි.

සිංහල නාට්‍ය කලාවේ අඩසියවසක්ද ගෙවා දමමින් 2015 ලෝක නාට්‍ය දිනය අප අපි සමරන්නෙමු. අප අපෙන්ම ඇසිය යුතු වැදගත්ම ප‍්‍රශ්නය නම් නාට්‍යකරුවන් ලෙසට අප කෙතරම් සාධාරණත්වය හා හරයන් බෙදා ගන්නා සමාජයක් බවට පත්ව ඇත්ද යන්නයි. අවම වශයෙන් අප එදා සුගත් වටා තිබූ එම නාට්‍ය සමාජයට ආසන්නයකවත් සිටිනවාද? නාට්‍ය කලාවෙන් සුගත්ලා වැන්නන් යළි අපට හමුනොවන්නේ මන්ද? ශ‍්‍රී ලංකාව වැනි හදා ඉවර නැති රටක, අපට හදලා දෙන්න කෙනෙක්ද නැති රටක, සියල්ල අපම හදාගෙන යායුතුව ඇති රටක සුගත්ලා නැතිව අප ඉදිරියට යන්නේ කෙසේද?

කිසිදු ගුරුකුල හෝ පරම්පරා භේදයක් නොසලකා සියලූ නාට්‍යකරුවන් අතර ශිෂ්ටත්වය, සාධාරණත්වය ස්ථාපිත කිරීමට හැකි අදීන පියෙක් අපට අවශ්‍යව ඇත. තම තමන්ගේ උන්, ගෝත‍්‍ර, පරම්පරාවල් වෙනුවෙන් සාධාරණය ඉටුකරන පියවරුන්ගේ අඩුවක් කිසිදා අපට නොතිබුණි. නාට්‍යකලාවේ ඇති න්‍යායික අර්බුද, පරම්පරා හා ගුරුකුල බේද, සම්මාන සටන්, විවේචනයට විචාරයට විරුද්ධ මතයට හුරු නොමැතිකම, කතිකාවන් නොමැතිකම, විශ්ව දැනුම ප‍්‍රමාණවත්ව සංසරණය නොවීම ආදියෙන් ඉතා පහසුවෙන් අයුතු ප‍්‍රයා්ජනය ගතහැකිව තිබියදීත් එසේ නොකොට ඒවා නිවැරදි කිරීමෙන් ආශ්වාදයක් ලබාගැනීමට කැමති කිසියම් ක‍්‍රියාත්මකවීමක් අවශ්‍යය. ඒ තුළින් නාට්‍යකරුවන් අතර සුන්දරත්වය හා මනුෂ්‍යත්වය ඇතිකිරීමට කිසියම් අවංක උත්සාහයක් නව අත්හදා බැලීමක් අවශ්‍යය. මේ වනවිට නාට්‍යකරුවන්ගේ ඒකරාශි වීමක් සිදුවෙමින් පවතින අතර මේ කී ශිෂ්ටත්වයේ හා සාධාරණත්වයේ පෙරළිය ඇතිකිරීමට ඔවුන්ටවත් චිත්ත ධෛර්ය ලැබේවායි පතමි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;