තීරු ලිපිය යනු වෙනම අනන්‍යතාවක් – මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාව

නොනිදන පන්හිඳ – 2 නොලියවුණු නොකියවුණු කතා අහුරක් ලෙස කුමාරදාස ගිරිබාව විසින් රචනා කළ තීරු ලිපි සංග‍්‍රහය පිළිබඳ ඔහු සමග කළ සංවාදයකි.

නොනිදන පන්හිඳ – 2 මෙවැනි තීරු ලිපි සංග‍්‍රහයක් එළිදක්වන්නේ කුමන හේතුවක් නිසාද?

‘නොනිඳන පන්හිඳ-1’ මීට වසර 15කට කලින් පිටවුණා. නොනිඳන පන්හිඳ මං අතින් ලියැවුණේ හිරු පුවත්පතට. ඒ කාලේ ඇතිවූ ප‍්‍රායෝගික අත්දැකීම් උපයෝගී කරගනිමින් තමයි එය නිර්මාණය වුණේ. නොනිදන පන්හිඳ-2 කාලයක් පටන් මවිසින් රචනා කරන ලද ලිපි එකතුවක්. මෙය රචනා කිරීමේදීත් මූලික වන කාරණයවන්නේ පෞද් ගලික අත්දැකීම් පොදුවේ ස්පර්ශ කළ හැකි පරිදි සකස්වීමයි. ‘නොනිදන පන්හිඳ-2’ කෘතියේ තියෙන කිසිදු තීරු ලිපියක් මීට කලින් පුවත්පතක පළවී නැහැ. ඒ ඒ මොහොතේදී දැනුණු හැඟීම් සමග ලියැවුණු තීරු ලිපි සමුච්චයක් තමයි මෙහි අඩංගුවන්නේ.

ලංකාවේ තීරු ලිපි සාහිත්‍ය පිළිබඳ ඔබේ දැක්ම මොනවගේද?

තීරු ලිපි ලංකාවේ ඉතිහාසයේ පුවත්පතක තිබූ වැදගත්ම අංගවලින් එකක්. ඒ කාලේ පුවත්පතක අද වගේ තීරු ලිපි ගොඩක් ලියවෙන්නේ නැහැ. එක තීරු ලිපියයි පත්තරේටම තියෙන්නේ. ඒ තීරු ලිපිය පුරාවටම භාෂාව සම්බන්ධයෙන් ඉතා නිවැරදි ක‍්‍රමවේද භාවිත කිරීම හා තීරු ලිපිය පුරාවට සංක්ෂිප්ත වූ මහා පණිවුඩයක් ඇතුළත්වීම දැකගත හැකි වෙනවා. අපට මතකයි ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියූ ‘වගතුග’ ඬේවිඞ් කරුණාරත්න ලියූ ‘හෑල්ල’ යන තීරු ලිපි එකතුවත් පුරාවට තිබුණේ සමාජ ප‍්‍රශ්න. ඔහුත් ඉතා අපූරුවට මැද තැනක ඉඳලා ඒ සමාජ ප‍්‍රශ්න විග‍්‍රහ කරනවා. ඒ නිසා ඒ තීරු ලිපි එකතුව සර්වකාලීන බවක් උසුලනවා. ඒවගේම ඊට පසුව අපට හමුවුණු දේශපාලන තීරු ලිපිය වූවේ බී.ඒ. සිරිවර්ධන ඇත්ත පත්තරයට ලියූ තීරු ලිපි එකතුවයි. ‘සිරා’ ගේ තීරු ලිපිවල අදටත් සර්වකාලීන බවක් තියෙනවා. ඒ තීරු ලිපිවලින් සමාජයේ විකාශනය හා දේශපාලන තුළ වූ ගැටුම පිළිබඳ හොඳ හෙළිදරව්වක් සිදුකරනු ලබනවා. ඒ වගේම ඉතා පොහොසත් භාෂාවක් එහි අඩංගු වෙනවා. අද නම් පුවත්පත්වල තීරු ලිපි දෙක තුනක් පළවෙනවා. ඒවායෙන් වැඩි හරියක් ලියන්නේ දේශපාලකයන්. පුවත්පතක, සාහිත්‍ය, කලාව, දේශපාලනය, සිනමාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන තීරු ලිපි අද වනවිට ඇත්තේ නැහැ. මං පුද්ගලිකව කැමතියි සුන්දර නිහතමානිගේ ‘මානි තීරුව’ යම් කාලයක් හොඳට තිබුණා. ඒත් පසුකාලීනව ඒ තීරු ලිිපියත් දියාරු වුණා. පසුකාලීනව රාවය පුවත්පතේ ලියැවුණු විමලනාත්ගේ තීරු ලිපිය හොඳ නිර්මාණශීලී එකක් වුණා. මාධ්‍යවේදියකුගේ නිර්මාණශීලීතාවයේ උච්චම අවස්ථාව ලෙස මං දකින්නේ තීරු ලිපියයි. තීරු ලිපි රචකයා සාම්ප‍්‍රදායික මාධ්‍යවේදියා කියන ආකෘතියෙන් මිදෙනවා. ඔහු සර්වකාලීන චරිතයක් ලෙසයි මං දකින්නේ. තීරු ලිපි ලියන මාධ්‍යවේදියකුට සමාජය තුළ වෙනමම අනන්‍යතාවක් ගොඩ නැගෙනවා. හොඳ තීරු ලිපි රචකයකුට සමාජය විනිවිදව දැකිය හැකි හැකියාවකින් සමන්විත වෙන්න ඕනේ.

ඔබේ කෘතියේ එන ‘තාරුණ්‍යයට හෙටක්’ ලිපියේදී ඔබ පෙන්වීමට උත්සාහ කරනවා මේ රටේ තරුණයන්ට මේ රට තුළදී ඔවුන්ගේ අනාගතය ගැන විශ්වාසයක් ඇත්තේ නැහැ කියලා. ඔබ පවසන ආකාරයට මෙය අදටත් බලාත්මකද?

මගේ අතින් මේ තීරු ලිපිය ලියවුණේ 2012. මං අදටත් හිතන්නේ තත්ත්වය තවම වෙනසක් වෙලා නැහැ කියලා. මොකද උතුරේ, එක් අවස්ථාවකදී, දකුණේ අවස්ථා දෙකකදී ඇතිවූයේ තරුණයන්ගේ ප‍්‍රශ්නයක්. උතුරේ ප‍්‍රශ්නය එල්ටීටීඊ මත ජනවාර්ගික ප‍්‍රශ්නයක් ලෙස අර්ථකථනය කළාට එහි යටිපෙළ තියෙන්නේ තරුණයන්ගේ ප‍්‍රශ්නයක්. එහි ජීවිත පූජා කරන්නේ තරුණයෝ. ඒ තරුණ ජවය සිඳිලා ගියහම තමයි ඒ සටන නතර වුණේ. මේ ආකාරයේම ප‍්‍රකාශනයක් තමයි දකුණෙත් ඇතිවුණේ. මේ ප‍්‍රශ්න මොන ආකාරයෙන් විග‍්‍රහ කරන්න හැදුවත් සමාජය වැඩියෙන්ම කම්පනය කරවූවේ මේ රටේ තරුණයෝ. මං අදටත් කියන්නේ මේ පාලකයන් විසින් තමන්ගේ පැවැත්ම උදෙසා සකසනු ලබන සංකල්පවලින් රටේ තරුණයන්ට වැඩක් වේවිද යන්න පිළිබඳ ගැටලූවක් අදටත් පවතිනවා. ඒ සංකල්ප මේ මහ පොළොවත් එක්ක බද්දවෙච්ච සංකල්ප නොවේ. මේ නිසාම ලංකාවේ තරුණයන්ගේ රට හැරයෑම 2010 සිට වැඩිවුණා. එය අදටත් පහළ ගොසින් නැහැ. මේ රට හැරයන තරුණයන් මොනයම් ආකාරයක හෝ සම්බන්ධතාවක් ගොඩ නගමින් රටින් බැහැර වෙනවා. මේ පිරිස් වැඩි වශයෙන් සංක‍්‍රමණය වෙන්නේ බටහිර රටවලට. මේ රටහැර යන තරුණයන් යන්නෙම තම රට පිළිබඳ කලකිරිලා.

ඔබ ලියනවා ‘දේශපාලන සදාචාරය’ කියලා තීරු ලිපියක්. මේ රටේ ඇත්තටම දේශපාලන සදාචාරයක් තියෙන පක්ෂ, පක්ෂ නායකයන් ඉන්නවාද?

දේශපාලන සදාචාරයේ පළමු එක තමයි පරාජය පිළිගැනීම. දැන් දේශපාලනයේ නැතිම දේ තමයි පරාජය පිළිගැනීමට සූදානමක් නොමැතිකම. මේ පවතින දේශපාලනයේ මේ තරම් ඛේදවාචකයක් වුණේ තමන් දරන මතය නිවැරදියි කියලා හිතන දේශපාලන නායකයන් කීපදෙනෙක් තමන්ට ජනතාව දුන් තීන්දුව පිළිගැනීමට දක්වන අකමැත්ත නිසයි. මීට වසර 30කට කලින් දේශපාල නඥයෝ ජනතා මතය පිළිබඳ විශාල ගෞරව කිරීමක් තිබුණු පිරිසක්. ඒ වගේම එදා දේශපාලනඥයා ජනතා හඬට කන්දෙන නිහතමානි පුද්ගලයෙක්. ඔහු ව්‍යාපාරික මනසකින් දේශපාලනයට එන පුද්ගලයෙක් නොවේ. අද මේ දේශපාලනීයකරණ බහුතරයක් මේ තැන්වල ඉන්නේ ව්‍යාපාරික මනසකින්. අද හිටපු ජනාධිපතිවත් මහින්ද රාජපක්ෂම නැතිව බැහැ කියන පළාත් පාලන මන්තී‍්‍ර, පළාත් සභා මන්ත‍්‍රී වරුන්ගෙන් බහුතරය ව්‍යාපාරික මනසකින් දේශපාලනය කරන්න ආපු අය. මහින්ද ජනාධිපතිතුමා සිටිය කාලය තුළ ඔවුන්ට ඒ ව්‍යාපාරික වටාපිටාව හදලා දුන්නා. ඒක දැන් නැතිවීම තමයි ඔවුන්ගේ එකම ප‍්‍රශ්නය.

ඔබ කෘතිය තුළ පවතින බලසේනා ව්‍යාපෘතිය නිර්මාණය කරන්නේ ජාතිවාදී හා ධනේශ්වර පාලකයන් නේද?

අපට මතකයි පහුගිය මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ භික්ෂුවකගේ නොහික්මුණු හැසිරීම මේ රටේම ජනතාව දැක්කා. අමාත්‍යාංශවලට කඩා පනින හැටි, පාරේ හැසිරෙන හැටි, මාධ්‍ය සංදර්ශන පවත්වන හැටි, මිනිසුන්ට අපහාස කරන හැටි, අප‍්‍රසන්න ජවනිකා මේ රටේ මිනිසුන් දුටුවා. මේ අප‍්‍රසන්නතාව තමන්ට නොදැනෙන්නේ තමන් ඉන්නේ අසූචි වළක කියලා තමන්ට නොදැනෙන අයට. මෙය දැනෙන පිරිසක් මේ රටේ හිටියා. ඒ දැනෙන පිරිස අතර අනිවාර්යයෙන්ම මාධ්‍යවේදීන් ඉන්න ඕනේ කියලා මගේ තර්කයක් තිබුණා. හැබැයි ජාතික පත්තරවල, ජාතික නාලිකාවල, ජාතික ගුවන්විදුලිවල ඉන්න මාධ්‍යවේදීන්ට මේ අප‍්‍රසන්න බව දැනුණේ නැහැ. මොකද ඔවුන් ඉන්නේ අසූචි වළක නිසා වෙන්න ඇති. හැබැයි විකල්පධාරාවේ පත්තර අතළොස්ස අතරින් රාවය වැනි පත්තර මේ අප‍්‍රසන්නතාව පිළිබඳ දැඩි ලෙස විවේචන ඉදිරිපත් කළා. මේ බලසේනා මෙහෙයවන්නේ ආණ්ඩුවේ ප‍්‍රබල චරිතයක් නිසා එයට මුහුණදීමට තරම් එඩිතරකමක් මාධ්‍යවේදීන් බහුතරයකට තිබුණේ නැහැ. අද වනවිට ඒ බලසේනා විසින්ම ඔවුන් මෙහෙයවන ලද පාලකයන්ට අන්ත පරාජයක් උරුම කර දුන් බව මේ රටේ ජනතාවට රහසක් නොවේ. එය මේ රටේ ජනතාව ලැබූ ලොකු ජයක්.

‘කොන්ත‍්‍රාත් හා කොමිස්’ මත නේද මේ බලව්‍යාපෘතිය සැකසෙන්නේ?

මහා පරිමාණවල ලෝකයේ කොමිස් ලැබෙන ජාවාරම් දෙකක් තියෙනවා. එකක් තමයි ආයුධ වෙළෙඳාම අනික ඖෂධ වෙළෙඳාම. අපේ රටේ මේ දෙකම ජයටම ක‍්‍රියාත්මක වුණා. ඒක පල්ලෙහා මට්ටමට ආවේ නැහැ. ඒ ජාවාරම්වල හිටියේ රටේ ප‍්‍රබල චරිත. හැබැයි ලංකාවේ මේ සංවර්ධනය කියන සැලැස්මත් එක්ක ගම්වල ඉන්න ප‍්‍රාදේශීය සභා නියෝජිතයා, සභාපතිටත් කොමිස් රස දැනෙන්න පටන් ගත්තා. ගමේ පාර හදන එක, බෝක්කුව හදන එකෙන්, කොන්ත‍්‍රාත්, කොමිස් මත ඔවුන් විශාල ධනකුවේරයෝ බවට අද පත්වෙලා ඉන්නේ. බැලූ බැල්මට වේගයෙන් ගමට සංවර්ධනය එන බව පෙනුණාට ඊට වඩා වේගයෙන් ගම නියෝජිතයන්ට කොමිස් කුට්ටි, කොන්ත‍්‍රාත්වලින් කළු සල්ලි එන පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ගමේ ජනතාවට මේ ප‍්‍රතිලාභ එකක්වත් ඇත්තේ නැහැ.

‘සිව්වන ආණ්ඩුව’ දේශපාලන ව්‍යාපෘතිවල කොටස්කරුවන් නොවේද?

දේශපාලනයට ඍජු වශයෙන් වක‍්‍ර වශයෙන් මාධ්‍යවේදීන් දායක වෙනවා. මෙහි නරක පැත්ත තමයි ගැතිවීම. අද වෙන කොට මාධ්‍යවේදීන් දේශපාලන ව්‍යාපෘතිවලට පුදුම විදිහේ ගැතිකම් කරන පිරිසක් බවට පත්වෙලා. 1988දී පවා මාධ්‍යවේදීන්ගේ විරෝධතාවල ඉන්නේ විකල්ප පත්තරවල වැඩ කරන මාධ්‍යවේදීන් පමණයි. ජාතික පත්තරවල මාධ්‍යවේදීන් කවුරුත් එළියට කවදාවත් බහින්නේ නැහැ. ඒ අය හැම තිස්සෙම පවතින ආණ්ඩුවේ වෙනම ගිණුමකින් සල්ලි ගන්න කට්ටිය. පේ‍්‍රමදාස ආණ්ඩුවෙන් මේ දේවල් කළා. මහින්දගේ ආණ්ඩුවෙන් ඒ දේවල් වැඩි වැඩියෙන් කළා. සමහර ජාතික පත්තරවල දේශපාලන තීරු ලිපි ලියන අය පුදුම විදිහට පවතින රජයට කඬේ යනවා. මේ වගේ මිනිස්සු ඉන්න කොට සිව්වන ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ නැහැනේ. හැබැයි ඒකාධිපති ආණ්ඩුවක් නම් ශක්තිමත් වෙනවා. මේ නිසා මාධ්‍යවේදීන්ට ලොකු වගකීමක්, යුතුකමක් තියෙනවා රටේ ජනතාව නිවැරදි දිශාවට ගෙනයෑමට.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;