රෝස්පාන් එකෙන් දවස ගෙවුණු කාලයක් තිබුණා – කාන්තා ක‍්‍රියාකාරිණී කුමුදිනී සැමුවෙල්

 නිමල් අබේසිංහ

කුමුදිනීගෙ ගම් පළාත කොහෙද?

අපි හැඳළ නායක්කන්දෙ. අම්මගෙ අක්කල, නංගිලා පවුලෙ ඔක්කොම එක වත්තක ජීවත් වුණේ. ඒක ලොකු ඉඩමක්. මගෙ අම්මා දෙමළ මනුස්සයෙක් කසාද බැන්දෙ. අම්ම සිංහල ක‍්‍රිස්තියානි පවුලක. එයා කාසන් කොම්පැණියේ වැඩ කළා. සීඑම්යූ එකේ මැම්බර් කෙනෙක්. ඒ කාලෙ සීඑම්යූ ස්ට‍්‍රයික්වලට සහභාගි වෙනව. වරායේ ස්ට‍්‍රයික්වලටත් යනවා. තාත්තා ක‍්‍රිස්ටෝපර් සැමුවෙල්. තාත්තා ලංකා සමසමාජ පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙක්. සමසමාජ ඉංග‍්‍රීසි පත්තරේට ලිව්වා. එයා පූර්ණකාලීනව සමසමාජයේ වැඩ කළේ.

ඔබේ පාසල් කාලය ගැන මතකය කොහොමද?

අවුරුදු පහේදි නායක්කන්දෙ ගුඞ් ෂෙෆර්ඞ් කොන්වන්ට් එකට ඇතුළු කරන්න අම්මා මාව එක්කගෙන ගිහින් තියෙනව. ඒත් මාව බාර අරන් නෑ. හේතුව මගේ උප්පැන්න සහතිකේ නමක් තිබිලා නෑ. ඒකට හේතුව තමයි මම ඉපදිලා තියෙන්නේ මාස හතකටත් අඩු කාලෙකින්. මාව මාස තුනක්ම කාසල් එකේ තියා ගන්නවා. මම ජීවත්වෙයි කියලා ඒ අය හිතලා නෑ. ඒ නිසා ඉස්පිරිතාලේ උප්පැන්න පුරවන කොට කවුරුහරි කොහොමහරි නමක් දාලා නෑ. මේ ළමයා අන්තරාවෙයි කියන අදහස තමයි එයාලට තිබිලා තියෙන්නේ. ඔන්න ඔය නිසා උප්පැන්න සහතිකේ නමක් නැති මාව උප්පැන්න සහතිකේට නමක් දාගන්න කල් පාසලට ගන්න බැහැ කියලා කොන්වන්ට් එකෙන් කියලා තියෙනවා. අම්මා හිතලා තියෙන්නේ එහෙනම් අවුරුදු පහෙන් ආයෙ ඉස්කෝලෙට දානව කියලයි. මොකද උප්පැන්නෙට නමක් දාගන්න ටිකක් කල්යනවනෙ. ඔය අතරේ දවසක අපේ අම්මට උගන්නපු කන්‍යා සොහොයුරියක් පිට කොටුවෙදි හම්බවෙලා එයාගෙ තොරතුරු අහලා තියෙනවා. බැඳලද ළමයි ඉන්නවද කොහෙද වැඩ කරන්නේ ළමයි ඉස්කෝලේ යනවද වාගේ දේවල්. ඒවට උත්තර දුන්න අම්ම කියලා තියෙනවා දුව ඉන්නව ඉස්කෝලේ යවන්නෙත් නෑ කියල. පස්සේ එයා අම්මට බැනලා කියලා තියෙනවා. මමදැන් සෙන්ට් බි‍්‍රජට් එකේ ප‍්‍රින්සිපල්. හෙටම ළමයත් අරගෙන මාව මුණගැහෙන්න කියලා. ඒ විදියට තමයි මම සෙන්ට් බි‍්‍රජට් එකට ගියේ. පසුකාලෙක උප්පැන්න සහතිකේ හදාගෙන තියෙනවා. ඒත් තවමත් මගේ උප්පැන්න සහතිකේ නම තියන කොටුවට ඉස්සරහින් තියෙන්නේ රතුපාටින් ගහපු ඉරක්. දහතුන්වැනි කොටුවේ තමයි මගේ නම තියෙන්නේ.

සෙන්ට් බි‍්‍රජට් එකේ ඉගෙන ගත්තු කාලය ගැන මතකය කොහොමද?

සෙන්ට් බි‍්‍රජට් එක සාමාන්‍යයෙන් සුඛෝප භෝගී එකක් විදියටනෙ ගැනෙන්නේ. 1962 විතර තමයි මම ඒකට යන්නේ. ඒ කාලෙ දෙමළ අයගෙ පන්තිය වෙනම තිබුණා. සිංහල පන්තිය වෙනම තිබුණා. තාත්තා දෙමළ වුණාට අපි දෙමළ කතා කළේ නෑ. ඉංග‍්‍රීසි තමයි කතා කළේ. ඉතින් ඉස්කෝලෙදිත් සෙල්ලම් කරන වෙලාවට දෙගොල්ලොම එකතු වෙනවා. කොහොම වුණත් මට මාව දෙමළය කියන අදහසක් හරි සිතිවිල්ලක් හරි තිබුණෙම නෑ. ඒ ගැන හිතුවෙත් නෑ. හිතන්න අවශ්‍යතාවකුත් තිබුණේ නැහැ. ඒත් 1977දී ජාතිවාදී කෝලාහල ආවනෙ. ඒ කාලෙ ඉස්කෝලේ ළමයි වාගෙම අපේ පන්තියෙ ළමයිනුත් දෙමළ අය දිහා වෙනස් විදියකට බැලූවා කියල තමයි මම හිතන්නේ. සිංහල ළමයි දෙමළ ළමයි ගැන කියන කතා අහපුවහම මට හිතෙනවා මගේ තාත්තත් දෙමළ නේද? දෙමළ අයට මෙහෙම කතා කරන්නත්, ඒ කියන්නේ හින්ට් පාස් කරනව වාගේ දේවල් කරන්නේ ඇයි කියන එක. එහෙත් හැත්තෑව හැත්තෑ හත කාලේ පන්ති භේදයක් වර්ග භේදයක් අපට දැනුණේ නෑ. ඒක ඒ කාලෙ නිසාද දන්නේ නෑ. මොකද හැම ළමයගෙම පොත්-කවකටු පෙට්ටි, පෑන් පැන්සල් එකම වර්ගයේ ඒවා. ඒ නිසා අපිට පන්ති හැඟීම් වාගේ දේවල් එහෙමටම දැනුණේ නෑ. මම 1978දී පාසලෙන් ඉවත් වෙනවා. මගෙ සමකාලීනයො තමයි සමාජ ක‍්‍රියාකාරිණී ශාන්තිනී සචිත්තානන්දන්, නැගෙන හිර විශ්වවිද්‍යාලයේ හිටපු ජෙසීමා ඉස්මයිල් වාගෙ අය.

මුල්ම රැකියාව ගැන අත්දැකීම් කොහොමද?

පාසලෙන් අයින් වෙන කොටම අම්මා මාව කාසන් කොම්පැණියට දානව පුහුණුවන්නියක් විදියට. පඩිය රුපියල් හැත්තෑ පහයි. අවුරුද්දකින් පඩිය රුපියල් තුන්සීයක් වුණා. ඔය කාලේ අපි වැඩ කරන තැන ළමයෙක් කොටුවේ ක‍්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයට යනවා. පස්සෙ මමත් ගියා. එතන සංවාද කෙරෙනවා. මම ඒවා දිහා බලාගෙන ඉන්නවා. ඔහොම ගිහින් විප්ලවීය මාක්ස්වාදී පක්ෂයට එකතුවෙනවා. ගිහිල්ලා මර්ජ් එකට එකතු වෙනවා. පඩිය රුපියල් තුන්සිය දහයයි. මොකද මට කාසන් කම්පැණියේ වැඩ ඇල්ලූවේ නෑ. හරිම බෝරිං.
මර්ජ් එකට ගියත් විප්ලවීය මාක්ස්වාදී පක්ෂයෙත් වැඩ කරනවා. වතුකරයේ සාකච්ඡුාවලට යනවා. නිදහස් වෙළෙඳ කලාපෙට යනවා. මේ අතරෙ නිදහස් වෙළෙඳ කලාපයේ ‘ස්ත‍්‍රී’ මධ්‍යස්ථානය ආරම්භ කරනවා. 1982 දෙසැම්බර් පොලිටෙක්ස් අරගලය, යූනියන් කාබයිඞ් අරගලය අපි කළා. ඒ කියන්නේ එච්.අයි. සමන්මලී පිලමිනා සිල්වා, කුමුදුනී රෝසා වගේ අයත් එක්ක. 1984 වෙනකොට කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සමගත් වැඩ කරනව මර්ජ් එකේ වැඩ කරන ගමන්ම තමයි මම මේවට එකතුවෙන්නේ. මේ වෙනකොට මර්ජ් එකෙන් ලැබෙන පඩිය රුපියල් තුන්සිය විස්සයි. රුපියල් සීයක් පක්ෂෙටත් දෙනවා.

කාන්තා අයිතීන් වෙනුවෙන් ක‍්‍රියාකාරීත්වය සිදුවුණේ කොහොමද?

1982 වෙනකොට ගම්වල කාන්තා සංවිධාන බිහිවෙනවා. කෘෂි ක්ෂේත‍්‍රය, වතුකරය, අන්තර් ආගමික සංවිධාන වැනි අංශවලින්. මේවායින් කාන්තා අයිතිවාසිකම් විතරක් නොවෙයි බලය විමධ්‍යගත කිරීම බහුවාර්ගික හා බහු ආගමික බව රටක් විදියට පිළිගත යුතු බව. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි අංශ කෙරෙහිත් අවධානය යොමුවෙනවා. මේ නිසා ඉන්දු-ලංකා ගිවිසුමට අපි සහාය දෙනවා. ඒ සහයෝගය නිසා ගම්වල ඉන්න අපේ ක‍්‍රියාකාරිණියන්ට ජේවීපී තර්ජන එනවා. අපි මර්ජ් එකෙත් ඉස්සරහ දොරවල් වහගෙන වැඩ කළේ.

අසූ අට – අසූ නවය කාලයේ ඔය වගෙ අත්දැකීම් කොහොමද?

අපිට තර්ජන තිබුණා. ඒත් අපි වැඩියෙන් වැඩ කළා. අපි මව් පෙරමුණට සහාය දෙනවා. විරු සමරු රැුස්වීම් කළා. එතකොට අපට ජේවීපීයෙන් පමණක් නොවෙයි එල්ටීටීඊයෙනුත් තර්ජන එනවා. ඒත් අපි වැඩ කළා. ඡායාරූප ප‍්‍රදර්ශනයක් කළා මහජන පුස්තකාල ශාලාවේ. ගම් පළාත්වල තර්ජන තිබුණ කාන්තාවන් පවුල් පිටින් ගෙනල්ලා මර්ජ් එකේ තියාගෙන රැුකවරණය සැලසුවා. මේ සඳහා මුදල් සොයා ගත්තේ ‘සිල්ස්ක‍්‍රිනා’ වැඩසටහනින්. මේ වැඩසටහනින් කළේ සිල්ස්ක‍්‍රීන් මුද්‍රණය අකුරු ඇමිණීම දේශපාලන ලීෆ්ලට් ගැසීම වගේ දේවල්.

සමාජ ක‍්‍රියාකාරිණියක ලෙස ගත කැරුණු ජීවිතය කෙබඳු එකක්ද?

නිදහස් වෙළෙඳ කලාපෙ වැඩ කරන කාලේ හරියට කෑමක් බීමක් නෑ. රෝස්පාන් එකයි කෙසෙල්ගෙඩියයි, ප්ලේන්ටි එක තමයි ආහාරය. සිගරට් බොන කට්ටිය එක සිගරට් එක බෙදාගෙන බීවා. අපිට පවුල් වගකීම් නොතිබුණ නිසා වෙන්න ඇති සමහරවිට මෙහෙම වැඩ කරන්න අවස්ථාව හිමිවුණේ. මට මතකයි අම්ම මට දවසක් කීවා, ඔයාට ඔය දේශපාලනය කරන්න පුළුවන් මම ගෙදර නඩත්තු කරන නිසා කියලා.

කාන්තා අයිතීන් උදෙසා මේ රටේ කාන්තාව පෙළගැසීම ගැන ඔබේ මතකය කොහොමද?

1982 ප‍්‍රගතිශීලී කාන්තා කමිටුව. මාලබේ ප‍්‍රජා අධ්‍යයන කේන්ද්‍රය, මීගමු කාන්තා කමිටුව, හැටන් කාන්තා සංවිධානය, මාර්ග කාන්තා සංවිධාන දොළහක් විතර බිහිවෙනවා. මේ අය එන්නේ විවිධ ක්ෂේත‍්‍රවලින්. වතුකරයේ සම වැටුප් ඉල්ලගෙන එනවා. නිදහස් වෙළෙඳ කලාපයේ මූලික වැටුප. කෘෂි ක්ෂේත‍්‍රයේ අය සීනි කර්මාන්තයට විරුද්ධව උතුරින් ත‍්‍රස්තවාදී පනතට විරුද්ධව, අතුරුදන්වීම්වලට විරුද්ධව ආදී වශයෙන් මේ අයගේ විවිධ අරමුණු තියෙනවා. මේ අය ස්වායත්ත කාන්තා සංවිධාන, සුබ සාධන සංවිධාන නොවෙයි, දවසේ වැඩ මුරය කොතරම් පීඩාකාරීද, තමන්ට එරෙහිව එන ප‍්‍රචණ්ඩත්වය වාගෙ දේවල් තමයි ගැටලූ විදියට දැක්කේ. අපි හැමෝම පවුල් වෙලා හිටියේ පවුල තුළ හැබෑවටම ගරුත්වයක් රැුකවරණයක් ලැබෙන්නේ කොහොමද කියන තැන ඉඳලයි අපි වැඩ කළේ. ලසසපය ජනතා සංගමය වැනි ඒවායේ හිටපු පිරිමින්ටත් සාම්ප‍්‍රදායික දැක්මක් තමා තිබුණේ. ගැහැනු අපි පොදු අරමුණකට ආවේ ස්ත‍්‍රීන් විදියට තමන් අත්විඳපු ප‍්‍රශ්නත් එක්ක.

අද කාන්තාවන් අබිමුව තිබෙන ප‍්‍රශ්න ගැන ඔබේ කියවීම කොහොම එකක්ද?

යුද්ධය නිසාද දන්නේ නෑ ආපස්සට ගිහින්ද කියලා හිතෙනවා. කාන්තාවන් වෙනුවෙන් හිටියේ පිරිමි ඇමති කෙනෙක්. තව ඇමතිවරයෙක් කීවා ගෙදර ගෑනිට ගැහැව්වට කමක් නෑ කියලා. තව නායකයෙක් කීවේ කාන්තාවන්ට දේශපාලනය කරන්න බැහැ. කිසිම නායකත්වයක් අරන් වැඩ කරන්න බැහැ. ඒ නිසා කාන්තාවන් දේශපාලනයට එනවට මම විරුද්ධයි කියලා. දෙදහස් දාහතර වනවිට අවුරුදු කීපයක් තුළ කාන්තාවන්ට එරෙහිව කළ ප‍්‍රචණ්ඩත්වයන් සම්බන්ධ පැමිණිලි 1900 සිට 2200 දක්වා වැඩිවෙලා තියෙනවා. මේවායින් හමාර කරපු නඩු තියෙන්නේ හයක් පමණයි. මේක නරක තත්ත්වයක්. මේ සඳහා විසඳුම් තියෙන්න ඕනේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;