පාරිභෝජනවාදයේ එහා අන්තය

ප‍්‍රභාෂ්වර

පාරිභෝගික භාණ්ඩ සිය නිවෙස්වල ගොඩගසා ගැනීම හා අදාළව ඇමරිකානුවන් සමග තරග කිරීමට ලොව කිසිදු ජාතියකට නොහැකිය. යුරෝපාකරයේ අනෙක් ධනවත් රටවල් පිළිබඳව කතා කිරීමේදී, ඒවායේ එක් මධ්‍යම පාන්තික පවුල් කුටුම්බයක් සතුව ඇති පාරිභෝගික භාණ්ඩවල සාමාන්‍ය බර කිලෝග‍්‍රෑම් 1100-3400 අතර පරාසයක පවතියි. එහෙත් ඇමරිකාවේදී එය කිලෝග‍්‍රෑම් 3600 ඉක්මවයි. කිලෝග‍්‍රෑම් 3600ක් යනු හොඳින් වැඩුණු හිපපොටේමස් කෙනකුගේ බරය. ඩානා හාර්වේ, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන 54 හැවිරිදි වෛද්‍යවරියකි. විවිධ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් අන්තර්ජාලයෙහි පළවන ආකර්ෂණීය දැන්වීම්වලට වහ වැටී, ඒවා නිතර නිතර ඇණවුම් කිරීමට ඩානා ඇබ්බැහි වී සිටියාය. ඇගේ සාලය මැද තිබුණු අඩි 08ක් දිග කෑම මේසය, කඳු ගැසුණු ඇඟලූම්වලින් මෙන්ම අත්බෑග් හා පොත්වලින්ද වැසී ගියේ ඉතා කෙටි කාලයක් තුළදීය. සපත්තු, විසිතුරු ප්ලාස්ටික් බඩු, සුවඳ විලවුන් බෝතල් හා රූපලාවණ්‍ය උපකරණ යනාදිය නිවසේ තැන් තැන්වල ගොඩ ගැසුණේ ඇයටත් නොදැනීමය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ යහළුවෙක්, නෑදෑයෙක් ගෙදරට වද්දා ගැනීමට නොහැකි මට්ටමේ අපිළිවෙළක් මුළු නිවස පුරා පැතිරයෑමයි. ඇණවුම් කරනු ලැබූ බඩු, භාණ්ඩ වෑන්වලින් පැමිණ නිවසට බාන අවස්ථාවේ දැඩි ප‍්‍රීතියක් සිත තුළ මෝදු වූවද, කඳු මෙන් ඒවා තැන් තැන්වල එකතුවනු දකින විට මහත් චිත්ත පීඩාවක් හටගන්නා වග ඩානා හාර්වේ පවසයි. නිවසට එන්නදැයි යහළුවන්/නෑදෑයන් විමසන හැම මොහොතකදීම, තමන්ගේ ගෙදර මහා අවුල් ජාලයක් බව කියමින් ඒ අයව අධෛර්යයමත් කළ ඩානා, බඩු අස්පස් කළ දවසක තමා ඔවුන්ට විසිත්තයක් සඳහා අනිවාර්යයෙන්ම ආරාධනා කරන වග අවධාරණය කර සිටියාය. එහෙත් වසරින් වසර ගෙවී ගියද බඩු බාහිරාදිය දිගින් දිගට ගොඩගැසෙනවා මිස නිවස එකලස් වන පාටක් දක්නට නොලැබුණි. ඇය මිලදී ගත් සමහර ඇඳුම්වල ‘ටැග්’ හා ලේබල් පවා ඉවත් කර නොතිබුණු අතර අඳින්නට අමතක වුණු අලූත් ඇඟලූම් තොගයක් නිවසේ ගොඩගැසී තිබුණි. ඩානාට දරාගත නොහැකි මට්ටමට ඇගේ නිවස පාරිභෝගික භාණ්ඩවලින් පිරී ඉතිරී ගිය එක් මොහොතක, ගෙවල් අස්පස් කරදෙන වෘත්තීය සංවිධායකයකු එහි ගෙන්වීමට ඈ තීරණය කළාය. වැඩි බඩු ඉවත් කොට, නිවසක් සරල හා නිරවුල් තත්ත්වයකට පත්කිරීම, අද ඇමරිකාව තුළ හොඳ ධනෝපායන වෘත්තියක් බවට පත්ව තිබීමෙන් පෙනී යන්නේ ඇමරිකානු පාරිභෝජනවාදය කෙතරම් භයංකර අන්තයකට ගමන් කොට ඇද්ද යන්නයි.

වැඩි බඩු ඉවත්කිරීමේ කලාව

ඩානා හාර්වේ ගෙන්වූ කුලියට නිවාස අස්පස් කරදෙන සංවිධායකයා ප‍්‍රථමයෙන්ම කළේ නිවසින් බැහැර කළයුතු, තවමත් සෑහෙන වෙළෙඳ වටිනාකමක් තිබෙන බඩු භාණ්ඩ වෙනම අසුරාලීමයි. ඉනික්බිති පරණයැ’යි සිතිය හැකි ඒවා තවත් තැනක අඩුක් කෙරිණි. අඩු ආදායම්ලාභී කළු ඇමරිකානුවන්, බොහෝවිට තම ඇඳුම් පැළඳුම් හා අනෙකුත් පාරිභෝගික භාණ්ඩ (සහන මිලකට) ලබාගන්නා, දෙවැනි පෙළේ කඩ රාශියක් ඇමරිකාවේ හැම නගරයක් තුළම දක්නට ඇත. ධනවත් නිවෙස්වලින් ඉවත් කරන බඩු භාණ්ඩ තොග පිටින්, අඩු මිලකට අත්පත් කරගන්නේ එවැනි කඩ පවත්වාගෙන යන වෙළෙන්දන් විසිනි. නිවාස අස්පස් කරදෙන සංවිධායකයන්ගේ ජාලය, මෙකී දෙවැනි පෙළ කඩහිමියන් සමග කිට්ටු සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇත්තේ පොහොසත් ගෙවල්වලින් බැහැර කරන පාරිභෝගික භාණ්ඩ හරහා මේ දෙපාර්ශ්වයටම හොඳ ලාභයක් උපයාගත හැකි හෙයිනි. ඉහළ වෙළෙඳ වටිනාකමක් නොමැති බඩු භාණ්ඩ පල්ලිය ආශ‍්‍රිත පුණ්‍ය සංවිධාන වෙත භාරදෙන්නේ ඒවා නොමිලේ අඩු ආදායම්ලාභීන් වෙත බෙදාහැරීම සඳහාය. ලොව සමස්ත ළමා ගහණය හා සැසඳීමේදී ඇමරිකාවේ වෙසෙන ළමුන්ගේ ප‍්‍රතිශතය 3.1%ක් වුවද, ලෝකයේ නිපදවන සෙල්ලම් බඩුවලින් 40%කටත් වැඩි ප‍්‍රමාණයක් මිලදී ගන්නේ ඇමරිකාවය. අන්තර්ජාල තොග වෙළෙඳාම සහ සුපිරි වෙළෙඳ සැල් ජාල ඉහළයෑමත් සමග ඇමරිකානු මධ්‍යම පන්තික නිවෙස්වල එතෙක් තිබූ එකම එක ශීතකරණ්‍ය මදිවී තව ශීතකරණ දෙක තුනක් මිලට ගැනීමේ ප‍්‍රවණතාවක් හටගත්තේය.
ඇමරිකානු නිවෙස්වල ඇති බඩු භාණ්ඩ අතිරික්තයේ ප‍්‍රශ්නය කෙතරම් දුරදිග ගියේද කිවහොත්, ඒවා ගබඩා කර තැබීම පිණිස කුලියට ගතහැකි වෙනම ගබඩා සංකීර්ණ හැම ප‍්‍රාන්තයකම පාහේ බිහිවන්නට විය. දැන් හැම මධ්‍යම පාන්තිකයකුම එවැනි ගබඩා සංකීර්ණයක තිබෙන වෙනම කුටීරයකට හිමිකම් කියයි. කුටීර කුලිය මාසිකව ගෙවමින් තම පාරිභෝජන භාණ්ඩ අතිරික්තය එහි තබාගත්තේ ඒවාට මොවුන් තුළ තිබෙන දැඩි බැඳීම නිසාය. පෞද්ගලික නිවෙස් සතු අතිරික්ත බඩු භාණ්ඩ සුරක්ෂිත ලෙස ගබඩා කරදීමේ ව්‍යාපාරය ඇමරිකාව තුළ කෙතරම් ව්‍යාප්තවීද යත් අද එහි සමස්ත වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 24කි. ප‍්‍රාදේශීය ගබඩා සංකීර්ණයකින් කුටීරයක් වෙන් කොටගෙන, තමන් පාවිච්චි නොකරන බඩුවලට අධික මාසික කුලියක් ගෙවීම නිශ්ඵල ක‍්‍රියාවක් බව ඩානා හාර්වේ පවසයි. යහළුවන්ට සංග‍්‍රහ කිරීම පිණිස සිය කෑම මේසය නිරවුල්ව තබාගන්නවා මිස ඒ මත අනවශ්‍ය බඩු භාණ්ඩ ගොඩගැසීමට මින් පසු තමන් ක‍්‍රියා නොකරන බව ඩානා අවධාරණය කරයි. එහෙත් උත්සව සමයේ තම අයිපෑඞ් මෙවලම හරහා ගලා එන ඇඳුම් සේල් හා අදාළ වෙළෙඳ දැන්වීම් දකින විට එම ස්ථාවරයේ දිගින් දිගටම සිටීම හිතන තරම් පහසු නැති බවද ඇය කියයි.

මානසික ආතතිය

වැඩි බඩු ප‍්‍රමාණයකින් නිවස පුරවා ගැනීම සන්තුෂ්ටියට හේතුවන බව බොහෝ දෙනෙක් සිතුවද, එය දුකට මූලයක් වනු ඇතැ’යි ඒ අයට නොවැටහේ. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ එලිනෝ ඕව්ස් ඇමරිකානු පාරිභෝජනවාදය පිළිබඳව වසර 10ක් පුරා විවිධ පර්යේෂණයන් සිදු කළ මහාචාර්යවරියකි. අධි පාරිභෝජනය ආශ‍්‍රිත ආතතිය පිළිබඳව ඇය සිය අදහස් දක්වන්නේ මේ අයුරිනි. ‘2007 දෙසැම්බර් සිට 2009 ජූනි දක්වා පැවති ඇමරිකානු ආර්ථික අවපාතයත් සමග තමන්ට අත්‍යවශ්‍ය මොනවාද අනවශ්‍ය මොනවාද යන්න ගැන සිතන්නට ඇමරිකානුවන් පෙළැඹුණා. නිවසට ඔරොත්තු නොදෙන තරමට ගොඩ ගසාගෙන තිබූ බඩු භාණ්ඩ අඩු මිලට හෝ විකුණා, තම එදිනෙදා ආර්ථික ප‍්‍රශ්නවලින් නිදහස් වියයුතුයැ’යි ඔවුන් තීරණය කළේ මේ කාලයේදීයි. සමහරු තමන්ගේ් මෝටර් රථය පවා ටැක්සි සමාගමක් වෙත කුලියට දී බස් රථයෙන් වැඩට යන්නට පෙළැඹුණා. එහෙත් මේ සංයමය, ආර්ථික අවපාතය අවසන්වීමත් සමග වාෂ්ප වී ගියා. හැම මිනිත්තුවක් පාසාම ටැබ් හා ස්මාර්ට් ජංගම දුරකතන හරහා අප වෙත ගලා එන තොරතුරු හා වෙළෙඳ දැන්වීම් කන්දරාව අනන්තයි, අප‍්‍රමාණයි. කේබල් ටී.වී, ඉලෙක්ට්‍රොනික් තැපෑල හා සමාජ මාධ්‍ය අපේ ජීවිතයෙන් 90%කටත් වඩා ගිලගෙන තිබෙනවා. 70, 80 දශකවලදී වැඩපොළෙහි හෙම්බත් වන ඇමරිකානුවන්, තම විවේකය සොයා දුවගෙන ආවේ නිවස වෙතයි. එදා නිවස තුළ හොඳ ඉඩකඩක් හා නිශ්ශබ්දතාවක් පැවතුණා. අද වැඩබිමේදී වෙහෙසට පත්ව නිවසට ආවිට, ගෙදරද අනවශ්‍ය බඩුවලින් පිරී ගිය විශාල අවුලක් බවට පරිවර්තනය වී තිබෙනවා. බඩු ගොඩ ගැසුණු නිවෙසක් එහි අයිතිකරුට පිරිනමන්නේ විශාල මානසික ආතතියක්.

ෂින්ටෝ දහම

‘නිවසක් පිළිවෙළට තබාගැනීමේ ක‍්‍රමවේද’ යන මාතෘකාව යටතේ 30 හැවිරිදි ජපන් ජාතික යුවතියක් වන මාරි කොන්ඩෝ, 2014 ඔක්තෝබර් මාසයේදී පොතක් එළිදැක්වූවා. 2015 පෙබරවාරියේ සිට මේ දක්වාම, ඇමරිකාවේ වැඩියෙන්ම අලෙවි වන පොත මෙය බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් අනාවරණය කර තිබෙනවා. දැනට ලොව පුරා එහි පිටපත් මිලියන 02ක් අලෙවි වී අවසන්. මාරි කොන්ඩෝ ඇමරිකාවේ පදිංචි වී සිටින අතර ඇය නිවාස පිළිවෙළට සකස් කරදෙන වෘත්තීය සංවිධායකවරියක්. මේ සඳහා ඇය ඉහළ ගාස්තුවක් අය කරනවා. නිවාස අස්පස් කිරීමට පෙර මාරි කොන්ඩෝ තම ගනුදෙනුකරුවන්ට දෙන ප‍්‍රධාන උපදේශය මෙයයි. ඔබ සතුව තිබෙන හැම භාණ්ඩයක්ම හොඳින් පිරික්සා ඒවා අතරින් ඔබට සැබෑ සතුටක් ගෙන දෙන බඩු මොනවාදැ’යි නිශ්චිතවම තෝරාගෙන අනෙක් සියල්ල දෙවරක් නොසිතා නිවසින් බැහැර කරන්න. දත්බුරුසු 60ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ ටොයිලට් පේපර් රෝල් 80ක් ගොඩගසා ගෙන සිටි ගැහැනියක් අපට හමුවී තිබෙන වග මාරි කොන්ඩෝ සිය පොතේ සඳහන් කර තිබෙනවා.

හිතට කිසිදු සතුටක් ජනනය නොකරන දේවල් අතරින් ප‍්‍රමුඛ තැන හිමිවන්නේ නිවසක ඔෆිස් කාමරය තුළ ගොඩගසා ගෙන සිටින ලියකියවිලි, බිල්පත් හා ෆයිල් සමුදායටයි. ජපන් ජනයාගෙන් 80%ක් පමණ අදහන්නේ ෂින්ටෝ නමැති ආගමයි. ගස්, ගල්, ගංගා හා සතුන් යන පණ ඇති නැති සියල්ල තුළ දිව්‍යමය ගතිගුණ ඇතැ’යි ෂින්ටෝ බැතිමතුන් විශ්වාස කරනවා. මාරි කොන්ඩෝ කලක් ෂින්ටෝ පාසලක භාවනානුයෝගීව සිටි කෙනෙක්. තමන්ට සතුට, සැනසුම ගෙනදෙන අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් පමණක් නිවස තුළ තබාගත යුතුය යන්න, ෂින්ටෝ දර්ශනය හරහා බිහිවුණු මතවාදයක් සේ සැලකිය හැකිය. පිරිසිදුකම, පිළිවෙළ හා නිරවුල්බව අතින් විශිෂ්ටත්වයට පත් ෂින්ටෝ ආරාම සමග සමකළ හැකි කිසිදු ස්ථානයක් ලොව තුළ නැහැ. ඇමරිකාවෙන් අධි පරිභෝජනවාදය තුරන් කර දැමීම සඳහා මාරි කොන්ඩෝ වක‍්‍ර ආකාරයෙන් යොදාගන්නේ ෂින්ටෝ දහම බව බොහෝදෙනෙක් දන්නේ නැහැ. තම නිවස ෂින්ටෝ පන්සලක් මෙන් පිළිවෙළට තැබුවොත් මානසික ආතතිය වෙනුවට සුවිසල් නිරාමිස ප‍්‍රීතියක් සිත තුළ නියත වශයෙන්ම හටගන්නවා. ඉදිරි මාස 03 පුරාම ඇමරිකානු නිවෙස් අස්පස් කරදීමේ කොන්ත‍්‍රාත්තු මාරි කොන්ඩෝහට හිමිව ඇති නිසා, ඇය මේ වනවිට අලූත් වැඩ භාරගැනීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඇමරිකානුවන් අතර අද ඇය කෙතරම් ජනප‍්‍රිය වී ඇත්දැ’යි පැවසුවහොත්, අස්පස් කිරීම යන වචනය වෙනුවට බොහෝ දෙනෙක් කියන්නේ තම නිවස කොන්ඩෝ කළ යුතුය කියායි. බහු භාණ්ඩික වීම හෙවත් තමන් අවට ඇති ද්‍රව්‍යාත්මක දේ විශාල වීම මානසික ආතතියට හේතුවක් බව බුදුන් වහන්සේ පවා පවසා තිබෙනවා. අධි පරිභෝජනය නිසා ඇමරිකානු ධනවතුන් දිනෙන් දින කායික සෞඛ්‍යයෙන් මෙන්ම මානසික සුවයෙන්ද පිරිහෙන බව දස වසරක් තිස්සේ සිදුකළ විවිධ පර්යේෂණ හරහා විද්‍යාත්මකව ඔප්පු කිරීමට මට පුළුවන් වුණා.’

සැනසුම කොතැනද?

දෙවැනි ලෝක යුද්ධය අහවර වූ පසු යුගයෙහි ඇමරිකානුවෝ සිය මෝටර් රථ බොහෝ කලක් පාවිච්චි කිරීමට පුරුදුව සිටියහ. එහෙත් ජෙනරල් මෝටර්ස් ආයතනය හැම වසරක් පාසාම නව මාදිලියේ මෝටර් රථයක් එළිදක්වනවාත් සමගම ඒ අලූත් මොඩලය මිලට ගෙන තම පරණ රථය විකුණා දැමීමේ දැඩි අවශ්‍යතාව පාරිභෝගික සමාජය තුළින් මතුවිය. තවදුරටත් පාවිච්චි කළ හැකි මෝටර් රථයක්, ‘සැලසුම්සහගත ලෙස කල් ඉකුත් කිරීම’ ප‍්‍රථමයෙන්ම සිදුකළේ ජෙනරල් මෝටර්ස් ආයතනයයි. වත්මන් ඇමරිකානු මධ්‍යම පාන්තික නිවසක් තුළ ඇඳුම් පැළඳුම් 248ක් හා පාවහන් යුගල 29ක් පමණ දක්නට ඇති අතර වාර්ෂිකව නිවසක් විසින් මිලදී ගනු ලබන ඇඟලූම් සංඛ්‍යාව 64කි. පාවහන් සංඛ්‍යාව 07කි. පෞද්ගලික නිවාස වෙනුවෙන් යුරෝපය පුරාම ඉදිකර තිබෙන ගබඩා සංකීර්ණ ප‍්‍රමාණය 10,000කි. ඇමරිකාවේ පමණක් එම සංඛ්‍යාව 48,500කි. බොහෝ ඇමරිකානුවන්ගේ නිවෙස්වල ඇති ගරාජ දෙකම, විවිධ පාරිභෝගික භාණ්ඩවලින් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් නිවෙස් හිමියන් සිය වාහන ගාල්කර තබන්නේ මිදුලේය. එලිනෝ ඕච්ස්, ලොස් ඇන්ජලීස්හි පදිංචි ධනවත් පවුල් 32ක් ඉලක්ක කරගෙන සිදුකළ පර්යේෂණයේදී හෙළිවුණේ අධි පාරිභෝජනය, එම පවුල්වල සාමාජිකයන්ගේ කෝටිසෝල් ජනනය (ආතතිය ඇති කරන හෝමෝනය) ශීඝ‍්‍රයෙන් ඉහළ නංවා ඇති බවයි. පැහැදිලි හා සාධාරණ හේතුවක් නොමැතිව 2012 වසර තුළදී පමණක් ඇමරිකානුවෝ 40,000ක් පමණ සියදිවි නසා ගත්හ. මීට හේතුව අධි පරිභෝජනය සමග අත්වැල් බැඳගනු ලැබූ විශාදය විය හැකියැ’යි කෝනල් සරසවියේ මනෝවිද්‍යා මහාචාර්ය තෝමස් ගිලොවිච් පවසයි. සිරුරට අන්ත දුක්දීමෙන් මෙන්ම ඊට අධික සැපදීමෙන්ද වැළකී මධ්‍යම ජීවන පිළිවෙතක් අනුගමනය කිරීම සතුටට මුල බැව් මීට අවුරුදු 2500කට පෙර බුදුන්වහන්සේ වදාළහ. අප ධනය උපයාගත යුත්තේ අපගේ සැබෑ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කිරීම සඳහා පමණි. අතේ සතේ නැතිවීම මහා කරුමයක්යැ’යි බොහෝ දෙනා විශ්වාස කළද සල්ලි වැඩිවීමද ඒ හා සමාන කරුමයක් බව අද ඇමරිකාව දෙස විමසිල්ලෙන් බලන කවරෙකුට වුවද වැටහී යන සත්‍යයකි. බුදුන් දෙසූ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමෙන් නිවී සැනහී සිටිය හැකිය යන්න, කවදාටත් වඩා අදට අදාළ දර්ශනයක් බව මෙහි අවධාරණය කිරීම වටී.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;