රාවය

කෙජ්රිවාල්ගේ පක්‍ෂයේ අවුලක්

කෙජ්රිවාල්ගේ පක්‍ෂයේ අවුලක්

 

මීට සති කිහිපයකට පෙර අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය ඉමහත් පසුබෑමකට සහ අභියෝගයකට ලක් කරමින් දිල්ලි ප‍්‍රාන්ත සභා මැතිවරණයෙන් 67/70 ක අතිවිශිෂ්ට ජයක් ලබා ගත් අරවින්ද් කෙජ්රිවාල්ගේ අම් ආද්මී පක්‍ෂය මේ වනවිට දැඩි අභ්‍යන්තර කැළඹිල්ලකට ලක් වී සිටියි. ඊට හේතු ලෙස කෙජ්රිවාල් පෙන්වා දී ඇත්තේ පක්‍ෂය පවිත‍්‍රකරණය කරන්නට පියවර ගෙන ඇති බවයි. එහෙත් විචාරකයන්ට අනුව පවිත‍්‍රකරණය කෙසේවෙතත් ප‍්‍රසිද්ධියේ කිළිටි සේදීමක් නම් දක්නා ලැබේ. බොහෝ සාමාජිකයන්ගේ විරෝධය මෙයට එල්ල වනු දැකිය හැකි ය.

එම පක්‍ෂයේ සමාරම්භක සාමාජිකයන් දෙදෙනකු වන යොගේන්ද්‍ර යාදේව් සහ ප‍්‍රශාන්ත් භූෂාන් නෙරපා හරින්නට පසුගිය දා නායකත්වය විසින් තීරණය කරන ලදි. මේ දෙදෙනා පක්‍ෂය පිහිටුවීමේ මූලික කටයුතුවල දී කෙජ්රිවාල් සමග උරිනුර ගැටී කටයුතු කළ ඔහුගේ සමීපතමයෝ වෙති. පක්‍ෂ විරෝධී කි‍්‍රයාවල යෙදෙති’යි ඔවුන්ට චෝදනා නැගී ඇත.

එහෙත් ඔවුන් ව්‍යංගයෙන් පවසන්නේ දැන් කෙජ්රිවාල් තමාට වන්දනාමාන කරනු දැකීමේ ආශාවකින් පෙළෙන බවයි. ඒ නිසා ඔහු පක්‍ෂය කිසියම් ආගමික කල්ලියක් හෙවත් කල්ට් එකක් බවට පත් කරමින් සිටියි. ඒ අනුව දැන් පක්ෂය තනි පුද්ගලයකුගේ හිතු මනාපයට කි‍්‍රයාත්මක වන ආයතනයක් බවට පත් වෙමින් පවතියි. තමන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණය විනිවිද පෙනෙනසුලූ බවින් තොර (පාරාන්ධ) එකක් බව ද ඔවුහු පෙන්වා දෙති. එහෙත් ආම් ආද්මි පක්‍ෂයේ කි‍්‍රයාකාරකම් ගැන සමීප නිරීක්‍ෂණයක යෙදෙන ප‍්‍රකට දේශපාලන විචාරක සහ තීරු ලිපි රචක අජාස් අශ්රෆ් පෙන්වා දෙන්නේ මේ විනිවිදභාවය, පාරිශුද්ධභාවය යනාදිය සඳහා කෙරෙන නොව මතවාදී සටනක මුවාවෙන් කෙරෙන බල අරගලයක් බව ය.

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්‍ෂ බිඳී යාම්, බෙදී යාම් අසාමාන්‍ය නොවන අතර ආම් ආද්මී පක්‍ෂය බෙදී ගියත් එය පුදුමයට කරුණක් නොවේ.
තමාට වන්දනාමාන කරන කණ්ඩායමක් ගොඩ නගන්නට කෙජ්රිවාල් උත්සාහ ගන්නේ ය යන මතය ද ඉවත දැමිය හැක්කේ නොවේ. මන්ද ඉන්දියාවේ දේශපාලන පක්ෂ බොහෝ සංඛ්‍යාවක් කේන්ද්‍ර ගත වන්නේ සහ ශක්තිමත් වන්නේ එක් පුද්ගලයකු වටා ය යන්න සත්‍යයක් වන හෙයිනි. කේන්ද්‍රයේ සිටිනා ඒ පුද්ගලයා ඉවත්වීමෙන් එම පක්‍ෂවල අභ්‍යන්තර අර්බුද හට ගනියි. එහෙත් මෙහි දී කරුණු දෙකක් සඳහන් කළ යුතු ය. මේ වනවිට ඉවත් ව සිටින්නේ නායකයා නොවන බව සහ ආම් ආද්මී පක්‍ෂය ‘වෙනසක් සඳහා’ පෙනී සිටි පක්‍ෂයක් බවයි.

වෙනසක් සඳහා ඔවුන් පෙනී සිටියේ වංසක්කාර දේශපාලනයෙන්. පතළ දූෂණයෙන් සහ නිර්ලජ්ජිත ඥාති සංග‍්‍රහයෙන් හෙම්බත්ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් තුළ අලූත් බලාපොරොත්තු දල්වමිනි. අවංකභාවය පළුදු කැරගත් දේශපාලනඥයන් අතර කෙජ්රිවාල් නැගීි සිටියේ කොටු දොරකොඩ උස් ටැඹක් හෙවත් ඉන්ද්‍රඛීලයක් ලෙසිනි.

එහෙත් දැන් සියල්ල කණපිට හැරෙමින් පවතින්නේයැ’යි බීබීසී හි ඉන්දියානු කටයුතු පිළිබඳ විශේෂ වාර්තාකාර සෞතික් බිස්වාස් පෙන්වා දෙයි.
මේ වනවිට ඒඒපී පාක්ෂිකයෝ ප‍්‍රසිද්ධියේ සණ්ඩු සරුවල්වල යෙදෙති. දුරකතන සංවාදවල අසැබි වදනින් පිළිතුරු දෙති. මෙයින් පෙනෙන්නේ එම පක්‍ෂය ද ඉන්දියාවේ අනෙක් දේශපාලන පක්‍ෂ ගොඩට ම එකතු වූ තවත් එකක් විනා අලූත් යමක් නොවන බවයි.

පක්‍ෂයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කි‍්‍රයාකාරකම් සමහරවිට කෙටිකාලීන සහන සලසනවා විය හැකි නමුත් දීර්ඝකාලීන හානි පමුණුවන බව අත්දැකීම් අනුව ප‍්‍රත්‍යක්‍ෂයැ’යි එරට ප‍්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වන ආසුතෝශ් වාර්නී මෙයට අදාළ පෙන්වා දෙන්නේයැ’යි බිස්වාස් සිය විවරණයේ සඳහන් කරයි.