ආණ්ඩු මාරුවලින් නොකියැවෙන චීනය


chaina

 

මොන ආකාරයට මොන විස්තර ඉදිරිපත් කළද, ජනාධිපති සිරිසේනගේ චීන සවාරිය මගින් චීන ආධාර, ණය හා ආයෝජන මත ආරම්භ කෙරුණු කිසිවක් වෙනස් වන ලකුණු පෙනෙන්නට නැත. ජනාධිපති සිරිසේන පෙරලා පැමිණි පසු අධිවේගී මාර්ග කිහිපයක් යා කරන වටරවුම් මාර්ගය සඳහා ඇස්තමේන්තුගත චීන කොන්ත‍්‍රාත් වියදමින් රුපියල් දස ලක්ෂ 3,000 ක් කපා හරින්නට එම සමාගම එක`ග වූයේ යැයි කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න ඇමති කළ ප‍්‍රකාශය කොළඹ චීන තානාපති කාර්යාලය නොපමාවම නොව වහාම නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කළේය. රාජිත සේනාරත්න ඇමති අනතුරුව කියුවේ ඔහු අගමැති රනිල් වික‍්‍රමසිංහ කියූව යළි කියුවා පමණක්යැයි කියා ය. අගමැතිගෙන් මෙතෙක් ඒ ගැන කිසිදු කතාවක් නැත. ජනාධිපතිවරණයට සූදානම් වන විට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ දැඩි විශ්වාසයෙන් කියූ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහමුලින් අතහැර දැමීම ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට කියූවේ ඊට අදාල පරීක්ෂණවලින් පසු ලැබෙන වාර්තාව අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බව ය. චීනය හා ඇති සියලූ ගනුදෙනු සිදු වන්නේ එලෙසිනි. විපක්ෂය (?) හෝ සමාජ කි‍්‍රයාකාරීන් ප‍්‍රශ්න මතු කරන හැම චීන ව්‍යාපෘතියක් සඳහාම කමිටු පත් කරනු ඇත. ඒවායේ වාර්තා එනතුරු අප බලා සිටිය යුතුය. එම වාර්තා ප‍්‍රසිද්ධියට පත් නොකරන්නටද ඉඩ ඇත. ඊට වැඩි යමක් අප බලාපොරොත්තු වන්නේ නම්, ඒ අපගේ අනුවණකමය.

මේ ආණ්ඩුව පමණක් නොව, ඊළඟ මැතිවරණයෙන් ජනතාව විසින් පත් කරනු ලබන ආණ්ඩුවද ඒ ගැටයෙන් නොබේරෙනු ඇත. අලූත් ව්‍යවස්ථා, මැතිවරණ ක‍්‍රම සංශෝධන සකස් කරන්නට පොරොන්දු වූවත් මේ විවෘත ආර්ථිකයේ කිසිදු මූලික වෙනස්කමක් නොකරන තාක් කල් එය එසේය, අප අද ඉන්නේ ගෝලීය ආර්ථිකයේ අලූත් ව්‍යාප්ති අවදියකය. මාක්ස් – ලෙනින් කතා කළ ධනවාදී ව්‍යාප්තියේ වර්ධනය අද ලෝක පරිමාණව දිග හැරෙන්නේ නව ලිබරල් ආර්ථිකය සමගින්ය. එය ට්‍රොට්ස්කි කියූ අයුරුම අසමාන වූ ඒකාබද්ධ වර්ධනයකි. එනිසා අද පෞද්ගලික ප‍්‍රාග්ධනය මත කි‍්‍රයාත්මකවන වෙළඳ පල ආර්ථිකයෙන් අතහැරුණු රටකට ලෝක සිතියමෙහි ඉතිරිව ඇත්තේ දුප්පත් උතුරු කොරියාව පමණි.

එලෙස වර්ධනය වන මේ ගෝලීය ආර්ථිකය 2008 දී කඩා වැටුණු ඇමෙරිකාව හා බටහිර යුරෝපය මූලික වූ ගෝලීය ආර්ථිකයට වඩා වෙනස් වන්නේ මහ ආසියාව මුල් කරගත් ගෝලීය ආර්ථිකයක් බවට ගමන් කිරීමෙනි. එවගේම එහි තවත් වැදගත් වෙනසක් ඇත. සියවස් කිහිපයක් ඔස්සේ වර්ධනය වූ පැරණි බටහිර ධනේශ්වරය උකහාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයන්, සම්මතයන්, සම්ප‍්‍රදායන් හා සමාජ වටිනාකම් මේ අලූත් ගෝලීය වර්ධනයේ නැත. මෙහි මූලික ලක්ෂණ වන්නේ යෝධ ව්‍යාපාරික ප‍්‍රජාවක් විසින් නිර්මාණය කරන වෙළඳපලෙහි නාගරික මැද පංතික තරගකාරී පාරිභෝගික සමාජයක් බිහිවීමත් ඒ වෙළඳපලෙහි ඇත්ත පාරිභෝගිකයන් විය නොහැකි විශාල බහුතර දුප්පත් සමාජ නගරවලින් පිටත රැුඳීමත්ය. මේ සමස්ත කි‍්‍රයාවලියෙහි ඓන්ද්‍රීය ගතිකයක් වන්නේ මහ පරිමාණ ¥ෂණයයි. මේ ගෝලීය වර්ධනය පෙරට එන්නේ එක්තරා ආකාරයක කොල්ලකාර ප‍්‍රාග්ධන ආක‍්‍රමණයක් ලෙසින්ය. ඔවුන්ගේ කොල්ලකාර වර්ධනයෙහි වත්කම් හා ලාභ සඳහා අවශ්‍ය රාජ්‍ය පාලනයට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පාලනයක් ගැළපෙන්නේ නැත. ඊට ගැළපෙන ආණ්ඩු පාලනයක් හා රාජ්‍ය යාන්ත‍්‍රණයක් ඇත්තේ චීන කොමියුනිස්ට් නායකයන්ට ය. ඔවුන් ඉන්දියාවට වඩා ඉදිරියෙන් ඉන්නේ ඒ හැකියාව නිසාය.

එනිසා වත්මන් ලෝකයේ වඩාත් වේගයෙන් වර්ධනය වන රට චීනය වන අතරම ලෝකයේ වඩාත්ම දූෂිත රාජ්‍යයද චීනය වන්නේය. චීන පාර්ලිමේන්තුව යැයි සැලකෙන ඔවුන්ගේ ජාතික මහජන කොන්ග‍්‍රසය එය මැනැවින් ඔප්පු කරන්නකි. මේ කොන්ග‍්‍රසය පත් කෙරෙන්නේ චීන මධ්‍යම කාරක සභාව මගින්ය. මහජන නියෝජිතයන් 2,964 කින් සමන්විත එය වසරකට වරක් දින 07 ක් හෝ 08 ක් එක දිගට රැුස්වෙයි. එම රැුස්වීම බටහිර බලවතුන්ගේ දැඩි අවධානයට ලක් වන්නේ එහි අනුමත කෙරෙන තීන්දු මගින් චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ ඉදිරි දේශපාලනය පිළිබිඹු කෙරෙන අතර, චීනයේ පමණක් නොව ලෝක ආර්ථිකයේ ගමන් මගටද එහි තීන්දු බලපාන්නේ යැයි පිළිගැනීමක් ඇති බැවිනි.

න්‍යායිකව මේ යෝධ චීන පාර්ලිමේන්තුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ කොන්ග‍්‍රසයට හා සෙනේට් මණ්ඩලයට වඩා බලසම්පන්නය. එයට චීන ජනාධිපති පත් කිරීමේ බලයද ඇත. එහි මහජන නියෝජිතයන් යැයි රැුස්වන සභිකයන් කිසිවකු රජයෙන් කිසිදු දීමනාවක් හෝ වේතනයක් ලබා ගන්නේ නැත. ඔවුන් සැවොම චීනයේ කෝටිපතියන් වන්නට වරම් ලැබූවන් වන හෙයිනි. 2012 දී එහි සභිකයන්ගෙන් 106 දෙනෙකු ඇමෙරිකානු ඩොලර් වටිනාකම් අනුව ප‍්‍රකෝටිපතියෝ වූහ. එවසරෙහි චීනයේ ධනවත්ම පුද්ගලයන් 100 න් 15 ක් එහි සභිකයෝ වූහ. චීන ආර්ථිකය ගැන අධ්‍යයනයේ යෙදෙනවුන් කියන අයුරු, ඩෙං සියාඔපිං ගේ චීනය හැදෙන්නට මා ඕ සේතුංගේ චීනයේ කුරිරු කොමියුනිස්ට් නිලධාරවාදය අවශ්‍ය විය. කොල්ලකාර චීන ධනවතුන් හා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධානයින් එකම පිරිසක් වන්නේ එබැවින්ය. 2012 ඔක්තෝබර 25 වන දින ‘නිව්යෝක් ටයිම්ස්’හි ගවේෂණාත්මක වාර්තාවක් පළකෙරිණ. එහි වූ තොරතුරුවලට අනුව 2003 දී චීන අගමැති වූ වෙන් සියාවෝ ඉතා දුප්පත් ග‍්‍රාමීය පවුලක උපත ලැබූවෙකි. ඔහුගේ පියා මා ඕ සේතුං යුගයේ ඌරු ගොවි පලක කම්කරුවකු වූ අතර මව රජයේ ගුරුවරියක් වූවාය. 1998 ඔහු නියෝජ්‍ය අගමැති වන විටද ඇය චීනයේ දුප්පත් විශ‍්‍රාමිකාවකි. එහෙත් 2012 වන විට ඇය දැන හෝ නොදැන ඇයගේ නමින් මූල්‍ය සේවා සමාගමක ආයෝජනය කර තිබූ මුදල, ඇ.ඩොලර දස ලක්ෂ 120 කි. එවන් වූ චීනයේ පසුගිය (2015) මාර්තු 15 වන දින ජාතික මහජන කොන්ග‍්‍රසය රැුස්වන විට එහි වූ ප‍්‍රකෝටිපති සභිකයෝ 200 ට වැඩි වූහ. චීන ධනවතුන්ගේ වත්කම් සමීක්ෂණය කරන ෂැංහායි හි හුරුන් නම් ආයතනයේ වාර්තාවකට අනුව කලින් වසරේ (2014) එහි වූයේ ප‍්‍රකෝටිපතීන් 155 කි.
චීන ජාතික ආර්ථිකය යනු මොවුන්ගේ ආර්ථිකයයි. චීන රාජ්‍ය සමාගම් බහුතරයක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධානීන් විසින් පෞද්ගලිකව හසුරුවන සමාගම් ය. ඊටත් අමතරව බොහෝ චීන සමාගම් ලියාපදිංචි කෙරෙන්නේ චීන රජය අයිතිය ලබා ගෙන ඇතිමුත් ස්වාධීන පාලනයක් හා නීති පවතින මහ බි‍්‍රතාන්‍ය කොලනියක් වූ හොංකොං දූපතෙහි හා එවැනිම ස්වාධීනත්වයක් ඇති පෘතුගාල කොලනියක් වූ කුඩා අර්ධ ද්වීපයක් වන මැකෝව්හි ය. ආසියාවේ කළු සල්ලි අපුල්ලන ප‍්‍රධානම මධ්‍යස්ථාන වන්නේ මේ දෙපොල යැයි 2011 සිට ඒ සම්බන්ධ අධ්‍යයනයන් කළ ජාත්‍යන්තර විගණන හා මූල්‍ය සමීක්ෂණ ආයතනයක් වන ප‍්‍රයිස්වෝටහවුස් කූපස් සමාගම හොංකොංහි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් පතට අපේ‍්‍රල් 01 වන දින පවසා තිබිණ.

අපට අපේ දේශපාලනය හා ආර්ථිකය ගැන කතා කරන්නට සිදු වන්නේ අපත් මේ අලූත් ලෝක සිතියමෙහි කොටු වී ඇති බැව් පිළිගැනීමෙනි. ආණ්ඩු මාරු කෙරුණත් ගාල ලිහා දැමුණු වෙළඳපල ආර්ථිකයක් මත ඇතිවිය හැකි සංවර්ධනයක සිහින අත හරින්නට කිසිදු සූදානමක් නැති පසුබිමකය. චීනය හා අප අතර සම්බන්ධය පිහිටා ඇත්තේද ඒ අනුවය. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව හසුව ඇති ගැටලූව ඒ සම්බන්ධයේ ඇත්ත ස්වරූපය කියන්නකි. මැතිවරණ සමයේ ජනපි‍්‍රයත්වය වෙනුවෙන් ඒවා ගැන කියුවේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණය පුම්බා තබන්නට මිස ආර්ථිකය ගැන කතා කිරීමට නොවේ. හෙයියම්මාරුව ඇත්තේ එතැනය. කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම් ඇත්තේ චීන රජය සමග නොව හොංකොං දූපතෙහි ලියාපදිංචි කර තිබෙන ‘‘චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම’’(CCCC) සමගින්ය. ඒ අනුව ඔවුන් ‘‘සී.එච්.සී.සී. පෝට් සිටි කලම්බු පුද්ගලික සමාගම’’ යනුවෙන් සමාගමක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කර ඉදිකිරීම් කටයුතු ඊට පවරා ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙනුවෙන් යට කරන ඩොලර දස ලක්ෂ 1,400 ක සමස්ත ආයෝජනය ‘‘චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම’’ සතු ආයෝජනයකි. එහෙත් ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නේ චීන ආණ්ඩුව ය. ජනාධිපති සිරිසේන හා ආණ්ඩුවේ ප‍්‍රධානීන් ප‍්‍රශ්න කතා කර විසඳා ගැනීමට යන්නේද චීන ආණ්ඩුව වෙතය.

ඒ මන්දැයි කිවහොත් චීන ණය, ආධාර හා ආයෝජන යනු චීන දේශපාලන නායකයන්ගේ කළු සල්ලි අපුල්ලන ව්‍යාපෘති හා ගැටගැසුණු සංකීර්ණ ‘පැකේජ’ වන්නාහ. එනිසා ඒ පැකේජයේ එකක් ගලවා දමන්නටත් අනෙක්වා තබා ගැනීමටත් චීන පැකේජ ලබා ගන්නාට නොහැක. නිදසුනක් ලෙස තවමත් බරපතළ වැදගත්කමක් ඇතිව කතා නොකෙරෙන නමුත් දකුණු ආසියාවේ උසම කුලූන වන නෙළුම් කුලූන සඳහා චීන ආණ්ඩුව ඔවුන්ගේ ‘එක්සිම්’ බැංකුවෙන් ඇ.ඩොලර දස ලක්ෂ 104 ක ණයක් ලංකාණ්ඩුවට ලබා දී ඇත. මේ නෙළුම් කුලූන මූලික වශයෙන් විදුලි සංදේශ කුලූනකැයි වාර්තා විය. ඊට යොදා ගැනෙන්නේ චීන තාක්ෂණය පමණි. මෙහි චීනයටද වැදගත්කමක් ඇත. එහෙත් විවෘත වෙළඳ පල ආර්ථිකයක කළු සල්ලි සැරිසරන්නේ චීනයේ පමණක් නොවේ. අපේ ආර්ථිකයේද සැලකිය යුතු කළු සල්ලි බලයක් ගොනුව ඇත.

එවැනි ණය, ආධාර හා ආයෝජනවලින් වැළකී සිටිය හැක්කේ අපගේ ජාතික ආර්ථිකය අප සැලසුම් කරන්නේ කෙසේද යන්න අනුවය. ජාතික ප‍්‍රමුඛතා මත වත්කම් බෙදී යාම සඳහා වන නිශ්චිත සැලසුම් හා නියාමනයක් ඇතුළත් වෙළඳපල ආර්ථිකයක් සංවිධානය කර ගන්නේ නම් අපට එවැනි කළු සල්ලි ව්‍යාපෘති අත හැරිය හැක. එහෙත් 1978 න් පසු මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම පැවතියේ විවෘත වෙළඳපල ප‍්‍රසාරණය රටේ සංවර්ධනය ලෙස ගණන් හැදීමෙනි. රාජපක්ෂ ආණ්ඩුවද ඊට වෙනස් නොවුණි. මෘග යුද්ධයක් මත හිරිකිතයක් නැති පවුල් ආධිපත්‍යයක් හදා ගැනීම හා ආර්ථිකය අතර තිබූයේ චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් මෙන් වාසි භුක්ති විඳීමේ අයිතිය තමන්ට සීමා කර ගැනීමේ දේශපාලනයක් පමණි. ඒ නිසාම බටහිර සමග තිබූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත නොහැරුණි. පසුගිය වසර කිහිපයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙන්ම ඇමෙරිකාවෙන්ද යුරෝපා සංගමයෙන්ද රාජපක්ෂ පාලනයට ලැබුණු ආධාර පෙර අවුරුදු හා ගත් විට එවැනි අඩුවක් නැත.
නව ලිබරල් ආර්ථිකයේ බිඳ වැටීමෙන් පසු යළි ගොඩ එන්නට වූ ලෝක ආර්ථිකය ඉහතින් පැවසූ ලෙසින්ම ආසියානුකරණය වෙමින් තිබිණ. එනිසා රාජපක්ෂලාටද ඒ ආසියානුකරණය හා නොගොසින් පවුල් පාලනයක් හදා ගැනීමේ වාසියක් නොවුණි. මේ වොල්මාට්, ක්‍රෝග, මාක්ස් ඇන්ඞ් ස්පෙන්ස, නයික්, ගැප්, ස්ටාබක්ස් වැනි විශාල බටහිර සමාගම්ද සිංගප්පූරු, තායිවාන, හොංකොං, දකුණු කොරියානු සැපයුම්කරුවන් හා හවුල්ව ඔවුන්ගේ වාණිජ කාර්යයන් සංවිධානය කරන්නට වූ යුගයකි. අපට ඔවුන්ගේ ඇණැවුම් පැමිණියේ මේ ආසියානු ගැණුම්කරුවන්ගේ සැපයුම් වශයෙනි. අපගේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති හා ඇ`ගළුම් කර්මාන්තයේ අපනයන දත්ත විසින් එය දත හැකිය.

මේ ආසියානු ප‍්‍රසාරණය අත හරින්නට බටහිරටද නොහැකි වූවකි. බටහිර ලෝකයේ දැවැන්තම සමාගම් ලෙස ෆෝබ්ස් ආයතනය නම් කළ ‘ෆෝචූන් 500’ සමාගම් වලින් 300 ක්ම චීනයේ නිදහස් වෙළඳ කලාප 38 ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත. ලෝකයේ දියුණුම නව තාක්ෂණික සමගමක් වන ඇමෙරිකානු ‘ඇපල්’ ඉන්කෝපරේෂන් ඔවුන්ගේ කොම්පියුටර, අයි-ෆෝන් හා සියලූ උපාංග නිෂ්පාදනය කරනු ලබන්නේ චීන නිදහස් වෙළඳ කලාපවල ඇති තායිවාන ෆොක්ස්කොන් සමාගම මගින් ය. ඒවායේ දෙලක්ෂයකට වැඩි සේවක පිරිස් කිසිදු අයිතිවාසිකමක් නැතිව සේවය කරනවුන්ය. එනිසාම ඒවායේ කැරලි ඇති වන්නේය. කම්කරුවන් 79,000 ක් ඉන්නා තයියුවාන්හි ෆොක්ස්කොන් කම්හලේ කම්කරුවෝ 2012 සැප්තැම්බරයේදී කැරලි ගැසූහ. ඉන් 20,000 ක් අස්කර දැමුණි. ඒ චීන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් පසුවය.

එලෙසින් ආර්ථික හසුරු වන්නේ නම් චීන ආධාර, ණය හා අයෝජන ලබා ගැනීම පහසුය. ආයෝජනය සඳහා එන්නේ කම්කරුවන් පාලනය කිරීමේදී එවැනි නිදහසක් බලාපොරොත්තු වන ආයෝජකයන් වන හෙයිනි. මේ ආර්ථික කි‍්‍රයාකාරිත්වයෙන් වෙනස් වූ ගමනකට මේ ආණ්ඩුව හෝ මේ ආණ්ඩුවේ නියමුවන් වන එ.ජා.ප නායකත්වය කිසිදු සූදානමක් නැත. දැනටත් ඉතා පැහැදිලිව විස්තර කෙරෙන ඔවුන්ගේ සංවර්ධනය යනු දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම, උද්ධමනය වැනි සංඛ්‍යා ලේඛන හා දත්ත මත ගණන් හදන ආර්ථික වර්ධනයක් පමණි. ඒ වෙනුවෙන් ඔවුන් විශ්වාසය තබා ඇත්තේ සෘජු විදේශ ආයෝජන මත ය. එවැනි ආර්ථික වර්ධනයක් සිදු විය හැක්කේ ආසියානු කොල්ලකාර ආර්ථිකයේ ප‍්‍රසාරණය සමගින් අප ගැටගැසෙන්නේ නම් පමණි. එබැවින් මේ ආණ්ඩුවට හා ඔවුන්ගේ නායකත්වයෙන් පත් කෙරෙන ආණ්ඩුවකට චීනය අත හැර යා නොහැක.