Untitled-1

Untitled-1

නිලමේ ඇවිත් නෑ එෆ්සීඅයිඩී නිහඬයි


leed

නිමල් අබේසිංහ

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඛනිජ වැලි සංස්ථාවට ලබා දුන් වාහන දෙකක් අවභාවිත කිරීම හා මාතර දෙවුන්දර විෂ්ණු දේවාලයේ මූල්‍ය අවභාවිතාවක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා එම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිල්ෂාන් වික්‍රමරත්න වික්‍රමසේකර මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණද ඔහු දෙවතාවක්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීම මගහැර ඇති බව දැනගන්නට ඇත.

ජපක්ෂ පාලන යුගයේ ඛනිජ වැලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළ බස්නායක නිලමේවරයා අවසන් වරට මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ දෙසැම්බර් දාහතර වැනිදාය.
මීට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු ලදුව මගහැර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණ නියෝගයක් ලබාගෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබූ මුත් බස්නායක නිලමේවරයා සම්බන්ධයෙන් එවන් ක්‍රියාමාර්ගයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙතින් ක්‍රියාත්මක නොවුණේ ඇයිද යන්න විමතියට කරුණක් වී ඇත.
පොලිස්පති පූජිත ජයසුන්දර රත්නපුර රැස්වීමක් අමතමින් සිටියදී ඔහුට ලැබුණ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් නිලමේ අත්අඩංගුවට නොගන්නා ලෙස තමන් උපදෙස් දී ඇතැයි කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධ වූ අතර එය රට පුරා ඉමහත් ආන්දෝලනයක්ද ඇති කළේය.
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රශ්න කිරීමකදී පොලිස්පතිවරයාට එම ඇමතුම ලබා දුන්නේ පොලිසිය භාර ඇමති සාගල රත්නායක බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර නිලමේ යනු දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ බව හෙළිවිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ නීතිය සහ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේද ඥාතිවරයකු බව කියැවෙන ඩිල්ෂාන් වික්‍රමරත්න බස්නායක නිලමේවරයා අධිකරණ නියෝගයක් ලබාගෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවන්නේද යන්න විමසීමට නීතිය සහ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් වීර හා පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධ කරගැනීමට රාවය කළ උත්සාහය අසාර්ථක විය. ■