රාවය

හාමුදුරුවෝ පන්සල්වත්ත කොම්පැනියකට දන්දෙති | ගොවියෝ මහපාරට

හාමුදුරුවෝ පන්සල්වත්ත කොම්පැනියකට දන්දෙති | ගොවියෝ මහපාරට

කේ. සංජීව

අකාරුණික සුළඟ පොළොවේ ඉතිරි වැහිබිඳත් අරං යන්න පටන්ගෙනය. ගහකොළ විතරක් නොව සතා සීපාවාද මැලවිලා ගොසිණි. කලට වසින වැසි අද නැත. කළු වළාවක සෙයියාවක්ද නැත. සැප්තැම්බරයේ මේ පහළ ඌවට වැසි වැටෙන්නේ අකුණුත් එක්කම හද්දා වැසි ලෙසය. කලින් කලට පුංචි වැහි ඇල්ලක් දෙකක් ගියාට වැව් පිරෙන්නේවත් හිත් පිරෙන්නේවත් නැත.
මම පුරුදු මගක පුරුදු ඉසව්වක සරමි. ගමනේ ගිම් නිවන්නට වෙන්නේ මොනරාගලත් පසුකර සියඹලාණ්ඩුවට මඳක් ළංව දකුණට හැරී කොටියාගලට ළඟ වත්තේගමට ගියොත් පමණය. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු දුප්පතුන්ගේ රජදහනක්ය. එනිසා මොනරාගලට වැඩිය සියඹලාණ්ඩුව වියළිය. ඊටත් වැඩිය මා මේ යන කුමන කැලේ මායිමට විසිවී තියෙන කොටියාගල වත්තේගම වියළිය.
මා මොනරාගලට යන්නේ ඇයි? ඒ මොනරාගල පුරවැසි සභාවේ ධම්මිකගේ දැනුම්දීමකටය. නිමිත්ත මිනිසුන් ගොවිතැන් කරන බිමක් (අක්කර 2000කට වැඩි) පන්සලේ හාමුදුරුවන් තමන්ගේ හිතුමනාපයට උක් වැවිලි සමාගමකට විකිණීමය. දුම්බර ඉඩම් අර්බුදය වාගේම ප්‍රශ්නයකි මෙය බැලූබැල්මට. පානම ඉඩම් ප්‍රශ්නයම වාගේය මෙය බැලූබැල්මට. අපි සොයා යමු. මුලින්ම අපි වත්තේගම අක්කර 25 පුංචි ගමේ ශාන්ත රත්නායක මහතාගේ ඇසින් මේ ප්‍රශ්නය දෙස බලමු.

ප්‍රශ්නය කුමක්ද?
‘ප්‍රශ්නය කෙටියෙන්ම මේකයි මහත්තයෝ, අපි පාරම්පරිකව හේන් ගොවිතැන කළ වී ගොවිතැන කළ අපේ ඉඩම් අපිට දැන් අහිමිවෙලා. මේ පන්සල්වත්ත කියන ඉඩම අක්කර 5569ක් වත්තේගම පුරාණ රජමහා විහාරෙට අයිති ඉඩම්. රජ්ජුරුවෝ සන්නසකින් දුන්න නින්දගමක් කියලායි කියන්නේ. අපි දැන් අවුරුදු 20ක් 30ක් මේ ඉඩමේ හේන් කරනවා. අපේ බොහොම දෙනෙක් දැන් මේකේ ගෙවලුත් හදලා. අපි හැම අවුරුද්දකම පන්සලට රුපියල් 500ක බදු මුදලක් ගෙව්වා. අපිට මේ ඉඩම්වලට ඔප්පු තියෙයි. දැනට අවුරුදු 3කට විතර කලින් මනිනකොට අපි ඇහැව්වා ඇයි කියලා. එතකොට පන්සල කිව්වේ මේ මනින්නේ ප්ලෑන් එකක් හදන්න කියලා. අද ඒ පැලෑන එළියට ඇවිත්. දැන් අපිට ආරංචි එනවා. අක්කරයක් රුපියල් 2000ක බද්දකට හාමුදුරුවෝ අක්කර 2130ක් ඇතිමලේ ප්ලාන්ටේෂන් කියලා කොම්පැනයකට දීලා කියලා. අපි මේවායේ අගක් මුලක් මොකුත් දන්නේ නැහැ. දැන් ඉන්න හිටින්න තියෙන ඉඩ නැතිවෙන්න යන්නේ. දරුවෝ එක්ක පාරට පනින්න කියලාද පන්සල අපිට කියන්නේ. බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාත් මේක දන්නවා කියලායි කියන්නේ. දැන් පන්සල්වලට ගිහි අපිට වැඩිය තන්නාසේ.’
රත්නායක මහත්තයා එක හුස්මට කොළයක් බලාගෙන වගේ කියාගෙන කියාගෙන ගිහිං නැවතුණ තැනයි ඒ. තතු දැනගන්නට තිබෙන ලෙස විහාර දේවාලගම් පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් යටතේ පාලනය වන පන්සල් නින්දගමකි මේ ඉඩම. බුද්ධ ධර්මය ආරක්ෂා කරම් යැයි සුද්දන් 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත සම්මත කරගෙන ඇත. ඒ 1815 උඩරට ගිවිසුමේම දිගුවක් ලෙසය. පන්සල් සුරක්ෂිත කරන්නට බුද්ධාගම නගාසිටුවන්න යැයි සම්මත කරගත් මේ පනත නිසා අද දුක් විඳින්නේ දහස් ගණනින් සුවිසල් මේ පන්සල් ඉඩම් තුළ ජීවිත ගාල් කරගෙන සිටින මිනිසුන්ය. ඔවුන්ට පන්සලේ අයිතිකාර හාමුදුරුවරුන්ගෙන් මේ වනවිට විඳින්න වී තිබෙන ගැහැට අපමණය. එදා රජ කල හිටි හාමුදුරුවරුන් දැන් නැත. දැන් බොහෝතැන ඉන්නේ බිස්නස්කාර හාමුදුරුවරුන් ය. එනිසා මේ ඉඩම් තවදුරටත් පන්සල් නඩත්තුවට හෝ බුදු සසුන සුරක්ෂිත කරන්නට හෝ නොව ඒ ඒ නායක හිමි කාරකාදින්ගේ සුබසිද්ධිය සඳහාමය. මේ තත්ත්වය තුළ රංගිරි දඹුලු විහාරයේ ඉඩම්වල දිවිගෙවන දඹුල්ලේ මිනිසුන් මෙන්ම රත්නපුර නැදුන් විහාරයේ ඉඩම්වල දිවිගෙවන දුම්බර මිනිසුන් මෙන්ම කොටියාගල වත්තේගම පුරාණ රජමහා විහාරය සතු නින්දගමේ දිවිගෙවන මිනිසුන්ද විඳින්නේ එකම දුක් කන්දක්ය. එදා වළව් මිනිසුන් තලා කාණුවලට විසිකළේ යම් සේද අද මේ කසාවත් ප්‍රභූන් කරන්නේද ඒ ටිකමය.
අපට මුලින්ම කතාකළ ශාන්ත මහතා මේ ඉඩමට එන්නේ 1987 තරම් ඈතකය.
‘අපේ අයියා තමයි මේ පන්සලේ දේවරක්ඛිත හාමුදුරුවන්ගෙන් මුලින්ම අක්කර 25ක් ගත්තේ. ඒ නිසායි අක්කර 25 කියලා මේ ගමට කියන්නේ. අපි එනකොට මේ කැලේ හිටියේ අලි විතරයි. ජේවීපී කලබල, එල්ටීටීඊ කලබල ආවා, අපි කැලේ පැනපැන ජීවත්වුණා. බඩඉරිඟු වැව්වා. පුදුම මහන්සියක්. දැන් ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන කාලේ. දැන් මම ලක්ෂ 7ක් විතර ගන්නවා බඩඉරිඟුවලින් විතරක්. ගෙදරත් හදාගත්තා. ඒත් දැන් මහපාරට යන්න වෙලා.’
රත්නායක මහත්තයා කෝපයෙනි. බිරිඳ මේ උස් හඬට කුස්සියෙන් එබෙන්නී, මෙලෙස කියන්නී. ‘මහත්තයෝ මම මේ කෙල්ල කූඩෙක තියාගෙන ඔය ඉඩම්වල කොච්චර ගල් එකතුකරන්න ඇත්ද? අපි දෙන්න කොච්චර මහන්සි වෙලාද ඔය ඉඩම් ඔය තත්ත්වෙට ගත්තේ. අපිට හරිම වේදනායි හාමුදුරුවෝ කළ මේ වැඬේ නිසා’ ඇය හඬන්නී.
මේ ශක්තිවන්ත මිනිසුන් ගැහැනුන් පොළොවත් සමඟ ගැටෙමින් නැටූ තොවිලය බෙරේ පළුවක් නැතුවම අවසන් කරන්නට වත්තේගම පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොටියාගල චන්ද්‍රානන්ද හිමියන්ට තිබෙන අයිතිය කුමක්ද?

මට තේරෙන්නේ නැහැ
‘මගේ මහත්තයා අවුරුදු 16කට හිරේ ගිහිං වැලිකඩ ඉන්නේ. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉස්කෝලේ යනවා. මම එයාලාගේ වැඩ කරන්නේ කුලී වැඩ කරලා. දවසට රුපියල් 1000ක් ලැබෙනවා. මම වගා කරන්නේ නැහැ. මට මෙතැන ගේත් එක්ක අක්කරයක් විතර ඉඩමක් තියෙනවා. දැන් කොම්පැනිය වටකළ ඉඩම අස්සේ තමයි මගේ ගෙදර තියෙන්නේ. මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. හාමුදුරුවොත් තවම මොකුත්ම කියන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ යන්න කිවුවාට මට යන්න තැනක් නැහැ. මෙතනම මේ දරුවෝ එක්ක මැරෙනවා ඇරෙන්න.”
ඒ නිසංසලා ය. නමේ අර්ථය ඇගේ ජීවිතයෙන් ගිලිහී ගොසිණි. ඇය කඳුළ සමග ඉපදී කඳුළ සමගම දීග කන ගැහැනියකි. ඇය දැන් සිටින්නේ දෙලොවක් අතරය. මනුස්සයා මිනීමැරුමකට හිරේ ගොසිනි. දැන් මේ තත්ත්වය තුළ ඇයට යන්නට වෙන්නේ කොතැනටද? පන්සල කල්පනා කළ යුතුය. සුනීත සෝපාක මහණ කරගත් ඉතිහාසයක් දරාගෙන ඉන්නා බුදුදහමේ නූතන නියෝජිතයන්ට ඇයගේ කුජීත වූ ජීවිතය වැඩක් නැත. ලොකු ලොකු බුදුපිළිම ලොකු ලොකු පන්සල් මතින් නිවනට පියවර මනින මේ ස්වාමින් වහන්සේලාට දුකට පත් ජනතාව අද වහකදුරු වී තිබේ. අනේ අපොයි නොකියා මහණදම් පුරන මේ ගිහියන්ගේ විනෙන් මේ මිනිසුන් ගලවා ගැනීමට වහවහා අණපනත් සරිකළ යුතුය.
‘මගේත් ගෙදර මේ වටකළ ඉඩමට අහුවෙලා තියෙන්නේ. මහත්තයා කරන්නේ වැලිගොඩ දාන එක. ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි මෙතැන පදිංචියට ඇවිත් දැන් අවුරුදු 12ක්. එලවන්න හිතාගෙන ඉන්නවා නම් ගෙවල් හදන්න කලින් කියන්න ඕනෑ. තව තැනක ගිහිං ගෙයක් හදාගන්න හිතනවාට වැඩිය හොඳයි වහකනවා.”
ඒ දුක ස්වර්ණලතා මහත්මියගේය. මේ මිනිසුන් කියන විදියට මුලින්ම සංක්‍රමණික ගොවියන් යන පදනමින් ඇතිමලේ, සියඹලාණ්ඩුව, විලඔය වැනි ප්‍රදේශවලින් පැමිණ හේන් ගොවිතැන කරන ගොවි පවුල් 200ක් පමණ ඉවත් කර ඇත. ඒ ඉඩම් අක්කර 7-8, 10-15 වැනි ප්‍රමාණවලින් අස්වැද්දූ මිනිසුන්ය. මේ මිනිසුන් බොහොමයක් බඩ ඉරිඟු කරලේ පිහිටෙන් ජීවිතේ නග්ගා ගත් අයවලුන් ය. මේ ඉවත්කිරීම තුළ වුවද හකුලා දමන ලද රැකියා ප්‍රමාණය දහසකට ආසන්නය. රැකියා දසලක්ෂයක් ගැන සිහින දකින ආණ්ඩුවක් මේවා දෙස දෑස් වසාගෙන සිටීම අප විග්‍රහ කරගන්නේ කෙලෙසද? පළාතේ දේශපාලන නියෝජිතයන් පක්ෂ පාට භේදයකින් තොරව මේ හිමියන්ගේ වැඬේ අනුමත කරන හැඩ පෙනේ. මේ මිනිසුන්ට ඒ පිළිබඳව තිබෙන්නේ කෝපයක්ය. මේ ඉවත් කිරීමට පසුව දැන් තවත් පවුල් 100කට දැන් දැන් මේ ගැටලුව සමග පොරබදමින් ජිවත් වන්නට සිදුවී ඇත. එයිනුත් පවුල් 30කට තමන්ගේ උන්හිටි තැන්ද අහිමිවන ලකුණුය.

කොම්පැනිය ගැන
‘මගේ ඉඩම් මේකට අහුවෙලා තියෙන්නේ. මම ගොවිතැන් කරලා මාස 6කට ලක්ෂ 8ක් 9ක් හෙව්වා. දැන් හාමුදුරුවෝ ජොබ් දෙනවා කිව්වා. මම දැන් මේ කොම්පැනියේ වැඩ. මාසෙම වැඩකළත් මට අතට ලැබෙන්නේ රුපියල් 30,000යි. මම දැන් බලාගෙන ඉන්නවා මගේ ඉඩම්වලට වෙන දේ. අවුරුදු 21ක් විතර දරුවෙක් වගේ මේ පොළොව හැදුවේ මම. කන්න තුනකට කලින් මම රජෙක් වගේ ගොවියෙක්. දැන් මම කුලීකාරයෙක්. මෙතන වැඬේ ඉන්නේ සුදු මහත්තයෙක්. තව ලංකාවේ එක්කෙනෙක්. ඇතිමලේ ප්ලාන්ටේෂන් කියලා තමයි කියන්නේ. මඩුගම තමයි ෆැක්ටෙරිය හදනවා කියන්නේ උක්වලින් අරක්කු හදන්න. දැනට නම් මෙතැන කරන්නේ උක් වවන එකයි රටකජු වවන එකයි. දැනට උක් අක්කර 30ක් විතර වවලා තියෙනවා. තාම යන්නේ මූලික වැඩ. විදුලි වැට, පාරවල් හදන එක බිල්ඩින් හදන එක තමයි වෙන්නේ. මම වැඩ කළාට මෙතැන මේ ගමේ අය කවුරුත් වැඩ කරන්නේ නැහැ. ඇතිමලේ පැත්තෙන් ඇවිත් 60ක් 70ක් වැඩකරනවා. ඕක තමයි හාමුදුරුවන්ගේ ගමට රස්සා දීම.’
ඒ ඇතිමලේ ප්ලාන්f ට්ෂන්හි වැඩකරන කලින් මේ බිමේ ගොවිතැන් කළ ගොවියෙකුගේ කතාවය. මේ හාමුදුරුවන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් සුද්දන්ගේ පනතකට මුවාවී මේ මිනිසා කුලීකරුවෙකු බවට පත්කර ඇත. උක්වලින් අරක්කු සෑදීම සෑහෙන්න ලාභදායකය. මේ කොම්පැනිකරුවන් දතකට මදින්නේ ඒ අරමුණෙන්ය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසා දමා සෑහෙන්න කල්ය. මෙවැනි ව්‍යාපෘතිවලට අනුමැතිය දෙන ආණ්ඩුවේ බලධාරීන්ද මෙවැනි ව්‍යාපෘති මෙවැනි වැසීගිය කර්මාන්ත තුළටවත් අඩුම ගානේ යොමුකරන්නට වෙහෙ සෙනවා නම් වියයුත්තේ එයයැයි කිවහැකිය. එහෙත් ලංකාවේ බලධාරීන්ට එහෙම ඔළුවක් නැත. කරුමය එයයි.
මේ කතාව කෙලෙසක ගොඩනැගුණත් මේ ගොවියන් ගොඩයන තැනකින් මේ ක්‍රියාවලිය අවසන් විය යුතුය. මිනිසුන්ට නිවන හදන්න නිතරම බණ දේශනා කරන පන්සල මේ මිනිසුන්ගේ මෙලොව සැප ගැන සිතිය යුතුය. මේ පන්සල්වල සිටින්නේ මිනිසුන්ම බව අපි දනිමු. ඔවුන්ටද සිතැඟියාවන් ආශාවන් ඇති බවද කිව යුතුය. එහෙත් ඒ ආශාවන් අසරණ මිනිසුන්ගේ හෙට දවසේ සිහින පාගා දමන්නේ නම් ඒ ගැන අප පුරවැසියන් විදියට කල්පනා කළ යුතුය. ඒ කෙලෙසක වුවත් 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත වහා සංශෝධනය විය යුතුය. මිනිසුන් ඩෝසර් කරමින් පන්සල් ක්‍රියාත්මක වීම පනතක් තුළින්ම අහෝසි කළ යුතුය. ඒ සඳහා ජනතා නියෝජිතයන්ටද කොන්දක් තිබිය යුතුය. අවසානයේ කියන්නට ඇත්තේ පන්සල් දේවාල නඩත්තු කරන්න යැයි පන්සල් දේවාල සන්තක කර ඇති ඉඩම්, ඉඩම් නැති දුප්පතුන් අතර බෙදාදීමට ක්‍රමයක් සම්පාදනය කළයුතු බවය.

පුරාවස්තු කෙළෙසීම
මේ ඉඩම් කොල්ලය පිළිබඳව තොරතුරු සෙවීමට ගිය අපට දැනගන්නට ලැබුණේ මේ කර්මාන්ත ශාලාව සඳහා වටකරගෙන සිටින ඉඩම තුළ පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් තිබෙන ස්ථාන රැසක් තිබී ඇති බවය. දැන් විශාල චෛත්‍යයක් ඩෝසර් කර අතුගා දමා හමාරය. මේ මිනිසුන් කියන ලෙස ගල්කණු කුළුගෙඩි පහර වැද සුණුවී ඇත. වැව් දහයක් පමණ පස් දමා සමතලා කර ඇත. මේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට මේ ගමේ මිනිසුන් මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් පරිසර අධිකාරියටත් දැනුම්දී ඇත. එහෙත් කිසිදු බලධාරියෙකු පැමිණ නිරීක්ෂණය කර නැත. පුරාණ ගල් කණුවක් මත හිඳ සිටියද නිදන් කැඩුවැ’යි අත්අඩංගුවට ගන්නා රටක මොනරාගලට ඒ නීතිය අදාළ නැති බව පෙනේ. එයින් පෙනෙන්නේ මේ ව්‍යාපෘතිය පිටුපස සැඟවී සිටින යෝධ ශක්තියයි. මේ ශක්තිය කුමක් වුවත් ඒවා අහෝසිකර මේ ජනතාවට සාධාරණය ඉටුකළයුතු අතර මේ බිමේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයටද ආණ්ඩුව පියවර ගත යුතුය.
මේ පිළිබඳව අදහස් විමසීම සදහා කොටියාගල චන්ද්‍රානන්ද හිමියන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට කිහිප විටක් උත්සාහ කළද එය අසාර්ථක විය.■