Untitled-1

Untitled-1

මාධ්‍යවේදියාට පහරදීම සාධාරණීකරණයට නිල් කොළ කන්නාඩිකරුවෝ


hambantota

ලසන්ත රුහුණගේ

නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න විසින් හම්බන්තොට වරාය සේවකයන්ගේ උද්ඝෝෂණය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්වයන් විවිධ අර්ථ දැක්වීම් කරමින් සිටී. එම අර්ථ දැක්වීම් තුළ වක්‍රාකාරයෙන් ඇත්තේ නාවික හමුදාපතිවරයාගේ එම පහරදීම සාධාරණීකරණය කිරීමේ උත්සාහයන්ය.
ඒ සඳහා වූ පළමු උත්සාහය ගනු ලැබුයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරියගේ මාධ්‍ය නිවේදනයය. එම මාධ්‍ය නිවේදනයට අනුව පහර කෑ මාධ්‍යවේදීයා ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර පැහැර හැරීම සිද්ධියට පාදක වී ඇතැයි හෙළිවී ඇත. එම නිසා එම නිවේදනය නොකියා කියන්නේ මාධ්‍යවේදියා පහරකෑම සාධාරණ බව හා සදාචාරාත්මක පියවර කඩකළ විට මේ ආකාරයේ පහරකෑමේ දඬුවම්වලට ලක්විය හැකි බවත් නාවික හමුදාපතිවරයා විසින් සිදුකර ඇත්තේ එම දඬුවම් ලබාදීම බවත්ය.
මෙම මාධ්‍ය නිවේදනයෙන් පසු මාධ්‍ය සගයන් බොහෝ දෙනෙකු මෙන්ම මාධ්‍ය සමඟ උනන්දුවෙන් සිටින බොහෝ දෙනෙකුද අපෙන් ඇසුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සඳහන් ගුටි කෑ මාධ්‍යවේදියා උල්ලංඝනය කර ඇති මාධ්‍ය ආචාර ධර්මය කුමක්ද යන්නය. අප ඔවුන්ට කීවේ අදාළ නිවේදනයේ කඩකර ඇති මාධ්‍ය ආචාර ධර්මය කුමක්දැයි නිශ්චිතවම සඳහන් කර නැති බැවින් නිවේදනය නිකුත් කර ඇති පුද්ගලයාගෙන්ම එය අසා දැනගත යුතු බවයි. වත්මන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පසුගිය කාලවකවානුවේදී ජනමාධ්‍ය නිදහස ඇතුළු ක්‍රියාකාරකම් සඳහා ඔබලා සමඟ කටයුතු කළ අයකු නේදැයි එම පිරිස වැඩි දුරටත් විමසූ විට මට දිය හැකිව තිබුණේ කෙටි පිළිතුරක් පමණය. ඒ අදාළ තනතුරට කෙතරම් සුදුසුකම් තිබුණත් ආණ්ඩුවේ දේශපාලන පත්වීමක් ලබාගත් විට ඔය ආකාරයට කටයුතු කරන්නට පෙළඹෙන බව හෝ කටයුතු කරන්නට සිදුවන බවය. ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබුණා යැයි කියා එහිදී වෙනසක් ඇතිවන්නේ නැත. රාජපක්‍ෂ යුගයේදී එම තනතුර දැරූ මහාචාර්යවරුන්ට රඟන්නට සිදුවූයේද මෙවැනිම විකට කෝලම්ය.
ගැටුම් සහගත තත්ත්වයක් වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් විසින් සිය ආරක්‍ෂාව සඳහා අනුගමනය කළ යුතු සැලකිලිමත් විය යුතු කරුණු කාරණා තිබේ. ඒවා ආචාර ධර්ම ලෙස සැලකෙන්නේ නැත. එහෙත් හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට නාවික හමුදාපතිවරයා පහරදීම දෙපාර්ශ්වය අතර ගැටුම් සහගත අවස්ථාවකදී සිදුවූවක් නොවීය. රවීන්ද්‍ර විජේගුණරත්න කොට කලිසමක් ඇඳගෙන නැවෙන් එළියට එන්නේම ඔහු රටේ නාවික හමුදාපතිවරයා දැයි කීමටවත් බැරි තරමට කුණුහරුප වැලක් තර්ජනාත්මකව මුදාහරිමින්ය. ගොඩබිමට විත් සිය ආරක්‍ෂකයන්ගේ වළල්ල බිඳමින් මාධ්‍යවේදියාට පහරදෙන්නේ ‘හන්දියේ චණ්ඩියෙකු’ සිහි ගන්වමින්ය. පහරකෑ මාධ්‍යවේදියා කැමරාවක් අතැතිව සිටිය දී හා තමන් මාධ්‍යවේදියෙකු බව පවසද්දීය. එම නිසා මේ ආකාරයේ පහරදීමක් කිසිසේත් කිසිවකුට සාධාරණීය කළ හැකි නොවේ. විශේෂයෙන් රටේ නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් පමණක් නොව එදින උද්ඝෝෂණයේ යෙදුණු වරාය සේවකයන් සම්බන්ධයෙන් වුව මේ අකාරයේ පහරදීමක් යහපාලන ආණ්ඩුවක් සම්බන්ධයෙන් කිසිවකුට සාධාරණීකරණය නොහැකිය. එසේ එය සාධාරණීකරණය හැක්කේ රාජපක්‍ෂ පන්නයේ පාලනයක් අපේක්‍ෂා කරන්නන්ට පමණී.
හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ යෙදුණු සේවකයන් පලවා හැරීමට නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කිරීම සමීපව සිට හෝ දුරස්ථව සිට වාර්තා කිරීමේදී එම ප්‍රහාරයන්ට හෝ ප්‍රතිප්‍රහාරයන්ට මාධ්‍යවේදීන් අහඹු ලෙස ලක් වීම ගැටුමක් අවස්ථාවේදී මාධවේදීන් සිය ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් නොවී ඇති බවට අපට පිළිගත හැකි කරුණකි. ගැටුම් අවස්ථාවලදී ප්‍රහාරයන්ට හෝ ප්‍රතිප්‍රහාරයන්ට මාධ්‍යවේදීන් අහඹු ලෙස ලක්වූ අවස්ථා අප ඕනෑ තරම් අත්දැක ඇත. එසේම ගැටුම් අවස්ථාවල ඉලක්ක කර මාධ්‍යවේදීන්ට ආරක්‍ෂක අංශ පහර දෙන අවස්ථාද අප දැක ඇත. ඊට ඇති ආසන්නතම හොඳම උදාහරණය රතුපස්වල වෙඩි තැබීමේ හමුදා ක්‍රියාන්විතයය. ඒ සිය ම්ලේච්ඡ හමුදා ක්‍රියාන්විතය ඉතිහාසයේ සාක්‍ෂි වන රූප රාමුවලින් සඟවා තබා ගැනීම සඳහා පළමු ප්‍රහාරය මාධ්‍යයට එල්ල කිරීමේ සැලසුම්සහගත ක්‍රියාවය.
නාවික හමුදාපති විසින් මාධවේදියෙකුට පහරදීම සාධාරණීකරණය සඳහා තවත් ආකාරයට වෙර දරන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ආණ්ඩුවේ කන්තෝරුවල ව්‍යාපෘති සිදුකරන පිරිසක්ද සමාජ මාධ්‍ය හරහා අද අපට දැකගන්නට ලැබේ. ගුටිකෑම සඳහා හේතුව ලෙස ඔවුන් දකින ලොකුම අඩුව මාධ්‍යවේදියාට නිල ඇඳුමක් හෙවත් ජැකට්ටුවක් නොමැති වීමය. හම්බන්තොට සිදුවීමේදී මාධ්‍ය හැඳුනුම්පත කරේ එල්ලාගෙන කැමරාවක් ද අතින් ගෙන සිටි මාධ්‍යවේදියා හඳුනාගැනීමේ ගැටලුවක් නොතිබුණි. විශේෂයෙන්ම ඡායාරූප මාධ්‍යවේදීන් ජැකට්ටු පළඳින්නේ ඔවුන්ගේ කැමරා උපකරණ ඇතුළු ආරක්‍ෂාවට අදාළ ද්‍රව්‍ය හා ආහාර වැනි දෑ සන්තකයේ තබාගැනීම සඳහාය. පෙර සඳහන් කළ ආකාරයට දෙපාර්ශ්වයක් අතර ගැටුමකදී එල්ලවන ප්‍රහාරයන්ට හා ප්‍රතිප්‍රහාරයන්ට ජැකට් ඇඟලා සිටියද අහඹු ලෙස මාධ්‍යවේදීන් ලක්විය හැකිය. එසේ අහඹු ලෙස මාධ්‍යවේදීන් ප්‍රහාරයන්ට ලක්වී ද ඇත. එහෙත් හම්බන්තොට වරායේදී සිදුවුණේ එවැන්නක් නොවේ.
ඡායාරූප මාධ්‍යවේදියෙකු හෝ කැමරා ශිල්පියකු සෑම විටම උත්සාහ දරන්නේ හොඳම ඡායාරූපය හෝ හොඳම දසුන්පෙළ තමා සතුකර ගන්නටය. ඒ සඳහා උස් ස්ථානවලට නැගීම ආදි විවිධ ක්‍රම භාවිත කරති. එම නිසා මාධ්‍යවේදියෙකු ස්ථානගත විය යුතු නිශ්චිත ස්ථානයක් පිළිබඳව කිසිවකුට නිශ්චිතවම කිව නොහැකිය. එය සිදුවන්නේ ඒ ඒ අවස්ථාව අනුවය. කොහොමත් යහපාලනයේ නිල් හෝ කොළ කණ්ණාඩි දමාගත් අයට මෙවැනි සිදුවීමක් පෙනෙන්නේ අන්ධ නොවන ඕනෑම අයෙකුට පෙනෙන පරිදි පහරදීමක් ලෙස නොවීම ඉතිහාසය පුරාම අප අත්දැක ඇති දෙයක්ය.
නිල් හෝ කොළ කණ්ණාඩි දමාගත් මාධ්‍ය ඔස්තාද්ලාට අවශ්‍ය නම් එම පහරදීම සාධාරණීකරණය සඳහා වරාය භාර අමාත්‍ය අර්ජුන රණතුංග දෙසැම්බර් 14 දින පැවැත් වූ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක්ද යොදාගත හැකිය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ එම සිදුවීම සම්බන්ධයෙන් පිළිතුරු දිය හැකි හෝ තව කළ හැකි බොහෝ දේ තිබෙන බවත් ඉන් එකක් වන්නේ අවසර නොගෙන වරාය පරිශ්‍රයට මාධ්‍යවේදීන් ගියේ කෙසේද යන්න සෙවීම හා අවශ්‍ය නම් ඒ පිළිබඳ නීතිමය වශයෙන් කටයුතු කිරීම කළ හැකි බවයි. මේ ප්‍රකාශය අනුවද ප්‍රහාරය සාධාරණීකරණය කරන පිරිසට කිව හැක්කේ අනවසරයෙන් ගියා නම් ගුටි කෑම සාධාරණයි යන්න හා එසේ නීතිමය පියවර නොගැනීම පිළිබඳව යහපාලන ආණ්ඩුවට මාධ්‍ය ස්තූතිවන්ත විය යුතු බවයි.
යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති හෝ වෙනත් ඛේදවාචකයක් ඇති ආයතනගත ස්ථානයකට මාධ්‍ය යන්නේ ඔය කියන ආකාරයේ සම්මත අවසර ගැනීම්වලින් තොරවය. මන්ද එවැනි අවස්ථාවල සමහරවිට අවසර ගන්නට කෙනෙකුද නැති අතර ඇත්තේ අරාජික තත්ත්වයකි. ලබා ගන්නා අවසරයන් පවා බොහෝ විට වාචික අවසරයක් විය හැකිය. ඒ සඳහා ඇති පසුගිය රාජපක්‍ෂ යුගයේ හොඳම උදාහරණය කටුනායක රොෂේන් චානක මරා දැමීමඉ සිදුවුණු වෙළෙඳ කලාප උද්ඝෝෂකයන්ට එරෙහි පොලිස් ප්‍රහාරයය. මාධ්‍ය එදත් වෙළෙඳ කලාපයට ගොස් එම සිදුවීම වාර්තා කළේය. එම ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය ලොව දැනගත්තේ එම මාධ්‍ය වාර්තාකරණයන් මඟින්ය. කටුනායක වෙළෙඳ කලාපය වූකලි කලින් අවසර නොගෙන ඇතුළු විය නොහැකි පරිශ්‍රයක්ය. එහෙත් එදා රාජපක්‍ෂ පාලනය අවසර නොගෙන වෙළෙඳ කලාපයට ඇතුළු වී ඡායාරූපකරණයේ හා වීඩියෝගත කිරීම් සිදුකළ මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරනවා යැයි තර්ජන නිකුත් කළේ නැත. අමාත්‍ය අර්ජුන රණතුංගගේ එම ප්‍රකාශය අනුව හම්බන්තොට වරායේ උද්ඝෝෂකයන්ට බණ කීම සඳහා පසුගියදා වරාය පරිශ්‍රයට ඇතුළු වූ හාමුදුරුවන් පිරිසට එරෙහිව ද කටයුතු කළ යුතුය. මන්ද එම ස්වාමීන්වහන්සේලා ද අවසර නොගෙන වරාය පරිශ්‍රයට ඇතුළු වී ඇති නිසාය.
තවදුරටත් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ඇතුළු වරාය පරිශ්‍රයට ඇතුළු වූ මන්ත්‍රීවරුන්ටද එරෙහිව කටයුතු කළ යුතුය. මන්ද ඔවුන්ද නිසි අවසරයකින් තොරව එයට ඇතුළු වී ඇති නිසාය. මෙහිදී අපට සිහිවන්නේ රාජපක්‍ෂ පාලන සමයේදී හම්බන්තොට වරාය නිරීක්‍ෂණයට එජාප මන්ත්‍රීන් පිරිසක් මාධ්‍යවේදීන්ද කැටුව ගොස් සුප්‍රසිද්ධ හම්බන්තොට පිස්තෝල නගරාධිපතිගේ පහර කෑමට ලක්වීමේ සිද්ධියයි. එදා රාජපක්‍ෂවරුන් කීවේද හම්බන්තොට වරාය පරිශ්‍රයට එජාප මන්ත්‍රීවරුන් අනවසරෙන් ඇතුළු වී ඇති බැවින් පහරදුන් පිරිස නොව පහර කෑ පිරිස වැරදි බවය. තවදුරටත් එම සමයේම කොළඹ වරායට අයත් කොළඹ කොම්පඤ්ඤ වීදියේ පරිශ්‍රයකට එජාප මන්ත්‍රීන් පිරිසක් ඇතුළුවීමේදී එවකට එහි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීය සමිතිය එම මන්ත්‍රීන්ට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබුයේ අනවසරයෙන් ඇතුළු වීම ගැන සඳහන් කරමින්ය. (අදාළ වරාය දේපළ එම වෘත්තීය සමිතිය බදුගෙන තිබිණැ’යි එහිදී කියැවිණ.)
වත්මන් හම්බන්තොට ප්‍රහාරය සම්බන්ධයෙන් ද මේ රඟදක්වමින් සිටින්නේ රාජපක්‍ෂ පාලන සමයේදී සිදුවූවාක් මෙන් නාඩගමක් බව කටයුතු සිදුවන ආකාරයෙන් පෙනීයයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිවේදනයට අනුව මූලික පරීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ පහරකෑමට ලක්වූ මාධ්‍යවේදියා සදාචාරාත්මක පියවර පැහැර හැර ඇති බවයි. ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති ආකාරයට සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ඔහු ඉල්ලා ඇත්තේ නාවික හමුදාපතිවරයාගෙන්ය. පහරදීමට විත්තිකරු වූ නාවික හමුදාපතිවරයාගෙන්ම ලබාගන්නා වාර්තාවක් උපයෝගී කරගෙන සිදුකරන්නට යන පරීක්‍ෂණ ගැන සිනාවීම හැර වෙන කළ හැකි යමක් නැත.
එහෙත් තර්ජනය වුව කටින් පමණයි යනුවෙන් මාධ්‍යයට එරෙහිව වාග් ප්‍රහාරයෙන් එල්ල කරමින් සිටින අගමැතිවරයා මේ බාහු ප්‍රහාරය සම්බන්ධයෙන් කියන්නේ කුමක්දැයි අසන්නට සිදුවේ. එමෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුවට සභාගිවෙමින් රැහේ උන් තමා රැක බලා ගන්නවා කියූ ජනාධිපතිවරයා රැහේ එකාට පහරදීම ගැන සේනාධිනායකයා වශයෙන් කියන්නේ හෝ කරන්නේ කුමක්දැයි යන්න අසන්නටද සිදුවේ. එය ප්‍රහාරයෙන් පසු දෙසැම්බර් 14 දින විත්තිකාර නාවික හමුදාපතිවරයා සමඟ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සීනිගමට යෑම වගේ එකක් නම් රැහේවුන්ට ජනාධිපතිවරයා ගැසූ කනේ පහරක් වනවාට කිසිදු සැකයක් නැත.■