Saturday, 19/8/2017 | 5:28 UTC+0
රාවය

ජනතා මතය මොන වගේ ද?

ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත්‍රිම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප දැක තිබේ. ඒ සියල්ල මොහොතකට පැත්තකින් තිබ්බත්, මැතිවරණ පිළිබඳ ජනතා විශ්වාසය විවිධ හේතු යටතේ ඇල්මැරීම නිසා, දියුණු ලෝකයේ මෙන්ම නොදියුණු ලෝකයේත් මැතිවරණ බැරෝමීටරයේ සාර්ථකත්වය පිළිබඳ කුකුසක් නිර්මාණය වෙමින් තිබේ. යුද ජයග්‍රහණයෙන් පසුව 2010 දී පැවති ජනාධිපතිවරණයේදී සියයට 75 කට ආසන්න ජනතාවක් ඡන්දය පාවිච්චි කළ ද, ඊට මාස කිහිපයකට පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කොට තිබුණේ සියයට 55 කට අඩු ඡන්ද ප්‍රතිශතයකි. ලංකාවේ දකුණේ භීෂණය පැවති 1980 දශකය අවසානයේ සහ උතුරේ පාලනය එල්.ටී.ටී.ඊ. භීෂණය යටතේ පැවති සමයේ පැවති මැතිවරණ ඔස්සේ ප්‍රකාශයට පත්වූ ‘ජනමතය’ කෙනෙකුව හිනා ගස්සන තරම් විය. උදාහරණයක් වශයෙන්, 1988 දී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා වන්නේ, රටේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 27.4 ක් වැනි ‘ජනතා කැමැත්තකිනි’. ඩග්ලස් දේවානන්ද වැන්නන්ගේ දේශපාලනය, ඡන්ද දෙතුන්සීයක හයියෙන් පාර්ලිමේන්තුවේ වැජඹුණි.
පූර්ව-මැතිවරණ සමීක්ෂණ ඊටත් වඩා අන්තයි. පසුගිය දා ඇමරිකානු ජනාධිපතිවරණයට කලින් පැවති සෑම පූර්ව-මැතිවරණ සමීක්ෂණයකින්ම ජයගෙන සිටියේ හිලරි ක්ලින්ටන් ය. එහෙත් අවසානයේදී, (ඇමරිකානු ජනාධිපති ක්‍රමයේ හිල් අස්සෙන් වුව) ජය ගත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප් ය.
මේ නිසා ජනතා මතය ‘විද්‍යාත්මකව’ උරගා බැලීමේ නිශ්චිත ක්‍රමයක් දැනට ඇති බවක් නොපෙනේ. එබැවින් අපගේ අනාගත විනිශ්චයන් සඳහා පාදක කර ගන්නා සරල මතිමාත්‍ර බොහෝවිට කෙනෙකුව නොමග යවනසුලු විය හැකිය. එය වැඩියත්ම දකින්ට ලැබෙන්නේ පාලකයන් වෙතිනි. යහපාලනය කෙරෙහි තැබූ ජනතා විශ්වාසය මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් පළුදුවෙමින් පවතින බව අද අඩුවෙන් ම සංජානනය වන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යැයි මම අනුමාන කරමි. අනිත් අතට, එය වඩාත් හොඳින් අවබෝධ කරගෙන සිටින්නේ රාජපක්ෂ කඳවුරයි. බලය සමග විසීම තුළ එක්තරා ආකාරයක වර්ණ අන්ධතාවක් ඇති කෙරේ. බලයට එළියෙන් සිටින විට, තීක්ෂ්ණ නිරීක්ෂකයෙකු නම්, පැහැදිලි වර්ණ සංයෝජනයන් හඳුනා ගැනීමට සමත්වෙයි.
තමන් මෙරටේ ජනාධිපතිවරයා වෙතැයි 2015 ජනවාරියට මාස තුනකට කලින් මෛත්‍රිපාල සිරිසේන හත්හීනෙන්වත් දකින්ට නැති බව නිසැක ය. එසේම, අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කරන මොහොතේ, තමා කුරුණෑගල දිස්ත්‍රික් නිකං පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ තත්වයට ඇද වැටෙතියි මහින්ද රාජපක්ෂ කඳවුරේ කිසිවෙකුගේ හඳහනක ලියැවී නොතිබුණු බවත් සහතිකයි. අඩු වශයෙන්, එදා මහින්ද රාජපක්ෂ කඳවුරේ සිටි, මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න, චම්පික රණවක සහ දුමින්ද දිසානායක ආදින්ගේ නැකැත්වල පවා එවැනි ඉඟි තිබුණු බවට සාක්ෂි නැත. බලය ලබා ගැනීමේ ක්‍රීඩාවේදී මෙන්ම, එම බලය ආරක්ෂා කර ගැනීමේ කලාවේදීත් අන්ත අසමත්භාවයක් පෙන්නුම් කොට තිබූ රනිල් වික්‍රමසිංහ මෑත කාලයක රටේ අගමැතිවරයා බවට පත්වෙතැයි මේ කියන කාලයේදී නොසිතුවාටත් සැකයක් නැත. එහෙත් ඒ සියල්ල එයාකාරයෙන්ම සිද්ධවිය. ඊට පාදක වුණේ, අපට ප්‍රත්‍යක්ෂ වශයෙන් ස්පර්ශ නොවන තීරණාත්මක සහ නිහඬ ජනකොටසක් විසින් දෙන ලද තීරණාත්මක තල්ලුවකි.
ඒ තල්ලුවෙන් ලබා ගත් බලය රැක ගැනීම යහපාලන නායකයන්ට පැවරෙන දෛනික වගකීමක් මිස, අර කියන නිහඬ ජනතාවගේ කර මත පැටවිය හැකි දේශපාලනික බරක් නොවේ. ජනතා ප්‍රසාදය නොමිලේ නොලැබෙයි. ඊට ගෙවිය යුතු මිලක් කවදත් තිබේ. ලාභ සහ මිල අධික යනුවෙන්, ජනතා ප්‍රසාදයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය. ලාභ ජනප්‍රියත්වය තාවකාලිකයි. අනිත් අතට, කෙටිකාලීනව ගත් විට මනස්කාන්ත නොවෙතත්, යම් අවදානමක් දරා ලබා ගන්නා මිල අධික ජනතා ප්‍රසාදය, දීර්ඝ කාලීනයි. හෙවත්, ඉදිරි පරපුරට සහ රටේ අනාගතයට වැඩදායකයි.
ලංකාවේ දේශපාලනඥයන් ‘ජනප්‍රිය’ යැයි සිතා කරන බොහෝ දේවල් අවසානයේ අත්කර දී ඇත්තේ තාවකාලික පෞද්ගලික ලාභ පමණක් බවට අපේ සමකාලීන ඉතිහාසය දෙස්දෙයි. ඒ පෞද්ගලික ලාභය ඉඳුරා ඉවහල්ව ඇත්තේ, රටේ පොදු හානියට සහ විනාශයට බවත්, එම කාසියේම අනිත් පැත්තෙන් අප ඉගෙන ගෙන තිබේ. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ‘සිංහල පමණයි’ ප්‍රතිපත්තිය, ඊට ඇති හොඳම උදාහරණයයි. එවැනි දෘෂ්ටිවාදී නැඹුරුවීම් සම්බන්ධයෙන් පමණක් නොව, ඇස් දෘෂ්ටිය ඉදිරියේ ගෙනහැර දැක්වෙන ‘භෞතික ප්‍රාතිහාර්යයන්’ සම්බන්ධයෙන් තත්වයත් ඊට වෙනස් නැත. මහින්ද රාජපක්ෂ අධිවේගී මාර්ග තනන විට, අලුත් ගුවන් තොටුපොළ, අලුත් වරාය, අලුත් ගුවන් සේවා අරඹන විට, එය ඉමහත් ජනප්‍රසාදයට හේතු වෙතැයි ඔහු සිතන්ට ඇති. එහෙත්, අවසානයේදී ඒ සියල්ල පිළිබඳ යම් ජනතා ප්‍රසාදයක් විණි නම්, එයත් වෙනත් සාධක නිසා අවසානයේ කණපිට හැරුණි.
මේ නිසා, ලාභ ජනප්‍රියත්වය නැමැති චපල සාධකයට මුල් තැන නොදී, ජනප්‍රිය නොවෙතත් රටේ යහපතට නිත්‍ය දායකත්වයක් සැපයිය හැකි, කාලයා විසින් ජනතා ප්‍රසාදය මතු කාලයක ඇති කැරැවිය හැකි, තිරසාර පියවර ගැනීමට රාජ්‍ය පාලකයන් යොමුවීම කොයි අතිනුත් හොඳ ය. අවසානයේදී ඔවුන් පරාජය වුවත්, ඔවුන්ගේ උරුමය ඊළඟ පරම්පරාවට සහ රටේ ඉතිහාසයට එක්වන්නේ එවන් අවස්ථාවකයි. ලංකාවෙන් මේ සඳහා සොයා ගත හැකි එක් උදාහරණයක් වන්නේ, 1977 ඇති කළ විවෘත ආර්ථිකයයි. එදා විශේෂයෙනුත්, අද වනවිට අතරින් පතරත්, විවිධ විවේචනයන්ට ලක්ව ඇති මේ ආර්ථික ක්‍රමය අද ප්‍රතික්ෂේප කළ යුතු යැයි කියතොත් හෝ ලංකාව කියුබාවක් කළ යුතු යැයි කියතොත්, ඒ ළදරු වලිප්පුවෙකුම විය යුතුය.
දේශපාලනය තුළ ‘ජනප්‍රියත්වය’ යනු, ප්‍රබන්ධයේ සහ යථාර්ථයේ මිශ්‍රණයකි. ප්‍රබන්ධය සාර්ථක වන්නේ, විශ්වසනීයත්වය ආරක්ෂාකර ගන්නා තරමටයි. හෙවත්, ප්‍රබන්ධයම, එක්තරා ආකාරයකින්, ‘ප්‍රබන්ධයේ යථාර්ථය’ බවට පත්කර ගන්නා තරමටයි. උදාහරණ දෙකකින් මෙය අපි පැහැදිලි කර ගනිමු. රාජපක්ෂ පාලනයේ අවකල් දූෂිත ක්‍රියා කලාපය කොන්දේසි විරහිතව මහජන අධිකරණය ඉදිරියට පැමිණවීමේ යහපාලනික ප්‍රතිඥාව, හිටපු නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් තුළ, (එහි අපේක්ෂිත අරුත එය නොවූ බව පසුව ඔහු කියා සිටියත්) ප්‍රබන්ධයේ යථාර්ථය (හෙලුව) පුපුරුවා හැරියේය. දෙවැනි උදාහරණය සැපයෙන්නේ පොලිස්පතිවරයාගේ කුප්‍රකට දුරකථන සංවාදයෙනි. මහින්ද රාජපක්ෂ පාලනයේ අවකල් හැසිරීම් මහජන අධිකරණය ඉදිරියට නොඑන්නේ මෛත්‍රීපාල සිරිසේන කඳවුර නිසා මිස රනිල් වික්‍රමසිංහ කඳවුර නිසා නොවන බවට තවත් ජනප්‍රිය ප්‍රබන්ධයක් මෙතෙක් සමාජගතව තිබුණි. ඉහත කී පොලිස්පතිවරයාගේ සංවාදය විසින් ඒ ප්‍රබන්ධයත් ප්‍රසිද්ධියේ පුපුරා හැරුණි. විජේදාස රාජපක්ෂ සහ වජිර අබේවර්ධන වැනි එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නොව, සාගල රත්නායක වැන්නන් ද එම දූෂණ-විරෝධී ක්‍රියාවලියේ තිරිංග බවට පත්ව ඇති බව එම සිද්ධියෙන් පෙනී ගියේය. ඉතිං, මහින්ද රාජපක්ෂ පාලන සමයට අදාළව කරගෙන යතැයි කියන ‘දූෂණ- විරෝධී සහ භීෂණ- විරෝධී යහපාලනික ප්‍රබන්ධයේ යථාර්ථය’ සරමක් හැඳගෙන මහදවල් ඔළුවෙන් හිටගෙන සිටීමක තත්වයට අද වනවිට පිරිහී තිබේ.
‘ජනප්‍රියත්වය’ තකා ප්‍රබන්ධයක් (දූෂණ-විරෝධය) නඩත්තු කිරීම සුළුපටු කාර්යයක් නොවේ. හිතාමතාම ප්‍රබන්ධයක් ගොඩනගන සාහිත්‍යකරුවා පවා බොහෝවිට අසාර්ථක වන්නේ මෙහිදී ය. ප්‍රබන්ධයක් ගොඩනැගීම සඳහා සාහිත්‍යකරුවාට ලැබෙන නිදහස සහ අවකාශය දේශපාලනඥයාට නොලැබෙන නිසා, තත්වය තවත් බරපතළ වන්නේය.
මේ නිසා, රාජපක්ෂ සමයේ පැවති දූෂණ සහ භීෂණ ක්‍රියාවලියට එරෙහිව පාරම්බෑමේ ආණ්ඩුවේ ප්‍රබන්ධය මේ වන විට පොදු ජනතාව ඉදිරියේ ‘විසංයෝජනීය’ විවේචනයට ලක්වෙමින් පවතින බව, යහපාලන ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුය. ‘අවුරුදු දෙකක් ඉවසුවා හොඳටම ඇති’ කියා, මේ සංවේදී විෂය (රාජපක්ෂ දූෂණ-භීෂණ විරෝධයේ ප්‍රෝඩාව) සම්බන්ධයෙන් ජනතාව තීන්දු කළොත්, තත්වය ඉතා බරපතළ වන බව සිහියට ගැනීම නුවණට හුරු ය.■