සිරියාවේ ඇලෙපෝහි යුද්ධය හා අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක්

අජිත් පැරකුම් ජයසිංහ

මගේ තාත්තාට තුවාල වෙලා. මං අඬනවා,” යන සංදේශය ට්විටර් මගින් ලෝකය සමඟ බෙදා හදා ගත්තේ බනා අල්-ආබෙද් නම් සත් හැවිරිදි සිරියානු දැරියයි. රුසියානු හා ඉරානියානු ආධාර ලබන සිරියානු රජයේ හමුදා විසින් කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් සිරියාවේ ප්‍රධාන නගරයක් වන ඇලෙපෝ නගරය අල්ලා ගැනීමේ මෙහෙයුමේදී බනාත්, ඇගේ මව ෆාතිමාත් පසුගිය සැප්තැම්බරයේ සිට ඇගේ නමින් වන ට්විටර් ගිණුම හරහා ලෝකය සමඟ ඇලෙපෝහි තතු බෙදා හදා ගත්තා ය. යුද ගැටුම් මැද, බෝම්බ තර්ජන මැද ඇය හා ඇගේ සොයුරු සොයුරියන් බියෙන් ගෙවන ජීවිතය ගැන ඇය තැබූ සටහන් ලෝකයේ අවධානයට ලක්වූ අතර කෙටි කලකින් ලක්ෂ දෙකක් පාඨකයෝ ඇගේ ට්විටර් ගිණුමට දායක වූහ. මෙම සටහන තබන විට ඇය සිය අවසන් ට්විටර් සංදේශය ලියා තිබුණේ දෙසැම්බර් 13දා ය.
“මගේ නම බනා. මට වයස අවුරුදු 7යි. මම සජීවීව ලෝකය අමතන්නේ නැගෙනහිර ඇලෙපෝ සිටයි. මේ මැරෙන්නට හෝ ජීවත් වන්නට මට ඇති අවසන් අවස්ථාවයි,” යි ඇය සටහන් කළා ය.

twitter
රුසියානු ජනාධිපති බෂාර් අල්-අසාද් මෑතදී මාධ්‍යයට පැවසුවේ මෙම බනාගේ ගිණුම තවත් එක් මාධ්‍ය බොරුවක් බවයි.
එහෙත්, වොෂින්ටන් පෝස්ට්හි කයිට්ලින් ගිබ්සන් පවසන්නේ බනා හා ඇගේ පවුල සත්‍ය බවයි. බනා මෙම ට්විටර් ගිණුම පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ගුරුවරියක වන ඇගේ මවගේ උපකාරයෙනි. ඇගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක වීමයි. එසේම, පොතක් ලියන්නට ද ඇයට උවමනාව තිබේ. ඇය අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක් ද?
ඇලෙපෝ වනාහි 2012 සිට ම යුදගැටුම්වලට මැදි වී තිබෙන සිරියාවේ ප්‍රධාන නගරයකි. සිරියානු රජය එහි බටහිර පෙදෙස පාලනය කළ අතර නැගෙනහිර පෙදෙස සිරියානු විපක්ෂය විසින් පාලනය කරන ලදි.
සිරියානු ජාතික සන්ධානය ලෙස හැඳින්වෙන සිරියානු විපක්ෂ බලවේග යනු විවිධ කණ්ඩායම් රාශියක එකතුවක් මිස එක් මධ්‍යගත දේශපාලන ව්‍යාපාරයක් හෝ හමුදාවක් හෝ නොවේ. සිරියාවේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන කණ්ඩායම්වල සිට ආන්තික කල්ලි දක්වා දහස් ගණනක් සන්නද්ධ කණ්ඩායම්වලින් සිරියානු විපක්ෂය සමන්විත වේ. සිරියානු විදෙස්ගත ප්‍රජාවෙන් හා අසාද් විරෝධී රාජ්‍ය, සංවිධාන හා පුද්ගලයන්ගෙන් ආධාර ලබන සිරියානු විපක්ෂය රටේ විශාල ප්‍රදේශයක් පාලනය කරයි.
සිරියානු රජය හා විපක්ෂය අතර ගැටුමට බොහෝ කලකට පෙර සිට එරට කුර්දි ජනයා ජීවත් වන උතුරුදිග ප්‍රදේශ වෙනුවෙන් ෆෙඩරල් පාලනයක් සඳහා දිගුකාලීන අරගලයක් පැවතිණි. සිරියානු විපක්ෂය මෙම ඉල්ලීමට විරුද්ධ ය.
මේ වන විට කුර්දි මහජන ආරක්ෂක ඒකක නම් වන කුර්දි හමුදා හා සිරියානු රජය අතර අවබෝධාත්මක තත්ත්වයක් ගොඩනැගී තිබේ. එහෙත්, දෙපාර්ශ්වය ම එය ප්‍රතික්ෂේප කරයි. කුර්දි හමුදා උතුරුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට ද එරෙහිව සටන් කරමින් සිටියි. එහෙත්, අසල්වැසි තුර්කිය ඔවුන් සලකන්නේ එරට පදනම් කරගෙන 1980 දශකයේ සිට ම වෙනම කුර්දිස්තානයක් වෙනුවෙන් සටන් කරන කුර්දිස්තාන් කම්කරු පක්ෂයේ ම කොටසක් ලෙසයි. එහෙයින් තුර්කි හමුදා ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට මෙන් ම කුර්දි මහජන ආරක්ෂක ඒකකවලට ද පහර දෙති.
මෙම සටහන තබන මොහොත වන විට විපක්ෂ කැරලිකරුවෝ ඇලෙපෝව අතහැර යමින් සිටිති. යුද්ධයට මැදි වී සිටින ජනයාට ඉවත්වීමට ඉඩදී තිබේ. කැරැලිකරුවන් හා සිරියානු රජයේ හමුදා අතර සටන් විරාමයක් ඇතිවී තිබෙන බව කැරැලිකරුවන්ගේ පැත්තෙන් ප්‍රකාශයට පත්කර තිබුණත්, එය කැරලිකරුවන්ගේ යටත්වීමක් බව පෙනෙන්නට තිබේ. එහෙයින් අසාද්ගේ හමුදා කෙතරම් දුරට කැරලිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇද්ද යන්න පැහැදිලි නැත.■