රාවය

අපේ කාලයේ අසහාය දැනුම ගවේෂකයා එඞ්වින් ආරියදාස සමඟ සමීප සංවාදයක්

අපේ කාලයේ අසහාය දැනුම ගවේෂකයා එඞ්වින් ආරියදාස සමඟ සමීප සංවාදයක්

එඞ්වන් ආරියදාස සූරීන් හඳුන්වා දිය හැකි ආකාරයන් ගණනාවක් තිබෙනවා.
දශක හතක පමණ කාලයක් තිස්සේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හපන්කම් රැසක් කළ දැවැන්තයෙක්. අපේ රටේ සරසවි මාධ්‍ය අධ්‍යාපනයේ පුරෝගාමි යෙක්. ප්‍රශස්ත විද්‍යා සන්නිවේදනයේ හා පරිසර සන්නිවේදනයේ නව මං එළිපෙහෙළි කළ අයෙක්. අතීත උරුමය හා නූතනත්වය මනා ලෙස තුලනය කරගත් විද්වතෙක්. සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂිකත්වය හරහා පෙරදිග අපරදිග අතර නිරතුරුව දැනුම හා අදහස් හුවමාරුවට මුල් වූ සංස්කෘතික පාලමක්. තමන් අදහන ආගමට සේවය කරන අතර අන් සියලු ආගම් හා සංස්කෘතීන් සමඟද සුහදව ගනුදෙනු කරන, කිසිදා අන්තවාදී නොවූ පරමාදර්ශී චරිතයක්.
මේ විදියට ආරියදාසයන් අපට නන් අයුරින් විග්‍රහ කළ හැකියි. 1960 දශකයේ ඉපිද 1970 හා 1980 හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ අයට ඔහු වඩාත්ම හොඳින් මතකයේ රැඳෙන්නේ විශ්ව දැනුම සාගරයට අප කැඳවා ගෙන ගිය, අපේ මනස නිතිපතා කුල්මත් කළ අසාමාන්‍ය දැනුම ගවේෂකයා හැටියටයි.
මුල් යුගයේ පත්තර හා රේඩියෝ මාධ්‍ය හරහා ඔහු කළ මේ දැනුම ගවේෂණය පසු කලෙක දක්‍ෂ ලෙස ටෙලිවිෂන් මාධ්‍යයෙන්ද කිරීමට සමත් වුණා. මෙසේ බහුවිධ මාධ්‍යයෙන්ද බහුවිධ විෂයයන් ගැන හරබරව හා සිත්ගන්නාසුලු අයුරින් සන්නිවේදනය කළ හැකි අය එදත් අදත් අපේ රටේ දුර්ලභයි.
1981 දී මා ඔහු මුලින්ම හඳුනාගත්තේ පාසල් සිසුවකු ලෙස. එදා පටන් ගෙවී ගිය 35 වසර පුරා මා ඔහුගෙන් බොහෝ ගුරුහරුකම් ලැබ තිබෙනවා. එසේම අතිශය නිහතමානී ඔහු මගෙන්ද විටින් විට නව දැනුම පිළිබඳ විස්තර විමසා තහවුරු කර ගන්නවා. අප දෙදෙනා එකම සභාවේ, එකම ගුවන් තරංග ඔස්සේ හා එකම ප්‍රකාශනවල සහයෝගයෙන් නොයෙක් දේ කළත් මා තවමත් ඔහුගෙන් ඉගෙන ගන්නවා. උදයෝගයෙන් විවෘත මනසකින් හා අසීමිත කුතුහලයෙන් යුතුව ලෝකය බලන්නටත්, සුහදව හා උපේක්‍ෂා සහගතව සමාජය සමඟ ගනුදෙනු කරන්නටත් ඔහුගේ ජීවිතයෙන් අපට ආදර්ශ රැසක් ලද හැකියි.
2012 වසරේ දිනෙක මා ආරියදාසයන් සමඟ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් වීඩියෝගත කළා. පැය දෙකකට අධික කාලයක් පුරා ඔහුගේ මාධ්‍ය ජීවිතය, මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රය ගැන ඔහුගේ විග්‍රහය හා අප දෙදෙනාට පොදු සාධකයක් වන විද්‍යා සන්නිවේදනය ගැන අප කථා බහ කළා.
ඉංග්‍රීසි බසින් අප කළ සාකච්ඡාව සංස්කරණය කොට වීඩියෝ 4ක් හැටියට වෙබ්ගත කොට තිබෙනවා. එසේම එහි මුල් පිටපත Groundciews.org නම් වෙබ් අඩවියේ 2013 දී පළ වුණා.
පහත හමුවන්නේ එම ඉංග්‍රීසි සංවාදය ඇසුරෙන් මා කළ සිංහල අනුවාදයයි. මුල් සාකච්ඡාවේ තෝරා ගත් කොටස් මෙහි අඩංගුයි.
නාලක : ඔබ වසර 35ක් ලේක්හවුස් ආයතනයේ සේවය කළා. පත්‍ර කලාවට යොමු වුණේ කොහොමද?
ආරියදාස : ඔව්, 1949 සිට 1985 දක්වා කාලයේම මා ලේක් හවුසියට බැඳුණේ උපාධිධාරී තරුණයකු ලෙසයි. එහෙත් ඊටත් පෙර මා ලේක්හවුස් පත්තරවලට ලිපි ලියමින් සිටියා. මුල්වරට මගේ නම පත්තරයක පළ වුණේ මට වයස 16 දී සිළුමිණේ කමලා ළමා සමාජයට මා ලිපියක් ලියුවේ එතරම් බාල වියේදී.
පත්‍රකලාවම තෝරා ගත්තේ ඇයි?
එයට යම් ඉතිහාසයක් තිබෙනවා. ලංකා විශ්වවිද්‍යාලයේ කලා උපාධියේ අවසන් වසර පරීක්‍ෂණයට උත්තර ලියා මා උණවටුන ගමට ආපසු ගියා. මගේ පාසල වූ මහින්ද විද්‍යාලයේ ටික කලක් උගැන් වූවා. එවිට සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංගමයෙන් මට ඇරැයුමක් ලැබුණා. සරසවි සිසුවකුව සිටින කාලේ මා එම සංගමයේ ක්‍රියාකාරීව සිටියා. ඔවුන් මට කීවේ යළිත් කොළඹට විත් සංගමයේ වැඩට සම්බන්ධ වන්න. රක්‍ෂණ සමාගමක තනතුරක් මට රැකියාව ලෙස ඔවුන් සකස් කර දුන්නා. රියදුරකු හා වාහනයක්ද සමඟ. ඉතින් මම යළිත් කොළඹට පැමිණ එම රැකියාව කරමින් සති අන්තවල බෞද්ධ ශිෂ්‍ය සංගමයේ වැඩ කළා. ඉන් එහාට ලොකු අරමුණු තිබුණේ නැහැ. ටික කලකින් ලේක්හවුස් සභාපති එස්මන්ඞ් වික්‍රමසිංහ මහතා මට පණිවුඩයක් එව්වා ලේක්හවුස් කර්තෘ මණ්ඩලයට බැඳෙන්න කියා. මා එය ඒ තරම් ගණන් ගත්තේ නැහැ. මාසෙකට පසු ඔහු යළිත් ඇරියුම් කළා.
මා එවකට නැවතී සිටියේ ගල්කිස්සේ බෝඩිමක. අපේ අසල්වැසියකු වූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මා හඳුනාගෙන සිටියා. ලේක්හවුසියේ හිටපු කතුවරයකුද වූ ඔහු සමඟ මේ ගැන කථා කළා. සම්මුඛ සාකච්ඡාවකට යන්නට ඔහු මා දිරිමත් කළා.
එස්මන්ඞ් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාව අවසානයේ මට රැකියාවක් දෙන බවත්, එවකට මට ලැබුණු වැටුපට වඩා ගෙවන බවත් කියා සිටියා. එසේම මගේ විවේක කාලයේ බෞද්ධ ශිෂ්‍ය කටයුතු කිරීමට සම්පූර්ණ අවකාශය ලැබෙන බවත් කිව්වා. 1949 මාර්තු 3 වනදා මා ලේක්හවුස් රැකියාව ඇරඹුවා.
ඔබට මුලින් භාර කෙරුණු වගකීම් වූයේ මොනවාද?
මට සිංහල – ඉංග්‍රීසි ද්විභාෂික හැකියාව තිබුණු නිසා දිනමිණ හා ඬේලි නිවුස් පත්‍ර දෙකේම කතුවරුන්ට මා හඳුන්වා දෙනු ලැබුවා. ඬේලිනිවුස් එවකට කතුවරයා වූයේ ආනන්ද කුමාරස්වාමි සූරීන්ගේ මුණුපුරකු වූ ජයන්ත පද්මනාභ මහතා. දිනමිණේ කර්තෘ වූයේ පියසේන නිශ්ශංක මහතා. දෙදෙනාම දක්‍ෂ පත්‍ර කලාවේදීන් මෙන්ම හසල විද්වතුන්ද වූවා.
අලුතෙන් නිදහස ලබා සිටි ලංකාවේ තොරතුරු වාර්තා කිරීම හා විග්‍රහ කිරීම කෙසේ සිදු කෙරුණද?
මා සිංහල හා ඉංග්‍රීසි කර්තෘ මණ්ඩල දෙකෙහිම සේවය කළා. ආසියාවේ පැරණිම ඉංග්‍රීසි පුවත්පත වූ ඔබ්සවර්හි විශේෂාංග ලේඛකයකු ලෙසද ක්‍රියා කළා. ද්විභාෂික හැකියාව හා පුළුල් වූ දැනුමකින් පත්‍ර කලාවට පිවිසීම එකල අප බොහෝ දෙනෙකුට පොදු වූ සාධකයක්.
නිදහස් ලංකාවේ අනාගතය පිළිබඳ සුභවාදී ආකල්ප හා පැතුම් අපට තිබුණා. ජාතිය ගොඩනැංවීම හා ලැබූ ස්වාධිපත්‍යය ප්‍රායෝගිකව තහවුරු කර ගැනීම ගැන හරවත් සංවාද එවකට පුවත්පත් හරහා සිදු කෙරුණා.
ඔබේ සමකාලීනයන් හා ජ්‍යෙෂ්ඨයන් ගැන මතකයන් මොනවාද?
මා පත්‍ර කලාව හරහා අපූරු චරිතයන් රැසක් හඳුනා ගත්තා. දැවැන්තයන්ගේ ඇසුරේ ඔවුන්ගෙන් උගන්නට ලැබුණා.
පියසේන නිශ්ශංක මහතා බොහෝ දැනුම තිබූ, නිහතමානී කෙනෙක්. දේශීය හැම දෙයක්ම අගය කළ අයෙක්. මුදල් ගැන කිසි තැකීමක් කළේ නැහැ. ඔහු දිනමිණ කතුවැකිය ලියා ටයිප් සෙටින් අංශයට දී ගාලු මුවදොර පිටියේ ඇවිදින්නට යනවා. මාත් ඔහු සමඟ යන්නට පුරුදු වුණා. එතැන තිබූ කුඩා හෝටලයකින් කේක් කා, තේ බී අප ආපසු එන විට කතුවැකියේ සෝදුපත් සූදානම්. සිංහල කලාවන් හා සංස්කෘතික තොරතුරු හැකි තරම් ඉංග්‍රීසි පාඨකයන්ටත් ලියා දෙන මෙන් මා දිරිමත් කළේ ඬේලි නිවුස් කතු පද්මනාභ මහතා.
මා හඳුනාගත් විශිෂ්ටතම කතුවරයෙකු වූයේ ඩෙන්සිල් පීරිස් මහතායි. වැඩට බැස්සාම කෑම බීම පවා අමතක වනවා. ඒ තරමට පත්‍ර කලාවට කැපවීමක් තිබුණා. පත්‍ර කලාව රටේ අනාගතයට කෙසේ දායක විය යුතුද යන්න ගැන ඉතා හොඳ දැක්මක්ද ඔහු සතු වුණා. ද්විභාෂික දක්‍ෂයකු වූ ඔහු ඔබ්සර්වර් කතුවරයා වූ අතර කලක් (ලේක්හවුස් සවස පත්‍රය වූ) ජනතා කතුවරයා ලෙසද ක්‍රියා කළා.
ඔහුගෙන් මා බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබ්සර්වර් පත්‍රයද දහවල නිකුත්වන එකක් වුවත් පෙරවරු 10.30ට නිකුත් කිරීමට ඔහුට ඕනෑ වුණා. ඉතින් අප උදෙන්ම කාර්යාලයට එනවා. කතුවැකිය ලිවීම බොහෝ විට භාර වුණේ මටයි. ඔහුත් මාත් කථා කර එකඟ වන මාතෘකාවකට අනුව ශීඝ්‍රගාමීව මා කතුවැකිය ලියනවා. පිටුවක් ලියා හමාර වූ විට එය කියවමින්ම ඔහු මුද්‍රණ අංශයට යන්නේ අවශ්‍ය සංශෝධන කරමින්. ඔහු ආපසු කර්තෘ මණ්ඩලයට එන විට මා ඊළඟ පිටුව ලියා හමාරයි. හරියට රිලේ (සහාය) දිවීමක් වගෙයි අපි වැඩ කළේ.!
වේගය සමඟ ප්‍රමිතීන් පවත්වා ගන්නට හැකි බව අප උගත්තේ ඩෙන්සිල් සමඟ වැඩ කිරීමෙන්. එවකට ඔබ වැන්නන් සතුව තිබූ ද්විභාෂා කුසලතාව නිසා පත්‍ර කලාවේ නිම්වලලු පුළුල් වූවා නේද? එබන්දක් අදටත් අවශ්‍යයි නේද?
ඉතා කනගාටුවෙන් කිව යුත්තේ අද පත්‍ර කලාවේ ද්විභාෂිකත්වය හමු නොවන බවයි. අප එවකට සිංහල හා ඉංග්‍රීසි පත්‍රවල සේවය කළේ අන්‍යොන්‍ය සුහදත්වය හා ගෞරවය පෙරටු කරගෙනයි. බහු සංස්කෘතික අපේ රටට එබඳු ප්‍රවේශයක් බෙහෙවින් අවශ්‍යයි.
ද්විභාෂිකත්වය යනු හුදෙක් දේශීය භාෂාවක් හා ඉංග්‍රීසිය මනාව හැසිරවිය හැකි වීම පමණක් නොවෙයි. භාෂාවට පදනම් වන සංස්කෘතීන්ට සමීප වීම හා සංස්කෘතික විවිධත්වයන්ට ගරු කිරීම ද එහි මූලික ගුණාංගයක්. තමන් ඉපදුණු සංස්කෘතිය පවත්වා ගන්නා අතරම සෙසු සංස්කෘතීන් හා හර පද්ධතිද ඇසුරු කිරීම හරහා අප වඩාත් පිරිපුන් පුද්ගලයන් බවට පත්වනවා. විශේෂයෙන් පත්‍ර කලාවේදීන් හා කතුවරුන් අතර මේ ගුණාංගය තිබීම වැදගත්. එසේ නොමැති වීම නිසා තමයි පටු විග්‍රහයන් හා සමාජය භේද බින්න කරන ආකල්ප අපේ සමාජ හරහා අද පැතිරෙන්නේ.
1950 හා 1960 දශකවල මෙරට පත්‍ර කලාවේ ප්‍රමුඛයෝ තම දේශීය අනන්‍යතාව හා ඔහු සංස්කෘතික යථාර්ථය මනාව තුලනය කර ගත්තා. ඔවුන් සෙවණ් හැදුණු අපට තමා සහ අනෙකා යැයි වාර්තා කිරීමක් කිසිදා සිතට ආවේ නැහැ.
මගේ පරම්පරාවේ (එනම් 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු) අයට වඩාත්ම ඔබව මතක තිබෙන්නේ නවයුගය පත්‍රයේ කතුවරයා හැටියටයි. ඒ ගැන ටිකක් ආවර්ජනය කළ හැකිද?
ලේක්හවුස් ආයතනයේ සියලුම සිංහල හා ඉංග්‍රීසි පත්‍රවලට මා යම් අයුරකින් දායක වුණා. එහෙත් මගේ විචිත්‍රතම මතකයන් ඇත්තේ නවයුගය පත්‍රයේ කතුවරයා ලෙස ක්‍රියා කළ වසර කිහිපයයි. (1971 – 1983)
සඟරාවක් ලෙස අරඹන ලදුව පසුව දෙසතියකට වරක් පළවන ටැබ්ලොයිඞ් ප්‍රමාණයේ පත්‍රයක් ලෙස පැවති නවයුගයට ආවේණික පෞරුෂයක් තිබුණේ නැහැ. එය සිසුන්ට දැනුම ගෙනෙන ප්‍රකාශනයක්ව තිබුණා. මා එහි ප්‍රධාන කතුවරයා වූ පසු නව ලොව නව දැනුම බෙදා දීම ඉලක්කය කර ගත්තා. ඒ සඳහා සරල බසින්, සිත් ගන්නාසුලු ශෛලීන්ගෙන් දෙස් විදෙස් තොරතුරු හා විග්‍රහයන් ඉදිරිපත් කිරීම ඇරඹුවා.
නවයුගය බොහෝ කලක් කියවූ ළමා හා තරුණ පාඨකයකු වූ මට මේ වෙනස හොඳට මතකයි. ඇත්තටම අද මෙන් ඉන්ටනෙට් වැනි තොරතුරු මාධ්‍යයන් නොතිබි එවකට ඔබ අපට විශ්ව දැනුම ගෙන ආවා. එය කළේ කොහොමද?
අද දක්වාත් බොහෝ දෙනා මගෙන් ඔය ප්‍රශ්නය අසනවා. මා එවකට ඉංග්‍රීසියෙන් පළ වූ පුවත් සඟරා (ටයිම්, නිව්ස්වීක්) නිතිපතා කියවූවා. බටහිර තානාපති කාර්යාලවලින් බෙදාහරින තොරතුරු සොයාගෙන පරිශීලනය කළා. අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන භ්ී් සමඟ සෘජුව සන්නිවේදනය කොට අලුත්ම තොරතුරු හා රූප ගෙන්වා ගත්තා.
ලෙහෙසි නොවූවත් ඕනෑකම හා උද්‍යෝගය සමගින් මා නව දැනුම සොයා ගියා. මුලින් මා දැනුවත් වී ඉන්පසු එය සරල සිංහලෙන් අපේ පාඨකයන් සමඟ බෙදා ගත්තා. අලුත් දැනුම සොයා ගැනීම. දුෂ්කර වූ එවකට නවයුගය ඉටුකළ මෙහෙවර ගැන ඔබ වැනි පාඨකයන් තවමත් කථා කරනවා. එය මට මහත් සතුටක්.
ඔබ සිංහල භාෂාව, සභ්‍යත්වය හා ඉතිහාසය ගැන ද තොරතුරු ගවේෂණය කළා, නව මත ඉදිරිපත් කළ අයෙක් බවත් අප දන්නවා. ඒ ගැන ටිකක් කිව්වොත්?
පෙරදිග හා අපරදිග සියලු චින්තන සම්ප්‍රදායයන් හා දැනුම් සම්භාරයන් මා ගවේෂණය කළා. ඉතිහාසය, සංස්කෘතිය හා කලා ශිල්ප ගැන මා කවදත් උනන්දුයි. කාලයක් මා සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රීය අතිරේකය සංස්කරණය කළා. අපේ විද්වතුන්ගේ පර්යේෂ ණාත්මක ලිපි සිංහල පාඨකයන් අතර ගෙන යෑම අරමුණ වුණා.
උදාහරණයකට මහාචාර්ය සෙනරත් පරණ විතානයන් සඳකඩ පහණ ගැන අර්ථකථනයක් ඉදිරිපත් කරමින් ඉංග්‍රීසියෙන් විද්වත් සඟරාවකට ලියා තිබූ ලිපි මා ඔහුගේ අවසර ඇතිව සිංහලට පෙරළුවා. එවකට එවන් ලිපි අගය කළ පාඨක පිරිසක්ද සිටියා. ඒත් අද එවැනි සාරගර්භ ලිපි පත්‍රවල පළ වන්නේ කලාතුරකින්. එසේ ඉඳහිට පළ වූවත් ඒ හරහා ශාස්ත්‍රීය සංවාද ගොඩනැගෙන්නේ නැති තරම්. අපේ ඉතිහාසය හා සභ්‍යත්වය ගැන ආඩම්බර වූවාට මදි. එය විචාරශීලීව ගවේෂණය කරන, කුතුහලයෙන් යුත් පර්යේෂකයන් හා ඔවුන්ගේ ලිපි කියවන පාඨක පිරිසක් අවශ්‍යයි. මුද්‍රණ තාක්‍ෂණය දියුණු වී පත්‍ර හා සඟරා වඩාත් සිත්කලු නිමාවකින් අප අතරට ආවත් මීට පරම්පරාවකට දෙකකට පෙර තිබූ දැනුම් පිපාසය හා රට ලෝකය ගැන අසීමිත කුතුහලය අද පෙනෙන්නට නැහැ. මේ ගැන මා නිතර සිතනවා.
දැනුම සොයා යන්නට රිසි නම් මූලාශ්‍ර හා තාක්‍ෂණයන් අද බහුලයි නේද?
ඇත්තටම අද අප අත් විඳින පරස්පර විරෝධිතාව එයයි. මතුපිට පෙනුම හා අලංකාරය වැඩි වී ඇතත් මුද්‍රිත මාධ්‍ය හරහා හරවත් අන්තර්ගතය සන්නිවේදනය වන්නේ අඩුවෙන්. එසේම එබදු අන්තර්ගතය ඉල්ලා සිටින පාඨක පිරිසද සීමිතයි.
ඔබේ දශක හතක පමණ මාධ්‍ය ජීවිතය පදනම් කරගෙන විග්‍රහ කළොත්, මෙරට මුද්‍රිත මාධ්‍ය කලාවේ ස්වර්ණමය යුගය ලෙස ඔබ සලකන්නේ කුමන වකවානුවද? ඒ ඇයි?
ඉතා පැහැදිලිව මට කිව හැක්කේ ඒ 1960 දශකය බවයි. නව දැනුම සොයා යාමේ ඕනෑකමක් 1960 දශකයේ අපට දැකිය හැකි වුණා. සැබැවින්ම රටේ හා ලෝකයේ කුමක් සිදුවන්නේද හා එයට හේතු මොනවාදැයි තේරුම් ගන්නට දැනුම් පිපාසයක් සමාජයේ ප්‍රබලව මතුව ආවා.
එයට නිසි ප්‍රතිචාර දක්වන්නට එවකට සිටි පත්‍රකරුවන් හා පත්‍රකලාවේදීන් සමත් වුණා. තාක්‍ෂණය අද තරම් නොදියුණු එවකට පුවත්පත් හා පාඨකයන් අතර සමීප සබඳතා ගොඩනැඟුණා. මේ මහජන විශ්වාසය හා ළබැඳියාව හරහා සමාජ අභිවෘද්ධියට වැදගත් දේ කිරීමට පත්තරවලට හැකියාව ලැබුණා.
මාධ්‍ය කර්මාවන් තයේ පැවැත්මට මෙම සමාජ පිළිගැනීම අත්‍යවශ්‍යයි. කොපමණ විකිණුණත්, කොපමණ තරබාරු වුවත් මහජනයා පිළි නොගන්නා, නොතකන පත්තරයකින් වැඩක් නෑ.!
කුමන හෝ හේතුන් නිසා එම සමීප සබැඳියාව 1970 දශකයේ ටිකෙන් ටික ගිලිහී ගියා. ඉන් පසු ඒ තත්ත්වය යළි උදා වූයේ නැහැ. මෙයට හේතු ගැන අපට වෙනම විවාද කළ හැකියි. එහෙත් මා දකින්නේ මෙලෙසයි.
දියුණු රටවල පත්තර වැසී ගෙන යනවා. පාඨකයෝ ඩිජිටල් මාධ්‍යයට සංක්‍රමණය වන නිසා. මුද්‍රිත මාධ්‍යයේ අනාගතය කෙසේ වනු ඇතිද?
කඩදාසි මුද්‍රණය වන පත්තර තව කොපමණ කලක් අපේ වැනි රටවල පවතීද යන්න නිශ්චිතව කිව නොහැකියි. දැනටමත් පුවත් බෙදීමේ කාරිය බොහෝ දුරට වෙබ්ගත වෙලා. ඩිජිටල් තාක්‍ෂණයේ පුවත්සේවා ගැන මීට දශක දෙක තුනකට පෙර අප අනාගතවේදීව කී බොහෝ දේ දැන් සැබෑ වෙලා. ලොව වෙනත් රටවල මුද්‍රිත පුවත්පත් ටිකෙන් ටික අභාවයට යනවා. වැසුණේ නැතත් අලෙවිය අඩුවෙමින් තිබෙනවා. මේ නිසා පුවත්පත් අප අතට එන්නේ කඩදාසිවලද වෙබ් හරහාද යන්නට වඩා එහි අන්තර්ගතයේ හරවත් බව හා සමාජයීය අදාළත්වය ගැන අප වැඩි අවධානයක් යොමු කළ යුතුයි. තාක්‍ෂණික ප්‍රවාහයන්ට එරෙහි වනු වෙනුවට ඒවා අපට නිසි ලෙස සේවයට යොදා ගත හැකියි.
පත්තර කර්මාන්තයේ “ළඟ එන අභාවය” ගැන සිතනවාට වඩා ඔබ කියන්නේ මාධ්‍ය කලාවේ මූලධර්මවලට අප යළිත් යොමු විය යුතු බවද?
ඇත්තටම ඔව්! මාධ්‍ය පරිභෝජනය කඩදාසියේ වුවත්, ගුවන් තරංග හරහා වුවත් වෙබ්ගතව වුවත් මාධ්‍ය සුරැකිය යුතු මූලික ගුණාංග තිබෙනවා. නිවැරදි බව, සමබර බව, බහුවිධ පැතිකඩ විග්‍රහ කිරීම හා ආචාර ධර්මීය වීම ඉතා වැදගත්. මේ ගුණාංග නොරකින මාධ්‍ය පවතිනවාට වඩා හොඳයි වෙළෙඳපොළ ප්‍රවාහයන් හරහා වඳ වී යාම.■