Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය

සමාජ ව්‍යාපාර හා න්‍යායික ප්‍රශ්න

වික්ටර් අයිවන්

මා මීට පෙර “පුනරුදය උදාකර නොහැකිද?” යන හිසින් ලියන ලද ලිපිය විවේචනයට ලක් කරන ලිපියක් පසුගිය රාවයේ “පුනරුදය උදාකරගත හැක්කේ දේශපාලන පක්ෂයකට පමණි” යන හිසින් පළවී තිබුණි. එම විවේචනය ලියා තිබුණේ විජේරත්න කෝණාර නමැති ලේඛකයෙකි. මේ ලිපිය එම විවේචනයට දෙන පිළිතුරක් ලෙස නොසැලකිය යුතුය. මෙම ලිපිය එම ලිපිය කියවන්නට පෙර ලියන්නට සැලසුම් කර තිබූ ලිපියකි. එහෙත් ඔහු නගා තිබෙන සියලු ප්‍රශ්නවලට නොවෙතත් මූලික ප්‍රශ්න කිහිපයකට මෙම ලිපියෙන් පිළිතුරු ලැබෙන්නේයැ’යි සිතමි.
මාගේ ලිපියට යන්නට පෙර ඔහු නගා තිබෙන ප්‍රශ්න දෙකකට කෙටියෙන් වුවත් පිළිතුරු දිය යුතුය. ඔහු කියන්නේ බලය අල්ලා ගැනීමට අපේක්ෂා නොකරන සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දායක වන ලෙස රාවය පාඨකයන්ගෙන් කරන ඉල්ලීම මගින්ම රාවය කියවා නිම්වළලු පුළුල් කරගත් පාඨකයන්ට මා බලවත් අපහාසයක් කර තිබෙන බවය. මා එසේ සිතන්නේ නැත. ඒ ඉල්ලීම ඔවුන් ප්‍රබෝධවත් කිරීමට මිස ඔවුන් තුළ අපහාසාත්මක හැඟීමක් ඇති කිරීමට හේතුවී නැත.
ඔහු එම ලිපියේ තවත් තැනක මගේ විග්‍රහය අනුව “මහින්ද බලවේගය හැර වෙනත් විකල්පයක් නැති බව” පාඨකයන්ට ඇඟවීමට මා උත්සාහ දරා ඇති බව කියා තිබුණි. එහෙත් එවැනි අදහසක ඡායාවක්වත් එම ලිපියේ අඩංගු වන්නේ නැත. ඒ මගින් ඔහු කියන්නට උත්සාහ කරන්නට ඇත්තේ මෙවැනි සමාජ ව්‍යාපාරයක් වාසිදායක වන්නේ මහින්ද බලවේගයට බව පෙන්වාදීම සඳහා විය හැකිය. සමාජ ව්‍යාපාරයක් ඇති කරගත යුතුයි කියන අදහස මා පළකරන්නට වූයේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නොව ඊට අවුරුදු 4කට පෙරය. මා එම අදහස බලවත් ලෙස ප්‍රකාශ කර ඇත්තේ 2011 දී පළකරන ලද “ලංකාව ගලවා ගැනීම” යන හිසින් පළ කළ පොතෙනි.
සිහින දැකීම
පුනරුදය උදාකර ගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනීසිටින හා ඒ වෙනුවෙන් ක්‍රියාකරන සැලකිය යුතු පිරිසක් දැනටමත් ඒ සඳහා යන ගමන ආරම්භ කර තිබෙන බව කිව හැකිය. ඉන් පෙනෙන්නේ බීජය පැළ නොවන බීජයක් නොව, පැළවෙන බීජයක් බවය. එය තවමත් පුංචි පැළයක් විය හැකි වුවත් එය හොඳින් පෝෂණය කිරීමට සමත් වෙතොත් සෙවණක් නැතිව සිටින මුළුමහත් සමාජයටම සෙවණ දෙන මහා වෘක්ෂයක් බවට පත්වීමේ හැකියාව එයට තිබෙන්නේය. සමාජ ව්‍යාපාරය ඒකපුද්ගල වීර වික්‍රමයක් නොවිය යුතුය. එය සාමූහික උත්සාහයක නිර්මාණශීලී ප්‍රතිඵලයක් විය යුතුය.
මෙම ව්‍යාපාරයේ පුරෝගාමී පිරිස දකිමින් සිටින සිහිනය මීට පෙර සිහින දකින්නන් දුටු සිහිනවලට වඩා වෙනස්ය. එය රාජ්‍ය බලය අපේක්ෂා කරන්නේ නැත. ආණ්ඩුව ආරක්ෂා කිරීමට හෝ පෙරළා දැමීමට අපේක්ෂා කරන්නේද නැත. අපේක්ෂා කරන්නේ විනාශකාරී දේශපාලන කුකුළු පොරයෙන් බැහැර වී ජනයා සංවිධානය කිරීම හා නගාසිටුවීමය. ජරපත්වී තිබෙන සමාජ-දේශපාලනයට ඉහළින් ඉඳිමින් විකල්ප සමාජ දේශපාලන අත්තිවාරම ගොඩනැගීම හා ඒ සමඟ ජාතිය ගොඩනැගීම සඳහා ක්‍රියාකිරීමය. දියුණු මිනිසකු බිහිකළ විට ඔහු චින්තනමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද දියුණු මිනිසකු බිහිකිරීමට හේතුවනු ඇත.
පළමුවෙන්ම අප කරන්නට අපේක්ෂා කරන්නේ අරමුණ පිළිබඳව මූලික අවබෝධයක් ලබාදී ජාලගත වීමකට කැමති අය ජාලගත කිරීමය. ඉන්පසු සිදුවනු ඇත්තේ ඒ සියලුදෙනා අධ්‍යාපන වැඩසටහනකට යොමු කිරීම මගින් ඔවුන් නව මිනිසුන් බවට පත්කිරීමය. ඒ මගින් ඔවුන්ගේ අධ්‍යාත්මයේ තුවාල ඇත්නම් ඒවා සුවපත් කෙරෙනු ඇත. වර්ගවාදයෙන්ද, කුලවාදයෙන්ද හා ආගම්වාදයෙන් තොර සාධාරණව හා තර්කානුකූලව සිතන ප්‍රබෝධවත් හා නිර්මාණශීලීව ක්‍රියාකරන සංස්කෘතික මිනිසකු තැනීම එහි අරමුණ වේ. සමාජ පරිසරය යහපත් කොට විකල්ප සංස්කෘතියක් ඇතිවීමටත් එම ක්‍රියාවලිය හේතුවනු ඇත.
සමාජ සවිඥානකත්වය උසස් තත්ත්වයට ගැනීමට හේතුවන ප්‍රශස්ත අධ්‍යාපන වැඩසටහනක් ජාතියේ දැනුම ඇත්තන්ගේ බලවත් සාමූහික උත්සාහයකින් තොරව ඇති කරගත නොහැකිය. ඒ සඳහා අවශ්‍ය ප්‍රශස්ත සම්පත් දායකයන් අඩුවක් නැතිව එකතු කරගැනීමේ හැකියාව ව්‍යාපාරය විසින් ඇතිකර ගනු ඇත. ඒ අර්ථයෙන් එම සමාජ ව්‍යාපාරය විකල්ප විශ්වවිද්‍යාලයක කාර්යභාරයක් ද ඉටුකරනු ඇත.
ලංකාවට අදාළ මූලික ප්‍රශ්න සැලකිල්ලට ගෙන හදන අධ්‍යාපන වැඩසටහනකදී ව්‍යාපාරයට පූර්ව නූතන යුගය ගැන ප්‍රශස්ත විග්‍රහයක් තිබිය යුතුය. ලංකාවේ ජනාවාස ඇතිවීම, ජනවර්ග හා ආගම් ඇතිවීම, භාෂා ඇතිවීම, ආණ්ඩුක්‍රමය, ඉඩම් භුක්තිය, කුල ක්‍රමය, ඇතිවූ අභ්‍යන්තර හා බාහිර යුද්ධ හා අතීත ශ්‍රී විභූතිය යන කාරණා එම විශ්ලේෂණයේදී සැලකිල්ලට ගතයුතු ප්‍රධාන කාරණා විය යුතුය.
ඊළඟට සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත්ම දේ වනුයේ ලංකාව නූතන යුගයට පිවිසීම ගැනය. ලංකාව නූතන යුගයට පිවිසෙන්නේ බි්‍රතාන්‍යයන් කන්ද උඩරට රාජ්‍යය ද අල්ලා ගනිමින් කෝල්බෘක් ප්‍රතිසංස්කරණ හා වාණිජ වතු වගාව නිසා ඇතිවන ධනේශ්වර පරිවර්තනයත් සමඟය. ස්ථිර දේශසීමා සහිත හා මධ්‍යගත පාලනයක් සහිත ජාතික රාජ්‍යය හා සීමාසහිතකම් ඇතිව හෝ නවීන සමාජය බිහිවන්නේ ඒ සමඟය. අපට යටත්විජිතවාදය ගැන සැර විවේචනයක් ඇතත්, යටත්විජිතවාදය ඉටු කළ ඉදිරිගාමී කාර්යභාරය ගැන නිසි අවබෝධයක් තිබෙන බව පෙනෙන්නට නැත. ලංකාවේ වැඩවසම් ක්‍රමය බිඳවැටුණේ ලංකාවේ ජනතාව ඊට එරෙහිව නැගී සිටීම නිසා නොව බි්‍රතාන්‍ය යටත්විජිතවාදයේ බලපෑම නිසාය. අපට වැඩවසම් ක්‍රමය ගැන බලවත් විරෝධයක් හෝ විවේචනයක් නැත්තේද ඒ නිසාම විය හැකිය.
ධර්මපාල හා නාවලර්
ධනවාදය ඇතිවීමෙන් පසු පූර්ව නිදහස් යුගයේ ඇතිවන ආගමික පුනර්ජීවන ව්‍යාපාර හා ඉන්පසු ඇතිවන නිදහස් ව්‍යාපාරය ගැනද සාරගර්භ විග්‍රහයක් තිබිය යුතුය.
සාමාන්‍යයෙන් හැම යටත්විජිත රටකම පාහේ නිදහස් ව්‍යාපාර කරළියට ආවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරවලට පසුවය. ලංකාවේ බෞද්ධ හා හින්දු පුනර්ජීවන ව්‍යාපාරයේ මහා චරිත දෙක ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලතුමා හා ආරුමුගර් නාවලර්තුමාය. අනෙක් අතට ඒ දෙදෙනා වෙන් වෙන්ව බෞද්ධ චින්තනය කෙරෙහිත්, දෙමළ හින්දු චින්තනය කෙරෙහිත් වැඩියෙන්ම බලපෑ චින්තකයන් දෙදෙනා ලෙසද සැලකිය හැකිය. ඒ දෙදෙනා ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයන්ට වෙනස්ව සිංහලයන්ට හා දමිළයන්ට උරුමකර දුන්නේ ඔවුන් එකට එකතු කරන චින්තනයක් නොව භේද කරන චින්තනයකි. දෙදෙනාම ලංකාවේ පැවති කුල ක්‍රමය ආරක්ෂා කළෝය. ඒ මගින් රටේ පැවති කුලභේදය ආරක්ෂා කළෝය.
ඉන්දියානු ජාතික චින්තනය අවසාන වශයෙන් හැඩගැස්වීමෙහිලා වැඩිම බලපෑමක් කළේ ආගමික පුනර්ජීවන ව්‍යාපාර විසින් නොව ඉන්දියානු නිදහස් ව්‍යාපාරය විසිනි. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය කුලභේදයට තිබුණු පිළිගැනීම දුර්වල කොට, ආගම් හා වර්ග අතර සහජීවනයක් ඇති කිරීමට හේතුවන දැක්මක් ඉන්දියාවට උරුම කර දුන්නේය.
එහෙත් ලංකාවේ නියම නිදහස් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි ව්‍යාපාරයක් නොතිබුණු අතර ලංකාවේ නිදහස් ව්‍යාපාරය ලංකාවේ සිංහල හා දෙමළ සමාජයක් තුළ පැවති කුලභේදයට එරෙහිව ප්‍රබල කිසිවක් නොකළේය. වර්ග හා ආගම් අතර සහජීවනයක් ඇතිකිරීම පිණිසද ප්‍රබල කිසිවක් නොකළේය. නිදහස් ව්‍යාපාරය ලංකාවේ චින්තනය කෙරෙහි කිසිදු වැදගත් බලපෑමක් නොකළේයැ’යි කිවහැකි අතර අවසාන විග්‍රහයේදී සිංහලයන් සේ ම දමිළයන්ද උරුම කරගෙන තිබුණේ අනගාරික ධර්මපාලතුමාගේ හා ආරුමුගම් නාවලර්තුමාගේ භේදකාරී චින්තනයයි.
නිදහස ලැබෙන අවස්ථාව වන විට ලංකාව ආසියාවේ රටවල් අතර කැපීපෙනෙන තරම් දියුණුවක් හිමිකරගෙන සිටියේය. ඒක පුද්ගල ආදායමේදී අප දෙවැනි වූයේ ජපානයට පමණය. එහිදී රටවල් දෙක අතර ලොකු පරතරයක් නොතිබුණි. අනෙක් රටවල් සමඟ සසඳන විට ළදරු මරණ අනුපාතිකය හා සාක්ෂරතාව තිබුණේ ප්‍රශස්තම තත්ත්වයකය. යටිතල පහසුකම්වලදීද අපි ඒ රටවල් අතුරින් දියුණුම තත්ත්වයක් හිමිකරගෙන සිටියෙමු. විශ්වාසයට හා ගෞරවයට හේතුවන ශ්‍රේෂ්ඨාධිකරණයක් අපට තිබුණි. දියුණු සිවිල් සේවාවක් තිබුණි. තිබුණේ එක විශ්වවිද්‍යාලයක් වුවද එයද කලාපයේ කැපීපෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. පාසල් අධ්‍යාපනයද උසස් මට්ටමක පැවතුණි. එහෙත් නිදහසින් පසු අප හිමිකරගෙන තිබූ එම දියුණුව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට අසමත් විය. ඉතා ඉක්මනින් රට අසාමාන්‍ය තරමකට ලේ හලන රටක් බවට පත්විය. නිදහසින් පසු ඇතිවූ පරිහානිය හා ඊට බලපෑ හේතූන් ගැන හොඳ හා සාධාරණ විග්‍රහයක් තිබිය යුතුය. රටේ ජාතික නායකයන්ට ජාතික සමඟිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිමත් දෘෂ්ටියක් නොතිබුණා සේ ම එවැනි සමඟියක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සුදුසු වටාපිටාවක්ද සමාජයේ නොතිබුණි. අභ්‍යන්තර සමඟියක් සඳහා අවශ්‍ය කරන ජාතිය ගොඩනගා ගැනීමට අප අසමත්ව තිබුණු අතර ලේ හැලෙන දීර්ඝකාලීන ගැටුම් ඇතිකිරීමෙහිලා කුලය, වර්ගය හා ආගම වැනි භේද එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලපෑවේය. ඒ ගැටුම් නිසා ඇතිවූ බිහිසුණු හා අවලස්සන වටාපිටාව රාජ්‍ය ආයතන ක්‍රමයද, සමාජයද ජරපත් කොට දූෂිත කළේය.
මාක්ස්වාදය
ශ්‍රී ලංකාවට අදාළව පිළිතුරු සොයාගත යුතු අවසාන ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ ජාතිය ගොඩනගනවාට අතිරේකව ප්‍රතිනිර්මාණය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන හැඩතල කුමක් විය යුතුද යන්නයි. එය ආරම්භක සාකච්ඡාවලදී මතුවූ වැදගත් මූලික ප්‍රශ්නයක් වන අතර මේ ලිපිය ලියන්නට අදහස් කළේම ඒ ගැන වන මගේ අදහස් පළකිරීම සඳහාය. එම ප්‍රශ්නයේ නියම තේරුම වනුයේ ප්‍රතිනිර්මාණය කෙරෙන ශ්‍රී ලංකාව ගමන් කරනු ඇත්තේ ධනවාදී මාවතේද නැතිනම් ඉන් වෙනස් මාවතකද යන්නය. මෙය ඉන්දියානු නිදහස් අරගල ව්‍යාපාරය තුළද අවස්ථා ගණනාවකදී මතුවූ වැදගත් ප්‍රශ්නයක් විය.
අප ජීවත් වන ධනේශ්වර ක්‍රමය තිබුණු වැඩවසම් නිෂ්පාදන ක්‍රමයේ නිෂ්පාදන බලවේගයන් හා නිෂ්පාදන සම්බන්ධතා අතර තිබුණු ගැටුම පුපුරායෑම නිසා ඇතිවූ ස්වාභාවික ප්‍රතිඵලයක් විය. ධනපති ක්‍රමය මිනිස් මොළයෙන් කරන ලද දෙයක් නොවීය. මාක්ස්ගේ වචනවලින් කියතොත් “සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගයන් ඒවාහි වර්ධනයේ එක්තරා අවධියකදී පවතින නිෂ්පාදන සම්බන්ධතා සමඟ ඝට්ටනයකට එළැඹෙයි. …එවිට සමාජ විප්ලවයේ යුගයක් ආරම්භ වේ… ආර්ථික පදනම වෙනස්වීමත් සමඟ අඩු හෝ වැඩි වේගයකින් මුළුමහත් අධිව්‍යුහයේ වෙනසක් ඇතිවේ.”
ධනේශ්වර ක්‍රමය වෙළෙඳපොළ පදනම් කරගත් නිෂ්පාදන ක්‍රමයක් වීම හේතු කොටගෙන අධිනිෂ්පාදනය හා ඒ ආශ්‍රයෙන් ඇතිවන වෙනස් ප්‍රශ්න නිසා ඇතිවීම ස්වාභාවික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එම ස්වභාව ධර්මයටද ආවේණිකය. එම ක්‍රමයට ආවේණික ගංවතුර, නියඟය වැනි විපත් සේ ම විශාල විනාශයක් ඇතිකිරීමට හේතුවන සුනාමි වැනි විපත්ද කලින් කල ඇතිවීම ස්වභාව ධර්මයට ආවේණික ලක්ෂණයකි. කලින් කල එසේ ඇතිවන ලොකු කුඩා විපත් නිසා ස්වභාව ධර්මයේ පැවැත්ම අවසන් වන්නේ නැත. ධනේශ්වර ක්‍රමය තුළ විටින් විට ඇතිවන අර්බුද සැලකිය හැක්කේ ධනේශ්වර ක්‍රමයට ආවේණික ස්වාභාවික ලක්ෂණයක් ලෙසය. විටින් විට ඇතිවන එවැනි අර්බුද නිසා පමණක් ධනේශ්වර ක්‍රමය බිඳවැටෙන්නේ නැත.
ධනේශ්වර ක්‍රමයට පෙර පැවති වැඩවසම් ක්‍රමය පවා අවුරුදු සිය ගණනක් නොව අවුරුදු දහස් ගණනක් පැවතුණි. ලංකාවේ පවා වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයට අවුරුදු 2000කට වැඩි ඉතිහාසයක් ඇත්තේය. ධනේශ්වර ක්‍රමයේ වයස අවුරුදු 300කටත් වඩා අඩුය. මාක්ස් මියගියේ මීට වසර 133කට ඉහතදීය. මාක්ස් ඓතිහාසික භෞතිකවාදයට සිටි දැවැන්තම න්‍යායවාදියා ලෙස සැලකිය හැකි වුවද ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට අදාළ කාලනිර්ණයන් පිළිබඳව ඔහු ඇති කරගත් නිගමනයන් ඔහුගේම ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියට පටහැනිය. බරපතළ විසමතා තිබියදීත් සමාජ සංවර්ධනයේ ඓතිහාසික ක්‍රියාවලිය තුළ බිහිවන බලවත්ම හා නවීනතම නිෂ්පාදන ක්‍රමය ලෙස සැලකිය හැකි ධනේශ්වර ක්‍රමය එහි ළදරු කාලයේදීම මියයන දෙයක් ලෙස සැලකීම නිවැරදි නැත. සමහරවිට ඊට හේතුවන්නට ඇත්තේ නිර්ධන පන්තිය කෙරෙහි තිබූ දයාව හා ධනේශ්වර ක්‍රමය තුළ විටින් විට ඇතිවන අර්බුද නිසා විය හැකිය.
මාක්ස්වාදී දේශපාලන ආර්ථික විද්‍යාවේ ඉතාමත් වැදගත් න්‍යායික රචනයක් ලෙස සැලකෙන මාක්ස්ගේ “දේශපාලන ආර්ථික විද්‍යාවට විවේචනයක්” නමැති රචනයෙහි මාක්ස් කියන්නේ “යම්කිසි සමාජ ක්‍රමයක තිබෙන නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට ඒ තුළ ඉඩ තිබෙන තාක් එම සමාජ ක්‍රමය විනාශයට පත් නොවේය” කියාය. සියලු අවුල් තිබියදීත් ධනේශ්වර ක්‍රමය තුළ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට තිබෙන විභවය අතිවිශාල බව මෙතෙක් ඇතිවී තිබෙන වර්ධනයන්ගෙන් හා තවදුරටත් ඇතිවෙමින් තිබෙන වර්ධනයන්ගෙන් පෙනීයයි. ධනවාදය නැතිවන්නේ කවදාද, ඉන්පසු ඇතිවන්නේ කුමක්දැයි කියන්න නම් මා දන්නේ නැත. ඓතිහාසික සංවර්ධනයේ න්‍යායන් අනුව ධනවාදය තව බොහෝ කලක් පවතිනු ඇතැයි කිව හැකිය.
සමාජවාදය
මට පෙනෙන අන්දමට මාක්ස්ට වැරදුණු ඊළඟ තැන වශයෙන් සැලකිය හැක්කේ ස්වාභාවිකව ඇතිවී විකාශනය වෙමින් පැවති සමාජ නිෂ්පාදන ක්‍රමයක් ලෙස සැලකිය හැකි ධනේශ්වර ක්‍රමයට විකල්පයක් ලෙස මිනිස් මොළයෙන් තනන ලද ක්‍රමයක් ඉදිරිපත් කිරීමය. මාක්ස් ඉදිරිපත් කළ එම විකල්පයට එක්තරා කාලයකදී විශාල සමාජ පිළිගැනීමක් ලැබී තිබුණි. මාක්ස්ගේ අනුගාමිකයන් පළමුව රුසියාවේදීද, වෙනත් රටවල් ගණනාවකද බලහත්කාරී ලෙස බලය අල්ලා ගනිමින් කොමියුනිස්ට් ක්‍රමයක් කරා යන ගමනේ අතරමැදි අවස්ථාව ලෙස සැලකුණු සමාජවාදී සමාජයක් බලහත්කාරයෙන් ගොඩනැගීමය. එසේ බලහත්කාරයෙන් කරන ලද අත්හදා බැලීම් සඳහා ලොකු වන්දියක් ගෙවන්නට සිදුවුවද එම අත්හදා බැලීම් සාර්ථක වූයේ නැත. ඒ සියලු රටවල් සමාජවාදය අතහැර ධනවාදය වෙත මාරුවී තිබේ. සමාජවාදය ඇති කිරීම සඳහා බලහත්කාරයෙන් කරන ලද අත්හදා බැලීම් ඒ රටවල සමාජයේ සේම ආයතන ක්‍රමයේද ලොකු විකෘති ඇති කිරීමට හේතුවී තිබේ.
බර්ට්‍රන්ඞ් රසල්, මාක්ස් ගැන ලියන ලද රචනයක මාක්ස්ගේ දෘෂ්ටියේ ඔහු දකින ලොකුම සීමිතකම විස්තර කර තිබෙන්නේ මෙසේය. “හුදෙක් දාර්ශනිකයෙකු වශයෙන් සලකා බලන කල මාක්ස් තුළ බරපතළ අඩුපාඩුකම් පවතී. ඔහු පමණට වඩා ක්‍රියාකාරීය. ස්වකීය කාලයේ ඉදිරිපත්වූ ගැටලුවලට පමණට වඩා ක්‍රියාවේ යෙදීසිටි ඔහුගේ දෘෂ්ටිය ඔහු ජීවත්වන ග්‍රහ තාරකාවටද, එම ග්‍රහ තාරකාව තුළ ජීවත් වන මිනිසාටද සීමාවෙයි. මිනිසා තමන් වෙත කලින් පවරා ගෙන තිබූ විශ්ව වැදගත්කම ඔහුට හිමි නොවන බව කොපර්නිකස්ගේ කාලයේ පටන්ම ප්‍රත්‍යක්ෂව තිබෙන්නකි. මේ කරුණු වටහා ගැනීමට අසමත් වී තිබෙන්නා වූ කිසිවෙකුට ස්වකීය දර්ශනය විද්‍යාත්මක වේයැ’යි පැවසීමේ අයිතියක් හිමි නොවෙයි.”
සමාජවාදී ලෝකය බිඳවැටීමෙන් පසුත් එය මාක්ස්වාදී දර්ශනයේ වරදක් නොව ක්‍රියාවට නගන ලද ක්‍රමයේ වැරදි නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සලකා තවදුරටත් සමාජවාදී පරිවර්තනයක් වෙනුවෙන් පෙනීසිටින නව මාක්ස්වාදීන් ලෙස හැඳින්වෙන න්‍යායවාදීහු ලෝකයේ සිටියෝය. ඔවුන්ට ධනපති ක්‍රමයේ වැරදි ගැන ප්‍රබල විවේචනයක් තිබුණද ඒ කිසිවෙකු සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා වන ප්‍රායෝගික නව දැක්මක් ඉදිරිපත් කිරීමට සමත් වී නැත. අනාගතයේදීද හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
අර්බුදය තිබියදීත් ධනවාදය දීර්ඝකාලීන පැවැත්මක් ඇති ක්‍රමයක් ලෙස අප සලකන්නේ නම් අපට කළ හැකි හොඳම දේ ධනවාදයේ ඇති අවලස්සන දේවලින් ඇතිවන හානිය අවම කරගැනීම පිණිස ක්‍රියාකිරීමය. ස්වභාව ධර්මය සමඟ ජීවත්වීමේදී එය ඇතිකරන විපත්වලින් සිදුවන හානිය අවම කරමින් ජීවත්වන ආකාරයටම ධනවාදය සමඟ ජීවත්වීමට අප හිත හදාගත යුතුය.
ජර්මනිය හා ස්කැන්ඩිනේවියානු රටවල තිබෙන්නේද ධනපති ක්‍රමයකි. ඒ රටවල තිබෙන ධනපති ක්‍රමය වෙනත් රටවල තිබෙන ධනපති ක්‍රමයට වඩා වෙනස්ය. ධනපති ක්‍රමය විපත් ඇතිකරන විට සිදුවන හානිය අවම කරන සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඒ රටවල ක්‍රියාත්මක වේ. මිනිසුන්ට රක්ෂා අහිමි වන අවස්ථාවලදී රක්ෂා අහිමිවූවන්ට ජීවත්වීමට අවශ්‍ය කරන අවම වියදම් ලබාදෙන ක්‍රමයක් ඒ රටවල ක්‍රියාත්මක වේ. තමන්ගේ දේපළ උකසට තබා බැංකු ණයක් ලබාගත් පුද්ගලයකුගේ රැකියාව අහිමි වූ අවස්ථාවකදී ඒ දේපළ වෙන්දේසි කොට ණය අයකර ගැනීමක් ඒ රටවල සිදු නොවේ. රක්ෂාව අහිමි වූ අවස්ථාවකදී ණයකරුවාගෙන් ණය වාරික ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවන ක්‍රමයක් එම රටවල ක්‍රියාත්මක වන අතර නැවත ණය ලබාගැනීම ඇරඹෙන්නේ රක්ෂාවක් ලැබීමෙන් පසුය. ඒ රටවල අසරණභාවයට පත්වූවන් කුඩා ළමුන් හා වියපත්වූවන් ඍජු ලෙස හෝ අනියම් ලෙස බලාගන්නා ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ. ධනවතකුට පවා බාධාවකින් තොරව ධනය උපයා ගැනීමට ඉඩ දෙන්නේ එක්තරා සීමාවකට පමණය. ඒ සීමාව පසු කළ පසු එම ධනවතාගෙන් උපයාගත් ධනයේ ප්‍රමාණයට ලොකුවට බදු අයකර ගන්නා ක්‍රමයක් ඒ රටවල ක්‍රියාත්මක වේ. ඒ රටවල ඇති නැති පරතරය වෙනත් ධනපති රටවල තරම් විශාල නැත.
අපද ශ්‍රී ලංකාව සඳහා අරමුණු කරගත යුත්තේ එවැනි ක්‍රමයකි. එසේ නැතිව ප්‍රායෝගිකව ඇති කළ නොහැකි දේවල් සඳහා අපගේ වටිනා කාලය විනාශ කළ යුතු නැත. මා හිතන අන්දමට අපගේ පසුගාමී ආකල්ප කෙරෙහි මාක්ස්වාදයට හසුවූ අය ලිබරල්වාදය සලකන්නේද ඉතාමත් නරක මතවාදී ක්‍රමයක් ලෙසය.
ලිබරල්වාදය
මිනිසුන් සාධාරණ ලෙසත් විද්‍යාත්මක ලෙසත් සිතන පතන තැනකට ගෙනාවේ ලිබරල්වාදය මිස මාක්ස්වාදය නොවේ. ලෝකයේ පැරණි ගමන් මග වෙනස් කිරීමට බලපෑ විප්ලව ලෙස සැලකිය හැකි එංගලන්ත විප්ලවය, ඇමරිකන් විප්ලවය හා ප්‍රංශ විප්ලවය කෙරෙහි බලපෑවේද මාක්ස්වාදී අදහස් නොව ලිබරල්වාදී අදහස්ය.
ඒකාධිපති රාජාණ්ඩුක්‍රමය වෙනුවට මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය හඳුන්වා දෙන ලද්දේ ලිබරල්වාදීන් විසිනි. රාජ්‍ය බලයේ ප්‍රභවය මහජනයා වේ කියන සංකල්පයද, පරමාධිපත්‍යය බලය ඇත්තේ මහජනයාට නිසා රාජ්‍ය බලය මහජන කැමැත්තට යටත්ය යන සංකල්පයද ලිබරල්වාදී සංකල්පයන්ය. නූතන රාජ්‍යයට සියලු කේන්ද්‍රීය න්‍යායවාදයන් ලිබරල්වාදීන් හඳුන්වාදෙන ලද න්‍යායවාදයන් ලෙස සැලකිය හැකිය. ලිඛිත ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාව සේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහජනයා සමඟ ඇතිකර ගන්නා ගිවිසුමක් යන අදහසද මහජනයාගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු යන අදහසද ලිබරල්වාදී උරුමයන්ය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වශයෙන් වන ස්වාධීන බල මණ්ඩල තුනකින් සමන්විය යුතු කියන අදහසද, භේදයකින් තොරව සියලු මිනිසුන් නීතිය ඉදිරියේ එකසමානය යන අදහස හා නීතියේ ආධිපත්‍යය පිළිබඳ අදහසද ලිබරල්වාදයේ දායාදයෝය. නූතන ලෝකය දේශපාලන වටිනාකම් ලෙස සලකන සියලු දේ ලිබරල්වාදී දායාදයන් වන අතර ඒ එකතුවට මාක්ස්වාදය එකතු කරන ලද එකුදු වටිනාකමක් නැති බවද කනගාටුවෙන් වුවත් කිව යුතුය.
අපි මාක්ස්වාදීන් වීමට පෙර ලිබරල්වාදීන් වීමට සමත් වීමු නම් ලංකාව මෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. ලංකාවේ නිදහස වෙනුවෙන් පෙනීසිටි නායකයන් ධනේශ්වර නායකයන් ලෙස සැලකුණද ඔවුන් ලිබරල්වාදීන් නොවිය නොහැකිය. ඔවුන්ට ලිබරල්වාදී න්‍යාය ධර්ම පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබුණි. ඔවුන් ටයිකෝට් ඇඳි ඉංග්‍රීසි කතාකරන පුද්ගලයන් වුවද ඔවුන්ට තිබුණේ ලිරබල් මනසක් නොව වැඩවසම් මනසකි. අඩුම තරමින් ඔවුන්ට ජාතික රාජ්‍යය, ජාතිය වැනි සංකල්ප ගැන පවා කිසිදු අවබෝධයක් නොතිබුණි.
නූතන යුගයට පිවිසීමෙන් පසු මුල් කාලයේ ලංකාවේ ලිබරල්වාදීන් ලෙස සැලකිය හැකි කිහිපදෙනෙකු හෝ සිටියේ නම් ඔවුන් සිටියේ සිංහල හෝ දෙමළ සමාජයේ නොව බර්ගර් සමාජයේය. ඒ අය අතරින් රිචට් මෝගන් (1821-76) හා චාර්ල්ස් ලොරෙන්ස් (1829-71) ප්‍රධානය. ඒ දෙදෙනා ස්වදේශීය උගතුන් කිහිපදෙනා අතර සිටි ලිබරල් න්‍යායන් ගැන හොඳ අවබෝධයක් තිබූ උගතුන් දෙදෙනකු ලෙස සැලකිය හැකිය. ‘ලාංකික ජාතියක්’ පිළිබඳ අදහස පළමුවෙන්ම ඉදිරිපත් කළේ ඔවුන්ය. බර්ගර්වරුන්ට තිබූ සුදු පෙනුම හා ඔවුන් කතා කළ භාෂාව ඉංග්‍රීසි වීම නිසා ස්වදේශිකයන්ට ඔවුන් ගැන තිබුණේ අවඥාවකි. ඔවුන් හඳුන්වන ලද්දේ ‘කැරපොත්තන්’ හා ‘තුප්පහියන්’ වශයෙනි. ලංකාවේ තමන්ට අනාගතයක් නැති බව තේරුම් ගත් ඔවුහු ලංකාව අතහැර යන පළමු සුළු ජනවර්ගය බවට පත්වූහ.
බර්ගර්වරුන් ලංකාව අතහැර නොගොස් ලංකා නිදහස් ව්‍යාපාරයේ පංගුකාරයන් ලෙස ක්‍රියා කළේ නම් ලංකා නිදහස් ව්‍යාපාරය කෙරෙහි ලිබරල් චින්තනය බලපාන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ දේ සිදු නොවීම නිසා ලංකාවේ නිදහස් ව්‍යාපාරය ගලා ගියේ ලිබරල් චින්තනයක් තබා ප්‍රශස්ත ආකාරයේ මොනම චින්තනයක්වත් නැතිව කුලවාදී, වර්ගවාදී හා ආගම්වාදී අදහස්වලින් යුතු වැඩවසම් චින්තනයක් කර තබාගෙනය. ඒ කාලයේ ලංකාවේ ජාතික නායකයන්ට මානව හිමිකම් ගැන පවා අවබෝධයක් නොතිබුණි. සෝල්බරි ව්‍යවස්ථාවට මානව හිමිකම් පිළිබඳ විධිවිධාන ඇතුළත් නොවූයේ ඒ නිසාය. එය ඒ කාලයේ ලංකාවේ නායකයන්ගේ පසුගාමී තත්ත්වය පෙන්නුම් කරන හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. 1931 වනවිටත් ඉන්දියානු කොංග්‍රසයට තමන්ගේම වන මානව හිමිකම් ප්‍රඥප්තියක් තිබුණි. ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන තත්ත්වයක් පළමුවරට ඇතිවූයේ 70 දශකයේදීය.
ලිබරල්වාදය මාක්ස්වාදය උපදින්නට පෙර නූතන ලෝකයේ වෙනස්කම් කෙරෙහි බලපෑ ප්‍රධාන දර්ශනය වුවද මාක්ස්වාදය ලංකාවේ පහළවන්නට පෙරය. ලිබරල් චින්තනයෙන් ඇති කරගත් හික්මීමකින් තොරව මාක්ස්වාදය ගෙඩි පිටින් ගිලින තත්ත්වයක් ඇතිවීම ලංකාවේ දෘෂ්ටියේ තිබූ අවුල්සහගත බව උග්‍ර කිරීමට හේතුවීයැ’යි කිව හැකිය.
සම්භාව්‍ය ලිබරල් චින්තකයන්ගේ එකම පොතක්වත් සිංහල භාෂාවට පරිවර්තනය වී නැත. එහෙත් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, මාඕ සේතුං වැනි මාක්ස්වාදී න්‍යායවාදීන්ගේ පොත් සිය ගණනක් සිංහලෙන් පළවී තිබේ. ඒවායින් වැඩි හරියක් සෝවියට් දේශයේ හෝ චීනයේ පළ කොට ලංකාවේ අඩු මිලකට හෝ නොමිලේ බෙදා දෙන ලද පොත් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ජනයා ජෝන් ලොක්, ජෙරමි බෙන්තම්,
ජෝන් ස්ටුවර්ට් මිල්, ලුවිස් චාල්ස් මොන්ටෙස්කියු වැනි සම්භාව්‍ය ලිබරල් න්‍යායවාදීන් ගැන නොදනී. එහෙත් ඔවුහු සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායවාදීන් ගැන පමණක් නොව නව මාක්ස්වාදී න්‍යායවාදීන් ගැන පවා දනියි. ලංකාවේ ජනතාව එංගලන්තය විප්ලවය, ඇමරිකන් විප්ලවය ගැන හෝ ප්‍රංශ විප්ලවය ගැන නොදනියි. එහෙත් රුසියන් විප්ලවය, චීන විප්ලවය හා කියුබන් විප්ලවය ගැන දනියි.
ලංකා අර්බුදයේ ප්‍රමුඛ ප්‍රශ්නය හෙවත් අනෙකුත් සියලු දේ අධිනිශ්චය කරන ප්‍රශ්නය ලෙස සැලකිය හැකි ජාතිය ගොඩනැගීම පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමට අසමත්වීම කෙරෙහි මාක්ස්වාදයද කිසියම් විශාල ප්‍රමාණයකට බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. නිදහස් ව්‍යාපාරයේ නායකයන්ට ලිබරල් පරිකල්පනයක් නොතිබීම නිසා ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණි. ලංකාවේ වාමාංශික නායකයන්ට ඒ ගැන ශක්තිමත් අදහසක් තිබුණේ නම් ඔවුන්ට රටේ ලොකු පිළිගැනීමක් තිබුණු කාලයේ එය මහජන අවධානයට යොමුවන්නට ඉඩ තිබුණි. එහෙත් ඔවුන්ට වැදගත් වී තිබුණේ පන්තිය ගොඩනැගීමේ ප්‍රශ්නය මිස ජාතිය ගොඩනැගීම නොවේ. ඉන් පෙනෙන්නේ ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නය පිළිබඳව මාක්ස්වාදීන්ටද අවබෝධයක් නොතිබුණු බවය. ජාතිය ගොඩනැගීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව ඔවුන්ද ප්‍රමාද වී හෝ තේරුම් ගත්තේ කෙළවරක් නැති තරමට ලේ හැලෙන තත්ත්වයක් රටේ ඇතිවීමෙන් පසුවය. ඉන්ද පෙනෙන්නේ මාක්ස්වාදී පරිකල්පනයට වඩා ලිබරල් පරිකල්පනය දියුණු බව නොවේද?■