Monday, 21/8/2017 | 3:43 UTC+0
රාවය

ප්‍රජාතන්ත්‍රවාදයේ දෙපැත්ත

හම්බන්තොට වරායේ දී නාවික හමුදාපතිවරයා හැසිරුණු ආකාරය කිසිසේත් අනුමත කළ හැකි නොවේ. වරායක තිබෙන යාත්‍රා ආරක්‍ෂා කර ගැනීමේ රාජකාරියක් ඔහුට පැවරී තිබෙනවා වුවත්, එය ඉටු කිරීම ඔහුගේ වගකීම වුවත්, එතැන දී ඔහු හැසිරුණේ ඒ වගකීම ගරු කටයුතු ලෙස ඉටුකරන්නකු ලෙස නොව ගමේ ගොඬේ මදාවියකු ලෙස ය. මාධ්‍යවේදියකු තබා වෙන කිසි ම පුද්ගලයකුට වුව පහර දීමේ අයිතියක් – විශේෂයෙන් ඒ පුද්ගලයා කිසි ම ප්‍රචණ්ඩ ක්‍රියාවක නොයෙදෙන විට- නාවික හමුදාපතිවරයාටවත්, එතැන සිටි නාවික හමුදාවේ අනෙක් නිලධාරීන්ටවත් නැත. සාමාන්‍ය තත්ත්වයක් යටතේ ප්‍රකෝපකාරී ව හැසිරෙන මහජනතාව පාලනය කිරීමේ වගකීම ඇත්තේ පොලිසියට මිස හමුදාවකට නොවේ. ඒ තත්ත්වය නොසලකා නාවික හමුදාපතිවරයා සිය බලය ඉක්මවා කටයුතු කර තිබෙන බව පැහැදිලි ව පෙනී යන අවස්ථාවක, නාවික හමුදාපතිවරයාත් වැරදියි මාධ්‍යවේදියාත් වැරදියි වැනි ප්‍රලාපයක් සමාජගත කරන්නට ගන්නා ආණ්ඩුවේ උත්සාහය, වරදෙන් භාගයක් පීඩාවට පත් පාර්ශ්වයටත් බෙදා දී ඔහු ද වරදේ හවුල්කරුවකු කර ගන්නට ගන්නා හාස්‍යජනක උත්සාහයක් විනා අන් යමක් නොවේ.
මේ වන විට ජනමාධ්‍ය ගැන විශාල විවේචනයක් රටේ ඇති වී තිබෙන බව ඇත්ත ය. මාධ්‍යවල අයිතිකරුවන්ගේ වුවමනා මත කැමැත්තෙන් ම නැටවෙන රූකඩ මාධ්‍යකරුවන් රටේ අතිවිශාල අවුල් ඇති කරමින් සිටින බව ද ඇත්ත ය. හම්බන්තොට දී ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියාත් එවැනි වුවමනාවක කොටස්කරුවකු වන්නට ඇති හැකියාව ද නැතිවා නොවේ. එහෙත්, කවර වූ හෝ මාධ්‍යකරුවකුට, තමා මාධ්‍යකරුවකු බව කියද්දීත්, කුණුහරුප කියමින් එළවා එළවා පහර දෙන්නට නාවික හමුදාපතිවරයකුට එනයින් බලපත්‍රයක් ලැබෙන්නේ නැත. ඒ වරදේ වගකීම නාවික හමුදාපතිවරයාත් රජයත් භාරගත යුතු ය. ඉන් එහා, ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා වෙත වරදෙන් භාගයක් පටවන්නට ආණ්ඩුව ගන්නා උත්සාහය පෙන්වන්නේ පරණ රාජපක්‍ෂ රෙජිමයේ ක්‍රියා පිළිවෙත ම මිස යහ පාලන පිළිවෙතක් නොවේ.
හම්බන්තොට වරායේ ගැටුමෙන් ප්‍රදර්ශනය වන අනෙක් ඉසව්ව නම්, ජනතා උද්ඝෝෂණ හා නීතියේ පාලනය අතර ගැටුමයි. මේ වරාය සේවකයන් සේවයට බඳවාගෙන තිබුණේ මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ හම්බන්තොට වරායට ම සීමා වන විදියට නිර්මාණය කරන ලද සමාගමක් සඳහා ය. හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පාඩු සහිත වීම නිසා මේ පිරිසට රැකියා පිළිබඳ අවදානමක් දැනෙන විට ඔවුන්ගේ ඉල්ලීම වන්නේ වරාය අධිකාරියේ සේවයට තමන් ඇතුළත් කරගන්නා ලෙස ය. ඒ ඉල්ලීමේ වරදක් නැත. රැකියාවේ සුරක්‍ෂිතභාවය ගැන සහතිකයක් ලැබීම සෑම සේවකයකුගේ ම අයිතියකි.
එහෙත් අවාසනාවකට මෙන් සිය ඉල්ලීම දිනා ගැනීම සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රමවේදය ඊට වඩා බලවත් ප්‍රශ්න රට කෙරෙහි ඇති කරවන්නකි. වරයෙන් පිටත්වීමට නියමිතව තිබුණු ජපාන නැවක් දින හතරක් පුරා බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට ඔවුහු කටයුතු කළහ. වෙළෙඳ වරායක එදිනෙදා කටයුතුවලට බාධා ඇතිවන ආකාරයෙන් කෙරෙන හැසිරීමක් යහපතක් කරන්නේ නැත. දියුණු වෙළෙඳ ලෝකයක තියුණු තරගකාරිත්වය හමුවේ හම්බන්තොට වැනි ලාබදායී නොවන වරායකට පැමිණෙන එක් යාත්‍රාවක් හෝ දෙකක් හෝ වේවා රටක් හැටියට අපට ඉතාමත් වටින්නේ ය. එවැනි තත්ත්වයක් යටතේ, ඒ වෙළෙඳ නැව් බලහත්කාරයෙන් රඳවා ගැනීම වූකලි මුහුදු කොල්ලයක ස්වරූපය ගත් ක්‍රියාවක් පමණක් නොවේ, රටේ ආර්ථිකයට බරපතළ බලපෑමක් ද ඇති කරන්නකි. කවර හේතුවක් මත වුවත් සන්නද්ධ නාවික හමුදා භට පිරිසක් වෙළෙඳ වරායක සේවයේ යෙදවීම වුවත් ඒ වරායට හිතකර ප්‍රතිරූපයක් ඇති කරන්නේ නැත.
මෙවැනි තත්ත්වයක දී පුද්ගල අයිතිවාසිකම් ද රකිමින්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කොට, සිදුවෙමින් පවතින වරද නිවරද කිරීම ද ආණ්ඩුවේ වගකීමක් වෙයි. විශේෂයෙන් ජනවාරි 8 වැනිදායින් පසු රටේ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය, සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම්වලට මිස කඩාකප්පල්කාරීන්ගේ දුෂ්ට අරමුණු සඳහා යොදා ගැනීම වැළැක්වීම අවශ්‍ය ය. ඒ කාර්යය හරි හැටි කර ගත නොහැකි වුවහොත්, ආණ්ඩුව අසමත්යැ’යි කියන්නට ඉඩක් ඉන් සැලසෙනවා ඇත.■

About