අවුල ජයගැනීම

 

ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයෙන් පසු තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් ජයග‍්‍රාහී පිලට රාජ්‍යයේ සමස්ත බලය හිමිවන තත්ත්වයක් තුළ රටේ සමස්ත දේශපාලන චිත‍්‍රය ජයග‍්‍රාහී පිලේ වාසියට හේතුවන ලෙස වෙනස් වන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට ජයග‍්‍රාහකයා පාර්ලිමේන්තුව විසුරුවා නොහැර පුරවැසි ව්‍යාපාරයක ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාවට නගන්නට ගොස් තමන්ට හිමි ජයග‍්‍රාහී තේජස අහිමි කරගනිමින් පරාජිතයාට වඩා බලවත් ලෙස නැගී සිටින්නට අවස්ථාවක් ලබා දුන්නේය.

ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කරන ලද පුරවැසි න්‍යායවාදීන් එය සකස් කර තිබුණේ රාජ්‍ය බලය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව යථා අවබෝධයක් නැතිවය. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පරාජිත ජනාධිපතිවරයාට බලය තිබුණු පාර්ලිමේන්තුව ජයග‍්‍රාහකයා කරන්නට යන සියලූ ප‍්‍රතිසංස්කරණවලට කොන්දේසි විරහිතව ආධාර දෙනු ඇතැ’යි කියා ජයග‍්‍රාහකයා විශ්වාස කළේය. ඒ විශ්වාසය මත පිහිටා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයට බර තැබෙන ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බඳු ආණ්ඩුවක් විය. පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගනිමින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ හැකියාව තිබියදී එසේ නොකොට පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ‍්‍රීලනිපයට තිබියදී පිහිටුවන ලද ආණ්ඩුව අලූත් ආණ්ඩුවකට තිබිය යුතු බලය ස්ථිරතාව මහජන විශ්වාසය හා ගෞරවය අහිමි කරගත් හාස්‍යජනක ආණ්ඩුවක පෙනුම ලබාදීමට හේතුවිය.

දැන් ඇතිවී තිබෙන අවුල ජයග‍්‍රාහී පිලේ දේශපාලන නායකයන්ගේද එම ජයග‍්‍රහණයට උරදුන් සමාජ බලවේගයන්ගේද අවුල්සහගත චින්තනයේ තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. විරුද්ධ පක්ෂයේ එකතුවේ නායකයන් පුරවැසි ව්‍යාපාරවලින් ඔවුන්ගේ ජනප‍්‍රිය ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ණයට ගන්නා විට එයට තිබෙන සීමිතකම් මොනවාද කියා තියුණු ලෙස සලකා බැලිය යුතුව තිබුණුමුත් එවැන්නක් සිදු නොවීය. අනෙක් අතට ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසු ජයග‍්‍රාහකයා ශ‍්‍රීලනිපයේ බලය ඇල්ලීමේ වැඩසටහනක්ද දේශපාලන න්‍යාය පත‍්‍රයට එකතු කරගත් අතර එය ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ තිබූ අප‍්‍රායෝගිකභාවය ආශ‍්‍රයෙන් ඇතිවන්නට නියමිතව තිබූ අර්බුදය උග‍්‍ර කොට සංකීර්ණ කළේය. ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය තෙක් විරුද්ධ පක්ෂ එකතුවේ නායකයන්ට මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ පොදු අරමුණක්ද ඒ සඳහා වන සමගියක් හා ශක්තිමත් අධිෂ්ඨානයක්ද තිබුණේය. ජයග‍්‍රහණයත් සමග ඒ සාධක තුනේම පරිහානියක් ඇතිවී කට්ටිවාදය හිස ඔසවන තත්ත්වයක් ඇතිවීයැ’යි කිව හැකිය.

ශ‍්‍රීලනිපයේ බලය ඇල්ලීමේ සිහිනයද ප‍්‍රායෝගික නොවන මනෝරාජික සිහිනයක් ලෙස සැලකිය හැකිය. මෛත‍්‍රීපාල සිරිසේනගේ කැරට්ටුව කොතරම් හොඳ වුවද පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව පාක්ෂිකයන් බලමුළුගැන්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය. පාක්ෂිකයන්ට මෛත‍්‍රීපාල හඳුන්වා දුන්නේ පක්ෂය පාවා දුන් ද්‍රෝහියකු වශයෙනි. මෛත‍්‍රීපාල පිළිබඳව පක්ෂ නායකයන් නිල වශයෙන් දෙන ලද අර්ථකථනය ජනාධිපතිවරණය වන විට ශ‍්‍රීලනිප පාක්ෂිකයන් විශාල බහුතර පිරිසකගේ පොදු පිළිගැනීමට හේතුවී තිබුණි. මෛත‍්‍රීපාල සිරිසේන සාධකය ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප පාක්ෂිකයන් කෙරෙහි බලපෑවේ ආන්තික වශයෙන් පමණය. ඔහුට ශ‍්‍රීලනිපයෙන් එකතු වූයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු පමණය. පක්ෂයේ මැද හා පහළ මට්ටම්වලින්ද එකතු වූයේ සුළු පිරිසක් පමණය. ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු මහින්ද රාජපක්ෂ පක්ෂයේ නිල නායකත්වය මෛත‍්‍රීපාලට ප‍්‍රදානය කිරීම හා ජනාධිපති මෛත‍්‍රීපාල එම ප‍්‍රදානය භාරගැනීම යන දෙකම එම නායකයන් දෙපළ විසින් උපාය මාර්ගික හේතු මත කරන ලද දේවල් වශයෙන් මිස අවංක අදහසින් කරන ලද දේවල් ලෙස සැලකිය නොහැකිය. ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන් අතර ජනාධිපති ධුරය නිසා ජනාධිපති මෛත‍්‍රීපාල පිළිබඳව බියක් ඇතත්, විශ්වාසයක් හෝ ගෞරවයක් නැත. ඔවුන්ගේ ලේ නහරවල ලියැවී තිබුණේ මෛත‍්‍රීපාල ද්‍රෝහියකු වශයෙනි. සාමාන්‍ය පාක්ෂිකයන් අතර ජනාධිපති මෛත‍්‍රීපාලට තිබෙන්නේ වඩා නරක පිළිගැනීමකි. මහින්ද කොතරම් බරපතළ වැරදි කර තිබුණද ඔවුන්ගේ නියම වීරයා වී සිටින්නේ මහින්දය. ශ‍්‍රීලනි පක්ෂය හා පාක්ෂිකයන් අතර තිබෙන එම යථා තත්ත්වය තේරුම් නොගෙන ඉහළින් පක්ෂයේ බලය ඇල්ලීමේ අදහස සැලකිය හැක්කේ මනෝරාජික සිහිනයක් වශයෙනි. නැතහොත් ලාහෙට ගෙම්බන් එකතු කරන්නට දරන උත්සාහයක් ලෙසය. එම මනෝරාජික අරමුණ ජයගැනීම සඳහා ජනාධිපතිවරයා මෙතෙක් කරන ලද උත්සාහයන් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය දුර්වල කිරීමට මිස ශක්තිමත් කිරීමට හේතුවී නැත.
එජාපයේ හොඳ නරක කුමක් වුවත් ශ‍්‍රීලනිප තුළ ඇතිවී තිබෙන බෙදීමේ වාසිය යන්නේ එජාපයටය. එය කොයි කවර ආකාරයකින්වත් වැළකිය නොහැකිය. මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ දේශපාලන න්‍යායවාදීන්ගේ උපාය මාර්ගික වුවමනාව වී තිබෙන්නේ ජනාධිපතිවරයා ලවා රනිල්ගේ තත්ත්වය අස්ථාවර කිරීමය. එවැනි ක‍්‍රියාමාර්ගයක් එජා පාක්ෂිකයන්ගේ කෝපයට හේතුවී ජනාධිපතිවරයාට තිබෙන සුජාතභාවය සේ ම ජන පදනමද දුර්වල කිරීමට හේතුවේ. එවිට ජනාධිපති මෛත‍්‍රී තනි කොට පහරදීමේ හැකියාව මහින්දට ලැබෙන්නේය. මහින්ද ශ‍්‍රීලනි පක්ෂයේ නායකත්වය මෛත‍්‍රීට දුන්නේද ආරක්ෂාව සඳහා පමණක් නොව ශ‍්‍රීලනිපයට බර තබා ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියකට තල්ලූ කිරීම මගින් මෛත‍්‍රී හා රනිල් අතර තිබෙන සමගිය නැති කිරීම සඳහාය. මහින්ද තමන්ගේ අංක එකේ සතුරා ලෙස සලකන්නේ රනිල් නොව මෛත‍්‍රීය. රනිල් හා මෛත‍්‍රී දේශපාලන බල කඳවුරු දෙකකට අයත් නායකයන් දෙදෙනෙකු වුවද මේ මොහොතේ ඔවුන් දෙදෙනාගේ දේශපාලන ගමන සමාන කළ හැක්කේ රෝද දෙකේ මෝටර් සයිකලයකටය. එහි තිබෙන කුමන රෝදයක් විනාශ වුවද මෝටර් සයිකලයේ ගමන නවතී. මෛත‍්‍රීගෙන් තොරව රනිල්ටවත් රනිල්ගෙන් තොරව මෛත‍්‍රීටවත් මේ මොහොතේ පැවතිය නොහැකිය.

දැන් ජනාධිපතිවරයාට කළ හැකි හොඳම දේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙනයෑම නවතා පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට රට යොමු කිරීමය. මහින්දට තිබෙන දේශපාලන බලය අවසාන වශයෙන් පරාජය කළ හැකිවනු ඇත්තේද මිනිසුන්ගේ හාස්‍යයට හේතුවී තිබෙන අවුල්සහගත ගමනින් ඉවත් වී විධිමත් ගමනකට මුලපිරිය හැකිවනු ඇත්තේත් එවිටය. මෛත‍්‍රීපාලගේ ජයග‍්‍රහණය ඉවසා දරා ගනිමින් එය තමන්ගේද ජයග‍්‍රහණයක් බවට හරවා ගැනීමට රනිල් වික‍්‍රමසිංහ සමත් වූයේය. බලය ලැබෙන්නේ පිටස්තරයකුට නිසා ඊට අප නාමික වශයෙන් මිස බලවත් ලෙස ආධාර කරන තැනකට යායුතු නැතැ’යි කියන ආකල්පයකින් රනිල් වික‍්‍රමසිංහ හෝ එජාපය කල්පනා කරන තත්ත්වයකට ගියේ නම් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සිහිනයක් වන්නට ඉඩ තිබුණේය. මේ මොහොතේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කල්පනා කළයුත්තේද ඊට සමාන ආකාරයකිනි. පාර්ලිමේන්තු මැතිවරණයකට ගියහොත් ඉන් වාසි ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට නේදැ’යි කල්පනා කරන තත්ත්වයකින් ක‍්‍රියා කළහොත් ලැබෙන ඉරණම වනු ඇත්තේ මහා විනාශයකි.

හැම දේශපාලන නායකයකුටම ලණු දෙන දේශපාලන න්‍යායවාදීහු සිටින්නෝය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විනාශ වූයේද එවැනි අය දෙනු ලැබූ පැණි තැවරූ ලණු කෑම නිසාය. ඔවුන් ජනාධිපතිවරයාට කවන ලද පැණි තැවරූ ලණුවලින් ජනාධිපතිවරයාට, රටට තබා ඔවුන්ටවත් අත්වූ සුගතියක් සිදුවූයේ නැත. මේ මොහොතේ මේ නායකයන් දෙදෙනාම පටු ලෙස නොව පුළුල් ලෙස කල්පනා කරන තැනකට යා යුතුය. දැන් රට මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය ජයගැනීමට හැකිවනු ඇත්තේ මෙම නායකයන් දෙපළ ජනාධිපතිවරණයේදී ඇති කරගත් එක්සත්කම හා සමගිය ආරක්ෂා කරගනිමින් මනා අවබෝධයකින් යුතුව පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණදීමෙනි. පාර්ලිමේන්තු මැතිවරණයක් බලවත් ජාතික සමගි ආණ්ඩුවක් ඇති කිරීමට හේතුවනු ඇති අතර ඒ සමග රට මුහුණ දී තිබෙන ජාතික අර්බුදය විසඳා ගැනීමට හේතුවන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විධිමත් ලෙස ඇත්ත කරගැනීමටද හැකිවනු ඇත. ඒ හැර ජනාධිපතිවරයාට තෝරාගැනීමට තුන්වැනි මාවතක් නැත.